
දැන් රටපුරා කොවිඩ් ආසාදිතයින් යළිත් ඉහළ යමින් තිබේ. ඒ බව සෞඛ්‍ය අංශද ප්‍රසිද්ධියේ පිළිගනිති. මරණ සංඛ්‍යාවද නැවත කෙමෙන් කෙමෙන් වැඩිවෙයි. රටේ තැන තැන කොවිඩ් පොකුරුද නැවත වාර්තා වේ. අලුත් රැල්ලකට කොවිඩ් මුලපුරන බවට මේ පෙරමග අසුබ ලකුණුය.
මේ වනවිට මෙරට සමස්ත දෛනික ආසාදිතයින් ගණනේ සාමාන්‍යය 838ට ආසන්නය. සමස්ත ආසාදිතයින් ගණන 560,000ද පන්නා ඉහළ ගොස් තිබේ. ඒ පමණක් නොව මෙවර පාසල් දරුවන් අතරින්ද රෝගීන් වැඩි වැඩියෙන් වාර්තා වෙමින් ඇත.
කොවිඩ් ආසාදිත කුඩා දරුවන් සංඛ්‍යාවේ වර්ධනයක් පෙන්නුම් කරන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍යවරු පසුගියදා කියා තිබුණි. ඒ අනුව ඉදිරියේදී තවදුරටත් රෝගීන් වැඩි වුවහොත් නැවත පාසල් වසාදැමීමක් සිදුවන්නට ඉඩ ඇතැයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබුණි. තවද මේ වනවිට රෝගය පොකුරු ගැසී ඇත්තේ ග්‍රාමිය ප්‍රදේශ ආශ්‍රිතවය. එය අවධානය යොමුවිය යුතු නව තත්ත්වයකි.
මේ වනවිට ජනගහනයෙන් සියයට 62.5කට වැඩි පිරිසක් එන්නත්කරණයට ලක්ව සිටිති. එය සංඛ්‍යාත්මක වශයෙන් 13,707,520+කි. ඒ අන්දමට එන්නත් සෑහෙන පිරිසකට ලබාදී තියෙන පසුබිමක ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාවේ කැපී පෙනෙන වැඩිවීමක් ඇති වී තිබෙන්නේ ඇයිද යන්න වසංගත රෝග විද්‍යා අංශය මේ වනවිට විශ්ලේෂණය කරමින් සිටිති.
මේ තත්ත්වය දිගටම පාලනය නොවී පැවතියහොත් ඒ නිසාම ඉදිරි උත්සව සමයේ රට වැසීමට සිදුවුවහොත්, විශේෂයෙන්ම මේ අවුරුද්ද අග භාගයේ නත්තල් සමය වනවිට සංචරණ සීමා දමා රට වැසීමක් සිදුකළොත් එහි පුදුම වෙන්නට දෙයක් නැතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කීවේ ඉහත කී තත්ත්වය ගැන කතාබහේදීය.
“අපි ලොකු පාඩම් ඉගෙන ගත්තා පසුගිය දෙසැම්බර් මාසයේ, අප්‍රේල් මාසෙත් ඒ පාඩම් ඉගෙන ගත්තා. මෙවරත් දැඩි නීති පනවනවාද ලොක්ඩවුන් එකකට යනවාද කියන ඒක රජය මඟින් තමා තීරණ ගන්නේ. ඒ පවතින තත්ත්වයත් සැලකිල්ලට අරගෙන. මොකද අපි බරපතළ පාඩම් ඉගෙන ගෙන තියෙනවා, මීට කලින් උත්සව ආසන්නයේ සිදුවූ ක්‍රියාවන් නිසා” යනුවෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැහැදිලි කළේය.
සමහරක් වගකීම් විරහිත පුද්ගලයන් ප‍්‍රසිද්ධියේ සහ හොර රහසේ උත්සව, ප්‍රිය සම්භාෂණ පවත්වනවා. බරපතළ තත්ත්වයක ඉඳලා නැගිටින්න උත්සාහ දරන මොහොතේ මේ වගේ උත්සව සංවිධානය කිරීමෙන් සහ ඒවාට සහභාගි වීමෙන් වළකින්න ජනතාව දැනුවත් විය යුතුයි.
අපි දන්නවා වසර කීපයක් අපිට වැදගත් උත්සව අහිමි වුණා. මෙවරත් එසේ විය හැකියි. යන කෙනෙක් යන්න අවශ්‍යම කෙනෙක් සාප්පු සවාරි දැන්ම ගිහින් අවසන් කරන්න. එකපාරට උත්සව සමයේ සාප්පු පිරුණොත් අපට විවිධ තීරණ ගන්න වේවි. උත්සව සමයේ රටට අගතිගාමී දෙයක් සිදුනොකර රට වැසීමට පාර නොකපා සිටීමට සියලුදෙනා වගබලා ගත යුතු යැයි” වෛද්‍ය හේමන්ත හේරත් මේ සම්බන්ධව සඳහන් කරන්නට යෙදුණි.
රට වසා දැමීමට නිකුත් කළ යුතු වන්නේ මාර්ගෝපදේශ පමණයි. යළි ජනතාව උත්සව සාද පවත්වමින් කටයුතු කරනවා. රට මේ තත්ත්වයට ගෙන එන්න සියලු අංශ එකමුතුව විශාල කැපකිරීමක් කළා. ජනතාව දිගින් දිගටම වගකීමෙන් තොරව හැසිරුණොත් කැප කිරීම් සියල්ල වතුරේ යෑමක් සිදු වේවි යැයි ඔහු පෙන්වා දුන්නේය.
2019ට පෙර තිබූ සාමාන්‍ය යුගයට යන්න තව කොච්චර කාලයක් යයිද කියන එකනම් කොහෙත්ම කියන්න බෑ. දැන් අපි නව සාමාන්‍යකටයි යා යුත්තේ. ඒ කියන්නේ පෙර පැවති තත්ත්වයට අපිට කොහොමත් යන්න බෑ. මේ කොවිඩ් රෝගයෙන් අපිට නිදහස් වෙන්නත් අපි දන්නේ නෑ තව දශක ගාණක් යන්න පුළුවන්. ඒ නිසා එතෙක් අපි මේකෙන් ආරක්ෂා වීමට නම් සෞඛ්‍ය පුරුදු පිළිපැදීමයි වැදගත් වන්නේ
මේ තත්ත්වය තුළ අපි සියලුදෙනාම සෞඛ්‍ය පුරුදු සහ සංචරණ කටයුතු අපට කළ හැකි උපරිමයට සීමා කරගෙන කටයුතු කළොත් මේ අඩුවීම තවදුරටත් පවත්වාගෙන යමින් සාධාරණ ලෙස අපිට පාලනය කළ හැකි ප්‍රමාණයකට රෝගීන් සංඛ්‍යාව පහළට ගෙන ආවොත් අපිට සමාජිය හා ආර්ථික කටයුතු ඉදිරියට කරගෙන යමින් නව සාමාන්‍යයක් කරා අපට යන්න පුළුවන් වෙයි” යනුවෙන් ඔහු සඳහන් කළේය. මේ නිසා පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව පිළිපැදිය යුතු බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු විද්වතුන් පුන පුනා පවසන්නේ.
සුගත් පී. කුලතුංගආරච්චි