2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා

කර්මාන්තයක් ලෙස පිළිගත් සිනමාව

 2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 1388

2021.11.15 දින පැවැත්වුණු අමාත්‍යමණ්ඩල රැස්වීමේදී සිනමාව කර්මාන්තයක් ලෙස පිළිගැනීමට සහ එය ලියාපදිංචි කිරීමට අනුමැතිය හිමි වී තිබේ. ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තය තුළ කැපී පෙනෙන චිත්‍රපට රාශියක් නිෂ්පාදනය වී ඇති අතර ජාත්‍යන්තර කීර්තියට පත් දක්ෂ සිනමාකරුවන් බොහෝ දෙනෙක් සිය අගනා නිර්මාණ ලෝක සිනමාවට දායක කර තිබේ. එහෙත්, දේශීය සිනමා කර්මාන්තය, කර්මාන්තයක් ලෙස නීත්‍යානුකූල ලෙස පිළිගැනීමට ලක්ව නොමැති වීමෙන් එය දේශීය වෙ‍ළඳපොළට පමණක්  සීමා වී තිබේ. එමෙන්ම, කොවිඩ් - 19 ගෝලීය වසංගත තත්ත්වය හමුවේ දේශීය සිනමා කර්මාන්තය මහත් අර්බුද රුසකට මුහුණ පා ඇත.

චිත්‍රපට කර්මාන්තය දියුණු කිරීම සහ ප්‍රවර්ධනය කිරීම තුළින් ජීවනෝපාය මාර්ගයන් රාශියක් උත්පාදනය වීම, සමාජ හා සංස්කෘතික මෙන්ම ආර්ථික නවීකරණයක් ඇතිවීම, සංචාරක ව්‍යාපාරය හා අධ්‍යාපනය යන අංශ සඳහා දායකවීම ආදී ප්‍රතිලාභ රාශියක් අත් කරගත හැකි බව හා එමගින් ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවත් හඳුනාගෙන තිබේ. එමෙන්ම, ලෝකයේ බොහෝ දියුණු සිනමා කර්මාන්තයක් පවතින රටවල එම කර්මාන්තයේ වර්ධනය සිදු වී ඇත්තේ එම රටවල් සිනමාව කර්මාන්තයක් ලෙස පිළිගැනීමෙන් පසුව වන බවද රජයට නිරීක්ෂණය වී තිබිණි..

ඒ අනුව, මෙරට සිනමා කර්මාන්තයේ ප්‍රවර්ධනය හා ජාත්‍යන්තර පිළිගැනීම ලබා ගැනීමට හැකිවන පරිදි සිනමාව කර්මාන්තයක් ලෙස ලියාපදිංචි කිරීම පිණිස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ කර්මාන්ත අමාත්‍යවරයා ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

1947 ජනවාරි 21දා කොළඹ කිංග්ස්ලි සිනමාහලේ කඩවුණු පොරොන්දුව චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමත් සමඟ සිංහල සිනමා කර්මාන්තය ආරම්භ වූයේය. එතැන් සිට මේ දක්වා වසර 74ක් ගතවී ඇති අතර වර්තමානයේ සිනමාව මුහුණ පා ඇත්තේ අභාග්‍ය සම්පන්න අවධියකටය. 

සිනමාවේ අභාග්‍ය සම්පන්න යුගය ආරම්භ වූයේ 1983 ජූලි කලබලවලින් පසුවය. එම කාලය තුළ බොහෝ සිනමා ශාලා ගිනි තබා විනාශ කෙරුණු අතර බොහෝ නිෂ්පාදකවරු සිනමාවෙන් ඉවත් වූහ. ඉන්පසු රූපවාහිනියේ ආගමනයත් සමඟ විශාල ප්‍රේක්ෂක පිරිසක් නව මාධ්‍ය වැළඳ ගැනීම නිසා සිනමාහල්වලට පැමිණෙන පිරිස අවම විය. කර්මාන්තය කෙමෙන් කෙමෙන් පසුගමනයකට ලක් වූ අතර වර්තමානයේ පවතින කොවිඩ් තත්ත්වය එය තවදුරටත් අසරණ කර තිබේ.

