2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා

බස් ගාස්තුවත් පුපුරන්න ළඟයි...

 2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 63

මේ වනවිට රටේ පවතින තත්ත්වය හේතුවෙන් ලබන වසරේ ජනවාරි සිට බස් ගාස්තුවෙහි ඉහළ දැමීමක් සිදුවිය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියයි. ඒ අනුව මෙතෙක් අවම බස් ගාස්තුව ලෙස සැලකෙන රුපියල් දහ හතර, රුපියල් විස්ස දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇති බවත් එතැන් සිට 15කින් මිලෙහි ඉහළ දැමීමක් සිදුවන බවත් ඔහු පවසයි.

කොවිඩ් වසංගතය හේතුවෙන් මාස ගණනාවක් පුරාවට බස් රථ ධාවනය වුණේ නැහැ. මේ වනවිට බස් රථ ධාවනය කරලීමට ඉඩ ලබාදුන්නත් දවසින් දවස පවතින වියදම් අනුව බස් රථ ධාවනයට එකතු වෙන්නේ නැහැ. බස් රථයේ නඩත්තුවටවත් අපිට ආදායමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි ඉක්මනින්ම බස් රථයට කාඩ්පතක් සමඟ කොන්දොස්තරවරු නැති බස් රථ ධාවනය වෙන්නට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න යැයි ඉල්ලීම් කළා. නමුත් තවමත් ඒ සඳහා නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක වේනනේ නැහැ. යැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා දේශයට පැවසීය.

මේ වනවිට පවතින නීති රීතිවලට අනුව බස් රථයේ ධාවනය වීමේදී කොන්දොස්තරවරයකු හෝ රිය සහායකයකු අවශ්‍ය වේ. නමුත් මෝටර් රථ ආඥා පනතේ කොන්දොස්තර මහතා හෝ සහයකයකු සහිත යන වගන්තිය සහිත හෝ රහිතව ලෙස සංශෝධනය කරන ලෙසද මීට පෙර ඔවුහු ඉල්ලා සිටියහ. කොවිඩ් වසංගතයත් සමඟ බොහෝ රැකියා අහිමිවීමෙන් කොන්දොස්තර රැකියාවේ නිරත වුණු බොහෝ දෙනා මේ වනවිටත් තම රැකියාවෙන් බැහැරව වෙනත් රුකියාවල නිරතව සිටිති. මේ නිසා සංගමය පෙන්වා දෙන්නේ බස් ධාවනයට අවසරය ලබා දුන්නද කොන්දොස්තර සඳහා පුද්ගලයන් සොයාගත නොහැකිකමින් ඇතැම් බස් රථ තවමත් ධාවනයට යොමුකරලීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවය.

මේ හේතුන් නිසා ලබන වසරේ ජනවාරිවල 50 දක්වා ධාවනය වන බස් රථ 25 දක්වා අඩුවීමක් වෙනවා. බස් හිමියන්ට වාහනවල ටයර් දමාගන්න පවා ආදායමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපිට අනිවාර්යයෙන්ම ජනවාරි මාසය වනවිට බස් ගාස්තුව ඉහළ දැමීමක් කරන්න සිදුවෙනවා. කාඩ්පත හඳුන්වා දී කොන්දොස්තරවරුන් ඉවත්කර මෝටර් රථ ආඥා පනත සංශෝධනය කරන්නට අපි යෝජනා කළා. නමුත් තවමත් ඒක ක්‍රියාත්මක වුණේ නැහැ.* ගැමුණු විජේරත්න මහතා සඳහන් කරයි.
නව තාක්ෂණයට අනුව ධාවනය වන බස් රථ ඉදිරියේදී ධාවනය කිරීමේදී එවැනි කොන්දොස්තරවරයෙකු හෝ රිය සහායකයකු අවශ්‍ය නොවන බව ඔහු පෙන්වා දෙයි. එවැනි බස්රථවල ප්‍රවාහනය කළ හැක්කේ නියමිත ආසන සංඛ්‍යාවට පමණි. එම බස්රථවල පිටුපස ඇති දොර විවෘත නොවන අතර නියමිත ඉදිරි දොර මඟින් බස් රථයට ගොඩවන මගීන් තමන් සතු කාඩ්පත බස් රථයේ අදාළ කොටසේ සලකුණු කිරීමෙන් බස් රථයේ ගමනට අවසරය ලැබෙයි. තමන්ට අදාළ ගමනාන්තයෙන් පසුව බස් රථයෙන් පිටවී යන විටදීද අදාළ කාඩ්පත සලකුණු කිරීමද කළ යුතුය. ඒ සඳහා කොන්දොස්තරවරයකු හෝ රිය සහායකයකු අවශ්‍ය වන්නේ නැත.

මේ වනවිට කොන්දොස්තරවරුන්ගේ හිඟතාවයක් පවතිනවා. ඒ නිසා කාඩ්පත හඳුන්වා දෙන්න යැයි ඉල්ලා සිටියා. එවිට බස් හිමියන්ට තවත් රුපියල් පන්දහසක් පමණ ඉතිරි වෙනවා. කොන්දොස්තර රහිත හෝ සහිත බස් රථය ධාවනය කිරීමට බස් හිමියන්ගේ කැමැත්ත අනුව තීරණය කරගන්න පුළුවන්. මේ වනවිට පවතින පිරිවැය අපිට දරාගන්න බැහැ. ඒ අතරතුරේ ප්‍රවාහන අමාත්‍යංශයෙන් ලංකා ගමනාගමන මණ්ඩලය වෙනුවෙන් මිලියන එක්දාස් දෙසීයක අනුමැතිය ලබා ගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරල තියෙනවා. ලංකා ගමනා ගමන මණ්ඩලයේ ධාවනය වන්නේ බස් රථ හාරදහසක් පන්දහසක් වගේ සංඛ්‍යාවක්. ඒ බස් රථ වෙනුවෙන් මිලියන එක්දාස් දෙසීයක් ලබාදීම හරි අසාධාරණයක්. අපි ධාවනය වන්නේත් ඒ බස් රථ ධාවනය කරන මිලිටමයි. ඇත්තටම මේක හරිම අසාධාරණ තීරණයක්. ඒ විදිහට අපේ කර්මාන්තය කඩා වට්ටන්නේත් ආණ්ඩුවම තමයි. ඒ නිසා මේ පවතින අසාධාරණය නිසා ජනවාරි මාසයේදී පෞද්ගලික බස් ගාස්තුව වැඩිකරන්නට අපි තීරණය කළා.. ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් දේශයට පැවසීය.

 දිශානි ජයමාලි කරුණාරත්න