2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා

කාටත් අමතක වුණු වැලිවිට සරණංකර නියමකන්ද විහාරය

 2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 416

උඩුනුවර ඇම්බැක්කේ දේවාලයට නුදුරින් පිහිටි රංගම ගමේ පිහිටි නියමකන්ද ශ්‍රී සංඝරාජ පිරිවෙන් විහාරය මෙරට පිරිවෙන් අධ්‍යාපනයේ ඓතිහාසික සන්ධිස්ථානයකි. වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමියන් උඩරට යුගයේ පිරිවෙන් අධ්‍යාපනය ආරම්භ කරමින් මුල්ම භික්ෂු පිරිවෙන පිහිටවූයේ එතැනයි. කාලයාගේ ඇවෑමෙන් වනගත වූ ඒ විහාරය අයිති උඩුනුවර ලංකාතිලක රජමහා විහාරයටයි.

අතීත ආගමික පුනර්ජීවනය යළිත් නියමකන්දේ ඇතිකිරීමේ වැඩපිළිවෙළක් පසුගිය දිනවල යළිත් ආරම්භ කෙරිණි. ලංකාතිලක රජමහා විහාරාධිපති ශ්‍යාමෝපාලී මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ කාරක සංඝසභික අමුණුගම රාජගුරු ශ්‍රී විපස්සී නායක හිමියෝ ඒ සඳහා අනුශාසනා කළහ. ඒ අනුව නියමකන්ද සංඝරාජ විහාරයේ විහාරාධිකාරී ලෙස පිළිමතලාවේ ජිනරතන හිමි දැනට එම ස්ථානයේ වැඩසිටිමින් එහි සංවර්ධන කටයුතු කරති. ලංකාතිලක රජමහා විහාරයේ බස්නායක නිලමේ ප්‍රියන්ත අමුණුගම මහතා තම සංවිධාන ශක්තිය ද ඒ සඳහා ලබා දෙමින් සිටී.

මේ නටබුන් විහාර ඉඩමට අතීතයේ අක්කර හයකට වැඩි බිම් ප්‍රමාණයක් පැවති බව පෙනෙනවා. ඒ අතරින් බොහෝ ඉඩම් පසුගිය කාලයේ විහාරය නොපැවති නිසා ජනාවාස, වගාබිම් බවට පත්වෙලා. බිම් සවිය යටතේ විහාරයට අක්කර තුනහමාරක් මැන වෙන් කළා. මෙහි තිබුණු පැරණි බෝධින් වහන්සේ මේ ළඟදි අපවත් වුණා. අපි කළුගලින් කළ පැරණි බෝධි ප්‍රාකාරය මතු කරගෙන තිබෙනවා. අප සමඟ එසේ පැවසුවේ විහාරාධිකාරී පිළිමතලාවේ ජිනරතන හිමියෝය.
මෙහි අවුරුදු 70කට පමණ පෙර විහාරයක් පැවති අතර දැනට ඒ විහාරය ද නටබුන්ව පවතී. ජිනරතන හිමි හා ප්‍රියන්ත අමුණුගම මහතා ඇතුළු පිරිසගේ සහයෝගයෙන් දිරාපත් වූ විහාරගෙයට තාවකාලික පියස්සක් සකසා ඇත. විහාරයේ පියස්ස තනා ප්‍රතිසංස්කරණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ලබා දුන් සැලැස්ම ක්‍රියාත්මක කිරීම නැවතී ඇත්තේ ඒ සඳහා ප්‍රතිපාදන සොයා ගැනීමේ අපහසුව නිසාය. මේ නිසා රාජ්‍ය අනුග්‍රහයක් හෝ වෙනත් අයකුගේ සහයෝගයක් ඒ සඳහා ලැබෙන්නේ නම් එය විශාල පිංකමක් බව විහාරාධිකාරී හිමියෝ පැවසූහ. 

උන්වහන්සේ මෙසේද පැවසූහ. සංඝරාජ හාමුදුරුවන්ගෙ කාලෙ තිබුණු සංඝාරාමයේ කළුගල්වලින් කළ පාදමේ නටබුන් තිබෙනවා. ඒක අඩි 10ක් පළල අඩි 20ක් පමණ දිග ගොඩනැගිල්ලක්. උපාසක උපාසිකාවන්ට පෙහෙවස් සමාදන්වීමටත් තාවකාලික ධර්ම ශාලාවක් තනා තිබෙනවා. අද වන විට විහාර බිමට ඒමට නිශ්චිත පාරක් නෑ. පැරණි කාලේ තිබුණු පාර ගොවිබිම් බවට පත්වෙලා.
ප්‍රියන්ත අමුණුගම මහතා මෙසේ අදහස් දැක්වීය. විහාරයට පැමිණෙන මාර්ගය නිසි ලෙස සකස් කළ යුතුයි. රංගම කියන්නේ දුෂ්කර ගමක්. වැඩි දෙනෙක් ජීවත් වන්නේ කුඹුරු ගොවිතැන හෝ වෙනත් වගාවක් කරලයි. කලක් යන තෙක් වැස්සට තෙමෙමින් තමයි බුදු මැඳුර පැවතුණේ. එහි පියස්ස තනා අලුත්වැඩියා කළ යුතු වෙනවා.

සිල්වත් සමාගම නම් භික්ෂු එකමුතුවක් හදාගෙන වැනසී යන භික්ෂු ශාසනය හා බුද්ධ ශාසනයේ පුනර්ජීවනයක් ඇතිකිරීමට කටයුතු කළේ වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ය. වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ (1707 – 1739) රජුට, වැලිවිට සරණංකර හිමිගේ ව්‍යායාමය දැනගන්නට ලැබුණි. රජු වරක් උන්වහන්සේගේ බුද්ධිය ගැන පැහැදී ඇතෙක් තෑගි දීමට තීරණය කළේය. නමුත් හාමුදුරුවෝ ඒ තෑග්ග ප්‍රතික්ෂේප කළහ. එසේ නම් අවශ්‍ය කුමක්දැයි විමසූ විට භික්ෂූන් වහන්සේට අධ්‍යාපනය ලැබීමට නිසි තැනක් නැතිකම ගැන පහදා පිරිවෙනක් ලබා දෙන ලෙස පැවසූහ. රජු මෙම කටයුත්ත ඉටුකර දෙන ලෙස මාම්පිටියේ නවරත්න රාළට බාර දුන්නේය. මාම්පිටියේ රාළ නියමකන්ද නම් ස්ථානයේ නිස්කලංක පෙදෙසක විහාරයක් කරවා බාර දෙමින් පිරිවෙනක් තැනීමට අඩිතාලම දැම්මේය. විහාරයේ වැඩවාසය කරමින් සරණංකර හිමියෝ පිරිවෙනක් ආරම්භ කළහ. එහි නඩත්තුවට ගම්පොළ අටුවෙන් මසකට හාල් සේරු 300ක්ද තුම්පනෙන් පොල් 300කුත් මහලගබඩාවෙන් සෙසු උපකරණ ආදි දේත්, ලේවැල්ලේ තල්වත්තෙන් තල්කොළ 500 බැගිනුත් දෙන ලෙසට රජු නියෝග කළ බව සංඝරාජ සාධු චරියාවේ සඳහන්ය. 

පිරිවෙනේ ආරම්භය ගැන ආයිත්තාලිද්දේ මුහන්දිරම් සංඝරාජ සාධු චරියාවේ ලියන්නේ මෙලෙසයි. අභිනව ගාථා සන්න වශයෙනුදු ලියා ඔප්පු කර සිටි කල සත්කෝරළ දිසාව, කෝරළ තුනේ දිසාව, බත් වඩන නිලය ඇතුළු තනතුරු ලැබී තිබෙන මාම්පිටියේ නවරත්න අමනාහස්ත මුදියන්සේ ලවා උඩුනුවර ඇම්බැක්කේ දේවාලයට නුදුරු වූ ජායුදක සම්පන්න තපෝවන මනෝනන්දනීය සුන්දරතර නියමකන්ද යන වන ප්‍රදේශයෙහි විශාල ශාලා ගෘහ පංක්තියාදීන් සමුපශෝභිත කරවන ලද ආරාමයෙහි ශිෂ්‍ය වර්ගයා සමඟ වැඩවසන සේක්.. (සංඝරාජ සාධු චරියාව, සංස්: හේන්පිටගෙදර පියනන්ද හිමි, 24 පිට)

1739 දී කිරුළට පත් ශ්‍රී විජයරාජසිංහ රජු ද නියමකන්ද විහාරය සංවර්ධනයට සහයෝගය දැක්වූයේය. කීර්ති ශ්‍රී රාජසිංහ රජ කාලයේ 1753 දී උපසම්පදාව පිහිටුවන තෙක් වැලිවිට සරණංකර හිමි මෙහි වැඩසිටි බව සැලකේ. නියමකන්දේ වැඩවසන කාලයේ ශිෂ්‍ය භික්ෂූන්ට ආරාමිකයන් දන් පිළියෙල කර දෙන ලද අතර ඇතැම්විට ගම්වැසියෝ ද දානය ලබා දුන්හ. සරණංකර සංඝරාජ හිමි ක්‍රමයෙන් නරේන්ද්‍රසිංහ රජු සමඟ වඩාත් සමීපව ඇසුරු කිරීමට පටන් ගැනීමෙන් පසු මහනුවර අගනගරයට නිතර ගිය අතර මේ නිසා නියමකන්ද පිරිවෙන දිගු කලක් පවත්වාගෙන යාමට නොහැකි විය. කීර්ති ශ්‍රී රාජසිංහ රජ කාලයේ උපසම්පදාව පිහිටුවීමෙන් අනතුරුව සරණංකර සංඝරාජ හිමියෝ පිරිවෙන මහනුවර පෝයමළු විහාරයට රැගෙන ගියහ. දරමිටිපොළ ධම්මරක්ඛිත, ගිනිගත්පිටියේ සංඝරක්ඛිත, ගිනිගත්පිටියේ දීපංකර ආදී උගත් හිමිවරු මේ පිරිවෙනේ  ඉගෙන ගත් බවට සාධක පවතී. සංඝරාජ හිමියන්ගෙන් පසුව අභාවයට ගොස් කැලෑවට යටවුණු මේ පිරිවෙන පසුකාලීනව ලංකාතිලක විහාරයේ වැඩවිසූ ගම්පහ හාමුදුරුවන් විසින් පසුගිය සියවසේ මුලදී ප්‍රතිසංස්කරණය කිරීමට උත්සාහ ගෙන තිබේ. ඒ අනුව පිළිම ගෙයක් තනා නැවත ටික කාලයක් එය විහාරයක් ලෙස පැවතුණද යළිත් අභාවයට ගොස් ඇත. අද එතැන ඇත්තේ එසේ මෑත අතීතයේ තැනූ විහාරයේ හා සංඝාවාසයේ නටබුන්ය.

 කුසුම්සිරි විජයවර්ධන