2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා

ලෝකේ කෙළවරට ගිය මැණිකේ ආපහු ඇවිත්!

 2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 185

යුරෝපයේ සීත කාලයට ලංකාවට බොහෝ පක්ෂීහු පැමිණෙති. පසුව දරුවන් වැදීම සඳහා සිය උපන් රටවල් කරා ගොස් නැවත එති. මේ ගමනේදී ඔවුහු සුවහසක් ගව් ගෙවා ගොඩබිම් ඔස්සේ මාස ගණනක් ගමන් කරති. ඔවුන්ගේ මේ අති දීර්ඝ ගුවන් ගමනක අසිරිය විද්‍යාත්මකව සොයාබලා තහවුරු කරගන්නට පසුගියදා ලංකාවේ පක්ෂි පර්යේෂකයන් පිරිසකට හැකිවිය.

ඔවුන් මේ සඳහා යොදා ගත්තේ ‘මැණිකේ’ ලෙස නම් කළ මුහුදු කපුටියකි. කිලෝමීටර් විසිදහසක (සැතපුම් 12427.424 ) දිගු  දුරක් ගෙවා තම සිසිර ගමනාන්තය වූ ශ්‍රී ලංකාවට ආපසු පැමිණි &මැණිකේ‍* නම් වූ මෙම මුහුදු කපුටිය (Gull) ගැන තොරතුරු ඇතැම් වෙබ් අඩවියක සඳහන් කර තිබුණේ එය මුහුදු ලිහිණියකගේ (Tern) දස්කමක් හැටියටය.

මැණිකේ අයත්වන හියුග්ලින් මුහුදු කපුටු (Heuglin’s Gull). පක්ෂින්ගේ ආත්මගත සහජාසයක් වන මේ දීර්ඝ සංක්‍රමණය පිළිබඳ හැදෑරීම සඳහා මැණිකේහට චන්ද්‍රිකා සමඟ සුසර කරන ලද ට්‍රාන්ස්මීටරයක් පළඳවා ඇය මුදාහැරීම සිදුකර තිබේ. ඇය සිය පරම්පරාගත පුරුද්ද අනුව ඉපැරුණි ගමන් මගේ යමින් ලෝකයේ උතුරුකරයේ ගමනාන්තය වෙත ළඟාවෙමින් දරුවන් වදා නැවත පැමිණියාය. අපේ පක්ෂි විද්‍යාඥයෝ චන්ද්‍රිකා ඔස්සේ මේ සියල්ල පූර්ණව නිරීක්ෂණයට ලක් කළහ.

ඔවුන් අනාවරණය කර තිබෙන පරිදි ශ්‍රී ලංකාවේ සිට යුරෝපීය ආක්ටික් කලාපය කරා පියාසර කළ මැණිකේ ගිය උතුරු සංක්‍රමණික මාර්ගය හා නැවත ශ්‍රී ලංකාවට පැමිණි දකුණු සංක්‍රමණික මාර්ගය යන දෙක එක්ව ගත් කළ එය කිලෝමීටර් විසිදහසකට ආසන්න වූ විස්මය ජනක අතිදීර්ඝ චාරිකාවකි. මැණිකේගේ මේ පුර්ණ සංක්‍රමණ වටය අධ්‍යයනයත් සමඟ ශ්‍රී ලංකාවේ පක්ෂි සංක්‍රමණ අධ්‍යයනය ප්‍රධාන සන්ධිස්ථානයකට පැමිණ ඇති බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ ක්ෂේත්‍ර පක්ෂි විද්‍යා අධ්‍යයන කවය පවසන්නේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ ක්ෂේත්‍ර පක්ෂි විද්‍යා අධ්‍යයන කවය මේ අධ්‍යයනය මෙහෙය වූ කණ්ඩායමයි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව  මෙම පර්ෙය්ෂණය සඳහා සහයෝගීතාවය සපයා ඇත. එමෙන්ම මෙම පර්ෙය්ෂණය සඳහා දායකත්වය Chinese Academy of Sciences, Palmyrah House (Pvt) Ltd, Vayu Resort සහ Wetlands International යන ආයතන විසින් ලබාදෙන ලද බව පක්ෂි විද්‍යා අධ්‍යයන කවය පවසයි.

