2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා

අහංගමින් මතු වූ අලුත් දඬුවම් මුදලාලි

 2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 341

තැන්පත් මුදල් සඳහා වැඩි පොලී මුදලක් ලබාදෙන බව පවසමින් පසුගිය කාලයේ මෙරට ක්‍රියාත්මක වූ ව්‍යාජ මූල්‍ය ආයතනවලට රැවටුණු මෙරට ජනතාව විශාල පිරිසක් තම මුදල් අහිමි කරගත්හ. සක්විති, දඬුවම් මුදලාලි යන පුද්ගලයන්ගේ මූල්‍ය ආයතන ඊට  කදිම නිදසුන්ය. ක්ෂුද්‍රමූල්‍ය පනත්, අර පනත් මේ පනත් ක්‍රියාත්මක වෙමින් තිබුණද තවමත් අප රටේ තැනින් තැන මෙවැනි ව්‍යාජ මූල්‍ය ආයතන ක්‍රියාත්මක වෙමින් පවතී. මේ පිළිබඳ රට්ටුන් කෙතරම් දැනුවත් කළද වැඩි පොලියක් ලබා ගැනීමේ  ආශාවෙන් ඇතමුන් මෙකි ව්‍යාජ මූල්‍ය ආයතනවල මුදල් තැන්පත් කරති. ඇතැම් පුද්ගලයෝ තමන් සතු යාන වාහන හරකා බාන පවා විකුණා මුදල් ලබාගෙන මෙකී ව්‍යාජ මූල්‍ය ආයතනවල තැන්පත් කරති. වැඩි තණ්හාවට ගොස් මෙකී ව්‍යාජ මූල්‍ය ආයතනවල මුදල් තැන්පත් කොට තම සියලු දේපල නැති කරගත් අයද අප අතර සිටිති.

අප මේ කියන්නටත් යන්නේද එවැනි කතන්දරයකි. තැන්පතු මුදල් සඳහා වැඩි පොලී මුදලක් ලබාදෙන බව පවසමින් අහංගම තිත්තගල්ල ප්‍රදේශයේ විශ්‍රාමික යුධ හමුදා සෙබළෙකු විසින් අහංගම තිත්තගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්  පිරිසකගෙන් ලබාගත්  රුපියල්  කෝටි 04ක පමණ මුදලක් යළි ලබා නොදී විශ්වාසය කඩකර ඇති බව  අහංගම තිත්තගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් පවසති. මුදල් වංචාකළ බව කියන  පුද්ගලයා ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවේ ගැමුණු හේවා බලකායේ සේවය කළ කොමිසම් නොලත් නිලධාරියෙකි.

මොහු ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී ත්‍රස්තවාදීන් විසින් අටවනු ලැබූ පුද්ගල නාශක බිම් බෝම්බයකට හසුවී තුවාල ලබා ඇත. කෝප්‍රල්වරයකු වන රෝෂාන් ප්‍රියරංජක නැමැති මෙකී පුද්ගලයා වෛද්‍ය හේතුන් මත විශ්‍රාම ගන්වා ඇත්තේය. ඉන්පසු  මොහු සිය උපන්ගම වන අහංගම තිත්තගල්ල ප්‍රදේශයට පැමිණ දවසේ පොලියට ණය මුදල් ලබාදීමේ ව්‍යාපාරයක් කරගෙන ගියේය. මෙකී විශ්‍රාමික සෙබළා ගම්මුන්ගේ සිත් දිනාගනිමින් ඔවුන් සමග ඉතා සුහදව කටයුතු කරනු ලැබීය. ඒ විතරක් නොව සමාජ සේවා කටයුතුවලදී අත දිගහැර මුදල් වියදම් කරනු ලැබීය. ගම්මානයේ  ඉදිකරනු ලැබූ බුදුමැඳුරක් සඳහා මොහු විශාල මුදලක් වියදම් කළේය.

