2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා

රේගුවේ තෑගි මුදල් බෙදීම: හිටපු රේගු අධ්‍යක්ෂක රන්ජන් දන්තනාරයන

 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 11

දේශය පුවත්පත කෝප් කමිටු වාර්තාව ඇසුරු කරගනිමින් රේගු සම්බන්ධ පුවතක් වාර්තා කළේය. එම පුවතට අනුව කෝප් කමිටු විසින් පෙන්වා දී තිබුණේ රේගු දඩ මුදල්වලින් සියයට හැත්තෑවක් නිලධාරීන් අතරේ බෙදී යන බවයි. ඒ අනුව රේගු වැටලීම්වලින් සියයට තිහක පමණ සුළු ප්‍රතිශතයක් රාජ්‍ය අදායමක් ලෙස ලැබෙන බවත් රාජ්‍ය ගිණුම් කාරක සභාව පෙන්වා දී තිබේ. එම තත්ත්වය මත රේගු ආදායමින් වැඩි ප්‍රතිශතයක් රජයට ලැබෙන ලෙස රේගු ආඥා පනත සංශෝධන කළයුතු බව කෝප් වාර්තාව හරහා නිර්දේශ ඉදිරිපත් කර ඇත. කෙසේ වෙතත් අප මෙම පුවත වාර්තා කිරීමත් සමඟ දේශය පුවත්පතට වරින්වර රේගු වැටලීම් පිළිබඳ ලිපි ඉදිරිපත් කළ විශ්‍රාමික රේගු අධ්‍යක්ෂ රන්ජන් දන්තනාරයන මහතා අප සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් විය. වැටලීම්වලදී ලැබෙන දඩ මුදල් නිලධාරීන් අතරේ බෙදීයාම පිළිබඳ ඔහු දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළේය. මෙම සටහන සැකසෙන්නේ එම තොරතුරු ඇසුරිනි.

රේගුව යනු ලොව පැරණි වෘත්තියකි. බදු එකතු කිරීම යන මූලික සංකල්ප ගුරුකොට නිර්මාණය වූ රේගු සංකල්ප පිළිබඳ ඓතිහාසික මූලාශ්‍ර අපමණය. මෙරටදී සෙල්ලිපි වලින් පවා හෙළිවන රේගු ඉතිහාසයේ වර්තමාන පරිච්ඡේදය ආරම්භ වන්නේ බ්‍රිතාන්‍ය පාලන සමයේ ක්‍රි.ව. 1806 දීය. රේගු ආඥා පනත හඳුන්වාදීමත් සමඟ බලතල සහිත රාජ්‍ය ආයතනයක් වූ ශ්‍රී ලංකා රේගුව මෙරට පැරණිතම රාජ්‍ය ආයතන අතලොස්ස අතරින් එකකි.

දන්තනාරායන මහතාට අනුව රේගු නිලධාරීන්ට ත්‍යාග මුදල් ගෙවීම් පිළිබඳ මූලාශ්‍ර බ්‍රිතාන්‍ය පාලන සමයේ 1837 වසරේ නොවැම්බර් 11 වැනි දින එවක යටත් විජිත ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කරන ලද සංශෝධිත වරාය සහ රේගු නීති ලේඛනයට ඇතුළත්ව තිබේ. මෙම ලේඛනයේ 97 වැනි පරිච්ඡේදයේ දඩ මුදලක් ගෙවීම බෙදී යන අයුරු පහදයි. ඒ අනුව රාජසන්තක කරන ලද දඩ මුදල් අර්ධයක් ඔත්තුකරු වෙත සහ ඒ සඳහා කිහිපදෙනකු සම්බන්ධ වී ඇත්නම් ඒ පිරිස අතරේ බෙදී යා යුතු බව මෙම ලේඛනයේ සඳහන් වේ. මීට අමතරව දන්තනාරයන මහතා පවසන පරිදි ත්‍යාග මුදල් ගෙවීම පිළිබඳ තොරතුරු වරාය සහ රේගුවට අදාළ සංශෝධිත නීතිවල, 1869 මුල් ආඥා පනතේ 119 වගන්තිය සහ 153 වගන්තිය දක්වා ඇත. එසේම 1869 ආඥා පනතේ සංශෝධිත වර්තමාන අනුවාදයේ 153A (1) සිට (3) දක්වා වගන්තිවලද අදාළ පැහැදිලි කිරීම් අන්තර්ගතය.

වර්තමානයේදී නිලධාරීන් අතර බෙදී යන්නේ රේගුව අයකරන දඩ මුදල් සහ අදාළ භාණ්ඩ වෙන්දේසියෙන් ලැබෙන මුදල්වලින් සියයට පනහකි. මුළුමනින් වැටලීමට අදාළ සියලු වියදම් කපාහැර ත්‍යාග අරමුදල වැනි අරමුදල්වලටද මුදල් බැරකර කිරීමෙන් අනතුරුව සියයට පනහ තීරණය වෙයි. තවද අදාළ වැටලීමට සම්බන්ධ ඔත්තුකරුවකු සිටී නම් ඔහුට එම සීයට පනහක මුදලින් තුනෙන් එකක් හිමිවේ. ඔත්තුකරුහට ඔහු පවසන ඕනෑම තැනකට ගොස් එම මුදල් ලබාදීමටත් රහසිගත බව ආරක්ෂා කිරීමටත් රේගුව බැඳී සිටියි. එවන් අවස්ථාවක වැටලීමට අදාළ නිලධාරීන් අතර බෙදී යන්නේ සියයට පහනක මුදලින් තුනෙන් දෙකක් පමණි. මෙවන් වැටලීමක නිලධාරීන් රුසක් සම්බන්ධ වෙති. ලිපිගොනුවල සටහන් යොදන පිරිසේ සිට භාණ්ඩවල වටිනාකම තක්සේරු කරන නිලධාරීන් දක්වා පිරිසක් අතර මෙම මුදල් බෙදී යයි.

