2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා

කැලණිය හැඩකළ කල්‍යාණි රන් පිවිසුම

 2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 123

කටුනායක සිට කොළඹ නගර මධ්‍යය දක්වා ගමන් කළ හැකි, ලංකාවේ ප්‍රථමවරට අධි තාක්ෂණික කේබල් මත ඉදිකළ නව කැලණි පාලම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන් විසින් පසුගියදා (24 වැනිදා) ජනතා අයිතියට පත්කරන ලදී. මෙය නම්කරන ලද්දේ කල්‍යාණි රන් පිවිසුම (Golden Gate Kalyani) නමිනි.

කටුනායක සිට කොළඹ නගරයට දිනපතා එන යන වාහනත් සමඟ පවතින අධික වාහන තදබදයට හොඳම විසඳුම ලෙස මෙකී නව කැලණි පාලම හැඳින්විය හැකිය. කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය ආරම්භ කරන ස්ථානයේ සිට පෑලියගොඩ පාලම මංසන්ධිය කේන්ද්‍රය කරගනිමින් නව කැලණි පාලම ආරම්භ වේ. මෙය අවසන් වන්නේ වරාය පිවිසුම් මංසන්ධියෙන් හා ඔරුගොඩවත්ත මංසන්ධියෙනි. ඒ අනුව මෙයින් ඔරුගොඩවත්ත සිට කටුනායක දෙසට ගමන් කිරීමේ හැකියාව පවතී. මෙම මාර්ගයේ ගමන් කිරීම සඳහා කිසිදු මුදලක් අය නොකරන අතර ඉදිරි කාලයේදි ඉතිරි මාර්ග ජාල සියල්ල අවසන් කිරීමෙන් පසුව මෙහි ගමන් කිරීමට යම් මුදලක් අය කරගැනීමට නියමිතය.

කල්‍යාණි රන් පිවිසුම ඔස්සේ මෝටර් බයිසිකල් හා ත්‍රිරෝද ගමන් කිරීමට හැකියාවක් නැත. කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ කොළඹ අන්තයේ අවසානයේ සිට බණ්ඩාරනායක වටරවුම දක්වා මංතීරු හයක් වන මෙම පාලම එතැන් සිට ඔරුගොඩවත්ත දක්වාත්, ඉඟුරුකඩේ හන්දිය දක්වාත්, වරාය පිවිසුම් මාර්ගය දක්වාත්, මංතීරු හතරක් ලෙස නිර්මාණය කර ඇත. මෙහි පැකේජ දෙකක් යටතේ කැලණි ගඟ හරහා පාලම් කොටසක් ඉදිකර තිබේ. එහි දිග මීටර් තුන්සිය අසූවකි. පළමු පැකේජය වානේ නිමැවුම් පාලම් කොටස වන අතර එයට රුපියල් මිලියන 31,539ක් වැය වී ඇත. එමෙන්ම දෙවැනි පැකේජය වන එල්ලෙන පාලම් කොටස සඳහා රුපියල් මිලියන 9,896ක් වැය වී ඇත. එය ඉදිකර ඇත්තේ කොන්ක්‍රීට් යොදා ගනිමිනි.


මෙම නව කැලණි පාලම සඳහා 2012 වසරේදී ශ්‍රී ලංකා රජය සහ ජපාන අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ (ජයිකා) දායකත්වයෙන් මූලික සැලසුම් සකස්කොට ඇත. 2013 වසරේදී සිදුකළ ශක්‍යතා අධ්‍යයනයකින් පසුව 2014 වසරේදී පාලම ඉදිකිරීම් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය. ඒ සඳහා ගිවිසුම් අත්සන් කරන ලද්දේද එම වසරේදීමය.

2017 වසරේදී මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලදී. ඒ කාලය ඇතුළත පාලම් ව්‍යාපෘතිය හේතුවෙන් බලපෑම්වලට ලක්වුණු ජනතාවට නිවාසත්, රාජ්‍ය හා පෞද්ගලික ආයතන සඳහා වෙනත් සුදුසු ස්ථාන ලබාදීමත් සිදුවුණි. ව්‍යාපෘතිය සඳහා වැය වී ඇති මුදල රුපියල් මිලියන 55,000කි.