මේ අතරතුරේදී මෙකී සෙබළා වයිට් ලයිට් නමින් පෞද්ගලික සමාගමක් ලියාපදිංචි කළේය. තමන් මැණික් ව්‍යාපාරයක් පවත්වාගෙන යන බව ගම්මුන්ට කීය. ඒ විතරක් නොව එකි ව්‍යාපාරයේ කොටස්කරුවන් වන ලෙස ගම්මුන්ගෙන් ඉල්ලා සිටියේය. මුදල් තැන්පතු සඳහා මාසයකට සියයට අටක පොලි මුදලක් ලබාදෙනවා. රුපියල් ලක්ෂ 06ක මුදලක් තැන්පත් කළහොත් මාසදෙකට ලක්ෂ 02ක පොලි මුදලක් ලබාදෙනවා. මොහු තම හිතවත් ගනුදෙනු කරුවන්ට කියා තිබිණි. ඒ විතරක් නොව මොහු මුදල් තැන්පත්කරුවන් සමඟ ගිවිසුම්ගත විය. ලක්ෂ 06ක මුදලක් තැන්පත් කළ පසු මාස  දෙකක කාලය අවසානයේ ලක්ෂ දෙකක පොලී මුදල සමඟ ලක්ෂ 08ක මුදලක් තැන්පත්කරුට ගෙවීමට ගිවිසුම් ගතවී ඇත.

මාස කිහිපයක් යනතෙක් මොහු සිය තැන්පත් කරුවන්ට නියමිත අයුරින් පොලී මුදල් ගෙවීමට කටයුතු කරනු ලැබීය. තැන්පතු මුදල් සඳහා එසේ වැඩි පොලී මුදලක් ගෙවා තැන්පතුකරුවන් අතර විශ්වාසය තහවුරු කර ගැනීමට හේ කටයුතු කළේය. විශ්‍රාමික යුධ හමුදා සෙබළා කෙරෙහි ඇති වූ විශ්වාසයත් සමඟ ඇතැමුන් ත්‍රිරෝද රථ, අත් ට්‍රුක්ටර් විකුණා මුදල් ලබාගෙන වැඩි පොලී මුදලක් අපේක්ෂාවෙන් මොහුට එම මුදල්ද ලබා දුන්හ. සමහරු විදේශගතව ඉතා දුක් මහන්සියෙන් උපයා ගනු ලැබූ මුදල්ද  වැඩි පොලියක් ලබාගැනීමේ අපේක්ෂාවෙන් මොහුගේ සමාගමේ තැන්පත් කළහ. ඇතැමුන්  වෙනත් බැංකුවලින් ලබාගත් ණය මුදල් මෙකී පුද්ගලයාට ගිවිසුම්ගතව ලබාදුන්හ. එහෙත් මුදල් තැන්පත්කරුවන්ගේ සියලු බලාපොරොත්තු බිඳ දමමින් මොහු සිය දරුපවුල සමඟ හිටිහැටියේම අතුරුදන් විය.

මෙකී විශ්‍රාමික යුද හමුදා සෙබළාගේ අතුරුදන් වීමත් සමඟ මොහුගේ සමාගමේ මුදල් තැන්පත් කළ තැන්පත්කරුවන්ගේ ඉහමොළ රත්විය. තමන් වංචාකාරයෙකුට රුවටී ඇති බව පසක් වනවිට සියල්ල සිදුවී හමාරය. පසුව තැන්පත්කරුවන් පිරිසක් අහංගම පොලීසියට ගොස් මේ පිළිබඳ පැමිණිලි කළහ. පසුව පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මේ පිළිබඳ ලිඛිතව පැමිණිලි කිරීමට තැන්පත්කරුවෝ කටයුතු කළහ. මුදල් තැන්පත්කරුවන් පැමිණිලි කොට දැනට මාස ගණනක් ගතවී ඇතත් මෙකි මුදල් වංචාවට සම්බන්ධ හිටපු යුදහමුදා සෙබළා අත්අඩංගුවට ගැනීමට පොලිසියට තවමත් හැකි වී නැත.

