2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා

රටම කැළඹූ කින්නියාවේ මරහඬ

 2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 90

රැකියා ව්‍යාපාර සඳහා කඩිමුඩියේ පිටත්ව යන පිරිස අතර පාසල් ළමුන් කිහිප දෙනකුද ඇතුළුව 30 දෙනකු පමණ කුරුඤ්ඤංකේනි තොටුපළේ රැඳී සිටියේ උදෑසන සිටය. එතරම් පිරිසකට පාලම් පාරුව ප්‍රමාණවත් නොවුණත් කාලය නොයවා ගම්මුන් පාලම් පාරුවට ගොඩ වී තිබූණේ යාමට පහසු වෙනත් මඟක් නොවූ නිසාය. සීමාව ඉක්මවා මිනිසුන් පාරුවට ගොඩවුවද එහි ක්‍රියාකරුට ඊට එරෙහි වීමට අවස්ථාවක් වූයේද නැත. උදේ 6.30ට පමණ ගමන් ඇරඹූ පාලම් පාරුව කින්නියා තොටුපළට ළංවීමට තිබූණේ තවත් මීටර් 50ක තරම් දුරකි.

හිටි හැටියේ පාරුවේ කොටසක් කලපුවේ ගිලෙද්දී අනෙක් පස දිය මතුපිටින් උඩට එසැවුණේ පාසල් දරුවන් ගම්මුන් ඇතුළු සියල්ලෝම කළපුවට ඇද දමමිනි. පිහිනීමට හැකි එකා දෙන්නා පිහිනා ගොඩට ළං වෙද්දී ඇතැමුන් දියබුං ගසමින් ජීවිතයත් මරණයත් අතර සටනක සිටියෝය. අනතුරක සේයාවක් හෝ නොදත් පොත් බෑගය කරේ ලා ගත් දරුවෝ දියේ ගිලී නොපෙනී ගියෝය. කලපුව මැද සිදුවූ විපත දුටු අසල්වැසි ධීවරයන් පිරිස බේරාගන්නට ගියද ජල රකුසා ඔවුන්ට අවස්ථාවක් ලබාදුන්නේ නැත.

ත්‍රිකුණාමලය කින්නියා කුරුඤ්ඤංකේනි කලපුවේදී ඉකුත් 23 වැනිදා උදේ හතට පමණ සිදුවූ මේ විපත ප්‍රදේශයේ පවුල් දෙකක පස් දෙනකු ඇතුළු හය දෙනකුට මරු කැඳවූයේ කින්නියා කලපුවේ ඛේදවාචකයෙන් රටම කළඹමිනි. මේ විපත හේතුවෙන් කින්නියා ප්‍රදේශය එකම මළගෙයක් වෙද්දී මේ මහා විපතට එකම හේතුව දේශපාලකයන්ගේ බොරැව යැයි ප්‍රදේශවාසීහු චෝදනා කළෝය.

කින්නියා හා කුරුඤ්ඤංකේනි අතර කලපුව හරහා පැවති එකම පාලම අලුත්වැඩියාව සඳහා කඩා දැමීමත් සමග ජනතාවගේ ප්‍රවාහනය සිදුකර ඇත්තේ මෙම පාලම් පාරුව හරහාය. යහපාලන රජය යටතේ අදාළ ඉදිකිරීම ආරම්භ කර ඇතත් එය අතරමග නැවතී තිබියදී වත්මන් රජයද ඊට අතපොවා තිබේ. එහෙත් මේ වනතෙක් ඉදිකිරීම සාර්ථක වන බවක් දකින්නට නැත. පාලම් පාරුව හරහා ජනතාව නොමිලයේ ප්‍රවාහනය කරන බවට තොරතුරු වාර්තා වුවද නොමිලයේ සේවාව ලබාදෙන්නේ පාසල් ළමුන්ට පමණය. සෙසු පිරිස් මුදල් ගෙවා යා යුතුව තිබෙන අතර භාණ්ඩ ප්‍රවාහනය සඳහා වෙනම ගෙවීම් කළයුතු බව ප්‍රදේශවාසීන් පවසති. කළපුව හරහා පාලම් පාරු දෙකක් ක්‍රියාත්මක අතර දෙගොඩ අතර යාමට ඇති පහසුම මග මේ නිසා පාරුව හරහා ගමන්ගත් කුරුඤ්ඤංකේනි ප්‍රදේශයේ අහිංසක ගම්වාසියන් හය දෙනකු නිකරුණේ ජීවිතවලින් වන්දි ගෙවා අවසන්ය.

