2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා

කොවිඩ් එන්නත ලෝකෙ පුරා වැඩ කරන්නේ කොහොමද?

 2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 52

මේ වනවිට කොරෝනා වෛරසයට එරෙහි එන්නත් මාත්‍රා බිලියන හතකට වැඩි සංඛ්‍යාවක් ලොවපුරා රටවල් 197ක දී ලබා දී තිබේ. කෙසේ නමුත්, ලොව විවිධ තැන්වල එන්නත්කරණ ප්‍රගතියේ විශාල වෙනස්කම් දක්නට හැකිය.

සිය ජනගහණයෙන් විශාල කොටසක් සඳහා මාත්‍රා මිලට ගෙන එන්නත්කරණය සිදු කිරීමට ඇතැම් රටවල් සමත්ව ඇති නමුත්, තවත් සමහර රටවල් සිටින්නේ තරමක් පසුපසිනි.

එන්නත් ලැබෙන්නේ කාටද?

ලොවපුරා සෑම වැඩිහිටියකුටම පාහේ එන්නත් මාත්‍රා ලබාදීමට අදහස් කරන, ලෝක ඉතිහාසයේ විශාලතම එන්නත්කරණ වැඩසටහන මෙයයි.

සමස්තයක් වශයෙන් ගත්කල චීනය සහ ඉන්දියාව ඉහළම එන්නත් මාත්‍රා ප්‍රමාණයක් (පිළිවෙළින් බිලියන 2.4ක් සහ 1.1ක්) ලබාදී ඇත. එන්නත් මාත්‍රා මිලියන 440ක් ලබා දී ඇති එක්සත් ජනපදය තෙවැනි ස්ථානයේ පසුවෙයි. යුරෝපයේ සහ ඇමරිකාවේ රටවල එන්නත්කරණ ව්‍යාපාර හොඳ ප්‍රගතියක් ලබමින් තිබුණද, අප්‍රිකාවේ බොහෝ රටවල් එන්නත් සපයාගැනීමේ ගැටලුවට මුහුණ පා සිටියි.

මේ වසරේ සැප්තැම්බර් මස අවසන් වනවිට ලොව සියලු රටවල ජනගහණයෙන් 10%ක් කොවිඩ්-19ට එරෙහිව සම්පූර්ණයෙන්ම එන්නත් කර තිබිය යුතු බවට ඉලක්කයක් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පිහිටුවා තිබුණි. එනමුත්, රටවල් 50කට අධික සංඛ්‍යාවක් ඉලක්කගත ආරක්ෂාව ලබාගැනීමට අපොහොසත්ව සිටියි.

මේ වසර අවසාන වනවිට රටක ජනගහණයෙන් 40%ක් ද, 2022 වර්ෂයේ මැදභාගය වනවිට ජනගහණයෙන් 70%ක් ද සම්පූර්ණයෙන්ම එන්නත්කර තිබිය යුතුය යන නව ඉලක්කය ළඟාකර ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වනවිට උත්සාහ දරයි.
බොහෝ දුප්පත් රටවල් එන්නත් ලබාගැනීම සඳහා සිය විශ්වාසය තබා ඇත්තේ කොවැක්ස් වැඩසටහන කෙරෙහිය. ලෝක සෞඛ්‍ය සංවිධානයද, වසංගතය සඳහා සූදානම් වීමේ නවෝත්පාදන පිළිබඳ සන්ධානයද (CEPI) සමඟ Gavi, the Vaccine Alliance නම් සංවිධානය ඇරඹූ කොවැක්ස් වැඩසටහන, ලොව සෑම පුද්ගලයෙකුටම කොවිඩ් එන්නතකට ප්‍රවේශය ඇති බව සහතික කිරීමට උත්සාහ දරයි.

