2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා

නොලැබෙන බදු ලබාගන්නා සැලැස්ම

 2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 63

රටේ ජාතික බදු ප්‍රතිපත්තිය සමාලෝචනය කළයුතු බව එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ අදහසය. විටින් විට බදු සංශෝධන මගින් පැලැස්තර ඇලවීම හැරුණු විට ස්ථීරසාර විසඳුමකට යාමට බලධරයන් උනන්දු නොවන සැටියකි. රටේ ආණ්ඩු මාරුවන විට බදු අයකිරීමේ ක්‍රමවේදයද විටින් විට වෙනස් වෙයි. අද වනවිට බදු සංශෝධන දාම් ලෑල්ලේ ඉත්තන් ඉවත් කරන සෙල්ලමක් බවට පත්ව තිබේ. එක් ආණ්ඩුවක බද්ද ඊළඟට එන ආණ්ඩුවෙන් වෙනස් කරයි. විටින් විට කරන බදු සංශෝධනවලින් දෙආකාරයකින් යහපත් ප්‍රතිඵල ලැබිය යුතුය. රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සහ ජනතාවට සහන සැලසීම ඒවා වෙයි. එහෙත් අපේ රටේ සිදුකරන බදු සංශෝධනවලින් මේ ප්‍රතිලාභ දෙකම අත් නොවී තුන්වැනි පාර්ශ්වයකට වාසි ලැබෙන බව පෙනී යන සත්‍යයකි.

රුපියල් පනහක්ව තිබූ සීනි ආනයන බද්ද කිලෝවට ශත විසිපහ දක්වා අඩුකිරීම මෙයට හොඳ උදාහරණයකි. එහිදී සිදුවූවේ සීනි මිල අඩුවීමෙන් ජනතාවට වාසි සැලසීම වෙනුවට සීනි මිල තවත් ඉහළ යාමය. එසේම රාජ්‍ය ආදායමටද හානි සිදුවීමය. මෙවැනි බදු සංශෝධන කිහිපයක්ම විටින් විට සිදුකළද එයින් වාසි ලබාගත්තේ අතරමැදි ව්‍යාපාරිකයන් අතලොස්සක් බව පෙනී ගොස් තිබේ.

ඒ හැර මෙතෙක් පැවැති ඍජු බදු කිහිපයක්ම අහෝසි කිරීමට සහ බදු ප්‍රතිශත පහළ දැමීමට රජය කටයුතු කළේය. සියයට 15ක්ව තිබූ වැට් බද්ද සියයට 8 දක්වා අඩු කිරීම මෙවැනි එක් අවස්ථාවකි. එහෙත් එයින් රජයට ලැබිය යුතු බදු ආදායම අඩු වූවා මිස භාණ්ඩ හා සේවාවල මිල අඩුවූයේ නැත. කවදත් ව්‍යාපාරිකයන් වැට් බද්ද වෙනමම පාරිභෝගිකයාගෙන් අයකළද එය අඩු කිරීමේදී පාරිභෝගිකයාට ගෙවන්නට සිදුවූ බද්ද අඩුවූයේ නැත. සියයට 7ක් වූ බදු සහනය කෙළින්ම ව්‍යාපාරිකයෝ ලබාගත්හ. මෙය නවත්වා මිල අඩු කිරීමට පාලකයන් කටයුතු කළේ නැත.

එසේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හැමවිටම කටයුතු කරනුයේ තෝරු මෝරුන්ට ගැලවී යාමට ඉඩහැර හාල්මැස්සන් බා ගැනීමට බවට චෝදනාවක් එල්ල වේ. කැසිනෝ සූදු ව්‍යාපාරිකයන්, මත්පැන් අලෙවිකරන්නන් සහ තැරුව්කාර සමාගම්වලින් බදු අයකර ගැනීමට බලධරයන් කටයුතු නොකිරීමේ හේතුවෙන් විශාල වශයෙන් රජයට හිමිවිය යුතු බදු මුදල් අහිමිවේ. මේ හැර වෛද්‍යවරුන්, නීතිඥයන්, අධ්‍යාපනවේදීන්, දොස්තරවරුන් මිනුම්දෝරුවන් ආදී විශාල වශයෙන් ආදායම් ලබන්නන්ගෙන් බදු අයකර ගැනීමට ආණ්ඩුව පියවර නොගනී. කිසිදු අයවැයකින් බදු ගෙවීම් පැහැර හැර විශාල ධනස්කන්ධයක් උපයන මෙවැනි අයගෙන් බදු අයකිරීමට යෝජනා ඉදිරිපත් නොකෙරේ. ඔවුන් උපයන ධනය පිළිබඳ කිසිදු සංඛ්‍යා ලේඛනයක් නොමැත.

ඩොලර් හිඟයට පිළියමක් ලෙස වාහන, ඉලෙක්ට්‍රොනික උපකරණ ඇතුළු ආනයනවලට ඍජු තහනමක් පැනවුවද එයින් සිදුවූයේ රජයට විශාල වශයෙන් ලැබෙමින් තිබූ ආනයන බදු අඩුවීම පමණය. වාහන ආනයන තහනමෙන් පමණක් බිලියන 2ක පමණ ආදායමක් අහිමි වී තිබෙන අතර රට තුළ වාහන මිල අසීමාන්විත ලෙස ඉහළ යාමෙන් පාරිභෝගිකයන්ට වාහනයක් අත්කර ගැනීම සිහිනයක් බවට පත්වී ඇත. 
මේ අන්දමට රජය විටින් විට ගන්නා හදිසි තීරණ නිසා රාජ්‍ය ආදායම පහළ බැසීම පසුගිය සමයේ දිගටම සිදුවිය. මෙම 2022 අයවැය ලේඛනයෙන් හෝ රාජ්‍ය ආදායම ඉහළ නැංවීමට පියවර නොගතහොත් රටේ ආර්ථික තත්ත්වය ඉදිරියේදී පතුලටම බසිනවා ඇත.

දේශීය ආදායම් සේවා සංගමයේ ලේකම් එච්.ඒ.එල්. උදයසිරි පෙන්වා දෙන්නේ 2019 වසර හා සැසඳූ විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සමස්ත බදු ආදායම 2020 අවසානය වනවිට රුපියල් බිලියන 601කින් අඩුව ඇති බවය. 2019 වසරේ මුළු රාජ්‍ය බදු ආදායම රුපියල් බිලියන 1025ක්ව තිබුණද 2020 වර්ෂයේ ආදායම රුපියල් බිලියන 424 දක්වා පහළ වැටී ඇති බව ඔහු කියයි. මෙයට ප්‍රධාන හේතුව වන්නේ දෙපාර්තමේන්තුවේ බදු එකතු කිරීමේ ක්‍රියාවලිය දුර්වලවීම නොව නව රජය බලයට පත්වී අලුතෙන් හඳුන්වා දුන් බදු සංශෝධන නිසාය යන්න ඔහුගේ අදහස වෙයි. ඔහු මෙලෙස කළ සංශෝධන එකිනෙක පැහැදිලි කරයි. එසේම මෙම තත්ත්වය කොවිඩ් වසංගතයටද බැර කළ නොහැකි බවද කියා සිටී.

