2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා

බෙහෙත් ගිනි ගණන්!

 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 6

දැන් හැමදේම ගිනි ගණන්ය. හිතු හිතූ අධික මිල යටතේ විවිධ භාණ්ඩ අලෙවි කරනු ලැබේ. ඒ අතර මෑතකදී වැඩියෙන්ම මිල ඉහළ ගිය සහ ජනතාවට තදින්ම බලපාන අත්‍යවශ්‍යම භාණ්ඩය වී ඇත්තේ ඖෂධයි. මේ වනවිට ඉතා ඉහළ මිල ගණන් ඖෂධ සඳහා නියම වෙන අතර ඇතැම් අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක්ද මතුව තිබේ. 

ඖෂධ මිල ඉහළ යාම කාලයක් තිස්සේ සිදුවන දෙයකි. සෑම වසරකම මිල ඉහළ යාමක් සිදුවන අතරම එහි ළඟම මිල වැඩිවීම සිදුවූයේ වත්මන් සෞඛ්‍ය ඇමැතිවරයා වැඩ භාරගත් අලුතමය. ඒ පසුගිය අගෝස්තු මාසයේ රජය ප්‍රකාශ කළ ගැසට් නිවේදනයකිනි. එදා  ඖෂධ වර්ග 60ක, අක්ෂි කාච වර්ග 38ක, රුධිර ග්ලූකෝස් මාපක හා හෘද රෝගීන් භාවිත කරන ස්ටෙන්ට් වර්ගවල මිල ගණන්වලට 'උපරිම මිලක්' නියම කළ බව කියැවිණි. නමුත් එහිදී සිදුවූයේ එම බෙහෙත් හා උපකරණ තිබුණ මිලට වඩා 9%කින් ඉහළ දැමීමකි.

කෙසේ වෙතත් ඖෂධ සැපයීම, නියාමනය පිළිබඳ රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේ ඖෂධ හිඟයක් ඇතිවීම වළක්වා ගැනීමේ අරමුණින් මෙලෙස මිල වැඩිකළ බවයි. නමුත් දැන් සිදුව ඇත්තේ ඇතැම් ඖෂධ හිඟවීමකට මුහුණ දීමට සහ මිල වැඩි බෙහෙත් තවත් අධික මිල ගණන් යටතේ මිලදී ගැනීමටය මෙහිදී කබලෙන් ලිපට වැටි ඇත්තේ සාමාන්‍ය ජනතාවය.

දැන් මේ ඖෂධ මිල තවත් ඉහළ යාම පිළිබඳව ඖෂධ ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ 2020 මාර්තු 8 වැනි දින ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල කමිටුව අනුමත කළ 9% මිල වැඩිවීම මෙලෙස ලබාදුන් බව ඇත්තක් බවයි. නමුත් ඒ වනවිට ඇමරිකානු ඩොලරයක් රුපියල් 198ක් වූ අතර මේ වනවිට ඩොලරය රුපියල් 215ත් පන්නා ඇත. ඒ    වැඩිවීම හා සසඳා බලන විට 9%ක මිල වැඩිවීම කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව ඔවුන්ගේ අදහසයි.

වේදනා නාශක, දියවැඩියා, හෘද රෝග, හතිය, සෙම් රෝග වැනි රෝග සඳහා භාවිත කරන ඖෂධ වර්ග 60ක මිල මෙලෙස වැඩිකර ඇත. ඖෂධීය නාමයෙන් ඖෂධ වර්ග 60ක් වුවද විවිධ වෙළඳ සන්නාම යටතේ අලෙවි කරන ඖෂධ වර්ග 450ක පමණ මිල මෙලෙස වැඩි වී ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පෙන්වා දෙයි. හිටපු සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න 2019 මැයි 15 වැනි දින මෙම ඖෂධ, අක්ෂි කාච හා ස්ටෙන්ට්වල මිල අඩු කරමින් අති විශේෂ ගැසට් නිවේදනය පළමුව නිකුත් කර තිබුණි.

මේ මිල වැඩිවීමට ආසන්නව දින කිහිපයක සිටම වෙළෙඳපොළේ තිබෙන පැරසිටමෝල්, ඇස්ප‍්‍රින් ඇතුළු අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග සිය ගණනක මිල ගණන් ඉහළ ගොස් තිබුණි. මෙසේ මිල ගණන් වැඩි වී ඇති බෙහෙත් වර්ග අතර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්  එම  19 වැනිදා අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් උපරිම මිලක් නියම කර තිබූ බෙහෙත් වර්ගද විය. ඊට සමගාමීව ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වීම නිසා මිල පාලනයට යටත් නොවන ඖෂධ වර්ග දහයක මිල වැඩි කිරීමට සිදු වූ බව ඖෂධ ආනයනකරුවන්ගේ කර්මාන්ත මණ්ඩලය ජාතික ඖෂධ නියාමන අධිකාරියට දැනුම් දී තිබුණි.