මේ වසරේ අවසානය වනවිට ලොව පුරා එන්නත් මාත්‍රා බිලියන දෙකක් පමණ බෙදා හැරීමට කොවැක්ස් වැඩසටහන මඟින් සැලසුම්කර තිබුණද, මේ වනවිට සිය සැපයුම් පුරෝකථනය 25%කින් පමණ (මාත්‍රා බිලියන 1.4ක් දක්වා) පහත හෙළා ඇත. ගෝලීය අපනයන තහනම, නිෂ්පාදනයේදී මුහුණපානා අභියෝග සහ අනුමත කිරීමේ හා නියාමන ක්‍රියාවලීන්ගේ මන්දගාමීත්වයේ ප්‍රතිඵලයක් ලෙස මෙසේ සිදුවී තිබේ.

දැනට මෙම වැඩසටහන මඟින් ලොවපුරා බෙදා දී ඇති මාත්‍රා සංඛ්‍යාව මිලියන 435කට අධිකය. G7 රටවල නායකයින්ද සෘජුව හෝ කොවැක්ස් වැඩසටහන හරහා දුප්පත් රටවලට එන්නත් මාත්‍රා බිලියනයක් සැපයීමට ප්‍රතිඥා දී ඇත.

වැඩියෙන්ම භාවිතා වන එන්නත් මොනවාද?

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත වූ පළමු එන්නත වූයේ ෆයිසර් බයෝඑන්ටෙක් එන්නතයි. පසුව තවත් කීපයකට අනුමැතිය හිමිවිය. වර්තමානය වනවිට ලොවපුරා බහුලවම භාවිතා වන එන්නත බවට ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා පත්ව තිබේ.
අධිශීත තත්ත්වයන් යටතේ (-70C) ගබඩා කළ යුතු ෆයිසර් එන්නත මෙන් නොව, ඇස්ට්‍රාසෙනෙකා එන්නත සාමාන්‍ය ශීතකරණයක වුවත් ගබඩා කළ හැකි හෙයින් එය ප්‍රවාහනය සහ බෙදාහැරීම වඩාත් පහසුය.

ගෝලීය වශයෙන් වැඩිපුරම භාවිතා වන එන්නත කුමක්ද?

අප්‍රිකානු සංගමය ජැන්සන් (ජොන්සන් ඇන් ජොන්සන්) විසින් නිපදවුණු එන්නතේ මාත්‍රා මිලියන 400ක් බෙදාහැරීම ආරම්භ කර තිබේ. ෆයිසර් සහ ඇස්ට්‍රාසෙනෙකා එන්නත්වලින් මාත්‍රා දෙකක් ලබාදිය යුතු වුවද, ජැන්සන් එන්නතෙන් ලබාදිය යුත්තේ තනි මාත්‍රාවකි.

බොහෝ රජයන් එන්නත් ලබාදීම ආරම්භ කළේ වයස අවු. 60ට වැඩි පුද්ගලයන්, සෞඛ්‍ය සේවකයන් සහ සායනික වශයෙන් වැඩි අවදානම් කාණ්ඩයේ පුද්ගලයන්ගෙනි. ප්‍රමුඛතා කණ්ඩායම් එන්නත්කරණයෙන් පසු තරුණ වයස්වල පසුවන්නන්ට බහුලවම එන්නත් ලබාදෙනු ලැබීය. එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, යුරෝපය, සහ තවත් රටවල, වයස අවු. 12-15 අතර දරුවන්ට ලබාදීම සඳහා ෆයිසර් එන්නත අනුමත වී ඇත. චීනයේ සහ කොලොම්බියාවේ වයස අවු. තුනක් පමණ ළාබාල දරුවන්ටද සිනොවැක් එන්නත ලබාදෙනු ලැබේ.

ඊශ්‍රායලය සහ එක්සත් රාජධානිය වැනි රටවල, එන්නත් මඟින් රෝහල්ගතවීම් සහ මරණ සංඛ්‍යාව අඩු කරන බවට විශ්වාසනීය ලකුණු දැනටමත් දක්නට හැකිය. මේ වනවිට, ගෝලීය වශයෙන් එන්නත් 100කටත් වඩා ඒවායේ කාර්යක්ෂමතාව සහ ආරක්ෂිත බව පරීක්ෂා කෙරෙන අත්හදාබැලීම්වලට ලක්වෙමින් පවතියි.

(බී.බී.සී. සිංහල වෙබ් අඩවිය ඇසුරිනි)