මෙම ඛේදවාචකය හේතුවෙන් ප්‍රදේශයේ උද්ඝෝෂණ, විරෝධතා, පහරදීම්, ගිනි තැබීම් වැනි සිදුවීම් රැසක් මැද ඉකුත් 25 වැනිදා කින්නියා පොලිස් බල ප්‍රදේශයේ පෞද්ගලික කඩ සාප්පු හා ව්‍යාපාර වසා දමා මියගිය පිරිස වෙනුවෙන් ශෝක දිනයක් ලෙස වෙන්කිරීමට පියවර ගෙන තිබූණි. මේ බව නිවේදනය කර තිබූණේ කින්නියා ජම්මියතුල් උලමා සභාව මගිනි. ඒ බව ප්‍රදේශයේ පල්ලිවල ශබ්ද විකාශන යන්ත්‍රවලින් දැනුම් දී තිබිණ. ප්‍රදේශය පුරා සුදු කොඩි එසවීමට පියවර ගෙන තිබූ අතර පාසල් සඳහා දරැවෝ නොගියහ.

රාජ්‍ය ආයතන හා බැංකු විවෘතව පැවතියද මහජනතාව ගැවසීම ඉතා සීමිතව තිබූණි. මේ ආකාරයට කින්නියා ප්‍රදේශයේ අභ්‍යන්තර ගමනාගමනය හා සේවා අඩාලව පැවති නමුත් ඒ හරහා ප්‍රධාන මාර්ගයේ මගී ප්‍රවාහනයට හෝ දුර ගමන් සේවා සඳහා බාධාවක් නොවීය. පැවති තත්ත්වය අනුව පොලීසිය, විශේෂ කාර්ය බළකාය හා යුද හමුදාව ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා යොදවා සිටිනු දකින්නට ලැබිණ.

ජීවිත හයක් බිලි ගනිමින් මුළුරටම කම්පාවට පත්කළ කින්නියා කුරුඤ්ඤංකේනි පාලම් පාරුව පෙරළී යාමේ සිද්ධිය පිළිබඳ අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ වී තිබේ.

දේශපාලකයන් අවස්ථා කිහිපයකදී මුල්ගල තැබුණු මෙම පාලමේ ඉදිකිරීමේ ආරම්භ වූයේ 2021 අප්‍රේල් 10දාය. කුරැඤ්ඤංකේනි කලපුව හරහා මීටර් 400ක් දිගින් යුත් පැරණි පාලම අබලන් වීම නිසා නව පාලම ඉදිකිරිමට මුල්ගල තබා වැඩ ආරම්භ කළේ ග්‍රාමීය මාර්ග අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් වන කපිල නුවන් අතුකෝරල හා එම්.එස්. තවුපික් යන මහත්වරැන්ය. මාර්ග සංවර්ධන අධිකාරිය මේ සඳහා වැයකරන මුදල රුපියල් මිලියන 757කි. අදියර තුනක් යටතේ මීටර් 400ක් දිගින් මෙම පාලම ඉදිකිරීම් ආරම්භ කර ඉබි ගමනේ සිදුවූ බව ප්‍රදේශවාසීහු පැවසූහ. මෙම පාලම ඉදිකරන තෙක් පෞද්ගලික අංශයෙන් පාලම් පාරු දෙකක් ක්‍රියාත්මක කර තිබූ අතර ඒ සඳහා අවසර දී ඇත්තේ කින්නියා නගර සභාවයි. කින්නියා ප්‍රාදේශිය සභාව හා නගර සභාව යා වන මෙම ස්ථානයේ මීට පෙර ප්‍රාදේශීය සභාව යොදවා තිබූ පාලම් පාරැව අබලන් වීම නිසා එය ඉදිවන පාලම ආසන්නයේම අතහැර දමා ඇති අයුරු දැකගත හැකිය.

බලධාරීන් විකල්ප මාර්ගයක් සකස්කර නොදීම නිසා අනතුරට ලක් වූ පාලම් පාරුව නිසි ප්‍රමිතයකින් තොරව ඔරු තුනක් එකට කර ලෑලි ගසා සකස් කර තිබූ එකක් බව එහි ගිය අපට දැකගත හැකිවිය. පිටත සවිකරණ බෝට්ටු  එන්ජින් දෙකක් සවිකර මෙය ධාවනයට යොදවා තිබූ අතර එහි කිසිදු ප්‍රමිතියක් නොමැති අයුරු දැකගත හැකිය. පෙරදින රාත්‍රී පැවැති අයහපත් කාලගුණයත් සමග 22 දින උදෑසන කලපුවේ ජල මට්ටම  ඉහළ යද්දී මෙම අනතුර සිදුවී ඇත්තේ පාලම් පාරුවේ සමතුලිත බව ගිලිහි යෑම නිසා බව ප්‍රදේශවාසීහු පවසති.

කුරැඤ්ඤංකේනි ජනතාව හා වැසියන් සිය දෛනික රාජකාරි සඳහාත්, සිසුන් පාසල් යෑම සඳහාත් වෙනදා මෙන් මෙම පාලම් පාරුවෙන් ගමන් කළ අතර 20ක් පමණ ගෙන යා හැකි මෙම පාරුවෙන් එදින 27 දෙනෙකු ගමන් කර ඇති බව කියයි. ගොඩබිම මාර්ගයක් කුරුඤ්ඤංකේනි ජනතාවට ඇතත් කින්නියාවට පැමිණිමට කිලෝමීටර්  තුනහමාරක් ගමන් කළ යුතු බව කියති.