ඉතා ජනාකීර්ණ ප්‍රදේශයක ඉදිවුණ කැලණි රන් පිවිසුම නම් ව්‍යාපෘතියේ නව කැලණි පාලමේ කෙළවරේ සිට ඔරුගොඩවත්ත මංසන්ධිය දක්වා ඇති මාර්ග දෙපස අලංකාර කිරීම සඳහා මී, කුඹුක්, අරලිය, නා, මඟුල් කරඳ, නුග, මුරුත, ඇහැල, කහ මාර, රත්මල්, රොබරෝසියා, මැයි මාර, කොබෝනීල යනාදී ශාක රෝපණය කිරීම සඳහා ජාතික උද්භිද උද්‍යාන නිලධාරීන් විසින් නිර්දේශ කර ඇත. එමෙන්ම නව කැලණි පාලම නව තාක්ෂණික ක්‍රමවේදයක් භාවිතා කොට ඉතාමත් අලංකාර ලෙස විදුලි ආලෝකකරණය කර තිබේ. එමගින් කැලණි ගඟේ සුන්දරත්වයත්, පාලමේ අලංකාර ස්වභාවය පෙන්නුම් කිරීමෙන් දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය ලබාගැනීමට අපේක්ෂිතය.

වාහන තදබදයට විසඳුමක් ලෙස මෙම පාලම ඉදිකිරීමට සැලසුම් කළේ. විශාල මාර්ග තදබදයක් නගර ආශ්‍රිතව පවතිනවා. ඒ නිසාම මෙරටට ගෙන්වන ඉන්ධනවලින් සියයට පහක් නාස්ති වෙනවා. වසරකට ඩොලර් මිලියන 200ක් විනාශ වී යනවා. අද තෙල් පිළිබඳව අර්බුදයක් තියෙනවා. මේ රටේ ප්‍රශ්නවලට තිරසාර විසඳුමක් ගෙන ඒමට එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ ව්‍යාපෘතිය ආරම්භ කළේ. බස්නාහිර පළාතෙන් ඔබ්බට තිබූ පළාත්වල සංවර්ධනයක් තිබුණේ නැහැ. ඒ සංවර්ධනය ඇතිකරලන්න එතුමා මේ අධිවේගී මාර්ග පද්ධතිය පටන් ගත්තා.* යැයි කල්‍යාණි රන් පිවිසුම ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය අමතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

මෙය රටේ අග නගරය අනෙකුත් ප්‍රදේශය කරා ඉතා ඉක්මණින් යා කිරීමට ගත් සාර්ථක ව්‍යාපෘතියක් ලෙසින් කල්‍යාණි රන් පිවිසුම හැඳින්විය හැකිය. නව කැලණි පාලම ඉදිකිරීම් අතරතුරේදී විවිධ බාධාවන්වලට මුහුණදුන් අතර එහි ප්‍රධානම බාධාව වන්නේ කොවිඩ් වසංගතයයි. විශාල ඉංජිනේරුවන් සහ කම්කරු සේවක පිරිසක් එක්ව ගොඩනැගුණු කල්‍යාණි රන් පිවිසුම ගොඩනැගුණේ මේ මිනිස් ශ්‍රමයේ බල මහිමයෙනි.

මේ ව්‍යාපෘතියට සම්බන්ධ කම්කරුවාගේ සිට සියලුම නිලධාරීන්ගේ මහන්සියේ ප්‍රතිඵලය නිසා මෙම ව්‍යාපෘතිය නිමකරලන්නට පුළුවන් වුණා. මෙතැනින් යනවිට කම්කරුවන් මහන්සි වී වැඩකරනවා මා දැක තිබෙනවා. මට මතකයි ජොන්ස්ටන් ඇමැතිතුමා කොවිඩ් හැදිලා මේ වැඩ නතර කරන්න වුණා කියා එක දවසක් කිව්වා. නමුත් ඒ හැම අභියෝගයක්ම මධ්‍යයේ ඔවුන් වැඩකළා. මා ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා. යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

මේ වනවිටත් කල්‍යාණි රන් පිවිසුම ඔස්සේ රථවාහන ධාවනය කරලීමේ හැකියාව පවතින අතර එයින් රථවාහන තදබදයේ අඩුවීමක් දක්නට ඇත. මෙම නව කැලණි පාලම ඉදිකිරීම් සඳහා මූල්‍ය ආධාර සපයා ඇත්තේ ජපන් අන්තර්ජාතික සහයෝගිතා ආයතන (JICA) විසිනි.

 දිශානි ජයමාලි කරුණාරත්න

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00