2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා

කාටූන් දරුවන්ට ඇලීගෙන බලන්න දෙන්න එපා!

 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 719

වර්තමානයේ දරුවන් ඉතා කුඩා අවධියේ පටන් කාටූන් නැරඹීමට හුරුව තිබේ. කාටූන් සෑම දරුවෙකුගේම ජීවිතයේ අනිවාර්ය අංගයක් බවට පත්ව තිබේ. දරුවන් නැළවීම සඳහාද වර්තමානයේ තරුණ දෙමාපියන් භාවිත කරන්නේ කාටූන් දර්ශනයි.රූපවාහිනියෙන් හෝ ස්මාර්ට් දුරකථනයෙන් කාටූන් නැරඹීමට අවස්ථාවන් සලසා දෙන ආකාරයද එනිසාම දරුවන් කාටූන්වලට ඇබ්බැහි වී ඇති ආකාරයද දැකිය හැකිය.

දරුවා හඬනවිට නලවන ක්‍රමයක් වන්නේ යූටියුබ්හි කාටූන් දර්ශනයක් නැරඹීමට අවස්ථාව සලසා දීමෙනි. ඇතැම්විට දරුවන්ට බත් කවන්නේද කාටූන් දර්ශන පෙන්වමිනි. කාටූන් නැරඹීමේ ධනාත්මක ලක්ෂණ පවතින අතර සෘණාත්මක ලක්ෂණද දැකිය හැකිය. මෙම ලිපියෙහි අරමුණ වන්නේ ඒ පිළිබඳ විමසීමක් කර දෙමාපියන් දැනුවත් කිරීමයි.
දරුවන් කාටූන් නැරඹීමට ඇබ්බැහිවීමෙන් බොහෝ ගැහැනු ළමයින් කුමරියන් වීම ගැන මනඃකල්පිත සිහින ලෝකයන් මවාගෙන සිටින අතර පිරිමි ළමයි පීටර් පෑන්, ඇලඩින් සහ මැජික් ලාම්පුව, සින්ඩරෙල්ලා, බියුටි ඇන්ඩ් ද බීස්ට් වැනි කතා නැරඹීමෙන් පසු තමන් නිර්භීත නයිට්වරු ලෙස සිතාගෙන සිටිති.

කාටූන් නැරඹීම ළමයින්ට සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතු නැත. ඇතැම් දෙමාපියන් විසින් රෑපවාහිනය ගලවා තබා දරුවන් අධ්‍යාපනය වෙතම යොමු කරන ආකාරයක් දැකිය හැකිය. මෙය දෙමාපියන් විසින් නොකළ යුතු දෙයකි. දරුවන්ට කාටූන් නැරඹීමට අවස්ථාව සලසාදිය යුතුය. කාටූන් නැරඹීමේ ධනාත්මක බලපෑම් රාශියක් දරුවන්ට හිමිවේ. කාටූන් ළමයින්ට ඇතිකළ හැකි ධනාත්මක බලපෑම් කිහිපයක් පහත සඳහන් පරිදි පෙන්වාදිය හැකිය.
කාටූන් දරුවන්ට ඉක්මනින් ඉගෙනීම ආරම්භ කිරීමට උපකාරී වේ. විශේෂයෙන් හැඩතල, අංක සහ වර්ණ උගන්වන අධ්‍යාපනික කාටූන් මගින් ධනාත්මක බලපෑම දරුවන් කෙරෙහි දැකිය හැකිය. එවැනි කාටූන් මගින් දරුවන්ට මූලික දේවල් විනෝදාත්මක සහ අන්තර්ක්‍රියාකාරී ලෙස ඉගැන්විය හැකි අතර එමඟින් ඉගෙනීම විනෝදජනක ක්‍රියාකාරකමක් බවට පත් කරයි. චලනය වන, කතා කරන පින්තූර සහ වර්ණවත් දර්ශන දරුවන්ට ඉගෙනීම රසවත් කරයි.
කාටූන් නැරඹීම ඔබේ දරුවාගේ ප්‍රජානනය වර්ධනය කිරීමට උපකාරී වේ. ප්‍රජානනය යනු තාර්කික හැකියාව, ගැටලු විසඳීමේ හැකියාව, තීරණ ගැනීමේ හැකියාව යනාදියයි. ධනාත්මක කාටූන් බැලීම දරුවාගේ අවධානය වර්ධනය කිරීමටද ඉවහල් වේ.  අවධානය වර්ධනය කිරීමට උපකාරී වේ.