මැණිකේට චන්ද්‍රිකා සම්බන්ධක පැළඳවීමෙන් පසු 2021 අප්‍රේල් මාසයේදී මන්නාරම දූපතේ තලෙයිමන්නාරමේදී ඇය මුදාහැර තිබුණි. ඇය මුදා හැරීමෙන් පසුවද පුරා දින 20 ක් මන්නාරම් දූපත සහ රාමාගේ පාලම ආශ්‍රිතව නැවතී සිට, අප්‍රේල් මස අග භාගයේ මන්නාරමෙන් පිටත් වී තිබේ. ඒ අන්දමට උතුරු රුසියාව බලා ගමන් ඇරඹූ මැණිකේ පසුව යමාල් අර්ධද්වීපයට ළඟා වී තිබේ. යමාල් අර්ධද්වීපයේ කැදලි තනන්නට පෙර, ඇය යූරල් කඳු තරණය කර යුරෝපියානු රුසියාවට ඇතුළු වූ බව චන්ද්‍රිකා සටහන් පෙන්වා දී ඇත.

ජූනි සිට අගෝස්තු දක්වා දිවෙන ආක්ටික්හි ග්‍රීෂ්ම සෘතුවෙහිදී අභිජනනයෙහි නිරත වූ මැණිකේ, අගෝස්තු අගභාගයේදී ආපසු හැරී පළමුවෙන්ම දකුණ බලා සිදුවන සුපුරුදු ආත්මගත  සංක්‍රමණය ආරම්භ කර තිබුණි. උත්තරධ්‍රුවයේ තම ග්‍රීෂ්ම නිවහනෙන්  පිටත් වූ මැණිකේ, ශ්‍රී ලංකාවෙන් පිටත්ව මාස 06 කට සහ දින 09 කට පසු පසුගිය නොවැම්බර් 04 වැනි දින, තම සිසිර ගමනාන්තය වූ ශ්‍රී ලංකාවේ මන්නාරමට නැවත ළඟා වී ඇත. ඇයගේ සුරක්ෂිත පැමිණීමත් සමඟ, චන්ද්‍රිකා අනාවරණ සම්බන්ධක සවිකරන ලද  පක්ෂීන් අතරින් පූර්ණ සංක්‍රමණ චක්‍රයක් අවසන් කළ ප්‍රථම පක්ෂියා ලෙසට ඇය පත්වූ බව කොළඹ විශ්ව විද්‍යාලයේ ක්ෂේත්‍ර පක්ෂි විද්‍යා අධ්‍යයන කවය වැඩිදුරටත් සඳහන් කරයි.
මැණිකේගේ මේ ගමන තවත් සුවිශේෂී වනුයේ, ඇය ශ්‍රී ලංකාව සහ යුරෝපියානු ආක්ටික් කලාපය අතර පවතින පාරිසරික සබැඳියාවට ප්‍රථම පර්ෙය්ෂණාත්මක  සාක්ෂිය සපයා ඇති බැවිණි. මේ ගමනේදී මුලින්ම ඇය උතුරු ගෝලය කරා ගියාය. ඒ සඳහා ඇය, පුරා දින 35 (සති 05)ක් කිලෝමීටර 7880ක දුරක් ගමන් කළාය.

උතුරු සංක්‍රමණය හා සසඳන කල මඳක් මන්දගාමී වූ ඇයගේ දකුණ බලා සිදුවූ නැවත  සංක්‍රමණය සඳහා දින 91 (සති 13) ක් ගත වූ අතර, මෙහිදී ඇය විසින් කිලෝමීටර 11,480ක දුරක් සම්පූර්ණ කර තිබුණි. ඒ අයුරින්, මන්නාරමේ සිට ආක්ටික් දක්වා සහ නැවත මන්නාරම දක්වා දිවුණු ඇයගේ සම්පූර්ණ චාරිකාව තුළදී ඇය විසින්, කිලෝමීටර් 19,360ක විස්මයජනක දුරක් ගමන් කර ඇත.