1970 දශකයේදී 365ක් වූ සිනමාහල් සංඛ්‍යාව 2010 වනවිට 147ක් දක්වා පහත වැටුණු අතර මේ වනවිට චිත්‍රපට ප්‍රදර්ශනය කෙරෙනුයේ සිනමාහල් 50කට අඩු සංඛ්‍යාවකය. දස වසරක සංඛ්‍යාලේඛනවලට අනුව 2009 වසරේ සිංහල චිත්‍රපට නැරඹූ ප්‍රේක්ෂක සංඛ්‍යාව 48,88,760 වූ අතර 2019 වනවිට එය 20,37,062 දක්වා අවම විය. ඒ අනුව සිංහල චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකයන් අවම වීමේ ප්‍රතිශතය 58.3%ක් විය. මින් වඩාත් අසීරුතාවට පත්වූයේ සිනමා කර්මාන්තයේ තවමත් රැඳී සිටිමින් කර්මාන්තය රැක ගැනීමට වෙරදැරූ අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන් සහ චිත්‍රපට ප්‍රදර්ශකයන්ය. පසුගිය කාලය පුරාම ඔවුන් රජයෙන් ඉල්ලා සිටියේ සිනමාව කර්මාන්තයක් ලෙස හඳුන්වා දී ඒ සඳහා ඇති වරප්‍රසාද සහ බදු සහන සිනමා කර්මාන්තය ගොඩගැනීම සඳහා ලබාදෙන ලෙසටය. එම ඉල්ලීමට සවන් දෙමින් සිනමාව කර්මාන්තයක් ලෙස පිළිගැනීමට සහ එය ලියාපදිංචි කිරීමට මේ වනවිට අනුමැතිය හිමි වී තිබේ.

රජය විසින් ගන්නා ලද නව ක්‍රියාමාර්ගය තුළින් අපේ සිනමා කර්මාන්තයට යළි හිස එසවිය හැකිවේද? අප මේ සම්බන්ධයෙන් සිනමා කර්මාන්තයේ නියැලෙන නිෂ්පාදක, අධ්‍යක්ෂවරැන් කිහිපදෙනකුගෙන් විමසා බැලුවෙමු.

අදහස හොඳයි හැබැයි වැඩපිළිවෙළකුත් ඕනෑ
- පරාක්‍රම නිරිඇල්ල

ඒ සම්බන්ධයෙන් අප හා ප්‍රථමයෙන් අදහස් දැක්වූයේ සිරිමැදුර, අයෝමා වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ප්‍රවීණ සිනමා, වේදිකා හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු වන පරාක්‍රම නිරිඇල්ලයි.

“ප්‍රමාද වී හෝ මෙය තේරුම් ගැනීම වැදගත්. එහෙත් කර්මාන්තයක් ලෙස පිළිගැනීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එයට නිසි වැඩපිළිවෙළක් තිබිය යුතුයි. කර්මාන්තයක් ලෙස පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය දේ සම්පාදනය විය යුතුයි. මින් ඉහත ඔය වගේ අනුමැතිය ලබාදුන් බොහෝ දේ තිබෙනවා. ඒවායින් වැඩිහරියක් අකර්මණ්‍ය වුණා. 

1940 ගණන් වනවිට හොලිවුඩ් හා ඉන්දියානු සිනමාව ඇතුළු ලෝක සිනමාව කර්මාන්තයක් ලෙස පිළිගැනීමට ලක්වී තිබුණා. වෙළෙඳපොළ අවශ්‍යතා අනුව සෑම කලාවක්ම කර්මාන්තයක් බවට පත්වෙනවා. එය නිර්මාණ කර්මාන්තයක්. වර්තමානයේ සෑම කලාවක්ම යම් මට්ටමක පසුබෑමකට ලක්වෙලා.

කර්මාන්තයක් ලෙස පිළිගැනීමත් තිබෙනවා නම් ආපදාවක් ආ විට කලාකරුවෝ එක්ව කටයුතු කරයි. පහසුකම් සැපයෙන මාර්ගයක් හැදෙනකොට තමන් අසරණ වෙලා කියලා කියන්න කලාකරැවන්ට සිදුවෙන්නේ නැහැ. කලාකරුවන්, කාර්මික ශිල්පීන්, අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු, නළු නිළියන් වැනි කර්මාන්තයේ සියලුම කොටස් සංවිධානගත විය යුතුයි. දේශපාලන වශයෙන් පිල් නොබෙදී කලාකරුවන් ලෙස සියලුදෙනා ඒකරාශි විය යුතුයි. එවිට තමන්ගේ අවශ්‍යතා දිනාගත හැකි වාතාවරණයක් නිර්මාණය වනවා. හොලිවුඩයේ, බොලිවුඩයේ කලාකරුවන් විශාල ලෙස සංවිධානය වී තිබෙනවා. ඒවා ඉතා ප්‍රබලයි. එම රටවල නිර්මාණකරුවන්ට රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවා. අනුග්‍රහය කියන්නේ මුදල් දෙන එක නෙමෙයි. ඒ රටවල සිදුවන්නේ ඔවුන්ට නිර්මාණ කිරීමට අවශ්‍ය වාතාවරණය සලසාදීමයි.