කාටූන් මගින් දරුවන් විවිධ භාෂාවලටද නිරාවරණය කළ හැකිය. කාටූන් නැරඹීම දරුවන්ගේ භාෂාමය හැකියාවන් වර්ධනය කිරීමට උපකාර කරයි. දෙමාපියන්ගේ මව් භාෂාවෙන් කාටූන් නැරඹීමට ඔවුන්ට ඉඩදීම මගින් මව්බස හැසිරවීමට ඇති හැකියාව වර්ධනය කරයි. විවිධ භාෂාවලට අයත් කාටූන් නැරඹීමෙන් දරුවන්ට ඔවුන්ගේ උච්චාරණය සහ ඔවුන්ගේ කතාකරන ආකාරය වැඩිදියුණු කළ හැකිය. උදාහරණ වශයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් ඉදිරිපත්වන කාටූන් නිතර නිතර නරඹනවිට ඉංග්‍රීසි භාෂාවේ වචන ව්‍යාකරණ රීති නිරායාසයෙන් හුරුවේ. එය සතතාභ්‍යාසය වශයෙන් පෙන්වා දිය හැකිය. එනම් නිතර නිතර අභ්‍යාස කිරීමයි. ධනාත්මක කාටූන් අභ්‍යාසයක් ලෙස නිතර නිතර නරඹනවිට දරුවා එමගින් බොහෝදේ ඉගෙන ගනී. 
කාටූන් නැරඹීම දරුවන්ගේ පරිකල්පනය සහ නිර්මාණශීලිත්වය වැඩි කිරීමට උපකාරී වේ. පරිකල්පන ශක්තිය වර්ධනය වූ විට අපූරු දෑ නිර්මාණය කළ හැකිය. ඔබේ දරුවාට ඇතැම් කාටූන්වලින් ආභාසය ලැබූ නව අදහස් ගැන සිතීමටත්, නරඹන කාටූන් මත පදනම්ව නව කථා හෝ කලා නිර්මාණ ඉදිරිපත් කිරීමටත් හැකි වේ. දරුවා ක්‍රමයෙන් සංවර්ධනය වෙත්ම කවි ලිවීමට, චිත්‍ර ඇඳීමට, කෙටි කතා නිර්මාණයට  හැකියාව ලැබේ. දරුවාගේ කුසලතා ඉස්මතු වේ.
ළමයින් තුළ හාස්‍ය උත්පාදනය කිරීමට කාටූන් දායක වේ. ළමයින්ට කාටූන් නැරඹීම අතිශය විනෝදජනකය. අප රටේ රෑපවාහිනී නාලිකාවන් මගින් කාටූන් දර්ශන විකාශනය කරන්නේද ළමයින්ට විවේක අවස්ථාවන්හිදීය. බොහෝවිට සවස් කාලයේ කාටූන් විකාශනය කෙරෙන්නේ දරුවන් විවේකී බැවිනි. කුඩා ළමයින් කාටූන් චරිතවල විගඩම්වලට මහ හඬින් සිනාසෙයි. දරුවන්ගේ සිනහව දෙමාපියන්ටද ඔසුවකි. සිනහව මානසික ආතතිය දුරු කිරීමට උපකාරී වේ. එසේම සිනහව මගින් ප්‍රතිශක්තිය වර්ධනය කරන අතර එන්ඩොර්ෆින් හෝමෝනය මුදා හැරීමටද හේතු වේ. එන්ඩොර්ෆින් යනු පිටියුටරි ග්‍රන්ථිය සහ මධ්‍යම ස්නායු පද්ධතිය මගින් නිපදවන හෝමෝනයකි. සතුට සහ යහපැවැත්ම පිළිබඳ හැඟීම් වැඩි කිරීමට සහ වේදනාව සහ අපහසුතාවයන් අඩු කිරීමට එන්ඩොෆින් ක්‍රියා කරයි.