අහංගම තිත්තගල්ල කඩේගෙදර පදිංචිකාරියක් වන කේ.එච්. මාලා නිමන්ති (45)  මහත්මිය:

රෝෂාන් ඇවිත් කීවා බයවෙන්න එපා. තවත් අයකු සමග මැණික් ව්‍යාපාරයක් කරගෙන යනවා. වයිට් ලයිට් සමාගමේ මුදල් තැන්පත් කරන්න කියලා. ආකර්ෂණීය පොලී මුදලක් ලබාදෙන බවත් කීවා. ඒ අනුව අපි සතුව තිබූ ත්‍රිරෝද රථය විකුණලා රුපියල් ලක්ෂ 06ක මුදලක් මොහුට අයත් වයිට් ලයිට් සමාගමේ ගිණුමේ තැන්පත් කළා. ඒ මුදල සඳහා මාස තුනක් යනතෙක් අපිට පොලී මුදලක් ලබාදුන්නා. ඊටපස්සේ අත්ට්‍රුක්ටරය  විකුණා ලබාගත් මුදල් මහත්තයාගේ කොන්ත්‍රාත් වැඩකිරීමෙන් ලැබූ මුදල කුරුඳු වගාවෙන් ලබාගත් මුදල් ඇතුළුව ලක්ෂ 40ක පමණ මුදලක් රෝෂාන් ප්‍රියරංජක විසින් පවත්වාගෙන යනු ලබන වයිට් ලයිට් පුද්ගලික සමාගමේ නමට ඇති ගිණුමේ තැන්පත් කළා. 2020.07.23 වැනි දින ලක්ෂ 06ක මුදලක් තැන්පත් කළා. 2020.10.09 වැනි දින රුපියල් ලක්ෂයක් 2021.01.26 වැනි දින ලක්ෂ 06ක මුදලක් තැන්පත් කළා. මෙම වර්ෂයේ අප්‍රේල් මාසයේ බැංකුගත නොකර තවත් රුපියල් ලක්ෂ 12ක මුදලක් ලබා දුන්නා. මුදල් ගිවිසුමක් අත්සන් කරලා තමයි මෙම මුදල් ලබා දුන්නේ. නමුත් ගිවිසුම් ප්‍රකාරව වාචිකව එකඟ වූ ආකාරයට රෝෂාන් නැමැත්තා ලක්ෂ 40ක මුදල මේ දක්වා ලබාදුන්නේ නැහැ. ඔහු මේ වනවිට පදිංචිය හැරගොස් තියෙනවා. මොහු වයිට් ලයිට් පුද්ගලික සමාගම වෙනුවට වෙනත් සමාගම්ද ලියාපදිංචි කර ඇති බව දක්වමින් ප්‍රදේශයේ විශාල පිරිසකගෙන් රුපියල් කෝටි 04 පමණ මුදලක් එකතුකරගෙන තියෙනවා. මේ දක්වා අපිට හෝ වෙනත් කිසිදු පාර්ශවයකට මෙකී මුදල ගෙවා නැහැ. මගේ මල්ලිත් ණය මුදලක් අරගෙන මොහුගේ බැංකුවේ තැන්පත් කළා.

2021.05.02 වැනි දින අංක සී (03)157/143 දරන පැමිණිලි අංකය යටතේ අහංගම පොලීසියටද මේ ගැන පැමිණිලි කළා. මේ පිළිබඳ විමර්ශනයක් කරන්න කියා පොලිස්පතිවරයාටද ලිඛිතව පැමිණිලි කළා. පොලිස්පතිවරයාට කරනු ලැබු පැමිණිල්ලට අනුව මම ගාල්ල පොලීසියේ වංචා විමර්ශන අංශයට ඉකුත් 05 වැනි දින කැඳවා  ප්‍රකාශයක් සටහන් කරගත්තා යැයි ඇය කීවාය.

