2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා

අයි.එම්.එෆ්. ගියොත් හොඳයි!

 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 7

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නොමනාපයක්, ආණ්ඩුවට ඇති බව පෙනේ. අය-වැය යෝජනා පාර්ලිමේන්තුව හමුවේ තබන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ආයතනික හා රාජ්‍ය අතර පවතින සම්බන්ධතා ගැන සඳහන් කරයි. කෙසේ නමුත් මූල්‍ය අරමුදල සඳහන් නොකරන්නට වගබලා ගනී. කෙටිකාලීන සහායක් සඳහා අරමුදල වෙත යා යුතු නැති බව එහිදී, ඔහුගේ ස්ථාවරය වී තිබේ. ශ්‍රී ලංකාව ආර්ථික පැත්තෙන් දුෂ්කර කාල පරිච්ඡේදයක බව දක්වන අතර දිගුකාලීන සහායක් හැර මූල්‍ය අරමුදල සමග කරන ගනුදෙනු පලක් නැති බව ප‍්‍රකාශ කරයි.

කොවිඩ් වසංගත තත්ත්වය සමග ශ‍්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට ගමන් කරමින් සිටී. සංචාරක ව්‍යාපාරය බිඳ වැටී ඇත. අපනයන අංශවලින් ලැබුණ පිටිවහල බරපතල ලෙස සීමා වී ඇති කාලයකි. පළමුවෙන් මුහුණ දිය යුතු කරුණු ගැන සාවධාන වන අතර එයින් ලබන ශක්තිය පදනම් කරගෙන ගමන වේගවත් කරන වැඩපිළිවෙළකට ආණ්ඩුව ගමන් කළ යුතුව ඇත.

• කැබිනට් මණ්ඩලයටත් මූල්‍ය අරමුදල ගැන අදහස්

එක්තරා කාලවකවානුවක ලෝක බැංකුව හා මූල්‍ය අරමුදලට විරෝධතා තිබුණි. ව්‍යුහාත්මක වෙනස්කම් ගැන සමහර රටවල නායකයෝ කැමැති වූයේ නැත. අලුත් ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දෙනවිට සම්ප‍්‍රදායික දේශපාලනයට ගැටලු තිබුණි. දැන් ස්වභාවය ඉඳුරාම වෙනස්ය. ජාත්‍යන්තරය තුළ තරගකාරීත්වයක් ඇත. රටවල ආර්ථික ප‍්‍රතිපත්ති හා මූල්‍ය ක‍්‍රම වේගයෙන් වෙනස් වෙමින් තිබේ. ඒවාට අනුගතවීමේදී මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ඇතුළු ජාත්‍යන්තර ප‍්‍රදානක ආයතනවල පිටිවහල වැදගත්ය. කොවිඩ් වසංගත තත්ත්වය හෙයින් අපහසුතා මතු වූ රටවල් 160 ගණනක් මෙම ආයතනවලින් මූල්‍ය සහාය ලබාගෙන ඇත. ශ‍්‍රී ලංකාවේ ස්වභාවය වෙනස්ය. ආණ්ඩුව තුළ පවා වෙනස් මත තිබේ. විදේශ බලවේගවලට නොනැමී නැගී සිටින වෑයමක් ඇති බව දක්වයි. පසුගියදා පැවැති කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී ද, ආණ්ඩුවේ ප‍්‍රබල මැති ඇමැතිවරු කිහිපදෙනෙකු මූල්‍ය අරමුදලේ සහාය ලබාගත යුතු බව යෝජනා කර තිබුණි. එම අදහසට එකඟතාවයක් නැත. අභ්‍යන්තර ආරංචි මාර්ග දක්වන පරිදි ආණ්ඩුව සම්පූර්ණයෙන්ම එවැනි අදහසක නැත. කොතැනකින් හෝ ණය ආධාර ලබාගෙන පවතින දුෂ්කර රාමුවෙන් ගැලවිය යුතු බවට, කැබිනට් මණ්ඩලය තුළ යෝජනා කරන ඇතැම් ඇමැතිවරු එයින් පිටතට පැමිණ මාධ්‍ය අමතා සහමුලින්ම වෙනස් කරුණු ප‍්‍රකාශ කරන ස්වභාවයක්ද පවතී. පරස්පරතා තුළින් එකඟතා ඇති නොවේ. තවත් ව්‍යාකූල තත්ත්වක් ඇති කෙරේ. 