කර්මාන්තයක් ලෙස පිළිගැනීමෙන් නව නිෂ්පාදන ආයතන බිහිවෙනවා. කාර්මික උපකරණ සපයන ආයතන බිහිවෙනවා. රජයේ ආයතනවලටත් ආදායම් මාර්ග උදාවෙනවා. අපේ රටේ බොහෝ සිනමා ශාලා පසුගිය කාලයේ වැසී ගියා. තිබෙන ඒවත් යාවත්කාලීන වුණේ නැහැ. කර්මාන්තය දියුණු කරලා ඒ තුළ පැවතිය හැකි අයුරින් අප එය නිර්මාණය කරගත යුතුයි. ඒ නිසා සිනමා කර්මාන්තයට යහපත් කාලයක් උදාකර ගැනීම සඳහා සියලුම කලාකරුවන් ප්‍රෙෂර් ග_ප් එකක් විදිහට කටයුතු කළ යුතුයි. කර්මාන්තය අඩාල වී තිබුණත් තවමත් අපේ රටේ නිර්මාණකරුවෝ චිත්‍රපට නිර්මාණය කරනවා. මමත් චිත්‍රපට දෙකක් නිර්මාණය කිරීමට සැලසුම් කර තිබෙනවා. ඉන්දියාවේ දිනකට චිත්‍රපට 3ක් පමණ නිදහස් කරනවා. එරට  විදේශ ආදායමෙන් 30%ක් පමණ ලැබෙන්නේ සිනමා කර්මාන්තයෙන්. අපේ නිර්මාණවලට ජාත්‍යන්තර වෙළෙඳපොළක් නිර්මාණය කරගත යුතුයි.  කර්මාන්තයක් ලෙස සිනමාව යළි හිස ඔසවන විට වෙළෙඳපොළක් නිර්මාණය වේවි. සිනමා ශාලා අලුතින් ආරම්භ වෙයි. මොන ප්‍රශ්න තිබුණත් මිනිස්සු සමාජයේ ගැවසෙන්න, සිනමා ශාලාවකට ගිහින් නිදහසේ චිත්‍රපටයක් බලන්න කැමතියි. ඒ සඳහා කලාත්මක හා වාණිජ වශයෙන් හොඳ නිර්මාණ බිහිවිය යුතුයි. එයට අවශ්‍ය පසුබිම සකස් කිරීමට චිත්‍රපට සංස්ථාවත් මූලික විය යුතුයි. එවිට පෞද්ගලික අංශයේ දායකත්වයත් ලැබෙනවා. අද අපට ජාත්‍යන්තර සම්මානයට පාත්‍රවන සිනමාකරැවන් රුසක් සිටිනවා. ඒ නිසා ජාත්‍යන්තර සිනමා වෙළෙඳපොළ ජයගැනීමටත් කටයුතු කළ යුතුයි.”

කාලයකට පෙර ගන්න තිබූ වැදගත් තීන්දුවක්
- සුනිල් ටී. ප්‍රනාන්දු

චිත්‍රපට 73ක් නිෂ්පාදනය කළ සුනිල් ටී. ප්‍රනාන්දු මෙරට සිටින ප්‍රමුඛ පෙළේ නිෂ්පාදකවරයකු හා සිනමා ශාලා හිමියෙකි. සිනමාව කර්මාන්තයක් බවට පත්කිරීම සම්බන්ධයෙන් ඔහු සඳහන් කළේ මෙවැනි අදහසකි.