මුලින් සියයට 2ක්ව තිබූ ජාතිය ගොඩනැගීමේ බද්ද (NDT) වූ සියයට 2, 2020දී අහෝසි කිරීම නිසා අහිමිවූ බදු ආදායම බිලියන 104ක්. ආර්ථික සේවා ගාස්තුව (ESC) අහෝසි කිරීම නිසා බිලියන 41ක බදු ආදායමක් රටට අහිමිවුණා. මේ හැර ණය ආපසු අයකර ගැනීමේ ගාස්තුව (DRL) ඉවත් කිරීම නිසා නොලැබුණු ආදායම බිලියන 26ක්. මෙම තෙආකාර බදු මාර්ගවලින් පමණක් අහිමිකරගත් බදු ආදායම රුපියල් බිලියන 171ක්. මේ හැර වැට් බද්ද හෙවත් එකතු කළ අගය මත බද්ද වූ සියයට 15 බදු අනුපාතය 2020 වසරේදී සියයට 8 දක්වා සියයට 7කින් පහළ දැමීම නිසා විශාල මුදලක් අහිමි කළා. බදු ගෙවිය යුතු ආදායම් සීමාව වාර්ෂිකව මිලියන 12ක මට්ටමේ පැවැති අතර එම සීමාව මිලියන 300 දක්වා ප්‍රසාරණය කිරීමෙන් බොහෝ දෙනෙකුට බදු නොගෙවා සිටීමේ අවස්ථාව ලැබුණා. මෙයින් සහ වැට් බදු සංශෝධන නිසා පාඩු වූ බදු ආදායම රුපියල් බිලයන 314ක් වැනි සුවිශාල ප්‍රමාණයක්. මේ හැර බදු ඇතුළු සෙසු සංශෝධන නිසා බිලියන 116ක් ආදායම අහිමි වී තිබෙනවා. මේ සියලු බදු ආදායම් එකතු කළ විට මුලින් පැවසූ පරිදි බිලියන 601ක ආදායමක් සම්පූර්ණයෙන් අහිමි වී තිබෙන බව පෙනෙනවා.*

ඔහු පවසන විශේෂ කරුණක් වනුයේ මේ අන්දමට බදු නිදහස් කිරීම්, අහෝසි කිරීම් සහ අඩු කිරීම් හේතුවෙන් ආදායම අඩුවුවද එම සහනය ජනතාවට නොලැබුණු බවකි. ඒ නිසා බලාපොරොත්තු වූ පරමාර්ථය ඉටු නොවී ඇත. මෙම මුදල් ව්‍යාපාරිකයන්ගේ සාක්කුවලට ගිය බව ඔහු කියයි. මෙයින් පාඩු දෙකක් සිදුව ඇත. ඒවා නම් රජයට මෙම ආදායම අහිමිවීම සහ පොදු ජනතාවට මෙම ලාභය නොලැබී ගොස් තිබීමය. එසේ අහිමි වූ ආදායම තුන්වැනි පාර්ශ්වයකට හිමිවීම නිසා බදු සංශෝධනවලින් බලාපොරොත්තු වන අපේක්ෂාව ඉටු නොවී ඇත.

වක්‍ර බදු ලෙස සලකන වැට් බදු හා ජාතිය ගොඩනැගීමේ බද්ද යන දෙකම වෙනස් කිරීමෙන් පමණක් අහිමි වූ ආදායම රුපියල් බිලියන 418ක් වෙනවා. මෙම අහිමි වූ ආදායම ජනතාව වෙත ලැබිය යුතුයි. වෙනත් වචනවලින් කිවහොත් මෙම වක්‍රබදු අඩුවීම නිසා භාණ්ඩ හා සේවාවල මිල අඩුවුණේ නැහැ. එය ලැබී ඇත්තේ ව්‍යාපාරිකයන් අතලොස්සකට පමණක් බවයි පෙනෙන්නට තිබෙන්නේ. අලුතින් මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට සිදුවූයේ මෙම දුර්වලතාව නිසයි. මේවා ජනතාවට ලැබුණා නම් මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට අවශ්‍ය වන්නේ නැහැ.

