2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා

අයවැය රසද? තිත්තද?

 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 6

ගෝඨාභය රාජපක්ෂ රජයේ දෙවැනි අයවැය ලේඛනය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පසුගිය 12 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. දෙවැනි කියවීම ලෙස සලකන මෙම අවස්ථාවෙන් පසු මේ වන විට අයවැය විවාදය පාර්ලිමේන්තුවේ ආරම්භ වී ඇත. මෙම අයවැය විවාදයෙන් පසු ඒ පිළිබඳ ඡන්ද විමසීම ලබන සතියේ පැවැත්වෙනවා ඇත.

එදා මෙන් අදද අයවැය තුළින් තමන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙනු ඇතැයිද ජීවන ගැටලුවලට සහන සැලසෙනු ඇතැයිද වැඩිදෙනා බලාපොරොත්තු වනවා ඇත. පොදු ජනතාවගේ පාර්ශ්වයෙන් එම අපේක්ෂාව සාධාරණීකරණය කළ හැකි නමුත් අද රටේ පවතින වාතාවරණය තුළ ඒ සැමදෙනාගේම බලාපොරොත්තු ඉටුකළ හැකිද යන්න ප්‍රශ්නාර්ථයකි. 2019 අනපේක්ෂිත පාස්කු ප්‍රහාරයෙන් පසු ඊළඟට උද්ගත වූ කොවිඩ්-19 වසංගතය නිසා ආර්ථික වශයෙන් දුර්වලව පවතින අවස්ථාවකට අපි අවතීර්ණ වී සිටිමු. රටේ ආර්ථික තත්ත්වය මෙන්ම පුද්ගල ආර්ථිකයද මේ වන විට පහළටම බැස තිබේ. ඒ නිසා විවිධ ගැටලු උද්ගත වී ඇත. එසේම කොවිඩ් වසංගතය හා වෙනත් විවිධ හේතු නිසා ලොව ආර්ථික අතින් පොහොසත් රටවල් පවා විවිධ ආර්ථික දුෂ්කරතාවලට මුහුණපා ඇති බව පෙනෙන්නට තිබේ. ඒ නිසා මෙය අපට පමණක් සිදුවූ බලපෑමක් නොව සමස්ත ලෝකවාසීන්ටද දැඩි දුෂ්කරතාවලට මුහුණ පාන්නට සිදුව ඇති තත්ත්වයකි. අපට උදව් කිරීමට උනන්දු වන ධනවත් රටවල් පවා එවැනි දුෂ්කරතාවල ගිලී සිටින අවධියක අපට ජාත්‍යන්තර වශයෙන් අතහිත දීමට උනන්දු වන අය බොහෝ අඩු වී ඇත.

ජාත්‍යන්තරව සහ රටේම අයහපත් තත්ත්වයක් උද්ගතව තිෙබන අවධියක අපට 2022 අයවැය තුළින් සුරංගනා ලෝකයක් අපේක්ෂා කළ නොහැකිය. එසේ වුවද රටේ සම්පත් නිසි පරිදි කළමනාකරණය කර නාස්තිය හා දූෂණය අවම කරමින් මේ දුෂ්කර අවස්ථාවේදී අයවැය ලේඛනය තුළින් උපරිම ක්‍රියාමාර්ග ගත යුතු බව කිවයුතු නොවේ.

මෙතෙක් කල් ඉදිරිපත් කළ අයවැය ලේඛනවලින් දක්නට ලැබුණු ප්‍රධාන දුර්වලතාව නම් අපේක්ෂිත ආදායම් ඉලක්කවලට ළඟාවීමට ඇති දුෂ්කරතාව සහ වියදම් කළමනාකරණය කිරීමට අපොහොසත් වීමය. අයවැය ලේඛනය යනු හුදෙක් ඊළඟ වර්ෂයේ අය හා වැය පිළිබඳ එක්තරා ඇස්තමේන්තුවකි. එම ඇස්තමේන්තුව අන්තිම ඉලක්කමට සත්‍ය ලෙසට නොපැවතුණද, එය හැකි තරම් දුරට යථාර්ථයක් බවට පත් කිරීම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සැමගේම උත්සාහය විය යුතුය. අපේ ජාතික ආර්ථිකයේ පදනම වන රාජ්‍ය ආදායම අපේක්ෂිත ඉලක්කවලට ළඟාකර ගැනීමට කටයුතු කිරීම සැමගේම වගකීමකි. එසේ සිදු නොවුණහොත් ඇස්තමේන්තු කර ඇති වියදම් පියවා ගැනීමට විකල්ප මාර්ගවලට යාමට රජයට සිදුවනවා ඇත. එය ඉතාම අමිහිරිදායක වනවා ඇත.