දේශීය සිරිත් විරිත්, සම්ප්‍රදායන්, ඉතිහාසය සහ මිථ්‍යා කථා පිළිබඳව දරුවන්ට ඉගැන්වීමට හොඳ ක්‍රමයක් ලෙස කාටූන් පෙන්වා දිය හැකිය. රාමායණයේ හෝ මහා භාරතයේ සජීවිකරණ අනුවාද නැරඹීමෙන් ඉන්දියානු මිථ්‍යා කථා ගැන දරුවන්ට ඉගැන්විය හැකිය. ඊසොප්ගේ ප්‍රබන්ධ හෝ පංචතන්ත්‍ර පිළිබඳ කාටූන් නැරඹීමෙන් දරුවන්ට යහපත් සදාචාරය, කරුණාව සහ දයාව පිළිබඳව ඉගැන්විය හැකිය. ලංකාවේ නම් පුරාණ රාජ කතා, වීර කතා, මෙන්ම සුරංගනා කතා ආදිය කාටූන් මගින් ඉගැන්විය හැකිය.

පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ පරිවෙණාධිපතිව වැඩ සිට අපවත්වී වදාළ යක්කඩුවේ ප්‍රඥාරාම නාහිමියන් විසින් ලියන ලද වන කතා නම් පොතේ වටිනා අන්තර්ගතයන් ඇතුළත් වේ. මිතුරන් කෙටවීම, මිතුරන්ගේ අගේ යන තේමාව යටතේ වටිනා රසවත් උපදේශාත්මක කතා ඇතුළත් වේ. මෙවැනි කතා භාවිතයට ගනිමින් කාටූන් නිර්මාණය කළ හැකිය. නූතන තාක්ෂණය දියුණු වීමට පෙර මෙවැනි කතා පිළිබඳව ළමයින් දැනගත්තේ ආච්චිගෙන්, සීයාගෙන් සහ දෙමාපියන්ගෙනි. නැතහොත් පොතපතෙනි. වර්තමානයේ එම අවස්ථාව ළමයින්ගෙන් ගිලිහී ඇති බැවින් කාටූන් මගින් වුවද ඉගැන්විය හැකිය.

ළමයින්ට කාටූන් නැරඹීමේ ඍණාත්මක බලපෑම්ද පවතී. දෙමාපියන් ඒ පිළිබඳව දැනුවත්ව සිටිය යුතුය. 
අයෝග්‍ය කාටූන් දිගුකාලීනව නැරඹීමෙන් ප්‍රචණ්ඩකාරී, අශිෂ්ට හැසිරීම්වලට ළමයින් හුරු විය හැකිය. දරුවන්ට සෘණාත්මක චර්යාවන් සහ චිත්ත වේගයන් උත්පාදනය කිරීම, ආක්‍රමණශීලී මිත්‍යාවන් වැඩි කිරීම සහ ඒ ආකාරයෙන් සිතීම වැනි අත්දැකීම් ඇති විය හැකි බව මනෝවිද්‍යාඥයින් විසින් පෙන්වා දී තිබේ.

ප්‍රචණ්ඩත්වය නිරෑපණය කරන කාටූන් නැරඹීමෙන් සැබෑ ජීවිතයේදී ප්‍රචණ්ඩත්වයට පත්වීමට දරුවන් දිරිමත් කළ හැකිය. එසේම, ප්‍රචණ්ඩත්වයට හෝ හදිසි අනතුරකට මුහුණ දීමෙන් පසු කිසිවක් නොවූවාසේ කාටූන් චරිතයන් ක්‍රියාත්මක වන ආකාරය දකිනවිට ප්‍රචණ්ඩත්වය තුළින් කිසිවකුට හානියක් හෝ වේදනාවක් දැනෙන්නේ නැතැයි ළමයින් විශ්වාස කළ හැකිය. කුඩා දරුවන් තම අතට හසු වූ දෙයින් අනෙක් ළමයින්ට පහරදෙන්නේ, සතුන්ට පහරදෙන්නේ එම විශ්වාසය මතය. දෙමාපියන් මෙවැනි කාරණා සම්බන්ධයෙන් මනා සැලකිල්ලෙන් කටයුතු කළ යුතුය.