පසුගිය වසරේදී ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 3.6කින් ඍණ අගයක් ගෙන තිබේ. කාර්මික, කෘෂිකාර්මික හා සේවා යන අංශ තුනම එකවර ඍන තත්ත්වයකට පත්වන්නේ මෙරට ඉතිහාසයේ පළමු වතාවටය. පාස්කු ඉරිදා සිදුවූ අන්තවාදී කල්ලියක ප‍්‍රහාර ආර්ථිකය බෙලහීන කළේය. එයින් ගැලවෙන මඟක් සොයන අලුත් ආණ්ඩුවට කොවිඩ් වසංගතය දරුණු ප‍්‍රහාරයක් එල්ල කර තිබේ. ශ‍්‍රී ලංකාවට පමණක් නොව, ලෝකයේ සෑම රටකටම බරපතල අවාසිවලට ගොදුරු වෙන්නට සිදුවිය. සංවර්ධන වේගය පහත වැටිණ. නිෂ්පාදන කාර්යය සීමා වූ අතර වෙළඳාම සීමාසහිත විය. ලෝක ආර්ථිකය තවදුරටත් අඩාලවීම වළක්වනු සඳහා පියවර ගණනාවක් සූදානම් කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් සහන ක‍්‍රියාත්මක කර ඇත. ශ‍්‍රී ලංකාවේ ස්වභාවය විශේෂිතය. මැදි ආදායම් රටක් වශයෙන් නැගෙමින් තිබිය දී එල්ල වූ පීඩනය පාලනය කරගත නොහැකි එකකි. එයින් ගැලවෙන අරමුණ ඇතිව නැවත අඩු ආදායම් මට්ටමට පසුබැස එතැන් සිට ගමනක් සඳහා සූදානමක් තිබේද යන්න ප‍්‍රශ්නයකි. 

