
සුරා සලක් අබියස බලා සිට ඇත්නම් ඔබ මේ දසුන් දැක ඇතුවාට සැක නැත. සරමක් හෝ අවපැහැ ගැන්වුණු කලිසමක් ඇඳ පැමිණෙන මැදිවිය ද ඉක්මවූ මිනිසුන්ය. බොහෝ විට ඔවුහු කම්කරුවන් හෝ ඊට සමාන රැකියා කරන්නෝ වෙති. ඔවුහු සුරා සලෙන් කාල බෝතලයක් මිලට ගනිති. සමහරුන් එය තමන්ගේ ඉණෙ ගසාගන්නා අතර තවත් සමහරු සුරා සල අවට කොතැනක හෝ නතර වී උගුරු දෙක තුනකින් අරක්කු කාල බී අවසන් කරති. එක හුස්මට අරක්කු කාල බී අවසන් කරන අය ද නැත්තේ නොවේ. කවුරුන් කෙලෙස බීවද හිස් කාල බෝතලය සුරා සල විසින් නැවත බාර නොගනී. ඒ අනුව හිස් කාල බෝතල් එදිනෙදා කැලි කසළ ගොන්නට එකතු වෙයි.
පරිසර අමාත්‍යංශය අරක්කු කාල බෝතල් තහනම් කිරීමට කලක් තිස්සේ මාන බලමින් සිටියේය. සැෂේ පැකට් තහනම ඉක්බිති ඒ හා සම්බන්ධ කතිකාව මේ වන විට උච්චතම ස්ථානයට පැමිණ තිබේ. දේශපාලන හෝ වෙනත් කිසිදු බලපෑමකට යටත් නොවී මත්පැන් කාල බෝතල් තහනම් කිරීමට තමා සූදානම් යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගිය බ්‍රහස්පතින්දා පැවසීය. කාලෙ බෝතල් තහනම පිළිබඳ පසුගිය සතිය තුළ වූ සංවාදයේ ප්‍රතිඵලයක් ලෙස අමාත්‍යවරයා මෙවන් ප්‍රකාශයක් සිදුකොට තිබුණි.
මීට අදාළ සංවාදය ආරම්භ වූයේ 2020 වසරේ පරිසර අමාත්‍යාංශය සිදු කළ සමීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙසය. එක් සමාගමකට පමණක් අයත් කාලේ බෝතල් වසරකට මිලියන 70කට (කෝටි 7) ආසන්න ප්‍රමාණයක් මත්පැන්ලෝලීන් විසින් පරිසරයට මුදාහරින බව මධ්‍යම පරිසර අධිකාරිය කළ සමීක්ෂණයකින් හෙළි වී තිබුණි. එය දීර්ඝකාලීන ප්‍රතිඵල සහිත පරිසර හානියක් බව පැහැදිලි විය. ඒ අනුව අරක්කු කාල බෝතල් යළි එකතු කිරීමේ වැඩපිළිවෙළ මාස 6ක් ඇතුළත සකසන ලෙසට එදා අදාළ මත්පැන් නිෂ්පාදන කර්මාන්තශාලා වෙත දැන්වීමට පරිසර අමාත්‍යාංශය කටයුතු කර තිබුණි.
ජනවාරියේ (2021) සිට මාස 06ක් ඇතුළත මෙම මත්පැන් කාල බෝතල් සම්බන්ධව විකල්ප ක්‍රියාමාර්ග ඉදිරිපත් කරන ලෙසට අදාළ මත්පැන් නිෂ්පාදනාගාර හිමියන්ට දැනුම් දෙනු ලැබීය. ඒ අනුව සුදුසු විකල්පයක් යෝජනා නොවුණහොත් අනිවාර්යයෙන්ම කාල අරක්කු බෝතල් තහනම් කිරීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍යවරයා නිවේදනය කළේය. එහෙත් විකල්ප ක්‍රියාමාර්ග සොයාගැනීම එතරම් සාර්ථක නොවුණි. සැෂේ පැකට් තහනම පමණක් යම් පමණකට සාර්ථකව වූ අතර කාල බෝතල් ගැටලුව තවදුරටත් ඉදිරියට ඇදුණි. වසර අවසානයේ කාල බෝතල් පිළිබඳ සම්බන්ධ කතිකාවක් නිර්මාණය වනුයේ එනිසාවෙනි.
