2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා

එකතැන කැරකෙන ඉන්ධන මිල සූත්‍රය

 2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 42

ඉන්ධන මිල සූත්‍රය පිළිබඳ කතිකාව වර්තමාන දේශපාලන සංවාදයේ  ප්‍රමුඛතම කතිකාවකි. කෙසේ වෙතත් ඉන්ධන මිල සූත්‍ර පිළිබඳ වූ දේශපාලන ආරවුල් ශ්‍රී ලංකිකයන්ට අලුත් යමක් නොවේ. ඉන්ධන මිල අවිධිමත්ව ඉහළ යන කාලවකවානුවල මෙම සංවාද ගොඩනැගෙයි. ඉන්ධන හිඟය පිළිබඳ පසුගිය දිනවලදී නිර්මාණය වූ කතිකාවන් සේම සපුගස්කන්ද පිරිපහදුව වසා දැමීමට හේතුවෙන් නිර්මාණය වූ ගැටලුවද මෙවර ඉන්ධන මිල සූත්‍ර කතාවට පදනම සැකසුවේය.

මෙරට පළමු ඉන්ධන මිල සූත්‍ර කතිකාවක් නිර්මාණය වූයේ යහපාලන ආණ්ඩු සමයේ දීය. එම ඉන්ධන මිල සූත්‍රය හඳුන්වාදීමත් ගැටලු රුසක් මතුවිය. ඉන්ධන මිල සූත්‍රය මගින් මසකට වරක් ඉන්ධන මිල ගණන් සංශෝධනය වන අයුරු කෙසේ සිදුවනවාදැයි හෙළිකරන ලෙස බොහෝ පාර්ශව ඉල්ලා සිටියේය. අවසානයේදී මිල සූත්‍රය ජනතාව හමුවට ඉදිරිපත් කිරීමට එකල ආණ්ඩුව කටයුතු කළේය. ඉන්ධනවල උපරිම සිල්ලර මිල (MRP) = වරායෙන් ගොඩබාන පිරිවැය (V1) + සැකසීමේ පිරිවැය (V2) + පරිපාලන පිරිවැය (V3) + බදු පිරිවැය (V4) ලෙස මෙම මිල සුත්‍රය සකසා තිබුණි.

එවක මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මිල සූත්‍රය ජනතාවට හෙළි කරමින් කී කතාව එකල රටම කැළඹුවේය.
කරන දේවල් හැමදේම අපි තේරුම් ගන්න ඕනේ නැහැනේ. අපි දොස්තර මහත්මයෙක් නොවුණත් සමහර වෙලාවට අපි දන්නවා ලෙඩේට අදාළ විශේෂඥයා සූත්‍රයක් දුන්නොත් ඒක ඇත්තක් කියලා. ලෝක තෙල් මිල වැඩි වෙනකොට මෙය වැඩි වෙනවා. රුපියල ශක්තිමත් වෙනකොට ආයෙමත් මිල පහළ යනවා" 

ඉන්ධන මිල සූත්‍රය අතීත කතාව එසේ වෙද්දී වර්තමාන කතාව  මාධ්‍යයේ අවධානයට ලක්වූයේ අයවැය විවාදයට එක්වෙමින් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා කී කතාව හරහාය. ඉන්ධන මිල තීරණය කිරීමට මිල සූත්‍රයක් ක්‍රියාත්මක කළ යුතු බවට ඔහු යෝජනාවක් ඉදිරිපත් කළේය. ලෝක වෙළෙඳපොළේ තෙල්මිල වෙනස්වීම සම්බන්ධයෙන් තීරණ ගැනීම සදහා මිල විචලනය වීමක් අවශ්‍ය බැවින් මහබැංකුව පවසන පරිදි මිල සූත්‍රයක අවශ්‍යතාවක් පවතින බව ඔහු පැවසීය.
“ලෝක වෙළෙඳපොළේ මිල ගණන්වලට සාපේක්ෂව ක්‍රමානුකූලව මිල විචලනය විය යුතු ක්‍රමවේදයකට ආපසු යා යුතුයි. මම පෞද්ගලිකව එකඟ වෙනවා එම යෝජනාවට. එම නිසා මහ බැංකුව කියපු ආකාරයට යළිත් වතාවක් මිල සූත්‍රයකට යා යුතුයි කියන ස්ථාවරය මම මේ අවස්ථාවේදී යෝජනා කරනවා.*

කෙසේ වෙතත් මෙම ප්‍රකාශයත් සමගම බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගෙන් අප විමසා සිටියේ මිල සූත්‍රය යෝජනාව ප්‍රායෝගිකද යන්නයි. ශ්‍රී ලංකාවට වඩා ගැලපෙන්නේ මිල සූත්‍රයක් නොව මිල ස්ථායීකරණ අරමුදලක් සැකසීම යැයි අදහස් කරන නමුත් එහෙත් සඳහා 2021 මාර්තු 15 වැනි දින තමා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට මුදල් අමාත්‍යංශයේ අනුමැතිය තවමත් ලැබී නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය. මිල ස්ථායිකරණ අරමුදලක් බිහි නොවේ නම් කිසිවක් නොකොට බලා සිටීමට වඩා ඉන්ධන සඳහා මිල සූත්‍රයක් නිර්මාණය කිරීම සුදුසු යැයිද උදය ගම්මන්පිල අමාත්‍යවරයා සඳහන් කළේය. පසුව ඔහු මේ සම්බන්ධ පාර්ලිමේන්තුවේදී ද පැහැදිලි කළේය.

&ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යෑමට අනුරූපීව ඉන්ධන මිල වැඩිකරන්නේ නෑ කියන්නේ මේ රටේ සුපිරි ධානපතියන් භාවිත කරන සුපිරි වාහනවලට යොදන ඉන්ධන සඳහාත් දුප්පත් ජනතාවත් වැට් බද්දක් ගෙවනවා කියන එකයි. මගේ ඉල්ලීම වුණේ මිල ස්ථායිතාකරණ අරමුදලක් පිහිටු වීමයි. ශ‍්‍රී ලංකාව වගේ රටකට ගැලපෙන්නේ එයයි. 2021 මාර්තු 15දා මා ඒ සඳහා කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කළා. මහ බැංකුව කියන්නේ මිල සූත‍්‍රයට යා යුතුයි කියලා. මගේ අදහසක් නම් ඉන්ධන සඳහා මිල ස්ථායිකරණ අරමුදලක් පිහිටුවීම ඉතා සුදුසු බවයි. එය ක‍්‍රියාත්මක නොකරන්නේ නම් අඩුම වශයෙන් වහාම මිල සූත‍්‍රයකට යා යුතුයි.*

ගෝලීය ඉන්ධන මිල ගණන් ඉහළ යෑම දේශීය ඉන්ධන මිල ගණන්වල ඉහළ යෑමට හේතුවක් නොවන බවට සහතික කිරීම පිණිස 2020 වසර ආරම්භයේදී මිල ස්ථායීකරණ අරමුදලක් පිහිටුවා තිබුණි. එහි සැබෑ අරමුණ වූයේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් අඩු මට්ටමක පැවති අවස්ථාවේ මෙරට තෙල් මිල ඊට සමගාමීව සංශෝධනය නොකිරීම තුළින් ඉතිරිය අරමුදල වෙත ලබා ගැනීමයි. එම අවස්ථාවේදී රජය කියා සිටියේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල වැඩිවන අවස්ථාවක තෙල් මිල වැඩි නොකර එම අරමුදලේ මුදල් යොදා ගනිමින් ජතතාව මත බරක් පැටවීම වළක්වන බවකි.

එහෙත් එය එලෙස සිදු නොවූ අතර මේ වනවිට අදාළ අරමුදල පිළිබඳ විගණනයක් ද සිදුවන බව වාර්තා වේ. කෙසේ වෙතත් 2020 වසරදී එවැනි අරමුදලක් ස්ථාපිත කළ බවත් ඒ සඳහා රුපියල් බිලියන 69.2 ක් අරමුදලට රුස්වී තිබූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී ඇත. ඉන් රුපියල් බිලියන 47.5 ක් අරමුදල ආරම්භ කිරීම සඳහා මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත් හරහා ලබාදුන් බව සඳහන්ය.

කෙසේ වෙතත් මෙම අරමුදලෙන් රුපියල් බිලියන 48ක් ලංකා විදුලි බල මණ්ඩලය ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු ණය පියවීමට යොදාගත් බව මහ බැංකුව අනාවරණ කර ඇත. මහ බැංකුව පවසන්නේ තවත් රුපියල් බිලියන 21ක් මහ බැංකුව නිකුත් කළ භාණ්ඩාගාර බිල්පත් පියවීමට යොදාගත් බවය. 2021 වසරේදී පෙට්‍රල් හා ඩීසල් මත පැවති ලාබය ඉවත්වීම හේතුවෙන් අරමුදලට මුදල් රුස්වන මාර්ගයක් නොතිබූ බවද මහ බැංකු වාර්තාවෙන් සඳහන්ය.
මේ අතර පසුගිය සතියේදී ඉන්ධන මිල ගණන් තීරණය කිරීමට තෙල් මිල සූත්‍රයක් ක්‍රියාත්මක කළ යුතු බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා දේශයට පවසා තිබුණි. මාස තුනකට වරක් ලෝක තෙල් මිල සලකා බලා මිල ගණන් ඉහළ යනවිට මිල ඉහළ දැමීමත් මිල ගණන් පහළ යන විට මිල පහත දැමීමත් එම මිල සූත්‍රය මගින් සිදුකළ යුතු බවය ඔහු පැවසීය.

සැබවින්ම ඉන්ධන සම්බන්ධයෙන් සහනයක් මෙරට මහජනතාවට අත්‍යවශ්‍යය. එය මිල සූත්‍රය හෝ මිල ස්ථායිකරණ අරමුදල වූවාට කම් නැත. ලොවපුරා ඉන්ධන මිල සූත්‍ර ක්‍රියාත්මක වේ. මෙරටද ප්‍රසිද්ධියට පත් නොවුණද ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධ යම් ක්‍රමවේදයක් ඉතින් ඉතිහාසය තුළදී අනුගමනය කර ඇති බව පැහැදිලිය. එහෙත් ලොව සෙසු රටවල මෙන් මෙරටදී ජනතාව පිළිබඳ සිතා මතා ඒ කළේද යන්න කළේද යන්න ගැටලුවකි.

මූලාශ්‍රය - පසුගිය වසරවල මාධ්‍ය වාර්තා

 චමිඳු නිසල් ද සිල්වා