• ණය නොගෙන ගමනක් යන තීරණය

සංවර්ධන අවශ්‍යතා අරමුණු කරගෙන ණය ගැනීම නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කලින්ම තීරණය කර තිබුණි. ආයෝජන සඳහා ඉදිරිපත් වන සේ ලෝක ප‍්‍රජාවෙන් ඉල්ලයි. ජපාන ආධාර සහිත සැහැල්ලු දුම්රිය යෝජනාව අවලංගු කිරීම එහි ප‍්‍රතිඵලයකි. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව හෝ මූල්‍ය අරමුදල වැනි ආයතන සමග පවත්වන සබඳතා වලින් ණයගැතියෙකු සේ පත්ව රටවල් අපහසුවකට ලක් වී නැත. අර්බුදවලින් ගොඩ එන යෝජනා ඉදිරිපත් කරමින්, ඒවායෙන් රටකට ලබාගත හැකි පිටිවහල වාසිදායකය. අය-වැය ලේඛනයේ ද නිවැරදිව සඳහන් කරන ලද පරිදි පවතින වසංගත තත්ත්වය හමුවේ මිතුරන්ට පවා සිය මිතුරු රටකට හදිසි ආධාර කරන හැකියාවක් නැත. ආයෝජන සඳහා පෙළගැස්මක් ගැන බලාපොරොත්තු තැබීම දුෂ්කරය. 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප‍්‍රධානියා ප‍්‍රකාශ කර ඇති පරිදි වසංගත තත්ත්වය අවසන් වන නිශ්චිත කාලරාමුවක් සඳහන් කළ නොහැක. එය ජනතාව ගත යුතු තීන්දුවකි. පරෙස්සමෙන් හැසිරී, වෛරසයට නිරාවරණය නොවී සිටින තාක්කල් අවදානම අඩුය. ආණ්ඩුවලට බල කළ නොහැකිය. නිරාවරණය නොවන සැලසුම් සඳහා ගමන් කිරීම වැදගත්ය. වසංගතයේ පැවැත්ම මහජනතාව තීරණය කරනු ඇත. ප‍්‍රධානියා නොකියා කියන අවවාදය එයයි. වසංගතය හමුවේ පරෙස්මෙන් ගමන් කරන ආර්ථිකයකට අවස්ථා සීමිතය. ධනය උපයන මාර්ග අවහිරව ඇත. රටවල් බෙලහීන වී ඇති අතර අනෙක් රටවල් හා තරගකාරීව නැගී සිටින්නට විශාල ආයෝජනයක් අවශ්‍යය. තමන්ම ධනය සොයාගෙන ප‍්‍රමාදව, ආර්ථිකය වර්ධනය කරගන්නේද නොඑසේනම් ඉක්මනින් වෙනස්කම් සඳහා ධනය සොයාගෙන වේගයෙන් අනාගතය දෙස බලන්නේද යන්න සලකා බැලිය යුතු ප‍්‍රශ්නයකි. ණය ප‍්‍රතික්ෂේප කළ හැකිය. ප‍්‍රතිසංස්කරණවලින් ගැලවී සිටින්නට අවස්ථාව තිබේ. එයට සමාන්තරව රටවල ප‍්‍රතිඵල ඇතිවෙයි. ජාත්‍යන්තර මතය නිර්මාණය වෙයි. ආයෝජන සඳහා විශ්වාසය ඇති කරන වැඩපිළිවෙළ වැදගත්ය. පිළිගත් ආයතන සමග සම්බන්ධව සිටින අතර ශ්‍රේණිගත කිරීමේ ආයතනවල ප‍්‍රතිචාරය ආයෝජන ආකර්ෂණය සඳහා අවශ්‍ය සාධකයකි. එවායෙන් ලැබෙන නිර්දේශ අනුව අලුත් අවස්ථා ඇතිවෙයි.

• ජනප‍්‍රිය සටන් පාඨවලින් ලැබෙන පිටිවහල

අයි.එම්.එෆ්. පිටිවහල රහිතව ගමනක් සකස් කරගන්නට නොහැකියාවක් රටට නැත. එහෙත් ප‍්‍රවේශය සඳහා දරන්නට සිදුවන වෑයමක් තිබේ. එහිදී සිදුවන පීඩනයට ජනතාව මුහුණ දිය යුතුය. රට තුළ ශක්තිමත් ආර්ථික පරිසරයක් ගොඩනැගී ආදායම උපයන තෙක් බලා සිටින්නට ජනතාව සූදානම්ද? දේශපාලනඥයන්ට එවැනි විවේක බුද්ධියක් තිබේද? බදු රහිත වාහන නතර කර වසරක් ඉක්ම යමින් තිබේ. රටට විනිමය නැති නමුත් වාහන ලබාගැනීම සඳහා පෙළඹුමක් ඇත. විදේශ සංචාර සඳහා යුහුසුළු වෙමින් සිටී. මෙම කටයුතුවලට සෑහෙන විනිමය ප‍්‍රමාණයක් අවශ්‍ය වන අතර ඒවා ලබාගන්නේ කෙසේද? ආර්ථිකය වර්ධනය කරගෙන දැනට ඇති ගැටලු නිරාකරණය කරගැනීම සඳහා වැයකරන කාලය නාස්තියක් වෙන්නට බැරි නැත. එම කාලය අවසාන වෙන්නට කලින් මැතිවරණවලට දින නියම වෙන්නට ඉඩ තිබේ. දිගුකාලීන සැලසුම් පැත්තකට විසිවන අතර හදිසි ආධාර, ජනතා සහන කළඑළි බසිනු ඇත. ඡන්ද ප‍්‍රතිඵලය ගැන හිතන්නට නම් රට ඉදිරියට ගෙන යන පිළිවෙළ ගැන ජනතා විශ්වාසය තහවුරු කරගත යුතුය. කොවිඩ් මර්දනය සහ එන්නත්කරණය ගැන විශාල වාසිදායක ස්ථානයක සිටිය දී පවා ජනතාව සිය කෘතවේදීත්වය පළ කරන බවක් නොපෙනේ. ජනප‍්‍රියතාව අඩු වී ඇත. මහජනතාවට හිස නමන අතර පවතින දුෂ්කරතා වලින් ගැලවීම අරමුණු කරගෙන මූල්‍ය අරමුදල වැනි ආයතන සමඟ එකතුවීම සුදුසුය.

