
නැන්දම්මලා ලේලිලා මරාගන්නේ පුතාට අයිතිවාසිකම් කියන්නට ගොස්ය. පුතාගේ දියුණුව කෙරෙහි වැඩියෙන්ම උදම් අනන්නේද ඒ දෙදෙනාය. අම්මා පුතාගේ දියුණුව ගැන සතුටුවන්නේ එවැනි පුතෙක් හැදීම ගැන ආඩම්බර වෙමිනි. ලේලිය උදම් අනන්නේ තම ස්වාමියාගේ දියුණුව සිදුවූයේ තමන් ලැබීමෙන් පසුව බව ආඩම්බර වෙමිනි. එසේම උදම් අනන පුතාගේ ජීවිතය යම් ආකාරයකින් වැරදුණහොත් අම්මා දුක්වන්නේ විවාහයෙන් පසුව සිදුවූ විනාශයක් ලෙස සිතාය. එහෙත් බිරිඳ දුක්වන්නේ නොසන්ඩාලයකු බැඳගන්නට සිදුවුණ බවට නැන්දම්මාට දොස් නගමිනි. ඒ නිසා නැන්දම්මා ලේලි ප්‍රශ්නයක් ඇත්නම් කිසිදිනෙක ඊට හරියටම හේතුවක් තිබුණේ නැත.
මේ සාම්ප්‍රදායික නැන්දම්මා ලේලි ප්රශ්නය ඇද ගත්තේ දැන් පොහොට්ටුවත් ශ්‍රීලනිපයත් එකී චරිතවලට පණ පොවමින් ඉන්නා නිසාය. පොහොට්ටුවේ 2/3 ගැන පොහොට්ටුවේ අය උදම් අනන විට ශ්රීලනිපය පවසන්නේ එකී තුනෙන් දෙක ඇත්තේ තමන් අතේ බවය. මේ නිසා මේ ආණ්ඩුව පටන්ගත් දින පටන් ශ්‍රීලනිපයත් පොහොට්ටුවත් අතර ඇත්තේ සීතල යුද්ධයකි.
පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කල්‍යාණි රන් දොරටුව නමින් හඳුන්වන නව කැලණි පාලම විවෘත කරමින් දරුණු ප්‍රහාරයක් එල්ල කළේය. ඒ පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ලෙස යහපාලනයේ හිටපු ජනපති, හිටපු අගමැති සහ කැබිනට් මණ්ඩලය වගකිවයුතු බවට ඒ අයගේම කොමිෂන් වාර්තා මගින් දන්වා ඇති බවත් ඒ නිසා තමන්ට අවශ්‍ය නම් තමන්ගේ ආණ්ඩුවේ 2/3 බලය යොදාගෙන ඔවුන්ට අවශ්‍ය දඬුවම් ලබාදිය හැකි බවත්, තමන්ට 2/3ක ආණ්ඩුවක් ඇති බවත් ඒ නිසා දේවල් ඉල්ලනවිට ප්‍රවේසම් වන ලෙසත් කියමිනි. ජනාධිපතිවරයා කියූ කතාවට අනුව යහපාලන රජයේ හිටපු ජනාධිපතිවරයා වන්නේ මෛත්‍රීපාල සිරිසේනය. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන නායකයාය. එසේම වර්තමාන රජයේ 2/3 බහුතරය පිහිටුවාගෙන ඇත්තේ මෛත්‍රී ප්රමුඛ එම පක්ෂයේ 14 දෙනෙකුද සමඟය. එහෙත් එය අමතක කළ ජනාධිපතිවරයා 2/3 යොදාගෙන තම 2/3 බලයේ තීරණාත්මක පක්ෂය වූ ශ්‍රීලනිපයේ නායකයාට අවශ්‍ය නම් දඬුවම් දිය හැකි බව කීවේය. එම ප්‍රකාශය නිසා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පමණක් නොව ඔවුන්ගේ පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරයකගේ හිතේ කනගාටුවක් මෙන්ම කලකිරීමක් ඇතිකළ සිදුවීමක් බව එම පක්ෂ අභ්‍යන්තරයෙන් දැනගන්නට හැකිවිය. මේ ප්‍රකාශය නිසා බොහෝ ශ්‍රීලනිප අනුගාමිකයන් පක්ෂයේ ඉහළට දන්වා ඇත්තේ වහාම ආණ්ඩුවෙන් ඉවත්වන ලෙස කියාය. එහෙත් ඊට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිචාරය වී ඇත්තේ තවදුරටත් ඉවසන ලෙසය.