දන්තනාරයන මහතා පැහැදිලි කරන පරිදි ඉතිරියෙන් සියයට විස්සක ප්‍රමාණය බැරවන්නේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා යටතේ පවතින රේගු කළමනාකරණය සහ වන්දි අරමුදලටය. කළමනාකරණය පිළිබඳ කටයුතු කිරීමේදී නිලධාරීන්ගේ ධාරිතාව වැඩි දියුණු කිරීම, දැනුම, කාර්යක්ෂමතාව සහ අභිප්‍රේරණය කිරීමේ වැඩසටහන් සඳහා එම මුදල් වැය කළ යුතු බව සඳහන් වෙයි. ඒ අනුව ඒ හරහා රේගු නිලධාරීන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සඳහා ගෙවීම් සිදුකරයි. ඊට අමතරව වන්දි ලබාදීම යටතේ රේගු නිලධරීන්ට රාජකාරියේදී සිදුවන අනතුරුවලදීද මෙම අරමුදලින් ගෙවීම් සිදුකරනු ලබයි. දන්තනාරායන මහතා පවසන පරිදි කිරිබත්ගොඩදී රේගු නිලධාරියකු ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව විශාල වන්දියක් ගෙවීම සිදුවූයේ මෙම අරමුදලෙනි.
මෙලෙස ගෙවීම් සිදුකිරීම සිදුවන්නේ සහේතුකව බව විශ්‍රාමික රේගු අධ්‍යක්ෂ රන්ජිත් දන්තනාරයන මහතා කියා සිටියි. &ශ්‍රී ලංකාව බදු ආදායම් මත යැපෙන රටකි. බදු ආදායම් මත ආර්ථික පවත්වාගෙන නොයන දියුණු රටවල් තිබේ. ආදායම් සංරක්ෂණය ක්‍රමවේදයක් ඔවුන්ට අවශ්‍ය නොවේ. එහෙත් රටක් ලෙස අපට ආදායම් සංරක්ෂණය ක්‍රමවේදයක් අවශ්‍යය. වැටලීම් සිදුනොවුණහොත් කිසිදු ආදායමක් මහා භාණ්ඩාගාරයට හිමි නොවේ. රාජ්‍ය ආදායමෙන් වැඩි කොටසක් සඳහා රේගුව දායකත්වය ලබාදෙයි. මහා පරිමාණ බදු වංචා වළක්වා ගැනීම හුදෙක් රාජකාරි ලෙස සලකා නොතකා හැරීම සිදුකළ නොහැකිය. නිරන්තර ජාවාරම්කරුවන් නිලධාරීන් වටා කැරකෙමින් සිටියි. එම නිසාම වැටලීමකදී රාජ්‍ය අනුමත දිරිගැන්වීම ඔවුනට විශාල ශක්තියකි.

අනෙක් පසින් රේගු වැටලීම්වලදී රේගු නිලධාරීන්ගේ ජීවිත අවදානමකට ලක්වෙයි. මෙම වංචා සිදුකරන්නේ මහා පරිමාණ ව්‍යාපාරික සමාජ දේශපාලන බලයක් සහිත පිරිසකි. එසේම මෙම ගනුදෙනුවල පරිමාව විශාලය. අප නම් සඳහන් නොකළද දන්තනාරායන මහතා පවසන පරිදි ජීවිතය අහිමිවූ නිලධාරීන් මෙන්ම දැළි පිහියෙන් කැපුම් ලද නිලධාරීන් රුසකි. එසේම සැලසුම් සහගත අල්ලස් දීමේ උත්සාහයන් නිසා චෝදනා ලබා පසුව නිදහස් වූ නිලධාරීහුද සිටිති. මෑතක සිදූවූ රේගු නිලධාරියකු හට ඇසිඩ් ගැසීමේ සිදුවීමද දන්තනාරායන මහතා සිහිපත්කරයි. මෙවන් අවදානමක් දරා සිදුකරන වැටලීම්වලදී ලැබෙන ත්‍යාග ප්‍රශ්න කිරීම දන්තනාරායන මහතා අනුමත නොකරයි. මෙම ත්‍යාග අහිමි කිරීම හරහා විශාල හානියක් සිදුවිය හැකි බවද ඔහු පෙන්වා දෙයි.

ආදායම් නිලධාරියාගේ ඓතිහාසික කාර්යභාරය දෙස බැලුවද ව‍ර්තමානයේ මෙරට ආර්ථික සමාජ දේශපාලන ස්වභාවය දෙස බැලුවද ත්‍යාග ක්‍රමය මුළුමනින් අහෝසි කිරීමට උත්සාහ කිරීම කොතරම් ප්‍රායෝගිකදැයි ගැටලු සහගතය. දන්තනාරායන මහතායේ පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන්ද එය පැහැදිලි වෙයි. රේගු වංචාවන්ට සම්බන්ධ වූ පුද්ගයන් තර්ජනය කළ අවස්ථා මෙන්ම අයථා ලෙස ගැලවී යෑමට උත්සාහ කළ අවස්ථාද දන්තනාරායන මහතා මීට පෙරදී දේශය පුවත්පතට ප්‍රකාශය කොට තිබේ.

 චමිඳු නිසල් ද සිල්වා

 

 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා, පෙ.ව. 10:00