2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා

සදහටම මැකී ගිය සිංහරාජයේ සිනහව

 2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 99

සිංහරාජයට එහි සිනහව අහිමිවිය. එහි සැබෑ ආරක්ෂකයාද හිතවතාද අහිමි විය. හිතවතුන් අතර වයස් භේදයකින් තොරව මාර්ටින් අයියා නමින් ප්‍රකට වූ, නිබඳ මඳ සිනා නඟන මාර්ටින් විජේසිංහ නම් වූ නිවුනු වත්පිළිවෙත් ඇති, ස්වයං අධ්‍යයනයෙන්ම ප්‍රායෝගිකව වනබිම පිළිබඳ හසළ දැනුමක් ලත් ප්‍රාඥයාගේ ඒ සොඳුරු සිනහව තවදුරටත් දැන් අපට දක්නට නොලැබේ. මේ ඔහු ගැන ලියන්නට හැකි සුවහසක් මතක අතරින් කෙටි සටහනකි.

බී.ඩබ්ලිව්. මාර්ටින් විජේසිංහ, ඔහු 1939 වසරේ නත්තල් උදාවත් සමඟ සිංහරාජයට මායිම්ව පිහිටි පෙතියාකන්ද ගම්මානයේ උපත ලැබීය. කුඩා කල සිටම ඔහුට පාසලට වඩා හිතගියේ පරිසරයටය. තමා අවට ඇති නිබඳව ඇස ගැටෙන රෑස්ස  අති පෞරාණික වනගහණය වෙතය. එහි අපූර්වත්වය දෙසටය. එහි අද්විතීය සොබා නිමැවුම්වල රසය සතා සීපාවුන්ගේ රස රහස් ඔහු සිත ආලෝලනය කර තිබුණෙන් ඔහුටත් නොදැනීම මේ වනරුජණට ඔහු සිත් බැඳී තිබුණි. වනරුජණට සිත් බඳනා බොහෝ දෙනාට සිදුවූවාක් මෙන් මාර්ටින්ටද වයස අවුරුදු 15දී 8 වැනි පන්තිය අවසන් කර පාසලද හැර දමා වන තක්සලාවට පිවිසෙන්නට සිතුණි. මෙය එකල සාක්ෂරතාවයේ ප්‍රමාණවත් ප්‍රමිතියක් ලෙස සලකනු ලැබූ මට්ටමකි.
ඇත්ත, ඒ දැනුමෙන් ඔහු ලෝකයේ ඉපැරුණිම, උත්කර්ෂවත්  වනප්‍රවාහයක්  ගැන වඩාත් විශිෂ්ට විද්‍යාත්මක දැන්මකින් යුත්, නිල නොලත් මහාචාර්යවරයා යන අභිමානවත් අභිධානය ලැබෙන තුරු දිගු ගමනක් පැමිණියේය. පොත් දහසකවත් නැති අපූර්ව වූ විචිත්‍ර තොරතුරු සපිරි - සුපිරි ඇවිදින පුස්තකාලයක් තත්ත්වයට දැනුමෙන් උසස් විය. 1955දී පමණ පාසල් හැර දැමූ පසු වනබිම විචිත්‍රවත් අත්දැකීම් හා ගැමියන් අතරේ ගෙවුණු හැලහැප්පිලිකාර දිවිසැරිය ඔහුගේ කුසලතා වර්ධනය කරවමින් අනාගත සිංහරාජ ආරක්ෂකයාගේ, ඒ පිළිබඳ පිරිසිඳ දත් විද්වතාගේ භුමිකාවන්ට හැඩතල සැකසුවේය.

කාලයක්ම කම්කරු, වඩු, පෙදරේරු, රබර් වතු, ආශ්‍රිත විවිධ රැකියාවල නිරත වෙමින් එහෙත් ඒ කිසිවකින් නිසි සතුටක් ආත්ම ප්‍රබෝධයක් නොලබන ඔහු  පසුව 1958දී වයස අවුරුදු 19දී වැද්දාගල කුඩාව ගම්මානයෙන් විවාහයක් සිදුකරගන මහා වනගහනය පාමුල අලුතෙන්ම ජීවිතය ආරම්භ කළේය.

රැකියාව ඔහුගේ දොරකඩටම පැමිණියේ ඒ සමයේදීය. වනබිම හා නොමියෙන සදාතනික බැඳිමකින් බැඳෙන්නට එහි ආරක්ෂකයා වන්නට ඔහුට මංපෙත පෑදුණේ එදා සිටය. කොස්ගම සාලාව ප්‍රදේශයේ පිහිටැවූ දැවැන්ත ප්ලයිවුඩ් කම්හල පෝෂණය කිරීම සඳහා සිංහරාජය තුළ තෝරාගත් දැව හෙළීමේ ව්‍යාපෘතිය ආරම්භ වීමත් සමගය.