එහෙත් එම සිදුවීම සිදුවී පැය 24ක් ගතවූයේ නැත. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුව තුළදී මෛත්‍රීපාල සිරිසේන මහතාට විශාල ප්‍රහාරයක් එල්ල කළේය. ඒකට හේතුව වූයේ කාබනික පොහොර ගැටලුව සම්බන්ධයෙන් පොළොන්නරුවේ ගොවි උද්ඝෝෂණය අවස්ථාවේ මෛත්‍රීපාල සිරිසේන මහතා ගොවීන් හමුවේ එම කාබනික ප්රතිපත්තියත්, මහින්දානන්දත් දැඩි ලෙස විවේචනය කිරීම නිසාය. ඒ මහින්දානන්ද නියරක හෝ ඇවිද ගොස් නැති බව කීම නිසාය. මෙය මහින්දානන්දගේ හිතේ තිබුණේය. ඒ නිසාම ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය ගත් මොහොතේ 2019 දී ජනාධිපතිවරයාගේ සහ වර්තමාන ජනාධිපතිවරයාගේ වැයශීර්ෂ සංසන්දනය කරමින් දැඩි ප්‍රහාරයක් එල්ල කළේය. එපමණක් නොව මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙවල් තුනක් එකතු කර නිල නිවාසය හදාගත් කතාවක්ද කීවේය. එපමණක් නොව ගැහුවොත් ගහන බවද කීය. සැබවින්ම මෙය ඉතාම බරපතළ විවේචනයක් විය.
ඊට පසුදිනම මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව තුළ මහින්දානන්ද ආසන්නයේ සිටිමින් එයට පිළිතුරු දුන්නේය. ඒ ජනාධිපතිවරයාගේ 2/3 කතාවටත් එක්කමය. 2/3ඇත්තේ තම කණ්ඩායමේ බවත් ඒ නිසා එවැනි ප්‍රකාශ කිරීමේදී කල්පනාවෙන් ප්‍රකාශ කරන ලෙසත් ඔහු කීවේය. එසේම මහින්දානන්ද අමාත්‍යවරයාට ගැහුවොත් ගහන න්‍යායයේ තමන් නැති බවත් එහෙත් තමන් ගැහුවොත් ඒ ගහන විදිහ හිතා ගන්නට බැරි බවත් කීවේය. එසේම කාබනික ප්රශ්නය අවුල් වෙන්නට හේතුව මහින්දානන්ද අමාත්‍යවරයා ජනාධිපතිවරයට, ආණ්ඩුවට, ජනතාවට බොරුකීම නිසා බවත් මෛත්‍රීපාල සිරිසේන කීවේය.
මෙම සංවාදය නිසා ශ්‍රී ලනිපයත් පොහොට්ටුවත් අතර අළුයට ගිනි පුපුරු ඇති බවට බොහෝ දෙනාට දැනුණේය. දෙපාර්ශ්වයම 2/3 බලය ගැන කියමින් උදම් අනමින් සිටියත් 2/3 බලය ඇත්තටම කා සතුව ඇතිද යන්න දෙපාර්ශවයම අවබෝධයකින් තොරව කටයුතු කරන බව බැලූ බැල්මට පෙනෙන දෙයක් විය.