කින්නියා කුරුඤ්ඤංකේනි අර්පා මහ විද්‍යාලයේ ගුරුවරයෙකු වන ඒ.ආර්.එම්. රිපාස් මහතා පවසන්නේ පැරුණි පාලම 1970 දශකයේ නැගෙනහිර හිටපු මහා ඇමති නජිම් එම්. මජිඩ් මහතාගේ පියා වන එවකට ගුවන් විදුලි හා ප්‍රවෘත්ති රාජ්‍ය ඇමති අබ්දුල් මජිඩ් මහතාගේ මැදිහත් වීම මත ඉදිකර තිබූ බවයි. “මේ අබලන් වෙලා තිබුණා. ඒ නිසා කුරුඤ්ඤංකේනි ජනතාව දිගින් දිගටම මේ පාලම හදලා දෙන්න කියලා කියලා තිබුණා. ඒ අනුව තමයි පසුගිය අප්‍රේල් මාසයේ පරණ පාලම කඩලා දාලා නව පාලම ඉදිකරන්න පටන් ගත්තේ. නමුත් මාසයක් තිස්සේ වැඩ නැවතිලා තිබුණා” යැයි කීය.

මෙම අනතුරෙන් මියගිය සියලුදෙනාම කුරුඤ්ඤංකේනි පදිංචිකරුවෝ වූහ. මෙලෙස මියගියේ පාතීමා සකීලා (06), පරීඩ් පාසීම් (08), පාතිමා සීරික් (06), අබ්දුල් කාදර් (70), යන අය සමග සේනු සබ්රියා (30) යන මව හා ඇගේ දියණිය වන සේහු සහීරා (03)  යන අයයි. සිද්ධිය සැලවීමත් සමග කලහකාරි ලෙස හැසුරුණු පිරිස් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කඩා පැනීමට උත්සාහ කළ අතර පොලීසිය හා යුධ හමුදාව යොදවා කාර්යාලයේ ආරක්ෂාව තර කළේය. සිද්ධිය සොයා බැලීමට පැමිණි ත්‍රිකුණාමලය දිසාපති සමන් දර්ශන පාඩිකෝරාළ මහතා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ පිටතට ඒමට නොහැකිව පැය කිහිපයක් සිර වී සිටියේය. කලහකාරී ලෙස හැසිරුණු පිරිස් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගල් ගසා හානි කළ අතර තැන තැන ටයර් පුළුස්සනු ලැබීය. මෙම කලහකාරී පිරිස් කින්නියා රෝහල පිටුපස ඇති සමගි ජනබලවේගයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.එස්. තවුපික් මහතාගේ නිවසටද කඩා වැදුණාහ. ප්‍රධාන දොරටුව කඩා දැමූ මෙම පිරිස් නිවස ඉදිරිපිට තිබූ දේපළවලට හානිකර දොර ජනෙල් වල විදුරු කුඩුකර දැමූහ. කලහකාරී පිරිස් පවසන්නේ  ප්‍රදේශයේ  සංවර්ධන කටයුතු සොයා බැලිමට නොමැති මන්ත්‍රිවරුන්ගෙන් වැඩක් නැති බවයි. නිවසට පහර දෙන අවස්ථාවේ මන්ත්‍රිවරයා සිටියේ පාර්ලිමේන්තුවේය. නිවැසියන්ට පහරදීමෙන් අනතුරක් සිදු නොවූවත් පහරදෙන පිරිස් මන්ත්‍රිවරයාගේ නිවසේ  සවිකර තිබූ සී.සී.ටී.වි කැමරාවල සටහන් වී තිබුණි.

මේ අතර පාලම් පාරුවේ අයිතිකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර අනතුර සිදුවූ අවස්ථාවේ එය පැදවු දෙදෙනාගෙන් එක් අයකු තුවාල ලබා කින්නියා රෝහලින් ප්‍රතිකාර ලබාගෙන තිබුණි. පාලම්පාරුවේ අයිතිකරු හා පදවන ලද දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා කින්නියා පොලිසියෙන් සොයද්දී අයිතිකරු හා එක් පාලම්පාරු ක්‍රියාකරුවකු ත්‍රිකුණාමල මුලස්ථාන පොලීසියට භාර වී තිබේ. අනෙක් පදවන්නා කින්නියා පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැබිය. මරණ හයක් සිදුකරමින් 20කට තුවාල සිදුකළ තිදෙනා ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන දෙසැම්බර් අටවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය. අනතුරෙන් පසුව කුරැඤ්ඤංකේනි ජනතාව කළ ඉල්ලීමකට අනුව කින්නියා දක්වා ගමනාගමන කටයුතුවලට බස් රථයක් යොදවා තිබේ.

 සමන්ත ප්‍රදීප් විල්තෙර සහ ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00