අහංගම තිත්තගල්ලේ පදිංචි කේ.එච්. සෝමදාස (64) මහතා:

&මා වරාය අධිකාරියේ විශ්‍රාමිකයෙක්. රෝෂාන් ප්‍රියරංජක නැමැත්තා මා හොඳින් දන්නා අයෙක්. පොඩි කාලයේ අපේ ගෙවල්වල තමයි හැදී වැඩුණේ. පසුව මොහු යුද හමුදාවට බැඳුණා. යුද්ධයේදී පාදයකට වෙඩි වැදිලා තුවාල වුණා. පසුව මොහු විශ්‍රාම ගොස් ගමට ඇවිත්  දවසේ පොලී වැඩසටහනක්  ක්‍රියාත්මක කළා. වයිට් ලයිට් පුද්ගලික සමාගම  නමින්.  පසුව මෙකී පුද්ගලයා අපිත් සමඟ සම්බන්ධ වුණා. මැණික් ව්‍යාපාරයක් කරගෙන යනවා. එහි කොටස්කරුවෙකු වෙන්න මුදල් සඳහා වැඩි පොලියක් ගෙවන බව කීවා. මුලින්ම මා රුපියල් ලක්ෂ 07ක මුදලක් තැන්පත් කළා. ඒ සඳහා මට මාසයකට සියයට අට බැගින් පොලී මුදල් ගෙව්වා. ටික දිනක් යනවිට ලක්ෂ 10ක් නැවත් ඉල්ලුවා  එම මුදලද ලබාදුන්නා. මේ ආකාරයට මොහු වසරක් තිස්සේ ගනුදෙනු කරගෙන ගියා. මාසයකට රුපියල් 80,000 බැගින් මාස කිහිපයක් යන තෙක් පොලි මුදලක් ගෙව්වා.  මොහු සමඟ තිබූ සම්බන්ධතාවය වැඩිවුණා. පසුව අපිට දුන් පොලී මුදලත් මොහු  ඉල්ලාගත්තා. මා ලක්ෂ 50ක් විතර ලබාදීලා තියෙනවා. මගේ මද්දුම පුතා විදේශ ගතවී ඉන්නේ. ලක්ෂ 14ක් විතර ඔහුගෙන්ද අරගෙන තියෙනවා. අහංගම ගමේ ගොඩක් අය වැඩි පොලියට මෙම පුද්ගලයාට මුදල් ලබා දී තියෙනවා. මේ වනවිට මොහු ගමෙන් අතුරුදන් වෙලා ඉන්නවා. කුඩා කාලයේ ඉඳලා මොහු හොඳින් දන්නා නිසා විශ්වාසය මත තමයි මුදල් ලබාදුන්නේ. මේ ගැන අහංගම පොලීසියටද පැමිණිලි කරලා තියෙනවා. අපි දීපු මුදල්වලට අගුරු චෙක්පත් තමයි ලබාදීලා තියෙන්නේ* යැයි ඔහු කීවේය.

තුසිත සුදේෂ් සම්පත් (32) විදේශතව රැකියාවක් කොට මෙරටට පැමිණි තරුණයෙකි.

&මම ඩුබායි රටේ රුකියාව කරමින් සිටියදී මුදල් තැන්පතු සඳහා ඉහළ පොලී මුදලක් ලබාදෙන බව ඔහු මට කතාකරලා කිවා. මැණික් වෙළඳාමක් පවත්වාගෙන යන බවත් කීවා. ඇත්තටම මට මේ ගැන එතරම් දැනීමක් අවබෝධයක් තිබුණේ නැහැ. මුලින්ම රුපියල් ලක්ෂ 07ක මුදලක් දැම්මා. පසුව තවත් ලක්ෂ 07ක මුදලක් දැම්මා. මාස පහක් විතර යනකම් පොලි මුදලක් දුන්නා. ලක්ෂ 14ට ලක්ෂ 07ක විතර පොලී මුදලක් දුන්නා. නමුත් මොහු දරු පවුල සමඟ ගමෙන් පලා ගිහින් තියෙනවා* යැයි තුසිත කීවේය.

අහංගම පොලිසියට විශ්වාසය කඩකිරීමේ චෝදනා මත මේ සම්බන්ධව පැමිණිලි කිහිපයක් ලැබී ඇති බව පොලීසිය පවසයි.

 යක්කලමුල්ල ජේ.කේ.එල්. චාමින්ද

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00