2018 වසරේ සිදු කළ සමීක්ෂණයේ තතු නැවත නැවතත් හෙළිදරව් කිරීම හරහා කාල බෝතල් තහනමට පසුබිම නිර්මාණය කර ගැනීම පරිසර අමාත්‍යාංශයේ අවශ්‍යතාව වී තිබුණි. මෙම වාර්තාවට අනුව 2018 වර්ෂයේදී කාල බෝතල් දස කෝටි පනස්පන් ලක්ෂ තිස්දෙදහස් එකසිය හැට නවයක් අලෙවි වී ඇත. එම බෝතල් සියල්ලම පාහේ පරිසරයට එකතු වී තිබේ. 2018 වර්ෂයේදී සමස්තයක් ලෙස අරක්කු බෝතල් විසි කෝටි දොළොස් ලක්ෂ විසිහත්දහස් එකසිය අසූ එකක් අලෙවි වී ඇති අතර ඉන් සියයට 52ක්ම කාල බෝතල් බව කියැවේ. මෙම දත්තවලට අනුව පෙනී යන්නේ භාවිතයට ගැනෙන අරක්කු බෝතල්වලින් සියයට 5ක්වත් ප්‍රතිචක්‍රීයකරණය නොකරන බවයි.
අරක්කු කාල බෝතල් භාවිත කරන්නේ දෛනික ආදායම් උපයන ජනතාවයි. රජයට සැලකිය යුතු බදු මුදලක් මේ හරහා ගලා යයි. එහෙත් කාල අරක්කු බෝතල් පරිසරය සේම පවුලේ සමගිය ද විනාශ කර දමන බව සිහිපත් කළ යුතුය. එහෙත් සමාජ ජාල මත්ලෝලී සමූහයන් තුළ දුප්පත් ජනතාවට ඇති අරක්කු බීමේ අයිතිය මෙම තීරණය හරහා අහිමි වන බව සඳහන් කරන්නෝ ද සිටිති. එය අංශුමාත්‍රික හෝ සාධාරණ බවක් පෙනුණ ද සෞඛ්‍ය හානිය සැසඳූ විට එම චෝදනාව ද ප්‍රතික්ෂේප වෙයි.
මත්පැන් කාල බෝතලය නිෂ්පාදනය තහනම් කිරීම සම්බන්ධ සටනට දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය ද එක්ව තිබේ. දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය විසින් සිදු කරන ලද සමීක්ෂණයකට අනුව කාල බෝතල් තහනමට අති බහුතරයක් දෙනා කැමැත්ත පළ කර තිබේ. අදාළ සමීක්ෂණය සඳහා කාණ්ඩ 4ක පුද්ගලයන් සහභාගී වී ඇති අතර එහි මත විමසීමේදී සමස්ත පුද්ගලයන්ගෙන් 72%ක් අරක්කු කාල බෝතලය තහනම් කළ යුතු බව පවසා ඇති බව කියැවේ. ඒ අනුව දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය කාල බෝතල් තහනම් කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ සඳහන් කරන්නේ අදාළ සමීක්ෂණය සඳහා මහජනතාව, වර්තමාන අරක්කු පානය කරන පුද්ගලයන්, ජීවිතයේ කවදා හෝ දවසක අරක්කු පානය කළ පුද්ගලයන් සහ කිසිදු දිනෙක අරක්කු පානය නොකළ පුද්ගලයන් සහභාගී වූ බවය. එබැවින්ම මෙම සමීක්ෂණ දත්ත පදනම් කරගෙන අරක්කු කාල බෝතලය තහනම් කිරීම සම්බන්ධයෙන් මෙම ඉල්ලීම කළ බව අධිකාරිය සඳහන් කරයි. අරක්කු සම්බන්ධයෙන් විමසා බැලීමේදී වැඩි වශයෙන් විකිණෙන්නේ කාල බෝතල් බවද මේ හරහා අනාවරණය වේ.
කෙසේ වෙතත් වර්තමාන තීරණයට පාදක වී ඇත්තේ පානය කර ඉවතලන අරක්කු කාල බෝතල් හේතුවෙන් පරිසරයට සිදුවන හානි වේ. කුඹුරු ගොවිබිම්වලට බිඳුණු බෝතල් කටු එකතු වීමෙන් ගොවීන්ට සිදුවන තුවාලවීම් ආදිය සලකා බලා පරිසර අමාත්‍යංශය ද මෙම තහනම සම්බන්ධයෙන් කටයුතු කරන බව සඳහන් කරයි. කාල අරක්කු බෝතල් නිසා සිදුවන පරිසර හානිය සම්බන්ධයෙන් ගොවීන්, ගොවි සංවිධාන ඇතුළු පාර්ශ්ව රුසකින් චෝදනා එල්ල වී ඇති බවද පරිසර අමාත්‍යංශය තහවුරු කරයි.
සමස්තයක් ලෙස ගත් කල කාල බෝතල් තහනම ඉතා අගනේය. එහෙත් දේශීය ආදායම් අහිමිවීම නම් ගැටලුව හමුවේ මෙම තීරණය කොතරම් ප්‍රායෝගික දැයි ගැටලුසහගතය. වර්තමාන ආර්ථික තත්ත්වය හමුවේ කාල බෝතලයේ තහනමට නිසි බලධාරීන්ගේ අනුමැතිය ලැබෙන තුරු එය තහවුරු කළ නොහැකිය.
චමිඳු නිසල් ද සිල්වා