2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා

අපේම අලුත් ඩෙල්ටා ඇවිත්!

 2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 78

Covid-19 Delta ප්‍රභේදයේ නව උප පෙළපතක් ශ්‍රී ලංකාවෙන් සොයාගත් බව ඉකුත් සති අන්තයේ වෛද්‍ය විශේෂඥයින් ප්‍රකාශ කළේය. දිවයිනේ ඇතැම් පළාත්වල ව්‍යාප්ත වන බී.1.617.2.104 නමින් නව උප පෙළපතක් මෙරටින් සොයාගෙන ඇති බවට ශ්‍රී ජයවර්ධන පුර සරසවියේ ප්‍රතිශක්තිකරණ හා අණුක වෛද්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ චන්දිම ජීවන්දර මහතා ඉකුත් සතිඅග ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබුණි.

SARS-CoV-2 Delta (B.1.617.2) ප්‍රභේදය ලොව පුරා ඉතා වේගයෙන් සම්ප්‍රේෂණය වන අතර, ඉහළ එන්නත් අනුපාතයක් ඇති ජනගහනය තුළ පවා, මරණ සහ ආසාදිතයන් ලොව පුරා සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. ඔහු පවසන පරිදි, දැන් ශ්‍රී ලංකාවෙන් ආරම්භ වූ SARS-CoV-2 ප්‍රභේද තුනක් තිබේ. පළමු එක B.411, වන අතර එය SARS-CoV-2 මුල් වෛරසයේම මෙරටදී සිදුවූ පරිනාමයකි.

ඊට අමතරව ශ්‍රී ලංකාවට තුළදී ඩෙල්ටා වෛරසයේ  උප පෙළපතක්  .B.1.617.2.28 ලෙස කලින් වාර්තා විය. දැන් ඒ උප පෙළපතට අමතරව, B.1.617.2.104 ලෙස නම්කළ අලුත්ම  උප පෙළපතක් බිහිව ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ ඩෙල්ටා ප්‍රභේදයන් අතරට දැන් ශ්‍රී ලංකාවෙන්ම  ආරම්භ වූ අද්විතීය උප පෙළපත් දෙකක් AY.28 සහ AY.104 ලෙස බිහිව තිබේ.

මෙම නව ප්‍රභේදය උතුර, උතුරැමැද සහ දකුණු පළාත්වල ව්‍යාප්ත වෙමින් පවතින බවද   ප්‍රභේදයේ සම්ප්‍රේෂණ හැකියාව පරීක්ෂා කිරීම සඳහා සාම්පල හොංකොං වෙත යැවීමට කටයුතු කර ඇති බවද වාර්තා විය. 

අහඹු සාම්පල මත සිදු කරන ලද පරීක්ෂණවලින් පසුව මෙම නව සොයාගැනීම සිදුකර ඇත. ඉන් සාම්පල 288ක් AY 104 නමැති අලුත්ම  ප්‍රභේදය සඳහා තහවුරැ කර ඇති අතර 479ක් AY 28 ප්‍රභේදයට ධනාත්මක බව පරීක්‍ෂා කර ඇත.
වෛරසය විවිධ ආකාරවලින් විකෘති වන අතර එක් එක් ප්‍රදේශයන්හි විවිධ ලෙස පැතිර යන බව මෙයින් තහවුරැව ඇත. මේ අතර, උතුරු-මැද සහ දකුණු පළාත්වල කොවිඩ්-19 නව පොකුරු ඇති වන බවට සෞඛ්‍ය බලධාරීන් අනතුරැ අඟවා තිබේ.

සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට අපොහොසත් වීම මෙයට හේතු වී ඇත. ජනතාව  සෞඛ්‍ය ආරක්ෂණ අවශ්‍යතා පිළිපැදීමකින් තොරව කටයුතු කර ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ වයස අවුරැදු 16ට වැඩි ජනගහනයෙන් සියයට 75 කට වැඩි ප්‍රමාණයක් සහ මුළු ජනගහනයෙන් සියයට 61.8ක්ම COVID-19 එන්නත් මාත්‍රා දෙකක් ලබාගෙන ඇති බවයි.


සිකුරාදා වනවිට වසර 60ට වැඩි ශ්‍රී ලාංකිකයන් 160,000 කට වැඩි පිරිසකට තුන්වැනි හෝ බූස්ටර් මාත්‍රාවක් ලෙස Pfizer-BioNTech jab ලැබී ඇත. රඹුක්වැල්ල මහතා රටේ ඇතැම් ප්‍රදේශවල එන්නත් දෙගිඩියාවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළේය.

කොරෝනා  වෛරසය හේතුවෙන්  මේ රට තුළ මේ වනවිට   14,072+ ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තහවුරු වූ රෝගීන් ගණන 554,459+ ට අධිකය. මේ අතර, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සිකුරාදා ජනතාවට අවවාද කරමින් කියා සිටියේ  COVID-19 වසංගතය මැඩපැවැත්වීම සඳහා රජය කළ හැකි සෑම දෙයක්ම කර ඇති බවය.‍  එසේම අමාත්‍යවරයා ජනතාවගේ පැත්තෙන්ද යම් කැපකිරීම් කළ යුතු බව කියා තිබුණි. කෙසේ වෙතත්, AY 104 උප පෙළේ සම්ප්‍රේෂණය තවමත් නිසිලෙස නිශ්චය කර නොමැත.

 සුගත් පී. කුලතුංගආරච්චි

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00