රජයේ බදු ආදායමෙන් 80%ක් ලබාදෙන 20%ක බදු ගෙවන්නන් සඳහා පවතින බදු ඒකක ඒකාබද්ධ පරිපාලනයකට ලක්කර එම බදු ගෙවන්නන්ගෙන් ලැබිය යුතු බදු නිසි ලෙස අයකර ගැනීමට රජයේ බදු අයකර ගැනීමේ ක්‍රමවේදය ශක්තිමත් කරන බවට අයවැය මගින් මෙවර යෝජනා කර තිබේ. භාණ්ඩාගාර වාර්තා අනුව රුපියල් බිලියන 200කට වැඩි මුදලක් බදු ආදායම ලෙස එකතු නොවන බව මුදල් අමාත්‍යවරයා සඳහන් කරයි. දැනට ලැබෙන බදු ආදායම ජාතික ආදායමෙන් 1.5%ක් පමණ වන අතර ගෙවිය යුතු බදු ප්‍රමාණය විවිධ ක්‍රම නිසා පැහැර හැරෙන බවද අවධානයට ලක්කර ඇත. මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා බදු පරිපාලනයට තාක්ෂණික ක්‍රමවේද හඳුන්වාදෙන බවද මුදල් ඇමැති කියා ඇත. එසේම 2021 යෝජනා කර දැනට අතහැර දමා ඇති විශේෂ භාණ්ඩ හා සේවා බද්ද ක්‍රියාත්මක කිරීමටද අයවැයෙන් යෝජනා කර තිබේ.

ශ්‍රී ලංකා රේගුවේ දැනට පවතින කේත ක්‍රමය (HC Code) යාවත්කාලීන කිරීම මගින් රේගු ගාස්තු අයකිරීමේදී සිදුවන ඌණතාවන් මගහරවා ගැනීමට කටයුතු යොදන බව පවසයි. මේ සඳහා දියුණු ගෝලීය තාක්ෂණික මෙහෙයුම් හඳුන්වා දෙන අතර රේගුව සමඟ කටයුතු කරන සියලු ආයතන ජාලගත කිරීමේ ක්‍රමවේදයකට යන බව සඳහන්ය. එසේම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ව්‍යාපාරික එළඹුම ප්‍රසාරණය කර මෙතෙක් අවධානය යොමු නොකළ ක්ෂේත්‍රවලට ප්‍රසාරණය කිරීමටද යෝජනා කරයි.
රටේ ඇති ව්‍යවස්ථාපිත ආයතන 300ක ප්‍රමාණයෙන් බොහෝ ආයතනවලින් නිසි ප්‍රතිලාභ නොලැබෙන අතර ඒවා සඳහා රජයට රුපියල් බිලියන 670කට අධික මුදලක් වසරකට වැය කිරීමට සිදුව ඇත. එසේම ඒවා නඩත්තුවටද බිලියන 75ක් වැය කෙරේ. මෙම තත්ත්වය නැතිකර රාජ්‍ය ව්‍යවස්ථාපිත ආයතන ඵලදායී ලෙස සංවර්ධනය කිරීමට යෝජනා කර ඇත. එසේම නිදහස් වෙළෙඳ කලාපවල ආයෝජන දැනට වඩා ඵලදායී කිරීම වෙනුවෙන් විශේෂ අවධානයද යොමුකර ඇත.
අයවැය යෝජනාවලින් වඩාත්ම අවධානයට ලක්කර ඇත්තේ 2022 වර්ෂය තුළ පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කිරීමෙන් වැළකීමට සෑම අමාත්‍යාංශයක්ම කටයුතු කළ බවට යෝජනා කිරීමය. එසේ වුවද මෙතෙක් කල් සිදුව ඇත්තේ වාර්ෂිකව වෙන්කරන ප්‍රතිපාදනවලට වඩා වැඩි මුදලක් විවිධ හේතු ඉදිරිපත් කරමින් පරිපූරක ඇස්තමේන්තු මගින් ලබාගැනීමට රාජ්‍ය අංශ පුරුදු වී සිටීමය. මෙම තත්ත්වය මෙවර හෝ වළක්වාගත හැකි නම් වියදම් කළමනාකරණය කිරීමට ඉදිරියේදී පහසු වෙනවා ඇත. එසේම පුනරාවර්ථන වියදම් අඩුකිරීම සඳහා ඉන්ධන දීමනා මසකට ලීටර් 5කින් අඩුකිරීම මෙන්ම දුරකතන වියදම් 25෴කින් අඩු කිරීමටද කටයුතු යොදා තිබේ.

