2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා

නත්තල් රැල්ලකට දොරගුළු අරින සාප්පු සවාරි

 2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 60

මාස කිහිපයක් රට වසා දමා තිබී යළි විවෘත කිරීමෙන් පසු යළි කොවිඩ් 19 ව්‍යාප්තියේ වැඩිවීමක් දක්නට ලැබේ. පෙර පරිදි පොකුරු වශයෙන් හමු නොවුණද ඇතැම් පළාත්වලින් රෝගීන් හමුවීමේ වැඩි ප්‍රවණතාවක් දැකිය හැකිය. පාසල් විවෘත කිරීමෙන් පසු ඇතැම් ප්‍රදේශවල දරුවන් හා ගුරුවරු රෝගයට ගොදුරු වූහ. 

මේ වන විට දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය හේතුවෙන් ලොව පුරා යළිත් කොවිඩ් ව්‍යාප්තවීමේ බියක් නිර්මාණය වී තිබේ. මෙම නව ප්‍රභේදය දකුණු අප්‍රිකාවෙන් මුල් වරට හඳුනා ගැනුණේ පසුගිය නොවැම්බර් 24 දාය. එය මේ වන විට ඔස්ට්‍රේලියාව, බෙල්ජියම, බොට්ස්වානා, බ්‍රිතාන්‍ය, ඩෙන්මාර්කය, ජර්මනිය, හොංකොං, ඊශ්‍රායෙලය, ඉතාලිය, නෙදර්ලන්තය, ප්‍රංශය, කැනඩාව සහ ස්පාඤ්ඤය යන රටවලට ව්‍යාප්ත වී තිබේ.

මෙම නව ප්‍රභේදය ශ්‍රී  ලංකාවටද ඇතුළුවීමේ හැකියාවක් ඇති බවත්, එය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම අනිවාර්ය බවටත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. මෙම වෛරසය කලින් හඳුනාගත් ඩෙල්ටා ප්‍රභේදයට වඩා බෙහෙවින් අනතුරුදායක බවද එන්නත්වලට ප්‍රතිචාර නොදක්වන බවද පැවසේ. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරන්නේ මෙම වෛරසය ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් ප්‍රායෝගිකව කළ හැක්කේ එය ලංකාවට පැමිණීම ප්‍රමාද කිරීම පමණක් බවයි. යම්හෙයකින් මෙම වෛරසය ලංකාවට ඇතුළු වුවහොත් එය පැතිරීමට ඇති ඉඩකඩ වැඩි බවත් එහෙයින් සෞඛ්‍ය පුරුදු දැඩි ලෙස රටපුරා ක්‍රියාත්මක කිරීම අනිවාර්ය බවත් ඔහු පෙන්වා දෙයි. 
2021 නත්තල සහ 2022 නව වසර උදාවන්නේ මෙවැනි අර්බුදකාරී වාතාවරණයක් යටතේය. පසුගිය සිංහල අවුරුදු සමයේ ජනතාව කොවිඩ් පවතින බවක් නො නොතකමින් නගරවල එක්රොක්වී අවුරුදු සැමරීමට අවශ්‍ය බඩුබාහිරාදිය මිලට ගන්නට නගරවල පොදි කන්නට වූහ.  නගරවල නිදහසේ සැරිසැරෑහ. විශේෂයෙන් ඇඳුම් පැළඳුම් මිලට ගැනීම සඳහා පමුණුව වැනි ප්‍රදේශවල පොදිකමින් රෙදි තෝරනු දැකිය හැකි විය. සෞඛ්‍ය මාර්ගෝපදේශ තඹයකට හෝ නොතැකූ ඔවුහු අවසානයේ අවුරුදු පොකුරක් නිර්මාණය කළ අතර රෝගීන් හා මරණ විශාල වශයෙන් වැඩි විය..  එම කොවිඩ් පොකුර පෙර පොකුරුවලට වඩා වේගයෙන් ව්‍යාප්ත වූ අතර ඊට හේතු වූයේ අවුරුදු සමයේ ජනතාවගේ වගකීම් රහිත හැසිරීමය. බලධාරීන් දැඩි ලෙස කොවිඩ් අවදානම පිළිබඳව දැනුම්වත් කිරීමක් කළද ජනතාව ඒවා ගණන් ගත්තේ නැත. සංචරණ සීමා පැනවීමට හා ඇතැම් ප්‍රදේශ වසා දැමීමට සිදුවූයේ රුල්ල පාලනය කිරීමටය. එමඟින් ජනතාවගේ ජීවනෝපාය මාර්ග අහිමි විය. මාසික වැටුප් ලබන්නන්ට නොව  එදිනෙදා ජීවනෝපාය සලසා ගන්නා අයට එය බෙහෙවින් බලපෑවේය. 