තම දෙමාපියන්, ගුරුවරුන් සහ වැඩිහිටියන් කෙරෙහි අකාරුණික හෝ අකීකරු හැසිරීම් පෙන්වන චරිත පෙන්වන කාටූන් නැරඹීමෙන්  ළමයින් එවැනි හැසිරීම් අනුකරණය කළ හැකිය. ඇල්බට් බන්ඩුරා නම් මනෝවිද්‍යාඥයා විසින් ඉදිරිපත් කරන ලද සමාජ ඉගෙනුම්වාදී නැතහොත් සමාජ ප්‍රජානනවාදී න්‍යාය මගින් මේ පිළිබඳව පැහැදිලි කොට තිබේ. සජීවී ආකෘති  මෙන්ම  කාටූන් වලින් දකින සංකේතාත්මක ආකෘති අනුකරණය කිරීමට ළමයින් නිරායාසයෙන් පෙළඹෙන බව ඇල්බට් බන්ඩුරා පෙන්වා දී තිබේ.

ළමයි බොහෝවිට ඔවුන්ගේ ප්‍රියතම කාටූන් චරිතය භූමිකා ආකෘති  ලෙස සලකන අතර ඒවා අනුකරණය කිරීමටත්  ඔවුන් මෙන් වීමටත් අපේක්ෂා කරති. ඔවුන්ගේ ප්‍රියතම කාටූන් චරිත මගින්  ළමයින් තුළ වැරදි පුරුදු වර්ධනය කළ හැකිය. එසේම වෙනත් අය කෙරෙහි කෙරෙහි සංවේදී නොවන හැසිරීම් ප්‍රදර්ශනය කරන ආදර්ශයක් විය හැකිය. නරක හැසිරීම් වලට දෙමාපියන් විරුද්ධ වනවිට ළමයින් අකීකරු විය හැකිය. පසු කාලීනව සමාජ විරෝධී පෞරුෂ බිහිවිය හැකිය. අනාගතයේ සමාජයට අපරාධකරුවන්, දාමරිකයන්, සොරුන්, මංපහරන්නන් බිහිවීම කෙරෙහි දරුවන් කුඩා කල ලබන අත්දැකීම්වලද යම් බලපෑමක් පවතී. එසේම, සමාජ බලපෑමද ලැබේ.
ඇතැම් කාටූන්වල ළමයින්ට නුසුදුසු භාෂාව ඇතුළත් වේ. රස්තියාදු භාෂා ව්‍යවහාර ඇතුළත් වේ. මේවා නිරන්තරයෙන් නැරඹීමෙන් ළමයින්ට සිත් ඇදගන්නා සුළු වන අතර ඔවුන් සැබෑ ජීවිතයේ කාටූන් වලින් ඉගෙන ගන්නා නරක භාෂාව භාවිත කිරීමට පටන් ගත හැකිය. ඇතැම් කුඩා ළමයින්ගේ භාෂා ව්‍යවහාරයන් දෙස බලනවිට මෙය පැහැදිලිය.

සමාජ විරෝධී හැසිරීම් දිරිමත් කරන සහ දරුවන්ට වැරදි පණිවිඩ ලබා දෙන කාටූන්, ලිංගික උපහාස අඩංගු, ආක්‍රමණශීලීත්වය සඳහා දිරිමත් කරන සහ ව්‍යාජ හැසිරීම් ප්‍රවර්ධනය කරන කාටූන් දරුවන්ගේ හැසිරීමට බලපෑ හැකිය. එවිට ආක්‍රමණශීලීවීම, ප්‍රචණ්ඩකාරී වීම සාමාන්‍ය දෙයක් යැයි ළමයින් සිතිය හැකිය. පැය ගණනක් තිරයක් ඉදිරිපිට වාඩි වී කාටූන් නැරඹීමට ඇබ්බැහි වීමෙන් ළමයින්ගේ චර්යාවන් අක්‍රිය වේ. මෙවැනි ජීවන රටා හේතුවෙන් සෞඛ්‍ය ගැටලු ඇති කළ හැකිය. තරබාරුකම, පෙනීමේ ගැටලු සහ නරක ආහාර පුරුදු නිසා ඇති වන පෝෂණ ඌනතා මෙයට ඇතුළත් කළ හැකිය.