රජය ගත්ත එම ක්‍රියාමාර්ගය ඉතා වැදගත්. මෙවැනි තීරණයක් ගැනීමට තිබුණේ මීට බොහෝ කලකට ඉහතයි. සිනමාව යනු දැවැන්ත කර්මාන්තයක් අපේ සිනමාව මේ වනවිට කිසියම් අර්බුදයකට මුහුණ පා තිබෙනවා. එහෙත් සිංහල සිනමාව කවදාවත් නැතිවෙන්නේ නැහැ. වර්තමානයේ සිනමා ශාලා තියෙන්නේ 46ක් වැනි ප්‍රමාණයක් දැනට පවතින අර්බුදකාරී තත්ත්වය අවසන් වූ විට යළි සිනමා ශාලා මෙන්ම මිනිසුන් යළි සිනමාවට කැඳවන හොඳ නිර්මාණ බිහිවෙයි. ලෝකයම මුහුණදී සිටින කොවිඩ් වසංගතය සිනමා කර්මාන්තයට විශාල පහරක් එල්ල කළා. සිනමා ශාලාවලට එන්න මිනිස්සු තවමත් බයයි. මේ තත්ත්වය නිසා හොඳ චිත්‍රපට හැදුණත් ඒවා දුවන්නේ නැහැ. ඒ නිසා මේ වෙලාවේ චිත්‍රපට සංස්ථාව හරහා ආණ්ඩුව මැදිහත් වෙලා චිත්‍රපට සඳහා විශේෂ ප්‍රචාරක ක්‍රියාමාර්ගයක් අනුගමනය කළොත් යම් මට්ටමකට ජනතාව සිනමා ශාලාවලට කැඳවිය හැකිවෙයි. එසේ නොමැති වුවහොත් කොවිඩ් වසංගතය සම්පූර්ණයෙන්ම අවසන්වන තෙක් රසිකයෝ සිනමා ශාලා වෙත නොඑන්න පුළුවන්. චිත්‍රපට කර්මාන්තය කෙතරම් අර්බුදයකට මුහුණ දුන්නත් මම චිත්‍රපට නිෂ්පාදනය කරනවා. මේ දිනවල නිෂ්පාදනය කරන්නේ මගේ 73 වැනි චිත්‍රපටය.මට මගේ නිෂ්පාදන වියදම් පියවාගත හැකියි. මම මගේ “රිකීෆ්ලෙක්ස්” ඇප් එක හරහා ලෝකය පුරාම මගේ චිත්‍රපට ප්‍රදර්ශනය කරනවා. ඒ හැරුණාම රූපවාහිනී ප්‍රදර්ශන, ඩීවීඩී සඳහා අනුමැතිය ලබා දීමෙන් මට ආදායමක් ලැබෙනවා. ඒත් හැම නිෂ්පාදකවරයකුට එවැනි අවස්ථා නැහැ. අද සිනමාවට ආයෝජනය නොකළට ආදායම් උපයන්න ඕනෑ තරම් මාර්ග තිබෙනවා. ඒ නිසා බොහෝ නිෂ්පාදකවරු සිනමාවෙන් ඈත් වෙනවා.

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම සඳහා විශාල මුදලක් වැයවෙනවා. මීට අවුරුදු 10කට පමණ ඉහත තිබුණු සහන දැන් නැහැ. ලොකේෂන්වලට ගෙවන්න ඕන. මල්වත්තක රුගත කිරීමකට වුණත් මුදල් අයකරනවා රජයේ සෑම ආයතනයකින්ම විශාල ලෙස මුදල් අයකරනවා. චිත්‍රපට සඳහා ප්‍රචාරක කටයුතු කිරීමට ස්ථාන නැහැ. පෝස්ටර් ඇලෙව්වොත් එම පුද්ගලයා අත්අඩංගුවට ගන්නවා. එවැනි නීතිරීති ඉවත් කර නිෂ්පාදකයන්ට පහසුකම් සලසා දීමට රජය පියවර ගත යුතුයි. නැතිනම් අලුතින් නිෂ්පාදකවරැ සිනමා කර්මාන්තයට එකතු වෙන එක සීමාවෙයි.