කොළඹ විශ්ව විද්‍යාලයේ ක්ෂේත්‍ර පක්ෂි විද්‍යා අධ්‍යයන කවය සදහන් කරන්නේ මැණිකේ අයත්වන හියුග්ලින් මුහුදු කපුටන් යනු ශ්‍රී ලංකාවේ වයඹ සහ උතුරු දිග වෙරළබඩ ප්‍රදේශවල පමණක් දක්නට ලැබෙන මනහර, සාගරවාසී සංක්‍රමණික පක්ෂි විශේෂයකි. මොවුන් පෙනුමෙන් බොහෝ සමාන වූ විශේෂ පහකින් සමන්විත Lesser Back-backed Gull (Larus fuscus) යන මුහුදු කපුටු ගණයට අයත් එක් විශේෂයකි. මැණිකේ  අයත් හියුග්ලිනිගේ මුහුදු කපුටා (Larus fuscus heuglini) හෝ සයිබීරියානු මුහුදු කපුටා, යන   Larus (genus) ගණයට අයත් මුහුදු පක්ෂීන් ලෙස විද්‍යාත්මකව වර්ග කැරේ.

සමහරවිට ඔවුන් වෙනම විශේෂයක් ලෙස සලකනු ලැබේ (Larus heuglini). නමුත් දැන් සාමාන්‍යයෙන් සලකනු ලබන්නේ පොඩි - පිට කළු මුහුදු කපුටන්ගේ ම (lesser black-backed gull) උප විශේෂයක් ලෙසය.

ඔවුන් වටකුරු හිසක්, ශක්තිමත් හොටක් මෙන්ම  දිගු කකුල් සහ පියාපත් සහිත පක්ෂීහු ය.සම්මත මිනුම් අනුව දිග සෙන්ටිමීටර 53 සිට 70 දක්වා ද (අඟල් 21 සිට 28 දක්වා), පියාපත් සෙ.මී. 138 සිට 158 දක්වාද වේ. ශරීර ස්කන්ධය ග්‍රෑම් 745 සිට 1,360 දක්වා (රාත්තල් 1.642 සිට 2.998 දක්වා ය. හොට සෙන්ටිමීටර 4.5 සිට 6.5 දක්වා (අඟල් 1.8 සිට 2.6 දක්වා) වන අතර පුළුල්ය. පිටුපස සහ පියාපත් තද අළු, පැහැය සිට බොහෝ විට අව කළු පැහැය දක්වා වෙනස් පැහැ දරයි. ඌහූ නම් කර ඇත්තේ මේ වර්ණය අනුවය.

ශීත ඍතුවේදී හිස ලා දුඹුරු පැහැයෙන් ඉරි වැටෙන නමුත් පසුපස බෙල්ලේ වඩා තද  ඉරි දක්නට හැකිය. කකුල් සාමාන්‍යයෙන් කහ පැහැති වුවද රෝස පැහැතිද විය හැකිය. හියුග්ලිනි මුහුදු කපුටා සාමාන්‍යයෙන් බෝ වන්නේ උතුරු රුසියාවේ ටුන්ඩ්‍රා හි කෝලා අර්ධද්වීපයේ සිට නැගෙනහිරින් ටේමර් අර්ධද්වීපය දක්වා කලාපයේ ය.

ඔවුන් නිබඳවම ෆින්ලන්තයෙන් වාර්තා වන අතර එහිදී බෝ වනවා විය හැකියැයි විද්වතුන් අනුමාන කරති. හියුග්ලිනි ලිහිණියා ශීත ඍතුවේදී නිරිත දිග ආසියාව, ඉන්දියානු උපමහාද්වීපය, නැගෙනහිර ආසියාව සහ නැගෙනහිර අප්‍රිකාව කරා  සංක්‍රමණය වෙයි. ඉන්දියාව ඔස්සේ අපේ රටටද සංක්‍රමණය වෙති. අග්නිදිග ආසියාවේ ඔවුන් වාර්තාවන්නේ කුඩා සංඛ්‍යාවන් හැටියටය. දකුණු අප්‍රිකාවේද වාර්තා වී ඇති අතරම බටහිර යුරෝපය කරා අයාලේ යන අවස්ථාද නැතිවා නොවේ.

මෙම පර්ෙය්ෂණය මෙහෙයවනු ලබන කොළඹ විශ්ව විද්‍යාලයේ ක්ෂේත්‍ර පක්ෂි විද්‍යා අධ්‍යයන කවයේ පර්ෙය්ෂණ කණ්ඩායමට මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න, මහාචාර්ය සරත් කොටගම සහ ආචාර්ය උපාධි අපේක්ෂිකා ගයෝමිණි පනාගොඩ යන අයද ඇතුළත් වූහ.

සුගත් පී. කුලතුංගආරච්චි