අපේක්ෂිත ආදායම් ඉලක්කවලට යාමට අපහසුයි

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා

අද පවතින වාතාවරණය අනුව මෙම අයවැය සංවර්ධන අයවැයක් නොවෙයි. ජනතාව බලාපොරොත්තු වුණේ සහනදායී අයවැයක් වෙයි කියලයි. එහෙත් අවාසනාවකට වගේ මෙම අයවැයේ සංවර්ධනයක් හෝ සහනදායී ස්වරෑපයක් දක්නට නැහැ. ජනතාවගේ දැවෙන ගැටලුවලට පේන තෙක් මානයක්වත් විසඳුමක් නැහැ. අද පවතින තත්ත්වය අනුව බඩු මිල අඩුවීමක් අපේක්ෂා කළ නොහැකි නමුත් ඒ පිළිබඳ උත්සාහයක් ගෙන ඇති බවද දක්නට නැහැ. ආදායම වැඩි කිරීමේ ක්‍රමවේදයක්ද පෙනෙන්නට නැහැ.

ත්‍රීවිල් රියැදුරු, පාසල් ප්‍රවාහන බස්රථ ආදී කුඩා සහ මධ්‍යම පරිමාණ ක්ෂේත්‍රවලට සහන දෙන බව ප්‍රකාශ කළද අවශ්‍ය තරම් ප්‍රතිපාදන වෙන්කර නැහැ. රටේ ඇති ත්‍රීරෝද රථ ලක්ෂ 12න් ලක්ෂ 8ක් පමණ මගී ප්‍රවාහනයේ යොදවන බව සිතුවහොත් ඒ සඳහා වෙන්කර ඇති රුපියල් මිලියන 600 කිසිසේත් ප්‍රමාණවත් නොවන බව පෙනෙනවා. ඍජු බදු වැඩි කිරීමට අපේක්ෂා නොකරන අතර 43%කින් ආදායම ලබාගන්නට අපේක්ෂා කරනුයේ වක්‍ර බදුවලිනි. වක්‍ර බදු වැඩිකළ විට එය ඍජුව පාරිභෝගිකයාට බලපායි. මෙම බදුවලින් මිලියන 700ක ආදායමක් බලාපොරොත්තු වන අතර, මෙය 40%ක් බව පැවසුවද එම සංඛ්‍යාලේඛන ප්‍රායෝගික නොවෙයි.

රටේ සමස්ත ආදායම රුපියල් බිලියන 1500 – 1600 අතර රුඳී තිබෙනවා. ඒත් ඒ අපේක්ෂිත ආදායම ප්‍රායෝගිකව ලබාගත නොහැකියි. 2021 වසරේදී වුවද බිලියන 1561ක පමණ ආදායමක් තමා බලාපොරොත්තු වන්නට සිදුව ඇත්තේ. එහෙත් පවතින තත්ත්වය අනුව එය ද හරියට එකතු කරගත හැකි යැයි කිව නොහැකියි.

පසුගිය නුදුරු වර්ෂවල අයවැය ලේඛන මෙන්ම 2022 අයවැය ලේඛනයද සලකා බලන විට දක්නට ඇති ප්‍රමුඛ කරුණක් වනුයේ ආදායම වැඩිකර සහ වියදම අඩුකර පෙන්වා අයවැය පරතරය අඩුකර පෙන්වීමට උනන්දු වී ඇති බවයි. එසේ සිදුකර ඇත්තේ ජාත්‍යන්තර පීඩනයෙන් ගැලවෙන්නට වන අතර එය සත්‍ය තත්ත්වය නොවන නිසා වසර පුරා පරිපූරක ඇස්තමේන්තු අනුමත කර ගැනීමට සිදුව තිබෙනවා.

