දරු සෙනෙහස කියන්නෙ සිවිය, සම්, මස්, ඇට, ඇට මිඳුළු විනිවිද ළය තුළට කිඳා බැස තිබෙන ප්‍රබල මානවීය හැඟීමක්. සිංහබාහු නාට්‍ය තුළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ඒ බව මෙසේ දක්වා තිබෙනවා. ‘‘පුතු සෙනේ මස් නහර හම සිඳ, ඇට සොයා ගොස් ඇට තුළට වැඳ, ඇට මිදුළු තුළ රඳා සිට, දුක් දෙයි නිබන්දා’’ මෙම අදහස එදිරිවීර සරච්චන්ද්‍රයන් උපුටාගෙන ඇත්තේ රාහුල කුමරු පැවිදි කළ අවස්ථාවේදී සුද්ධෝදන රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් කළ ඉල්ලීමෙන්. එම ඉල්ලීමට අදාළ පාඨය පහත පරිදි දක්වන්න පුළුවන්.
“පුත්ත පේමං භන්තේ ඡවිං ඡින්දති
ඡවින් ඡෙත්වා ඡම්මං ඡින්දති
ඡම්මං ඡෙත්වා මංසං ඡින්දති
මංසං ඡෙත්වා නහාරැං ඡින්දති
නහාරැං ඡෙත්වා අට්ඨිං ඡෙන්දති
අට්ඨිං ඡෙත්වා අට්ඨිමිඤ්ජං ආහච්ඡ තිට්ඨති’’
මාතෘත්වය හෝ පීතෘත්වය කියන්නෙ හුදෙක් ලෙයට හා කිරට ඇති නීතිමය අයිතිය විතරක් නෙවෙයි. දරුවෙක් කුස දරන මොහොතේ පටන් ඒ දරුවා ගැන අපරිමිත භක්ත්‍යාදරයක් තියෙන්න ඕනෑ. ඒ දරුවන්ගේ භෞතික අවශ්‍යතා විතරක් නෙවෙයි ආධ්‍යාත්මික අවශ්‍යතා සහ උවමනා තේරැම් ගන්න ඕනෑ. දරුවන් ඉල්ලන ආදරය අවධානය රැකවරණය ගැන හැඟීමක් තියෙන්න ඕනෑ. ඒත් අද ඒ බැඳීම් හුගාක් ලිහිල්වෙලා තිබෙන බවක් දකින්නට ලැබෙනවා. අතීතයේ පවුල තුළ දරුවාට විඳින්න දැනෙන්න දුන්න ආදරයක් තිබුණා. අතීතයේ දරුවන් නැලවුණේ නැලවිලි ගී වලින්. නැලවිලි ගී වලින් සංකල්ප මැවුණා. දරුවන්ගේ පරිකල්පන ශක්තිය කුඩා කල සිට දියුණු කරනවා. බිළිඳු අවධියේ සිට මෙම පරිකල්පන ශක්තිය දියුණු වන විට දරුවන්ගේ නිර්මාණශීලීත්වය වර්ධනය වීම කෙරෙහි එය බලපානවා. උදාහරණයක් වශයෙන් ලංකාවේ භාවිත නැලවිලි ගීත කිහිපයක් පහත සඳහන් පරිදි පෙන්වා දෙන්නට පිළිවන.
“තොටිල්ල සැම සුව පිරි පැද්දෙයි තාලෙට සරි අසමින් ගී සුමි හිරි නිදන්න පුත රන් කිරී”
“මගේ පුතා නැලවෙන්නේ නැලවි නැලවි නිදියන්නේ තොටිල්ල තාලෙට යන්නේ සැම දෙවියනි රුකදෙන්නේ”
“ඔන්න බබෝ ඇතින්නියා ගල් අරඹේ සිටින්නියා ගලින් ගලට පනින්නියා බබුට බයේ දුවන්නියා”
මෙවැනි නැලවිලි ගී අසන විට දරුවා තුළ මානසික වශයෙන් සංයමයක් ඇතිවෙනවා සේම ඉවසිලිවන්තකම ද හුරු වෙයි, අවධානය යොමු කිරීමට ඇති හැකියාව වර්ධනය වෙනවා, චිත්ත ඒකාග්‍රතාව පවත්වා ගැනීමේ හැකියාව වර්ධනය වෙනවා. මේ සියල්ලටම වඩා මවගේ කට හඬේ රිද්මය සමඟ ඇතිවන ආශ්වාදය සමග ඉන් දරුවා ලබන මානසික සුවය උපරිමය. දරුවෙකුට ලෝකයේ ඇති මිහිරිම ශබ්දය වන්නේ තම මවගේ කටහඬයි.