සිනමාවෙන් රසිකයන් ඈත් වෙන්න රූපවාහිනී නාලිකාවල චිත්‍රපට ප්‍රදර්ශනයත් බලපෑවා. ඇතැම් නිවෙස්වල මිනි සිනමා තියෙනවා. සිනමා ශාලාවට ගිහින් චිත්‍රපට බලනවාට වඩා මිනිස්සුන්ට නිවසේ සිටම චිත්‍රපට නැරඹීමේ අවස්ථාව උදාවෙලා තියෙනවා. මේ දිනවල නවතම ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයක් කොළඹ ප්‍රදර්ශනය වෙනවා. එම චිත්‍රපටය එන්න කලින් එහි ඩීවීඩී එක ආවා. එතකොට මිනිස්සු සිනමා ශාලාවට යන්නේ නැතිව නිවසේම චිත්‍රපට බලනවා. එවැනි දේ නිසයි සිනමාවේ බිඳ වැටීමක් ඇතිවුණේ. මට සිනමා ශාලා 17ක් තිබුණා. දැන් තියෙන්නේ 2යි. අනිත් ඒවා විකුණා දැමීමට සිදුවුණා. තිබෙන ශාලා නවීකරණය කොට මිනිසුන්ට තාක්ෂණික වශයෙන් උසස් මට්ටමින් චිත්‍රපට බලන්න අවස්ථාව උදාකර තිබෙනවා. කොහොම වුණත් දැනට තිබෙන අර්බුදකාරී තත්ත්වය ක්‍රමයෙන් වෙනස් වේවි. රටේ සෑම ප්‍රදේශයකම පාහේ සිනමා ශාලා ඉදිවේවි. අපේ රටට මිනි සිනමා සංකල්පය බෙහෙවින් වැදගත්. එවැනි සිනමා ශාලාවල වරකට සුළු පිරිසකට චිත්‍රපට නැරඹිය හැකි වන අතර පිරිවැයද අඩුයි.”

ඔක්කොම ගැටලු මේකෙන් විසඳෙන්නෙ නෑ
- සෝමරත්න දිසානායක

සූරිය අරණ, සරෝජා, සිරි පැරකුම්, සුනාමි වැනි ආදායම් වාර්තා තැබූ හා ජාත්‍යන්තර සම්මාන රැසක් දිනූ චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ප්‍රවීණ සිනමාකරුවකුවන සෝමරත්න දිසානායක මහතා රජයේ තීරණය සම්බන්ධයෙන් පැවසුවේ සිනමාකරුවන් ලෙස තමන් මෙම ඉල්ලීම කළේ වසර ගණනක සිට බවයි.

“අපේ ඉල්ලීම අවසන් මොහොතේ හරි පිළිගැනීම සම්බන්ධයෙන් සතුටු විය හැකියි. එහෙත් කර්මාන්තයක් ලෙස පිළිගැනීමෙන් සිනමාවේ ඇති ගැටලු විසඳුණා කියා නොසිතිය යුතුයි. මෙය සිනමාවේ පවතින ගැටලු විසඳාගැනීම සඳහා පදනමක් සකස්කර ගැනීම සඳහා පමණයි. මෙයින් සිනමා ශාලාවලට සෘජු වාසියක් ලැබෙනවා. සිනමා ශාලාවල විදුලිබිල අයකරන්නේ කර්මාන්ත නොවන බිල් ක්‍රමය යටතේ. කර්මාන්තයක් ලෙස පිළිගත් විට  විදුලිබිල සඳහා 50% පමණ සහනයක් ලැබෙනවා. එය සිනමා ශාලා හිමිකරුවන්ට සහනයක්. කර්මාන්තයක් ලෙස පිළිගැනීමට සමගාමිව කළ යුතු වැඩකටයුතු රැසක් තිබෙනවා. 