ශ‍්‍රී ලංකාව 2021 වසරේදී ගෙවිය යුතු ණය වාරිකය හා පොලිය දරුණු බව දැක්වෙයි. 2021 වසර තුළ ණය ගෙවීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියනන 6,865 ක් අවශ්‍ය වන බව මුදල් ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට වාර්තා කළේය. බලවත් අපහසුතා මැද මෙම මුදල් ගෙවමින් සිටී. ඇමරිකානු ඩොලර් මිලියන 5,351ක් ණය වන අතර ඇමරිකානු ඩොලර් 1,514ත් පොලිය බව සඳහන් කළ යුතුය. මෙම මුදල් නිදහස් කිරීමේදී ඇති විය හැකි මූල්‍ය දුෂ්කරතා සලකා මිත‍්‍ර රටවලින් කරන ලද හදිසි ණය ඉල්ලීම අනුමත වී ඇති බව සඳහන් කරන්නට අවශ්‍යය. 

ආණ්ඩු අතර හදිසි ගනුදෙනු සිදුවීම සාමාන්‍යයෙන් සිදුවෙයි. සාග් කලාපයේ රටවල් වශයෙන් හදිසි අවස්ථා වෙනුවෙන් currency swap යනුවෙන් වන ණය ක‍්‍රමයක් භාවිතා කෙරේ. ශී‍්‍ර ලංකාව පසුගිය කාලයේදී ඇමරිකානු ඩොලර් මිලියන 400 ක සහනයක් එයින් පළමු වරට ලබා ගෙන ඇත. එය වසර 2022 වන විට පියැවිය යුතුය. එසේ තිබියදී 2020 වසරේ සැප්තැම්බර් මාසයේ දී ඉන්දියාවෙන් තවත් ඇමරිකානු ඩොලර් බිලියනයක හුවමාරු ගනුදෙනුවක පිහිට පැතීය. බංගලාදේශයෙන් හා චීනයෙන් ණය ගෙන ඇත. බොරතෙල් සඳහා ඔමානයෙන් ණයක් ඉල්ලයි. ඉන්දියාවෙන් ද තවත් මිලියන 500ක තෙල් සඳහා චක‍්‍රීය ණයක් ඉල්ලමින් සිටී. මේවායෙන් ඇති කරන සංකීර්ණ තත්ත්වයද පසෙක තැබිය නොහැකිය. අපට එක තැනෙකින් සංචිතයක් ගොඩනගාගෙන ඉදිරියට යන්නට හැකියාව තිබේ. නොඑසේනම් එදිනෙදා පැවැත්ම අනුව විනිමය සොයාගනිමින් ජනතාවටද දුෂ්කරතා මැද ජීවත් වෙන්නට සිදුවනු ඇත.

 සාරා කන්දෙගොඩ

 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා, පෙ.ව. 10:00