ඉහත සඳහන් ආකාරයට දරුවෙකුට කාටූන් වලින් ඇතිවිය හැකි අහිතකර ප්‍රතිවිපාක වලින් දරුවන් වළක්වා ගැනීමට දෙමාපියන් විසින් පිළිපැදිය යුතු කාරණා කිහිපයක් පවතී. ඒ පිළිබඳව ද පිළිබඳවද විමසා බැලිය යුතුය.
දෙමාපියන්ට සිය දරුවන් සමඟ කාටූන් නැරඹිය හැකිය. එවිට දරුවන් දකින දේ නිරීක්ෂණය කිරීමටත් කාටූන් කතාවේ විවිධ සිදුවීම්වලට ඔවුන්ගේ ප්‍රතිචාරය නිරීක්ෂණය කිරීමටත් දෙමාපියන්ට ඉඩ ප්‍රස්ථාව ලැබේ. දෙමාපියන් දරුවන් සමග කාටූන් නරඹනවිට එය දරුවා සමඟ වඩා හොඳින් බැඳීමටද උපකාරී වේ. ඔවුන්ගේ ප්‍රියතම කාටූන් චරිතය කුමක්දැයි තේරුම්ගෙන ඔවුන් සමඟ එය විඳින්නේ නම් දරුවන් සමඟ සබඳතාව වැඩිදියුණු කිරීමට උපකාරී වේ. වර්තමානයේ කාර්ය බහුල ජීවිතයක් ගතකරන දෙමාපියන්ට මෙය තරමක් අපහසු කාර්යයක් වන අතර දරුවන් නරඹන දේ පිළිබඳ අවධානයෙන් සිටීමට වෙනත් වැඩිහිටියෙකු හෝ යෙදවීම වැදගත් වේ.

ළමයින්ට කාටූන් නැරඹීම සම්පූර්ණයෙන්ම තහනම් නොකළ යුතුය. එසේම පමණ ඉක්මවා පැය ගණනක් කාටූන් නැරඹීමටද ඉඩ නොදිය යුතුය. කුඩා ළමුන්ට රෑපවාහිනිය හෝ කාටූන් නැරඹීමේ කාලය සීමා කිරීමක් දෙමාපියන්ට කළ හැකිය. රෑපවාහිනිය ඉදිරිපස හෝ පරිගණකයක් ඉදිරිපස වාඩි වී කාටූන් නරඹනවාට  වඩා නිවසින් පිටතට ගොස් සෙල්ලම් කිරීමට ඔවුන්ව දිරිමත් කළ හැකිය. ළමයින්ට වඩාත් ගැලපෙන සෙල්ලම් වලට ළමයින් හුරුකළ හැකිය. එවැනි සෙල්ලම් මගින් ළමයා කායිකව මෙන්ම මානසිකවද නිරෝගී පුද්ගලයෙක් බවට පත් කරයි. අතීතයේ ළමයින් සිදුකළ සෙල්ලම් බොහෝමයක් වර්තමානය වනවිට සමාජයෙන් ගිලිහී ගොස් තිබේ. එම අභාග්‍යයට කාරණයකි. ළමයෙකු පරිසරය සමඟ බද්ධ විය යුතුය. පරිසරය ආශ්‍රිත ක්‍රීඩාවන්ටද යොමු කළ යුත්තේ එබැවිනි. සෑමවිටම සෘණාත්මක හැසිරීම් නිරෑපණය නොකරන හෝ සෘණාත්මක හැසිරීම් සඳහා දිරිමත් නොකරන දරුවන්ගේ වයසට ගැළපෙන, විනෝදය මෙන්ම යම්කිසි අධ්‍යාපනයක් ලබාදෙන කාටූන් නැරඹීමට දරුවන් හුරු කළ යුතුය.
කාටූන් සහ යථාර්ථය අතර වෙනස ඔබේ දරුවාට පැහැදිලි කරදිය යුතුය. තමාට මෙන්ම තමාගේ අධ්‍යාපනයට හානිකර විය හැකි දේ පිළිබඳව, ජීවිතයට සහ අධ්‍යාපනයට වැදගත්වන දේ පිළිබඳව, යථාර්ථවාදී නොවන දේ පිළිබඳව දරුවන්ට තේරුම්කර දිය යුතුය. 