බදු ලිපිගොනු සංඛ්‍යාව අනුවද ඔහු තමා පවසන කරුණු සනාථ කිරීමට උත්සාහ ගනී.
ජාතිය ගොඩනැගීමේ බද්ද අහෝසි කිරීම නිසා එතෙක් ඒ බද්ද ගෙවූ පුද්ගලයන් 92,000ක ආදායම නොලැබී ගියා. එම ලිපිගොනු වසා තබන්නට දෙපාර්තමේන්තුවට සිදුවුණා. එපමණක් නොව ආර්ථික සේවා ගාස්තු ගොනු 17,300ක්, වැට් ලිපිගොනු 20,300ක් ආදායම් බදු සීමාව ඉහළ නැංවීම නිසා ආදායම් බදු ලිපිගොනු 2,60,000ක් අක්‍රිය වෙලා තියෙනවා. මේ හේතුවෙන් බදු පදනමට (Tax Bace) විශාල ලෙස හානි සිදුවෙලා බව කිවයුතුයි.
2021 වසර ගැන කතා කළහොත් එම වසරේ ආදායම් ඉලක්කය බිලියන 575ක්. මේ ආදායම දෙසැම්බර් 31 දින වනවිට ලැබිය යුතු වෙනවා. මේ ඉන්නේ 2021 වසරේ නොවැම්බර් මැදයි. ඉතින් මෙම ආදායම එකතු වන ප්‍රගතිය අනුව වසර අවසානයේදී ඇස්තමේන්තුව සපුරාගත හැකිවේද යන්න කිව නොහැකියි. එසේ කළ හැකි නම් එය ආශ්චර්යයක්.

මෙහිදී සඳහන් කළයුතු තවත් කරුණක් වනුයේ 2021දී ගෙනා මුදල් පනත අනුව හෙළි නොකළ ආදායම් සඳහා 2020 මාර්තු 31 දිනට පවතින වත්කම් සියල්ල එම දෙසැම්බර් 31 වන දිනට පෙර හෙළි කිරීමට අවස්ථාව සලසා තිබීමයි. එවැනි ආදායම් ප්‍රවාහයන්ට අය කරන්නේ සියයට 1ක නාමික බද්දක් පමණයි. අප රජයට පවසන්නේ 2021 වසරේ ඉලක්කගත බද්ද වූ රුපියල් බිලියන 575 අයකර ගැනීමේදී මෙම මුදල් පනත අහිතකරව බලපාන බව දක්නට ඇති බවයි. මේ කළ සංශෝධන රාජ්‍ය බදු ආදායම එකතුකර ගැනීමේදී විශාල හානියක් බව වෘත්තීය සමිතිවල අදහස වේ. 2020 දී මෙලෙස ක්‍රියාත්මක කළේ අහිතකර දුර්වල බදු සංශෝධනයක් බව කිවයුතුයි. මෙම සංශෝධන ඇති කිරීමේදී ආණ්ඩුව වෘත්තීය සමිති සමඟ හෝ දෙපාර්තමේන්තුවේ ඉහළ කළමනාකාරීත්වය සමඟ කිසිදු සාකච්ඡාවක් සිදුකළේ නැහැ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ක්ෂේත්‍රයේ ප්‍රවීණ රාජ්‍ය නිලධාරීන්ගෙන් සමන්විතයි. මේ සංශෝධන සිදුකළේ ඒ කිසිවකුගේ දැනුම ප්‍රයෝජනයට ගෙන නොවීම විශාල ඛේදවාචකයක්. මෙම අඩුපාඩුවේ ප්‍රතිඵල කියන්න් දැන්ම කල් වැඩි අතර මේ වසර අවසන් වූ පසු එම තත්ත්වය බලාගත හැකිවෙයි.