සිංහල අවුරුදු සමයේ සිදුවීම් දැන් ජනතාවට අමතකය. ළඟ එන නත්තල් උත්සවයට හා නව වසරට සූදානම් වෙමින් ඔවුන් සෞඛ්‍ය නීති නොසලකා හරිමින් නගරවල වෙළෙඳසල්වල රැස්වෙමින් සිටින අයුරු මේ දිනවල දැකිය හැකිය. මෙගින් යළි කොවිඩ් පොකුරු නිර්මාණය වී රට වසන තත්ත්වයක් ඇතිවිය හැකියැයි  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි.

&දැනට රෝගීන් වැඩිවෙමින් පවතින ආකාරය සහ මහජනතාවගේ හැසිරීම හා සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම ඉතා දුර්වල මට්ටමක පවතින බව පෙනී යන පසුබිමක ඉදිරි උත්සව සමයේ යම් සංචරණ සීමා පැනවිය යුතු වනවා. එසේ නොවුණහොත් ලබන ජනවාරි, පෙබරවාරි වෙද්දි ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයකට රට පත්විය හැකියි.* යනුවෙන් ඔහු සඳහන් කළේය.

මෙරට වැඩිම පිරිසකට ලබා දී ඇත්තේ සයිනොෆාම් එන්නතය. එම එන්නතේ ප්‍රතිශක්තිය මාස තුනකින් පමණ අවම වන බව ඒ සම්බන්ධයෙන් සිදුකළ අධ්‍යයනවලින් අනාවරණ වී තිබේ. මුලින් 60 වැඩි පිරිසටත් පසුව 20 වැඩි පිරිසටත් බූස්ටර් මාත්‍රාවක් ලබා දීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තේ ඒ අනුවය. එහෙත් සියලු එනනත් ලබා සිටියත් නිවැරුදි සෞඛය ක්‍රමවේද අනුගමනය නොකරන්නේ නම් යළිත් රෝගය වැළඳීමේ අවස්ථාව වැඩිය. එසේ වුවහොත් දැනට තිබෙන කොවිඩ් පොකුරුවලට අමතරව නත්තල්  පොකුරක් නිර්මාණය වීම වැළැක්විය නොහැකිය. එම තත්ත්වය වළක්වා ගැනීමට නම් ජනතාව වගකීම් සහගතව කටයුතු කළ යුතුය. බිම්මට්ටමින් යළි රෝගීන් වැඩි වන බව පෙනෙන්නට ඇති පසුබිමත් තුළ තමන්ගේ මෙන්ම වෙනත් අයගේ ආරක්ෂාව පිළිබඳව සිතන්නට ජනතාව කටයුතු කළ යුතුය..

මේ අවස්ථාවේ යළි රට වැසීමේ අදහසක් රජයට හෝ සෞඛ්‍ය බලධාරීන්ට නොමැති යැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එවැනි තත්ත්වය කරා රට තල්ලු නොකොට වගකීමෙන් කටයුතු කරමින් රටේ රෝගීන් වැඩිවීම අවම කර ගැනීමට ජනතාව සහය විය යුතු බවයි. තවමත් දිනකට 700 ඉක්මවන රෝගීන් ප්‍රමාණයක් මෙරටින් වාර්තා වන අතර මරණ සංඛ්‍යාවද දිනකට 20 ඉක්මවයි. මේ වන විටමෙරටින් වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 14,328කි.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණවර්ධන මහත්මිය පෙන්වා දෙන්නේ  ඉදිරි උත්සව සමයේ ජනතාව අපේ රටේ කොවිඩ් වසංගතයක් තිබෙන බව අමතක කොට උත්සව හා සාප්පු සවාරිවලට ඒකරාශි වීමෙන් ඉදිරියේදී විශාල ව්‍යසනයකට මුහුණපෑමට සිදුවනු ඇති බවයි. 60 වැඩි පිරිස් කඩිනමින් තෙවැනි බූස්ටර් මාත්‍රාව ලබා ගත යුතු බවත් ඉදිරි කාලය එතරම් සුබදායි නොවන බව පෙනෙන්ට තිබෙන බවත් ඇය සඳහන් කළාය.