අපේ විකල්ප යෝජනා බලගන්වා නැහැ

වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරෙන්ඩිගේ

රටේ පවතින තත්ත්වය අනුව මෙවර අයවැයෙන් වාහන ආනයනයට අවසර ලැබේය කියල අපි සිතුවේ නැහැ. මොන ආණ්ඩුවක් තිබුණත් එය කරන්න බැරි බව අපි දන්නවා. ඒත් අපි ඒ වෙනුවට වාහන අලෙවි ක්ෂේත්‍රයේ ප්‍රගමනයට සාධක වන විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳ යෝජනා ඉදිරිපත් කරල තිබුණා. ඒත් ඒවාද අයවැය මගින් ක්‍රියාත්මක නොකිරීම කනගාටුවට කරුණක්. ඩොලර් ප්‍රශ්නය සමස්ත ආනයනවලටම බලපානවා. ඒ නිසා සෑම ආනයන ක්ෂේත්‍රයක්ම කඩාගෙන වැටිලා. එවැනි පරිසරයක වාහන ආනයනයට අවසර නොලැබීම පුදුමයට කාරණයක් නොවෙයි. එහෙත් ඒ වෙනුවට විකල්ප ක්‍රියාමාර්ගවලට යා යුතුයි.

2019 වසරේ අප්‍රේල්වල සිදුවූ පාස්කු බෝම්බ ප්‍රහාරය නිසා ඇතිවූ පරිසරයද වාහන කර්මාන්තයට අහිතකර ලෙස බලපෑවා. ඊට පසු 2020 – 21 රටේ ව්‍යාප්ත වූ කොවිඩ් රෝග අර්බුදයද ක්ෂේත්‍රය බිඳවැටීමට හේතු වුණා. එහෙත් මුල් අවස්ථාවේ අපේ ව්‍යාපාරවලට මෙම තත්ත්වය ක්ෂණිකව බලපෑවේ නැහැ. එයට හේතුව වෙළෙඳුන් ළඟ තිබුණු වාහන තොගවලින් 90%ක් පමණ අලෙවි කරන්නට හැකි වූ නිසයි. අලෙවි නොවී තිබූ වාහනවලට වෙළෙඳපොළක් ඇතිවුණා. එහෙත් එම තොග අලෙවි වූ පසු අර්බුදය උග්‍ර වුණා. ආනයනයට ඉඩ නොලැබීම සහ දේශීයව නිෂ්පාදනය නොකිරීම නිසා වාහන නොමැතිවීමෙන් වාහන අලෙවි පොළවල් වසා දමන්නට සිදු වුණා. දහස් ගාණකට රුකියා අහිමි වුණා. වක්‍රව ජීවනෝපාය අහිමි වූ අය මෙයට වැඩියි.

2015 වසරේ සිට මෙම ව්‍යාපාරය පාඩුවෙමින් තමා පැවතුණේ. තොගවලට වඩා බැංකු සහ විවිධ මූල්‍ය ආයතනවලට ණය තිබුණා. ආනයන තහනම නිසා මෙම තත්ත්වය උග්‍ර වුණා. 70% - 80% පමණ ආනයනකරුවන් බිඳවැටුණු අතර 20% - 30% පමණ අය රට තුළ පැරුණි වාහන අලෙවි කටයුතුවල නියැලුණා. 2021 මැයි මාසය වන විට විවිධ අය වාහන ක්ෂේත්‍රයට එකතුවීම නිසා දෛනිකව මිල ඉහළ ගියා. දැනට මාස දෙක තුනක සිට වාහන ආනයනයට අවසර දෙන බවට ප්‍රචාරය වූ නිසා කෙසේවත් වාහන අලෙවිය සිදුවූවේ නැහැ. පාවිච්චි කළ වාහන වෙළෙඳපොළ පවා නැවතුණා.

එහෙත් මේ අයවැයෙන් ආනයනයට අවසර නොලැබෙන බව අවබෝධ කරගත හැකිවීම නිසා යළිත් මලානිකව තිබූ වෙළෙඳපොළේ පිබිදීමක් ඇතිවෙලා තියෙනවා. තම වාහන විකුණා ගැනීමට මෙන්ම වාහන මිලට ගැනීමටද උනන්දුවක් දක්වන බව පෙනෙනවා. ඉදිරියේදී වාහන මිල තවත් ඉහළ යාවි යැයි සිතිය හැකියි. 