1970 වනවිට මේ තෝරාගත් දැව කැපීම ආරම්භ වූ අතර සිංහරාජයට එයින් සිදු වූ විනාශය අතිමහත් විය. වනරජ දහනේ උඩු වියන ශතවර්ෂ ගණනාවක් දරා සිටි මහා වනස්පතීන් බිම හෙළා වනබිම් තලය දහසක් අතෝරයන්ට නිරාවරණය කැරිණි. මේ මහා හානිය වළක්වන්නට වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව දේශීය ශාක යොදා මෙම හෙළිපෙහෙළි වූ බිම් ආරක්ෂා කිරීමේ වැඩසටහනක් ආරම්භ කළ අතර මාර්ටින්ටද මෙම වැඩ සටහනේ වනරෝපණ - ආධාරක හස්තයක් ලෙස රුකියාවක් ලැබුණේය. නැවත වන වගා වැඩසටහන අධීක්ෂණය කිරීමට බාර වූ පසු ඔහු, ඉපැරුණි වනාන්තරය ගැන ඇති තතු මෙන්ම පාරම්පරික ශාක ප්‍රජාවේ විස්මිත ගුණ සමුදායද උගත් අතර වනජීවින්ගේ ජීවන රටා දෙසද සිය විමසිලිමත් සියුම් ඇස යොමුකරන්නට උත්සුක විය. වනබිම කෙරේ දැඩි ලෙංගතුකමක් ඔහු තුළ ගොඩගැසෙද්දීම වනරුජිණිය අඩු නොකියන්නට සිය රස රහස්ද වටහා දෙන්නට කටයුතු කළාය. ඔහු මේ මහා වන ගහණය ගැන දැනුමෙන් සපිරි සුපිරි විශිෂ්ටයකු වන්නට පියවර තැබුවේ එතැන් සිටය.

1972දී මාර්ටින්ගේ ජීවිතය වෙනස්කළ තවත් අපූරු අත්දැකීමක් ලැබුණි. සිංහරාජ විනාශයට එරෙහි ජනතා උද්ඝෝෂණයේ සහායට වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමය  පැමිණීමත් සමඟය. එහි එවකට සභාපති තිලෝ හොෆ්මන්ගේ ප්‍රධානත්වයෙන් මේ මහා වන විනාශයේ විශාලත්වය පිළිබඳ කරුණු සෙවීමේ මෙහෙයුමක් ආරම්භ කැරිණි. ඔවුහු  වනාන්තරය තුළ සත්ත්ව හා ශාකවලට සිදුව ඇති හානිය විද්‍යාත්මකව අධ්‍යයනය කරමින් සිංහරාජ විනාශයේ පරිමාණය සහ එහි බලපෑම ඉස්මතු කරමින් ප්‍රකාශනයක් නිකුත් කළහ. මාර්ටින් මේ අධ්‍යයන කටයුතුවලදී නැතුවම බැරි සහායකයෙක් බවට පත්විය.

එම ප්‍රකාශනයේ ප්‍රතිපලයක් ලෙස 1977 වනවිට සිංහරාජයේ සියලු වර්ගවල දැව කැපීම් නතර කිරීමට තීරණය කරන ලදී. 1978 වනවිට සිංහරාජය ජාත්‍යන්තර මිනිසා සහ ජෛවගෝල රක්ෂිතයක් ලෙස උසස් කරන ලදී. ඉන්පසු වනාන්තරය පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයකට සවිස්තරාත්මක පර් යේෂණ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පැවරිණි. ඒ පර්  යේෂකයන් සඳහා ලී කුඩාරමක් පර්යේෂණ සඳහා මධ්‍යස්ථානයක් ලෙස පිහිටැවිණි.
මේ පර්යේෂකයන්ට සහාය පිණිස වනාන්තරය ගැන හොඳින්ම දැන සිටි, වනාන්තරයට යාබදවම, උනන්දු සහගත අධ්‍යනශීලි භාරකරුවකුගේ අවශ්‍යතාව මතුව තිබුණි. ඒ සඳහා සුදුසු අද්විතීය තැනැත්තා ලෙස පෙරමුණේ සිටියේ මාර්ටින්ය. ඔහු වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ වැටුප් පතට ඇතුළත් වූ අතර පර් යේෂණ මධ්‍යස්ථානයේ භාරකරු ලෙස බඳවා ගන්නා ලදී. නියම පර් යේෂණාත්මක ජීව අධ්‍යයනයට ඔහු අත ගැසුවේ මෙතැන් සිටය. අටවැනි ශ්‍රේණියේදී පාසල හැරගිය ඔහුට මේ තරුණ පර්යේෂකයන් සමඟ වැඩ කිරීමට ලැබීම නැවත පාසල් යාම හා සමාන විය. ඔහුගේ නැඟීම එතැන් සිට ඇරුඹිණි.