මේ වන විට රටතුළ කොවිඩ් පාලනය සිදුකර ඇත්තේ එන්තත් මගින්, නිවැරදි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කිරීමෙන් හා රෝගය වැළඳුනු පසු පුද්ගලයන් තුළ ඇතිවන ප්‍රතිශක්තිකරණය හේතුවෙනි. තවමත් කොවිඩ් රැල්ල තැන තැන කැරකෙමින් සිටී. එහෙත් ඇතැම් පිරිස් ඒ සම්බන්ධයෙන් තැකීමක් නොකර සිටීම කනගාටුදායකය. පසුගිය ඔක්තෝබර් 31 වැනිදා සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු බොහෝ පිරිස් දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරයේ යෙදෙනු දැකිය හැකි විය. නුවරඑළිය, උඩවලව, හික්කඩුව, ඇල්ල, අනුරාධපුරය, චන්ද්‍රිකාවැව වැනි ප්‍රදේශවල විශාල පිරිසක් සංචාරවල නිරත වී සිටිනු දැකිය හැකි විය. බොහෝ පළාත්වල සංචාරක හෝටල් සියල්ලම පාහේ දේශීය සංචාරකයින්ගෙන් පිරීගොස් ඇති බවද අසන්නට ලැබිණි.. පළාත් සංචරණ සීමා පැවති සමයේ වුවද පළාත් මායිම්වලදී ගමනාගමන කටයුතු දැඩිව පරීක්ෂා කිරීමට පොලීසිය පියවර ගෙන තිබුණත් එලෙස පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරමින් ජනතාව විවිධ ප්‍රදේශවල සංචාරය කර තිබිණි.  එසේ පැමිණි බොහෝ දෙනෙකුගේ රථවාහන ලියාපදිංචි කර ඇත්තේ බස්නාහිර පළාතේ බව රථවාහන අංක තහඩුවලින් හඳුනාගත හැකි විය. නුවරඑළියට පැමිණි බොහෝ පිරිස් කුඩා දරුවන්ද සමඟ පැමිණ ඇති බව දැකිය හැකි විය. ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව පිටවානේ දිය නෑම සඳහා දහස් ගණනක්  එක්රොක්වී සිටි අයුරු මාධ්‍ය වාර්තා කළේය. සෞඛ්‍ය නීතිරීති කිසිවක් පිළිනොපදිමින් එක පොදියට ඔවුන් ජලක්‍රීඩා කරමින් සිටියේ තවත් කොවිඩ් රුල්ලකට අතවනමිනි. එහි සිටි පුද්ගලයන්ගේ වැඩි දෙනෙක් දුරස්ථභාවය තබා අවම වශයෙන් මුව ආවරණයක් හෝ පැළඳ නොසිටි අයුරු දැකගත හැකි විය.

යම් යම් සීමා ඉවත් කරනු ලැබූවේ ජනතාවට සහන සැලසීම සඳහා බැවින් වැරදි ආකල්ප සහිතව කටයුතු නොකරන ලෙසට කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. කොවිඩ් ආසාදිතයන් තවමත් හමුවන පසුබිමක ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් දැනට පවතින ප්‍රතිඵල ළඟා කරගෙන ඇත්තේ බොහෝ කැපකිරීම් සිදු කිරීම හේතුවෙන් බවත් ඔහු සඳහන් කළේය. එහෙයින් ජනතා ඒකරාශීවීම්වලින් හැකිතරම් ඈත්වී සිටින ලෙස ඔහු ඉල්ලා සිටී.

සෞඛ්‍ය අංශ කොතෙක් අවවාද කළද ඇතැම් පිරිස් තවමත් පවතින අවදානම පිළිබඳ තැකීමක් නොතරන බැවින් වසර අවසන විට යළි කොවිඩ් රැල්ලක් ඇතිවීමේ ප්‍රවණතාවක් පවතී. ඉදිරියේ එන උත්සව කාලයේ තම ආරක්ෂාව පමණක් නොව අනුන්ගේ ආරක්ෂාව පිළිබඳවද සිතා හැකි තරම් සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කරමින් කටයුතු නොකළහොත් යළිත් අභාගයසම්පන්න කාලයකට මුහුණ දීමට ජනතාවට සිදුවනු ඇත.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා