2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා

බස් එකක් ඇතුළේ ‌ගෙයක් හදාගෙන ලෝකය වටේ යන්න හදන සුරංග

 2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 79

රෝද හතරක් උඩ ඇති නිවෙසක් සමඟ ලෝකෙ වටේ සංචාරය කරන්නට හීන දකින  හරි අපූරු තරුණයෙක් දේශය පිටු අතරට එක්වන්නේ ඒ හීන හැබෑකර ගන්නට වෙර දරන වකවානුවකයි. ඔහු නමින් සුරංග මහේෂ් කරුණානායකය. Motor home නිර්මාණයක් කරන්නට ඔහු කාලයක සිට හීන දැක්කේය. මෙය Mitsubishi Rosa (1983) බස් රථයක් ඇතුළත ඉදිකළ නිවෙසකි.

පුංචි කාලේ ඉඳන්ම මම ඇවිදින්න ආසා කළා. මම ඉපදුණේ අනුරාධපුරයේ. තුන වසර පන්තියේ ඉඳන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන තුරු මම නුවර ඉගෙන ගත්තා. මට වයස අවුරුදු පහේදී විතර එක්තරා නාළිකාවක වනගත අමෙරිකාව නමින් වැඩසටහනක් විකාශය වුණා. මට අද වගේම මතකයි ඒක බලලා මටත් ඇවිදින්න, කැලේ බලන්න යන්න ලොකු ආසාවක් ඇතිවුණා. ඒ වැඩසටහනින් පස්සේ ඇතිවුණු ආසාව නිසාම මම තේරෙන කාලේ ඉඳන්ම කැලෑවල් ගැන, සංචාරකයන් ගැන පොත්පත් කියෙව්වා. හතර වසරේ ඉඳිද්දි පවා ගස් ගැන, කුරුල්ලෝ ගැන සෑහෙන පොත්පත් මම කියෙව්වා. මම උසස් පෙළට ජීව විද්‍යා අංශයෙන් ඉගෙන ගත්තා. ඒ නිසා ඇවිදින්න යන ආසාව අධ්‍යාපනය නිසාම මගෙන් ටිකක් මඟහැරුණා. මම විශ්වවිද්‍යාලයට තේරුණා. ඔය අතරේ මම රසායන විද්‍යා ගුරුවරයෙක් ලෙසින් උපකාරක පන්ති පැවැත්වුවා. ඇත්තටම උපකාරක පන්ති පැවැත්වීමේ මූලික අරමුණ වුණේ කොහොම හරි සල්ලි එකතු කරගෙන රට වටේ ඇවිදින්න යන්නයි.* සුරංග මහේෂ් කරුණානායක කියයි.

සුරංග උපකාරක පන්ති ගුරුවරයෙක් ලෙසින් ඉතා කාර්යබහුල විය. ඒ නිසාම ඔහුගේ සංචාර හීනය දිනෙන් දින පසු බැස්සේය. ඔහු ව්‍යාපාරයක්ද ආරම්භ කළේය. එයින් ඔහු යම් සාර්ථකත්වයක් ලැබුවේය. සේවකයෝ කිහිප දෙනෙක් ඔහු යටතේ සේවය කළහ. එලෙස ව්‍යාපාරික ක්ෂේත්‍රයේ යම් ඉහළ තත්ත්වයක සිටි සුරංග මහේෂ්ගේ ව්‍යාපාර කටයුතු 2017 වසරේදී පහළ බැස්සේය. කවදා හෝ ලෝකය වටේ යන හීනය ඔස්සේ මුදල් පසුපස ගිය සුරංග මහේෂ්ගේ හිතට යම් පසුතැවීමක් ඇතිවිය. මුදල් ලැබුණද ජීවිතේ සතුට ඇත්තේ මේ මුදල් මත නොවන බව ඔහු දැන සිටියේය. ඒ නිසා සියලු ව්‍යාපාර කටයුතු නවතා දැමූ සුරංග ලෝකය වටේ ඇවිදින්නට හීන ඇහින්දේය. උපකාරක පන්ති ගුරුවරයකු ලෙසින් සේවය කළ මුල් කාලයේදී යම් තරමකින් හෝ තම හීනය දකින්නට පාර එළිපෙහෙලි කරගෙන තිබිණි. ඔහු තම මෝටර් සයිකලයෙන් රටේ සමහර පැතිවලට ගොස් ඒ සුන්දරත්වය අත්වින්ඳේය. ඒ සුන්දරත්වයේ අපූර්වත්වය ඔහු ජීවිතයට එක්කර ගත්තේය. නමුත් ව්‍යාපාරිකයකු ලෙසින් දියුණු වෙද්දී සුරංගගේ හිතේ සැනසීම නැති වී ගියේය.

&2018 අවුරුද්දේ විතර මට වාහනයක් ඇතුළේ ගෙයක් හදාගන්න ඕන වුණා. මම ඒ සම්බන්ධයෙන් අන්තර්ජාලය ඔස්සේ තොරතුරු හොයල බැලුවා. YouTube එකේ වාහන ඇතුළේ ගෙවල් හදාගත්තු මිනිසුන් ගැන සඳහන් වෙලා තිබුණා. මම ඒ හැමදේම බැලුවා. පුංචි කාලෙදී වුණත් මම කන්දක් නැග්ගත් මට එතන ඉන්න ඕන වුණා. කැලෑවක් ඇතුළට ගියත් මට ඒ කැලෑවේ ඇතුළේ ඉන්න ඕන වුණා. ඒ නිසා මේ ගමන යන්න නම් ඇවිදින්න ගෙයක් ඕනෑමයි කියල මට හිතුණා. මම අවුරුදු එකහමාරක් විතර මේ හැම වීඩියෝ එකක්ම බලලා Motor home එකක් හදන්න තීරණය කළා.

ඒ වෙද්දී සුරංගට තිබුණේ Nissan Leaf මෝටර් රථයකි. මෙම කාරය ඇතුළත නිවෙසක් නිර්මාණය කරන්නට සුරංගට සිතුණි. නමුත් තමන්ට ඉඩ ප්‍රමාණය ඇතිවුවද තම බිරිඳ දිලිනිට එම ඉඩ ප්‍රමාණවත් නොවන බව සුරංගට හැඟී ගියේය. ඒ නිසා තමන් සමඟ මේ සංචාරය සඳහා එන දිලිනිට එපා නොවන සේ ගමන යාමේ පහසුව උදෙසා සුරංග තම කාරය විකුණා බස් රථයක් මිලදී ගැනීමට තීරණය කළේය. ඒ වෙද්දී සුරංගට බර වාහන පැදවීමේ බලපත්‍රයක් පවා නොතිබුණි. ඔහු ඒ සඳහා පුහුණුවීමක් ලැබ බලපත්‍රය ද ලබා ගත්තේය. 2020 වසරේදී ඔහු තම කාරය විකුණා පැරණි Mitsubishi Rosa බස් රථය මිලදී ගත්තේය. ඔහු තම කාරය විකුණන බව බිරිඳට පවසා තිබුණද මෙවැනි පැරණි බස් රථයක් මිලදී ගන්නා බවක් පවසා තිබුණේ නැත. 

&මෙම බස් රථය ලක්ෂ පහහමාරක් පමණ මුදලකින් මම මිලදී ගත්තා. බස් රථය මිලදී ගෙන ගෙදර ගෙනාව දවසේ සිට මම මේ නිවහන හදන්න පටන් ගත්තා. ඒ හැමදේම මම තනියමයි කළේ. ඒක නිවසක් විදිහට නිර්මාණය කරන්න දළ වශයෙන් ලක්ෂ හතරහමාරක් විතර වැය වුණා. මට පරණ බයිසිකලයකුත් තිබුණා. ඒක විකුණා ඒ මුදලත් යට කළේ මේ Motor home එක වෙනුවෙනුයි. මේ Motor home එක ඇතුළේ මුළුතැන්ගෙයක්, නිදන කාමරය, නාන කාමරය ඇතුළු අංග නිර්මාණය වෙලා තියෙනවා. නිදන කාමරයේ ඇති ඇඳ ගලවා හය දෙනකුට වාඩි වී කතාබහ කළ හැකි මේසයක් සකසා ගත හැකි පිළිවෙළට නිර්මාණය කරල තියෙනවා. ඊට අමතරව බඩු භාණ්ඩ, ජල බෝතල් රඳවා ගත හැකි රාක්ක ඇති අතර ඒවා අගුළු දමන්නට හැකි පමණ සකසා තියෙනවා. වාහනයේ ඉදිරිපස ආසන දෙක මටයි දිලිනිටයි තියෙනවා.* සුරංග මහේෂ් කියයි.

Motor home සඳහා ජල පහසුව ලබාගෙන ඇත්තේ වතුර බෝතල් මාර්ගයෙනි. මෙවැනි වෙනත් Motor home සඳහා ජල ටැංකි භාවිත කොට ජල පහසුව ලබාගත්තද ඒ සඳහා අධික මුදලක් වියදම් කිරීමට සුරංගට හැකියාවක් නොතිබිණි.
විශාල ටැංකියක් සවි කරන්නට බැරිකම නිසාම සුරංග ලීටර් විස්ස ප්‍රමාණයේ ජල බෝතල් දහයක් පමණ එකවර රඳවා තබාගත හැකි රාක්කයක් නිර්මාණය කළේය. එවිට එකවර ලීටර් දෙසීයක් රඳවා තබාගැනීමේ පහසුව ඇති අතර එයින් එක් එක් බෝතලය ජල මෝටරයට සවිකොට එමගින් ජල පහසුව සලසා ගැනීමේ හැකියාව ඇත. මෙහි සවිකර ඇත්තේ Cossette toilet එකකි. එය අවශ්‍ය තැන්වලට රුගෙන යාමේ හැකියාව පවතී.

තවම මම මේ බස් රථය නිවසක් ලෙස සකසනවා. තවත් අවසන් කළ යුතු වැඩ කටයුතු කිහිපයක්ම තියෙනවා. විදුලිය පවා සම්බන්ධ කරලයි තියෙන්නේ. ඩිකිය විවෘත කළාට පසුව එම ඉදිරිපස කොටසේ ආහාර පිසීමට හැකි පරිදි සකස් කළ යුතු වෙනවා. ඒ කොටසක් නොබෝ දිනකින්ම අවසන් කරන්න පුළුවන්. මම මේ දිනවලත් Online ක්‍රමයට උපකාරක පන්ති පවත්වනවා. ඒ ලැබෙන හැම මුදලක්ම මගේ හීනයට තමයි මම යොදවන්නේ.* සුරංග මහේෂ් පැවසීය.
සුරංග මහේෂ් ගුරුවරයෙකි. ඔහුගේ බිරිඳ දිලිනි ආයුර්වේද වෛද්‍යවරියකි. වසර පහක ප්‍රේමයකින් පසුව 2016 අවුරුද්දේ විවාහ වුණු සුරංගගේ මෙම ආසාවට දිලිනිගේ අකැමැත්තක් නොතිබිණි. ඇය ද මහේෂ් සමඟ ඇවිදින්න යන්නට ආසා කරයි. මහේෂ් තම Motor home එකත් සමඟ ලෝකය වටා යන්නට හීන දකින්නේය. එය හැබෑකර ගන්නට හැකි බව ඔහු විශ්වාස කරයි.

මම මේ බස් එකෙන් ලෝකය වටේ යනවා කිව්වාම සමහරු හිනාවෙනවා. සමහරු මූට පිස්සු කියලත් කියාවි. ඒත්.. මම ඒක කොහොම හරි කරන්න උත්සාහ කරනවා. මේකෙන් ලංකාව වටේ යන්න අමාරු නැහැ. ඒක කොහොමත් කරන්න පුළුවන්. මුලින්ම මාස දහයක් විතර අත්දැකීම් ලබාගැනීම සඳහා මේ බස් රථයෙන් ලංකාව පුරා සංචාරය කරනවා. ඊට පස්සේ මම මුලින්ම මේ බස් රථයෙන් ඉන්දියාවට යන්න බලාපොරොත්තු වෙනවා. මේ හැමදෙයක්ම Magadige YouTube නාලිකාව ඔස්සේ ඉදිරියේදී විකාශය කරනවා. මෙම බස් රථය නැවෙන් අපිට ඉන්දියාවට ගෙන යන්න පුළුවන්. ඒ සඳහා බලපත්‍රයක් සහ ජාත්‍යන්තර රක්ෂණ බලපත්‍රයක් ලබාගත යුතු වෙනවා. ඒ තොරතුරු සොයා බලලයි තියෙන්නේ. ඒ අනුව මේ වාහනයෙන් ඉන්දියාවේ සංචාරය කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පැරණි බස් රථයක්. මෙය ඉන්දියාවට ගැලපෙනවා. නමුත් මේ බස් රථය ශීත රටවලට ගැලපෙන්නේ නැහැ. මේ ලෝකය වටේ ඇවිදින ගමන මම කොහොම හරි පටන් ගන්න ඕනෙ. ඒකට මේ බස් රථය ගැලපෙනවා. ඉදිරියේදී මීට වඩා හොඳ වාහනයක් Motor home එකක් ලෙස සකසා ලෝකය වටේ ඇවිදින්න බලාපොරොත්තු වෙනවා.

මේ වන විටත් මෙම වාහනයෙන් රට වටේ ඇවිදීමට යාමට කිහිප දෙනකු කැමැත්ත පළ කර තිබුණි. තවත් කිහිප දෙනකු මෙවැනි වාහනයක් සාදා දෙන්නැයි ඉල්ලීම් කර තිබූ අතර සුරංග එම යෝජනාවලට කැමති වූයේ නැත. ව්‍යාපාරයක් නොව මෙය හුදෙක්ම තම හිතේ සතුටට සිදු කරන දෙයකි. මුදල් පසුපස ගිය විට තම හිතේ සැනසීම නැතිවන බව ඔහු ජීවිත අත්දැකීමෙන්ම දැන සිටින තරුණයෙකි.

 දිශානි ජයමාලි කරුණාරත්න

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00