මෙලෙස ඖෂධ මිල ඉහළ යාම සම්බන්ධයෙන් නොයෙකුත් මත පල වනු දැකිය හැකිය. මේ හැම මතයක්ම අන්තිමට නවතින්නේ කොවිඩ් වසංගතය හේතුවෙන් මතුව තිබෙන පොදු ගැටලු ළඟය. අප බොහෝවිට ඖෂධ මෙරටට ගෙන්වන රටවල් අතර ගුවන් ගමන් සීමා වීම, ඉන්දියාව වැනි රටවල් මුළුමනින්ම ලොක් ඩවුන් කිරීම වැනි කාරණද මේ තත්ත්වයට අඩු වැඩි වශයෙන් හේතු වී ඇත.

ඖෂධ නිපදවීම සිට ඒවා බෙදාහැරීම දක්වා වන දීර්ඝ ක්‍රියා පිළිවෙත දැන් මුළුමණින්ම තර්ජනයකට ලක්ව ඇත. කොවිඩ් නිසා මතුව ඇති රටින් රට සහ රටවල් තුළද සංචරණයේ බාධා මෙන්ම සේවක හිඟය, ගබඩා හිඟය මෙන්ම සිදුව ඇති ආර්ථික අවපාතය හේතුවෙන් සිදුවන බලපෑම ඖෂධ මිල සහ ඒවායේ හිඟය සඳහා කෙලින්ම බලපා තිබේ. මේ වනවිට සේලයින්, වකුගඩු රෝගීන් වෙනුවෙන් ලබාදෙන ඖෂධ සහ විවිධ මානසික රෝගී තත්ත්වයන් මත එම රෝගීන්ට ලබාදෙන ඖෂධවල විශාල හිඟයක් පවතින බව ඖෂධ අලෙවිසල් හිමියන්ම කියති.

ඖෂධ ආනයනකරැවන්ගේ කර්මාන්ත මණ්ඩලය ප්‍රකාශ කරන්නේ, ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළයාම හේතුවෙන් මෙලෙස ඖෂධ මිල ඉහළ දැමීම සාමාන්‍ය කාරණාවක්  බවයි.  සෑම ආනයනකරුවෙක්ම ඩොලරයට සාපේක්ෂව වාර්ෂිකව ඖෂධ මිල සාමාන්‍ය මට්ටමින් ඉහළ දමන බවද එම මණ්ඩලය පෙන්වා දෙයි.

කෙසේ වෙතත් ඖෂධ සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දෙන ලෙස ඖෂධ ආනයනකරුවන්ගේ මණ්ඩලය අවස්ථා කිහිපයකදී ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ඉල්ලා තිබේ. මේ අතර ඖෂධ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදෙන ලෙස පෞද්ගලික ඖෂධහල් හිමියන්ගේ සංගමයද එවකට සිටි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිට දැනුම් දී ඇත.

ඖෂධ පනත අනුව සමාගම්වලට හිතුවක්කාරීව මිල වැඩි කරන්නට නොහැකි බවත් උපරිම සිල්ලර මිලක් ඖෂධවලට ලබාදී ඇති බවත්, ඖෂධ බ්‍රෑන්ඩ් ගණන එනම් වෙළෙඳ නාම වැඩිවීම නිසා විවිධ මිල නියම වන බවත් ඖෂධ පනත සමහර අවස්ථාවල උල්ලංඝනය කරමින් කටයුතු කිරීමට අවශ්‍ය සිදුරු පනත තුළම පවතින බවත් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් කියයි. “මේ සමාගම් ගොඩයි. ඒ සමාගම්වල වෙළෙඳ නම් ගොඩයි. මිල පරාසයන් විවිධයි. ඒ වගේ මේ ප්‍රශ්නය සංකීර්ණ වෙලා තියෙන්නේ ඖෂධ මිල පාලනය වගේම ඖෂධ වෙළෙඳ නාම සීමාකිරීමට ක්‍රියාමාර්ග නොගැනීම නිසයි.” යනුවෙන් ඔහු කියා තිබුණි.

මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා දැඩිව අවධාරණය කර සිටින්නේ, ඖෂධ මිල ඉහළ යාම හා ඖෂධ හිඟයක් ඇතිවීම වැළැක්වීමට නම් සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියේ කොටස් නොව එය මුළුමනින්ම ක්‍රියාත්මක කළ යුතු බවය. 

මේ තර්ක විතර්ක කෙසේ වුවද බෙහෙත් මිල අඩුකිරීම ගැන කතාවක් හෝ ක්‍රියාවක් සිදුවන වගක් පෙනෙන්ට නැත. මේ සම්බන්ධව කෙළින්ම ගැටලුවට මුහුණ දෙන සාමාන්‍ය ජනතාව ගැන සලකා ඉක්මන් සහනයක් ලබාදීමේ අවශ්‍යතාව දැන් තදින්ම මතුව හමාරය.

 සුගත් පී. කුලතුංගආරච්චි

 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා, පෙ.ව. 10:00