මෙහිදී සිදුව ඇත්තේ අත්හදා බැලීමකට ලක්කිරීමක් බව වගකිවයුත්තන් පවසනවා. රටේ වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය හමුවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙවැනි අත්හදා බැලීමකට ලක්කිරීමට කිසිවෙකුටවත් අයිතියක් නැති බව කිව යුතුයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යනු කීර්තිමත් අතීතයකට හිමිකම් කියන වසර 90කට වැඩි ප්‍රවීණ ආයතනයක්. ආදායම් ක්ෂේත්‍රයේ විවිධ ඉසව් හෙළිදරව් කිරීමට මෙම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමත්. ඔවුන් විශාල අත්දැකීම් සම්භාරයක් ලබා තිබෙනවා. ඒ නිසා බදු පනත් සකස් කිරීමේදී ඔවුන්ගේ සහාය ලබාගත යුතුයි. එලෙස නිර්දේශ ලබාගෙන ඒවා ක්‍රියාත්මක කිරීමට නීති පද්ධතියක් සම්පාදනය කිරීම පාර්ලිමේන්තුව සතු වගකීමක් වෙනවා. මෙයට පෙර 2017 වසරේදී පැවැති ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැදිහත් කරගෙන අංක 24 දරන ආදායම් පනතක් ගෙනාවා. එය ගෙනැවිත් අවුරුදු 1 ½ ඉකුත්වීමට පෙර ඒ බදු ප්‍රතිපත්තිය වෙනස් කළා. මෙම තත්ත්වය බදු පරිපාලකයන්ට සහ ව්‍යාපාරික ප්‍රජාවට දැඩි ලෙස බලපානවා.

ආදායම් බදු සහන සැලසීමේදී වැඩි වශයෙන් සහන දී ඇත්තේ රටේ ඉහළම ධනපතියන්ටයි. 2017 ආදායම් බදු පනත අනුව ඉහළම ආදායම් ලබන කණ්ඩායමේ බදු අනුපාතය සියයට 24ක් තරම් ඉහළ මට්ටමක තිබුණි. එහෙත් වර්තමාන ආණ්ඩුව එය සියයට 18 දක්වා පහළ දමා තිබෙනවා. මෙයින් අපේක්ෂිත බදු ආදායමට විශාල බලපෑමක් ඇතිවෙලා. වසරකට මිලියන 9කට අධික ආදායමක් ලබන අය ඇත්තේ මෙම සියයට 18 බදු ප්‍රතිශතය තුළයි. ඉතින් ඒ අයගෙන් මෙයට වඩා විශාල බද්දක් අයකර ගැනීමේ වරදක් අප දකින්නේ නැහැ. දකුණු ආසියානු කලාපයේ මැලේසියාව, ඉන්දියාව, තායිලන්තය, සිංගප්පූරුව ආදී රටවල බදු ප්‍රතිශතය පවතින්නේ සියයට 30ක ප්‍රමාණයෙයි. එහෙත් අපි සියයට 18ක මට්ටමේ තබා ගන්නේ ඇයිද යන්න ගැටලු සහගතයි. රජය මේ පිළිබඳ සලකා බලා නිසියාකාර ගැලපීම් ඇතිකරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. එළඹෙන අයවැය ලේඛනය තුළින් මෙතෙක් කර ඇති වැරදි නිවැරදි කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා. ඒවා නිසි පරිදි සිදුවීම ක්ෂේත්‍රයේ උන්නතිය අපේක්ෂා කරන වෘත්තීය සමිතිවල බලාපොරොත්තුවයි.

2020 වසරේ අයවැය ලේඛනය මගින් අයකර ගැනීමට අපොහොසත් වූ බදු වර්ග අයකර ගැනීමට ප්‍රතිපාදන සලසා ඇති බව මුදල් අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය. තවද මෙතෙක් කර ඇති බදු සංශෝධනවල පවතින දුර්වලතා හඳුනාගෙන ඒවා නිවැරදි කරලීමට කටයුතු කරන අතර බදු දැලෙන් රිංගා යන ධනවතුන් කොටුකර ගැනීමට විශේෂ බදු හඳුන්වා දෙන බවද ඔහු පැවසීය. කෙසේ වුවද පොදු ජනතාවට නොරිදවා බදු ආදායම වැඩිකර ගැනීමට මෙවර මුදල් අමාත්‍යවරයා උපරිමයෙන් කටයුතු කර ඇති අතර මේ දෙපැත්ත ගලපා ගැනීම විශාල අභියෝගයක් බවද ඔහු කීවේය.

 යසවර්ධන රුද්රිගු