ආයුර්වේද චරක සංහිතා අනුව දරුවා දකුණු ඇලයෙන් වඩාගෙන වම් ළයට වැඩි වෙලාවක් තුරුළු කරගෙන සිටිනා ලෙස උපදෙස් දී ඇත. එසේම වම් පියයුරෙන් දරුවාට වැඩි වෙලාවක් කිරි දෙන ලෙස ද උපදෙස් දී ඇත. එවිට මවගේ හෘද ස්පන්දනය වැඩි වශයෙන් දරුවාට දැනෙන බවයි පවසන්නෙ. එයින් දරුවා හා මව අතර ඇතිවෙන දැඩි ආධ්‍යාත්මික බැඳීමක් ඇතිවෙන බවද පැවසෙනවා. දරුවා සහ මව අතර ඇතිවන ආධ්‍යාත්මික බැඳීම ජීවිත කාලය පුරාම පවතින්නක්. එම බැඳීම සියලු බැඳීම් අතර නොනැසිය හැකි බැඳීමක්. දරුවෙකු සෑම විටම ඇතිදැඩි විය යුත්තේ මව්පිය සෙනෙහස ඔස්සේය. එසේ නොවන විට දරුවන් සහ මව අතර ඇති බැඳීම දුරස් වෙන්නට පුළුවන.
මවක් සිය දරුවාගේ ඇස් දෙස දිහා බලා නැලවිලි ගී කියමින් නලවද්දී එම ඇස් යොමුවෙහි ප්‍රතිඵලයක් වශයෙන් දරුවා සමඟ ප්‍රබල මානසික බැඳීමක් ඇතිවෙයි. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් විසින් පෙන්වා දී ඇති මනෝලිංගික සංවර්ධන අවධි පිළිබඳ න්‍යායට අනුව දරුවාගේ පෞරුෂය සංවර්ධනය වීමට කුඩා කල සිට මව සමග දක්වන අන්තර් ක්‍රියාකාරීත්වය හේතු වෙනවා. බිළිඳු අවධියේ දරුවා මව සමඟ සම්බන්ධ වන එකම අවයවය වන්නේ මුඛයයි. මවක් දරුවාට කිරි දෙන විට මව සමඟ දැඩි ලෙස බැඳීමක් ඇතිවෙයි. එම බැඳීම කිසිවෙකුට නොකැඩිය හැකි, නොබිඳිය හැකි බැඳීමක්. මව්කිරි දෙන අතර නැළවිලි ගී ගයන්නේ නම් දරුවා ස්වභාවධර්මය සමඟ ක්‍රමානුකූලව මුසුවීම සිදුවෙයි.
එහෙත් වර්තමානය වන විට මේ තත්ත්වය වෙනස් වී ඇති ආකාරයක් දකින්නට පුළුවන්. එවැනි සංස්කෘතික ලක්ෂණයන් අප සමාජයෙන් ක්‍රමයෙන් ගිලිහී යන ආකාරයක් ද දකින්නට ලැබෙනවා. වර්තමානයේ තරුණ අම්මලා දරුවන් නලවන්නෙ බොහෝ වෙලාවට ස්මාර්ට් දුරකථනයෙන් සින්දු දාලා. ගායිකාවන් විසින් ඉතා මිහිරි ලෙස සංගීතය මුසුකොට ගායනා කරන නූතන නැළවිලි ගීත ඉතා බහුල වශයෙන් යූටියුබ් නාලිකාවන් තුළින් ක්ෂණිකව ලබාගන්න පුළුවන. දරැවන්ට බත් කැවීමේදීත් යූටියුබ් ගීත ඔවුන් සනසනවා. මෙම කතාව සියලුම මව්වරුන්ට අදාළ නොවූවත් වර්තමානයේ බොහෝ මව්වරැන්ට අදාළ වන්නක්.