පිරිවැටුම් බද්ද රේගුවෙන්ම අය කිරීම කළ යුතුයි

අත්‍යවශය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න

මෙම අයවැයෙන් ආනයනකරුවන් සඳහා සුවිශේෂ සහන ලැබී නැහැ. ලබන අප්‍රේල් මස සිට සියයට 2 ½ක පිරිවැටුම් බද්දක් ආනයනකරුවන්ට පනවා තිබෙනවා. එම බද්දෙන් විශාල මුදලක් රජයට ලැබෙනවා. රජය පත්ව ඇති මෙම දුෂ්කර අවස්ථාවේ එය යම් පමණකට ආදායම වැඩිකර ගැනීමට රජයට සහනයක් වෙයි. ඒ නිසා වර්තමාන තත්ත්වය සලකලා අපි මෙයට එරෙහි වන්නේ නැහැ. එහෙත් අපි ඉල්ලා සිටින්නේ  මෙවැනි බද්දක් රජය ආනයනකරුවන්ගෙන් අයකර ගන්නවා නම් එය රටට භාණ්ඩ ගෙන්වන විට රේගුවේදීම අයකර ගන්නය කියලයි. එසේ නොවුණහොත් බද්ද ලොකු නිසා මෙය පසුව අයකර ගැනීමට අපහසු වෙන්නට පුළුවන්. කෙලින්ම රේගුවේදී වටිනාකම අනුව අය කළ විට එය රජයටද අපටද පහසුවක්. අපි දැනටමත් මේ පිළිබඳ මුදල් ඇමැතිවරයාට ලියලා තිබෙනවා.

බදු යෝජනා හොඳින් කළමනාකරණය කළ යුතුයි.

ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය

රජය හඳුන්වා දුන් එක්වරක් පමණක් ක්‍රියාත්මක වන බදු යෝජනා නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සහ නියාමනය කිරීම අත්‍යවශ්‍ය කාර්යයක් ලෙස හඳුනාගත යුතුයි. එමගින් මූල්‍ය ආයතන විසින් අනෙකුත් ආයතන සඳහා මූල්‍ය පහසුකම් සැපයීමේදී සිදුවිය හැකි අපහසුතා මෙන්ම විශාල ආයතන සඳහා මූල්‍ය පහසුකම් සැලසීමේදී සිදුවිය හැකි අපහසුතා මෙන්ම විශාල ආයතන තම ධාරිතාව වැඩිදියුණු කර ගැනීමේදී මතුවිය හැකි ආර්ථිකමය බලපෑම් ගැනද අවධානය යොමුකළ යුතු බව පෙන්වා දෙමු.

2021 වසර තුළ සියයට 11.1ක්ව තිබූ අයවැය හිඟය 2022දී තනි ඉලක්කමකින් සියයට 8.8ට බැස්සීමට අයවැය තුළින් රාජ්‍ය මූල්‍ය අවකාශය කළමනාකරණය කිරීමේ මාවතකට ප්‍රවිෂ්ට කිරීමට රජය දරන උත්සාහය අපේ පැසසුමට ලක්වේ. අයවැය හිඟය තනි ඉලක්කමක් කිරීම සඳහා එක්වරක් පමණක් අයකරන අධිභාර බද්ද ලෙස 2020/21  වර්ෂය සඳහා රුපියල් බිලියන 2ට වඩා බදු අයකළ හැකි ආදායමක් උපයන සමාගම්වලින් සියයට 25ක අධිභාර බද්දක් අය කිරීමට යෝජනා කිරීම මෙන්ම. බැංකු හා මූල්‍ය සේවා ආයතන විසින් මූල්‍ය සේවා සැපයීම සම්බන්ධයෙන් වන අගය එකතු කිරීම මත අයකරන බදු සියයට 3කින් වැඩිකිරීම සහ පිරිවැටුම මත සියයට 2.5ක අනුපාතය  යටතේ සමාජ සංරක්ෂණ දායක මුදලක් හඳුන්වා දීම ගැන අප අවධානය යොමුකර තිබේ. එසේම 2021 අයවැයෙන් යෝජනා කළ විශේෂ භාණ්ඩ හා සේවා බද්ද යළි ක්‍රියාත්මක කිරීමද වාණිජ මණ්ඩලයේ නිරීක්ෂණයට ලක්ව ඇත.