දෙමාපියන් විසින් නුසුදුසු අන්තර්ගතයන් සහිත කාටූන් දරුවන්ට නොපෙන්වීමට දෙමාපියන් වගබලාගත යුතුය.  දරුවන්  නරඹන දේ නිරීක්ෂණය නොකර පැය ගණනක් රෑපවාහිනිය, ස්මාට් ෆෝන්, අයිපෑඩ්, ලැප්ටොප් සහ ඩෙස්ක්ටොප් පරිගණක ඉදිරිපිට දරුවා තනි නොකිරීමට වග බලා ගත යුතුය.
දරුවාගේ සංවර්ධනයට උපකාරීවන වන අධ්‍යාපනික අන්තර්ගතයන් සහිත නාලිකා වලින් ඉදිරිපත් කරන වැඩසටහන් නැරඹීමටද දරුවන් හුරුකළ යුතුය. එවිට ලෝකය පිළිබඳ අලුත් අලුත් දෑ ඉගෙනගැනීම දරුවාට ඉඩප්‍රස්ථාව සැලසේ. ඔවුන් එම වැඩසටහන් තුළින් දුටු දේ අත්විඳීමට ඔබට ඔවුන්ව පිටතට ගෙන යා හැකිය. උදාහරණයක් වශයෙන් පෙන්වාදුනහොත් දරුවන් මන්දාකිණි හෝ සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳ වැඩසටහනක් නරඹන්නේ නම් ඔවුන්ව කොළඹ පිහිටි ග්‍රහලෝකාගාරයට ගෙන ගොස් රාත්‍රී අහසේ තාරකා මණ්ඩල සහ ග්‍රහලෝක ක්‍රියාකරන ආකාරය පෙන්වා දිය හැකිය. සතුන් පිළිබඳ දර්ශන නැරඹුවහොත් සත්තු වත්තට රුගෙන ගොස් දරුවන්ට සතුන්ගේ විවිධත්වය පෙන්වාදී පැහැදිලි කිරීම්ද කරමින් අධ්‍යාපනයක් ලබාදිය හැකිය.

යූටියුබ් නාලිකාවන්හි දරුවන්ට වැදගත් වීඩියෝ බහුල වශයෙන් පවතී. දරුවාගේ රුචි අරුචිකම් හඳුනාගෙන දරුවන්ට එම වැඩසටහන් නැරඹීමට ඉඩප්‍රස්ථාව සලසා දීමේ වරදක් නැත. එහෙත් වැදගත්ම කාරණය වන්නේ දෙමාපියන්ගේ අධීක්ෂණය යටතේ ඒවා සිදු කිරීමයි. යූටියුබ් දර්ශනයක් අවසන් වූ වහාම ස්වයංක්‍රීයව වෙනත් වීඩියෝවක් විවෘත වේ. එම වීඩියෝව‌ ඇතැම්විට දරුවන්ට නැරමීමට නුසුදුසු වීඩියෝවක් විය හැකිය. එවැනි අවස්ථාවන් පිළිබඳව දෙමාපියන් වශයෙන් වඩාත් සුපරීක්ෂාකාරී විය යුතුය. දරුවන් මුහුණු පොත වැනි නූතන මාධ්‍ය වලින් ඈත්කොට තැබීම වඩාත් සුදුසුය. මක්නිසාද යත් මුහුණු පොත තුළ අවශ්‍ය මෙන්ම අනවශ්‍ය දර්ශන නිරන්තරයෙන් හුවමාරු වන බැවිනි.
මෙසේ දෙමාපියන්, වැඩිහිටියන් සහ ගුරුවරුන් මනා අවබෝධයකින් යුක්තව දරුවන්ට කාටූන් වැඩසටහන් නැරඹීමට අවස්ථාව සලසා දීමෙන් දරුවන් සෘණාත්මක බලපෑම්වලින් මුදවා ධනාත්මක තත්ත්වයට පත්කිරීමට හැකියාව ලැබෙන බවත් අධ්‍යාපනයෙන් ශක්තිමත් කොට අනාගත සමාජයට වැඩදායක පුරවැසියන් පිරිසක් බවට පත් කිරීමද කළ හැකි බවත් සඳහන් කළ යුතුය.