දරුවා නැලවීම නූතන යන්ත්‍රයකට බාර දුන් පසු දරුවාද යාන්ත්‍රික විය හැක. කෘත්‍රිම ජීවිතයකට ඇබ්බැහි වෙන්න ද පුළුවන. දරුවා නැලවෙන එකම උපකරණය ස්මාර්ට් ජංගම දුරකථනය නම් එය ළමයාට අහිතකරය. එසේ ඇබ්බැහි වූ පසුව වාචිකව නැලවිලි ගීතවලට දරුවන් ප්‍රතිචාර නොදක්වන්නට පුළුවන්. පසුකාලීන සංවර්ධනයේ විකෘති සංකීර්ණ ඇතිවෙන්න පුළුවන්. එවැනි විකෘති සංකීර්ණතා පසුකාලීන පෞරුෂයට බලපානවා. මවුකිරි දීමේ පිළිවෙලෙහි අඩුපාඩුවක් ඇති වුවහොත් එමගින් මුඛයේ සංකීර්ණතා ඇතිවිය හැකි බව සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පවසා තියෙනවා.
වර්තමානයේ ඇතැම් අය ටෙලිනාට්‍යවලට ඇබ්බැහි වී ඇති ආකාරයක් දක්නට ලැබේ. ඒ අතර ඉන්දියානු මෙගා ටෙලිනාට්‍ය විශේෂයි. ඉන්දියානු මෙගා ටෙලිනාට්‍යවල බොහෝ දුරට පෙන්වන්නෙ පවුල් ආරවුල්, විරසකවීම්, පවුල් ගැටුම්. මේවා ළමයින්ට සුදුසු ආදර්ශ නොවේ. මව තම දරුවා උකුල මත තබාගෙන රූපවාහිනිය නරඹන්නේ පොඩි දරුවාට ඒ ගැන අවබෝධක් නැතැයි සිතමින්. එහෙත් එම ටෙලිනාට්‍යවල අන්තර්ගතයන් සිය මවගේ මනසට වඩා දරුවාගේ මනසට බලපානවා. දරැවාගේ මනස උපතින්ම පිරිසිදුයි. පිරිසිදු මනස අපිරිසිදු වන්නේ බාහිරින් පැමිණෙන කෙලෙස්වලින් බවයි දාර්ශනික අදහස. බෞද්ධ දර්ශනය තුළත් මේ බව දක්නට ලැබෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනා පාඨයක් අනුව මේ බව පෙන්වා දෙන්නට පුළුවන. මහණෙනි, මේ සිත ප්‍රභාෂ්වරය. එම ප්‍රභාෂ්වර සිත ආගන්තුකව පැමිණෙන කෙලෙස්වලින් කිලිටි බවට පත්වේ. “පබස්සරමිදං භික්ඛවේ චිත්තං. තඤ්තකෝ ආගන්තුකේහි උපක්කිලේසේහි උපක්ඛිලිට්ඨං’’ යනුවෙන් මේ බව දක්වා තිබේ.
ළමා මනෝවිද්‍යාඥයින් විසින් පෙන්වාදෙන ආකාරයට දරුවන්ගේ මනස කියවීමට දෙමාපියන් අවබෝධයක් ලබාගත යුතුය. දරුවන්ගේ මනසට වඩාත් ඵලදායී දෑ ලබාදිය හැකිවන්නේ එවිටයි. දරුවන් නලවන්නට ජංගම දුරකථන ලබා දීමේදී විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. ජංගම දුරකථන මගින් නිකුත් කරන කිරණ ඇස්වලට අහිතකරය. වැඩිහිටියන් වන අප වුවද මාර්ගගත අධ්‍යාපනයට අන්තර්ජාලය, පරිගණකය, ස්මාර්ට් දුරකථනය භාවිත කරන විට අක්ෂි රෝග හටගනී. දෘෂ්ටියට බාධා ඇතිවේ. හිසරුදා ඇතිවේ. නූතන තාක්ෂණය දරුවන් සම්බන්ධයෙන් යොදා ගැනීමේදී සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රම ශිල්ප සම්පූර්ණයෙන්ම බැහැර නොකොට සම්ප්‍රදායන් සමඟ ගොස් නව ලොව වැළඳ ගන්නේ නම් ඉතා වැදගත්ය. දරුවා ඩිජිටල් ආකෘති තුළ අතරමං නොකර ආදරය සෙනෙහස සහ මානව ගුණ සංකලනය කරන කලාවද මුහු කරන්නේ නම් ඉතා ප්‍රයෝජනවත්ය.