අපට දුන් සහන වෙනස් කර නැහැ

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්.කේ. ජයවර්ධන

මෙම අයවැයෙන් අමුතු දෙයක් සිදු නොවුණත් මෙතෙක් අපට දුන් සහන වල වෙනසක් කර නැහැ. ඒවා එම තත්ත්වයෙන්ම තබා තිබීම ගැන අපි සතුටු වෙනවා. අද රටේ පවතින ආර්ථික තත්ත්වය සහ ඩොලර් හිඟය ආදී ගැටලු නිසා අප විශාල සහනයක් බේකරි කර්මාන්තයට රජයෙන් බලාපොරොත්තු වුණේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ රජයේ මුල් අයවැයෙන් ලැබුණු වරප්‍රසාද එලෙසම තියෙන්නට ඇරලා තිබෙනවා. තවත් දේවල් කරන්නට අපහසු බව අප පිළිගත යුතුයි. රටේ සෑම භාණ්ඩයකම මිල ඉහළ යන පරිසරයක බේකරි නිෂ්පාදනවල මිල පමණක් පහළ දමන්න පුළුවන් නම් එය ඓශ්චර්යයක් වෙනවා.

මෙහිදී කිවයුතු වන්නේ තිරිඟු පිටිවල පාලන මිල ඉවත් කිරීම නිසා මේ වනවිට විවිධ පිටි විශේෂ වෙනත් නම්වලින් තනලා, වෙළෙඳපොළට දැමීමේ ප්‍රවනතාවක් පවතිනවා. ඒ තත්ත්වය බේකරි කර්මාන්තයට අහිතකර නිසා ආණ්ඩුව ඒ පිළිබඳ යම් පියවරක් ගත යුතුයි. මෙම තත්ත්වය පිටි මිල තවත් ඉහළ යාමට හේතුවෙනවා. එහෙම වුණොත් එය බේකරි කර්මාන්තයට පහරක් වෙනවා.

සමාජ ආරක්ෂණ බද්ද පුංචි ව්‍යාපාරවලට අහිතකරයි

දේශ හිතෛෂි ජාතික ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය වසන්ත බණ්ඩාර

අපි බලාපොරොත්තු වුණ මෙම අයවැය ලේඛනය තුළින් දේශීය නිෂ්පාදනය දිරි ගන්වන යෝජනා ඉදිරිපත් වෙයි කියලා. කොවිඩ් වසංගත අර්බුදය නිසා දේශීය ආර්ථිකයට සිදුවූ හානිය හා ආහාර සුරක්ෂිතතාව පිළිබඳ සලකා බලා තීරණ ගනීවි යැයි බලාපොරොත්තු වුණා. එහෙත් දැන් අරගෙන ඇති තීරණ නිසා දේශීය ආර්ථිකය වර්ධනය වීම දුර්වල වෙන බව පැවසිය යුතුයි.

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSL) ලෙස අලුත් බද්දක් නියම කරලා තියෙනවා. වසරකට මිලියන 120කට වඩා පරිවැටුප තිබෙන ව්‍යවසායකයන් සඳහා මෙම ආදායම් මට්ටම් ලබන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක්. ඉතින් මෙවැනි බද්දක් පැවරීම ඒ අයට අසාධාරණයි. මෙම පිරිවැටුම් බද්ද සියයට 2.5ක් වන අතර එය එකම නිෂ්පාදනයට, අමුද්‍රවලට, නිෂ්පාදනයට සහ අලෙවියට ආදී වශයෙන් කිහිපවරක් ගෙවිය යුතු වන නිසා එම භාණ්ඩවල මිල වැඩිවෙනවා.

රජය දේශීය ව්‍යවසායකයන් නගා සිටුවීමට කටයුතු කළ යුතුයි. එහෙත් මෙතැනදී වන්නේ ඒ අය නැත්තටම නැතිවීමයි. ජපානය, ඉන්දියාව, චීනය වගේ රටවල දේශීය කුඩා ව්‍යාපාරිකයන්ට සහනය දෙනවා. අපි ඒ ගැන මුදල් ඇමැතිට ඉල්ලීම් කළත් ඉටුවූයේ නැහැ. මෙම භාණ්ඩ ආනයනය කිරීමේදී නිලධාරීන්ට කොමිස් ලැබීම් වැනි පෞද්ගලික වාසි ලැබෙන නිසා මෙය ඉටු නොවී ඇති බව සිතිය හැකියි.

 යසවර්ධන රුද්රිගු

 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා, පෙ.ව. 10:00