දෙපාර්ශ්වයේ මෙම සංවාදය තවදුරටත් ඉදිරියට යමින් රොෂාන් රණසිංහ, සාගර කාරියවසම්, සනත් නිශාන්ත, තිස්ස කුට්ටිආරච්චි වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ශ්‍රීලනිපයට දැවැන්ත ප්රහාරයන් එල්ල කළහ. එය සැබවින්ම පල නොකියා පලා බෙදිල්ලටත් වඩා කෙළින්ම %පල^ කීමක් වැනි විය. ආණ්ඩු කරන්න 2/3ක් අවශ්‍ය නැති බවත් ඒ නිසා මෙලෙස විවේචනය නොකර ආණ්ඩුවෙන් එළියට යන ලෙසත් ඔවුහු සෘජුවම කීහ. එහෙත් ශ්රීලනිපය එහිදී ඉතාම අහිංසක ලීලාවෙන් තමන් එවැනි අදහස් පළකළේ අපේ ආණ්ඩුව හදාගන්න බවත්, ආණ්ඩුවත් සමඟ ගැටුමක් නැති බවත්, ඉහළ අය අතර එවැනි ප්‍රශ්නයක් නැති බවත් කියන්නට විය. සැබවින්ම ශ්රීලනිපය ලොකු ලොකු කතා කීවත් ආණ්ඩුවෙන් එළියට යන්න කිසිම අදහසක් නැත.
කෙසේ වෙතත් මේ ගැටුම ඉබේ ඇති වූවක් නොවේ. මේ ආණ්ඩුව ආරම්භයේ පටන්ම එකී අවුල ගොඩනැගී තිබුණේය. ඒ ශ්රීලනිපය බලාපොරොත්තු වූ අමාත්‍ය ධුර නිසිලෙස නොලැබීම නිසාය. ශ්රීලනිපය බලාපොරොත්තු වූයේ අමාත්‍ය ධුර හතරකි. එහෙත් හිමිවූයේ දෙකකි. කැබිනට් ඇමැතිකමක් ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර බලාපොරොත්තුවෙන්ම සිටියේය. එහෙත් එය ලැබුණේ නැත.
එසේම මහ මැතිවරණයේදී ශ්රීලනිපය බලාපොරොත්තු වූ නාමයෝජනා සංඛ්‍යාවක් ලැයිස්තුවෙන් ලැබුණේද නැත. මෙයද ශ්රීලනිපය පොහොට්ටුව් සමඟ අමනාප වීමට හේතුවක් විය. විශේෂයෙන් ආණ්ඩුව පිහිටවු පසුව තම සමාජිකයන්ට අඩුම තරමේ සංස්ථා මණ්ඩල වල සභාපති තනතුරක් හෝ ලැබුණේ නැත. මේ සියල්ල ශ්‍රීලනිපයේ සිත් රිදවන මොහොතක් විය. කෙසේ වෙතත් අද වනවිට දෙපාර්ශ්වයම නැන්දම්මා ලේලි ගැටුම බවට පත්ව ඇත.
දැනගන්නට ඇති ආකාරයට ශ්‍රිලනිපය දැන්ම ආණ්ඩුව ගැන තීරණයක් ගන්නේ නැත. ඔවුන් තවදුරටත් ආණ්ඩුවේ ඉඳිමින් පක්ෂය ගොඩනැගීම මූලික අරමුණ වී ඇත. දැනටමත් පක්ෂය බිම් මට්ටමින් ගොඩනගමින් යන්නේ අනාගත අරමුණු ඇතිවය. සැබවින්ම ශ්රීලනිපය එළියට නොයන්නේ යම් හෙයකින් ආණ්ඩුවෙන් ඉවත්ව ගියහොත් යම් පීඩනයක් දරන්න වෙතැයි ගැටලුවෙනි. ශ්රීලනිපය ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුවට එරෙහිව කරනු ලබන මොන ආකාරයෙන්, කුමන මුහුණුවරකින් අවසන් වේද යන්න තවම කිව නොහැක. එහෙත් ඒ අවදානම කෙතරම් විය හැකිද යන්න පොහොට්ටුව පවා දන්නා දෙයකි. ඒ නිසා මේ කරට කර රණ්ඩුව අවසන් වන්නේ නැත. තව තවත් දිග්ගැස්සුණොත් හැර.
ගයාන් ගාල්ලගේ