මාර්ටින් ගස්වැල් සතුන් ඔවුන්ගේ චර්යා ජීවන රටා සහ සබඳතා ගැන නිබඳවම උනන්දුවෙන් ඉගෙන ගත්තේය. තමන්ම සොයාබැලීම් නිරීක්ෂණ සිදු කළේය. පත පොත පරිහරණයද ඇරඹුවේය. සිය දැනුම නොමසුරුව බෙදා දුන්නේය. ඔහු සතුව ලොව නන්දෙසින් ආ විවිධ පර්යේෂකයන් පරිත්‍යාග කළ විශිෂ්ට පුස්තකාලයක්ද විය. ඔහු මේ සියල්ල කියවා අවශ්‍ය අයට නිරවුල්ව පහදා දීමෙහිද උපන් හැකියාවක් දැක්විය.
මුල් කාලයේම ඔහුගේ අපූර්ව වූ අධ්‍යයනශිලී උනන්දුව දුටු එකල සිටි පර් යේෂිකාවක වූ නීලා ඩී. සොයිසා ඔහුට ඉංග්‍රිසි - සිංහල ශබ්දකෝෂයක් තෑගි කළාය. එතැන් සිට මාර්ටින් භාෂාවන්ද ඉගෙනීම ඇරුඹුවේය. වන ප්‍රවාහයට හිත බැඳීගත් ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහලේ ගුරුවරයකුගෙන් ඔහු ලතින් භාෂාව හැදැරුවේය. ඒ හැර ජර්මන් ඇතුළු තවත් භාෂා කිහිපයක්ම ඔහුට භාවිත කළ හැකි විය. මේ අවසන් ගමන් යන කාලසීමාව වනතුරුම ඔහුට ගස්වැල් සතා සීපාවුන්ගේ විද්‍යාත්මක නම් තොරතුරු ජීවන රටා, චර්යා, හොඳින්ම මතකයේ තිබුණි. ඒ ඔහු සතුව තිබු සහජ දක්ෂතාවකි. 

ඇත්තෙන්ම, ඔහු නිබඳවම අධ්‍යනයේ යෙදුණ පුදුම උනන්දුකාරයෙකි. වතාවක් මම කුඩව ගම ඉස්මත්තේ සිංහරාජ මුවවිටේ පිහිටි ඔහුගේ “දිසි - තුරුව” නම් වූ සත්කාර නිවසේ නැවතී වනබිම ගැන රසරහස් උගත්තෙමි. දිනක් කෙටි දවල් නින්දක් නිදා හවස් වී හදිසියේ අවදි වූ මම දුටුවේ ඈත රෑස්ස වන ගහණය දෙස නෙත් හෙළා භාවනාවකට සමවැදීමෙන් සිටිනා මාර්ටින්ය. වරින්වර ඔහු සිය දකුණත දබරුඟිල්ල හිස් අවකාශයේ දුවවමින් මොනවාදෝ අහසේ කුරුටුගාන්නට විය. මම ඔහුට කිට්ටු කර මේ අඳින්නේ මොනවාදැයි ඇසුවෙමි. දැහැනෙන් මිදුණු ඔහු කීවේ තමන් නිකම් ඉඩ ලැබෙන විට අහසේ අකුරු ලියමින් ගස්වැල් සතුන්ගේ නම් පාඩම් කරන බවකි. ඔහු ඒ තරම්ම අධ්‍යයනයට කැපවූ දැනුම රුස්කර ගැනීමේ අප්‍රතිහත වූ අපූර්ව මිනිසෙකි.
වනලියට හදබැඳි එහි අධ්‍යයනයට හෝ රස විඳීමට හෝ ආ දෙස් විදෙස් සැමට මාර්ටින් නැතිවම බැරි හිතවතෙක්ව සිටියේය. ඔහු පර් යේෂණ සහායකයකු උපදේශකයකු හා මඟ පෙන්වන්නේ සැබෑ රසවතෙකු සහ බඩ බැඳගත් හිතවතෙකු සේ සියලුදෙනාටම සම මෙත්සිතින් සැලකු අපේ කාලයේ දුලබ මනුෂ්‍යයෙකි. බොහෝදෙනාට ඔහු මාර්ටින් අයියා නම් විය. ශ්‍රී ලංකාතිලක සම්මානය ලක් රජයෙන් 1994දී හිමිවූ ඔහුට පසුව සම්මාන ගණනාවක්ම හිමි විය. ඔහුගේ විශ්‍රාම දිවිය මුළුමණින්ම කැපකළේ වන ගහණය සමඟය. තමන්ගේ අල්පේච්ඡ නවාතැන, ලොව සතර දිග්බාගයෙන්ම ආ සියලු අධ්‍යයන ශිලීන්ගේ සහන නවාතැන බවට පත්කළ ඔහු ලද දෙයින් සතුටුව නිබඳව මඳ සිනා පාමින්, පර් යේෂකයන් සමඟ කටයුතු කරමින් ඔවුන්ට දැනුම දෙමින් ඔවුන්ගෙන්  දැනුම ලබමින් ගත කළේය. උපාධිධාරීන් ගණනාවකටම සහන සැලසූ, මඟපෙන්වූ ඔහුට අඩුවූයේ විශ්වවිද්‍යාල උපාධි සහතිකය පමණි. ඔහුගෙන් සේවය ලත් කිසිදු විශ්වවිද්‍යාලයකට, ආයතනයකට හෝ  පුද්ගලයකුට හෝ ඒ අඩුව සපුරා දෙන්නට නම් මෙතෙක් සිහිපත් නොවීය.