සිනමා කර්මාන්තයේ මුදල් ආයෝජනය කරන ප්‍රධාන කොටස් දෙකක් සිටිනවා. ඒ නිෂ්පාදකවරු සහ සිනමා ශාලා හිමිකරුවන්. ඔවුන් මේ සඳහා ආයෝජනය කරන්නේ තමන්ගේ පෞද්ගලික මුදල්. මේ ප්‍රධාන ආයෝජකයන් දෙදෙනාටම රජයෙන් කිසිම සහයෝගයක් නැහැ. මෙවැනි වාතාවරණයත් යටතේ පසුගිය කාලයේ බොහෝ සිනමා ශාලා වැසී ගියා. සිනමාව අපේ රටේ ප්‍රධානතම කලාමාධ්‍යයි. මෙම මාධ්‍යයෙන්  විශාල පිරිසක් ප්‍රතිලාභ ලබනවා. කලාකරුවන් යනු ජාතික මෙහෙවරක් කරන පිරිසක්. රජය මෙය අවබෝධ කරගත යුතුයි. සිනමා කර්මාන්තය ආරක්ෂා කර ගැනීමට රජයේ මැදිහත්වීමක් අත්‍යවශයයි. කර්මාන්තයක් ලෙස පිළිගැනීම නිසා සිනමාවට මැදිහත් වීමට රජයට දොරටු විවර වී තිබෙනවා. සිනමාවට මුදල් ආයෝජනය කරන පිරිසට ඒ සඳහා අතහිත දීම, සහන ලබාදීම සිදුවිය යුතුයි. කර්මාන්ත ආරක්ෂා කර ගැනීම සඳහා පසුගිය දිනවල 4% අඩු පොලියට ණය ලබා දුන්නා. දැන් එම ණය ක්‍රමය සිනමාවටත් ලබා දිය යුතුයි. මගේ චිග්‍රපට ඉහළ ආදායම් වාර්තා තැබුවා. මේ වන විට අපටත් ඊළඟ චිත්‍රපටය නිර්මාණය කිරීම සඳහා ආර්ථික ශක්තියක් නැහැ. මා වැනිම තවත් චිත්‍රපටකරුවන් සිටිනවා. ඔවුන්ට යළි චිත්‍රපටයක් නිර්මාණය කිරීම සඳහා කළ යුත්තේ කුමක්ද යන්න රජය සලකා බැලිය යුතුයි. හොඳ නිර්මාණ කළ හැකි තරුණ පිරිස් ඉන්නවා. ප්‍රවීණයො ඉන්නවා. ඔවුන්ට කිසියම් සහන ක්‍රමයක් නොලැබුණොත් ඔවුන් සිනමාකරණයෙන්  ඉවත් විය හැකියි. එවිට සිනමාවට මොකද වෙන්නේ? ඒ නිසා කර්මාන්ත පවත්වාගෙන යෑම සඳහා රජය මැදිහත්වන සෑම ආකාරයෙන්ම සිනමා කර්මාන්තයටද මැදිහත් විය යුතුයි.

සිනමා ශාලා අවම වීම මත චිත්‍රපට කර්මාන්තය තුළ විශාල අර්බුදයක් නිර්මාණය වී තිබෙනවා. දැනට තිබෙන සිනමා ශාලා 64න් තාක්ෂණික වශයෙන් උසස් මට්මක තියෙන ශාලා ඇත්තේ 30ක්  වගේ ප්‍රමාණයක්. දැන් සිනමා ප්‍රදර්ශන මණ්ඩල පහක් තිබෙනවා. ඒ අනුව මෙම සිනමා ශාලා ප්‍රමාණය පහට බෙදුණු විට එක් චිත්‍රපටයක් ප්‍රදර්ශණය කිරීම සඳහා නිෂ්පාදකයකුට ලැබෙන්නේ සිනමා ශාලා 7ක් 8ක් වැනි ප්‍රමාණයක්. එවැනි තත්ත්වයක් මත කර්මාන්තයක් ලෙස සිනමාව පවත්වාගෙන යා හැකිද? අප මෙයට විසඳුමක් ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ මේ මණ්ඩල ක්‍රමය අහෝසි කරන ලෙසයි. වරකට එක චිත්‍රපටයක් මුදාහැරිය විට එය සියලුම සිනමා ශාලාවල ප්‍රදර්ශනය කළ හැකියි. අඩු සිනමා ශාලා ප්‍රමාණයක මාස ගණනක් ප්‍රදර්ශනය කරනවාට වඩා සියලුම සිනමා ශාලාවල මාසයක් පෙන්නුවත් එය හොඳටම ප්‍රමාණවත්.. එවිට ප්‍රචාරක වියදම් අවමයි. නිර්මාණකරුවන් අතර තරගයක් නැහැ. රටේ විවිධ ප්‍රදේශවල ජනතාවට චිත්‍රපටය නැරඹීමට අවස්ථාව ලැබෙනවා. එය හැම අතින්ම වැදගත්. අපගේ මේ ඉල්ලීමට චිත්‍රපට සංස්ථාව පැත්තෙන් කිසිම ප්‍රතිචාරයක් නැහැ. සංස්ථාව සතු රිද්මා මණ්ඩලය තර කර ගැනීම සඳහා එයට වාසිදායක අයුරින් ඔවුන් කටයුතු කරනවා. මේ තත්තවය නිසා සිනමාවේ අවාසනාවන්ත ව්‍යාකූල තත්ත්වයක් උද්ගතවී තිබෙනවා. අප යෝජනා කරන විකල්පය වන්නේ අවශ්‍ය නම් මණ්ඩල ක්‍රමය තියාගන්න. ඒත් එක් චිත්‍රපටයක් සඳහා සියලුම ශාලා එකවර ලබා දෙන්න කියලයි.”

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00