තමන්ට උදව් කළ සියලුදෙනා ගැනම ඔහු නිබඳවම ස්තූති පූර්වකව මතකයට නැංවීය. මහාචාර්ය සරත් ඩබ්ලිව්. කොටගම, මහාචාර්ය නිමල් සහ සාවිත්‍රි ගුණතිලක, නීලා ද සොයිසා, ඉංග්‍රීසි මහාචාර්යවරියක් සහ මාර්ච් ෆෝ කන්සර්වේෂන් (MFC)හි ප්‍රමුඛ ක්‍රියාකාරිණියක වන රිහානා රහීම්, එම්.ඩී. දිසානායක, සිරිල් විජේසුන්දර සහ මාර්ක් එස්. ඇෂ්ටන් ඔහුට ඉතා සමීපව සිටි තරුණ විද්වතුන් අතරින් කීපදෙනෙකි. 
කැලේ ගස්වැල් ගැන ඔහුට තමන්ම රුස්කර ගත් පාරම්පරික දැනුමක්ද විය. මේ දැනුම නව යුගයේ 

පර්යේෂකයන්ට අලුත් නමුත් අත්‍යවශ්‍ය දැනුමක් විය. සතා සීපාවුන් කුරුල්ලන් ගැවසෙන තැන් ගැන මාර්ටින් දැන සිටියේ කුඩා කළ සිට නිරීක්ෂණයෙන් ලද අත්දැකීම් මගිනි. ඒ හැරත් ඔහු සතුව රස කතා සරිත් සාගරයක්ම තිබුණි.
ඔහු සිංහරාජය අවට ගම්මාන ගැන ඉතිහාසය මෙන්ම එහි භාෂාව හා සංස්කෘතික සුවිශේෂිතා ගැන දැන සිටියේය. ඒ ගැන සොයාබලා සටහන් තැබුවේය. පක්ෂීන් ප්‍රමුඛ වනසතුන් නිරීක්ෂණයද අත්නොහළේය. පසුකාලීනව ඔහු තමන්ගේම කියා යස නවකතාවක්ද ලියා පලකර තිබුණි. මෑතක ඔහුගේ ජීවන චරිතයේ ඇතැම් කරුණු පොතක් ලෙස එළියට ආවේය. ඒත් ඔහු තුළ වූ සැබෑ මිනිසා - සැබෑ රසවතා සැමදාම වනගහනය තුළම වසංවී සිටියේය. ඔහුම බොහෝ විට කී පරිදි “මම වනාන්තරේ ආරක්ෂා කළා. වනාන්තරේ මාව ආරක්ෂාකළා” යන වදන්වලට සරිලන සේය. දැන් ඒ රසවතා, ආරක්ෂකයා, උනන්දු සහගත ශිෂ්‍යයා, උපාධි නොපිදූ මහාචාර්යවරයා, සදහටම නික්ම ගොසිනි.
ඔබට සුබ ගමන් !

• සුගත් පී. කුලතුංගආරච්චි