2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා

වනිඳු-චරිත් ලෝක ක්‍රිකට් වටිනාම ක්‍රීඩකයන් අතරේ

 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 7

වනිඳු හසරංග සහ චරිත් අසලංක මේ වනවිට ලෝක විස්සයි20 ක‍්‍රිකට් පිටියේ ප‍්‍රබල චරිත දෙකක් බවට පත්ව සිටිති. එක්සත් ආරාබි එමිර් රාජ්‍යයේදී පසුගිය සතියේ අවසන් වූ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ දස්කම් අනුව අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව නම්කළ පාකිස්තානු නායක බාබර් අසාම්ගේ නායකත්වයෙන් යුත් ‘වටිනාම’ ක‍්‍රීඩකයන්ගේ ලෝක ක‍්‍රිකට් කණ්ඩායමට වනිඳු සහ චරිත් ඇතුළත් වීම සමස්තයක් ලෙස ශ්‍රී ලංකාව ලැබූ දැවැන්ත ජයග‍්‍රහණයකි.

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව ලෝක කුසලාන තරගාවලියකින් පසුව සාම්ප‍්‍රදායිකව නම් කරන ලෝක කණ්ඩායමකට ශ්‍රී ලංකාවෙන් ඇතුළත් වූ ලාබාලතම ක‍්‍රීඩකයන් බවට වනිඳු සහ චරිත් පත්වූහ. ගාල්ල රිච්මන්ඞ් විදුහල නිර්මාණය කළ 24 හැවිරිදි මෙම යොවුන් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් දෙපළ අන්තර් ජාතික විස්සයි20 තරග 40 කටත් අඩු සංඛ්‍යාවකට ක‍්‍රීඩා කිරීමට පෙර ලෝක කණ්ඩායමට ඇතුළත් වීම වඩාත් කැපී පෙනෙන සිද්ධියකි.

ශ්‍රී ලංකා වයස 19න් පහළ පිලේ නායකයා ලෙස ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිටියේ නමක් හදාගත් චරිත් අසලංක ලෝක කුසලාන තරගාවලිය අවසන් වනවිට සහභාගි වී සිටියේ විස්සයි20 තරග නවයකට පමණි. ඔහු එම තරග නවයේදී අර්ධ ශතක දෙකක් සමගින් ලකුණු 37 කට ආසන්න සාමාන්‍ය පවත්වා ගනිමින් ලකුණු 295 ක් රුස්කර කිරීමට සමත්ව සිටියේය.

චරිත් ලෝක කුසලාන තරගාවලියේ තරග හයකදී සාමාන්‍ය 46.20ක් පවත්වමින් ලකුණු 231 ක් රුස්කරමින් පස්වැනි වැඩිම ලකුණුලාභියා බවට පත්විය. විරාට් කෝලි, කේන් විලියම්සන්, ස්ටීව් ස්මිත්, ග්ලේන් මැක්ස්වෙල් සහ මුයින් අලී වැනි ලෝක ක‍්‍රිකට් පිටියේ ප‍්‍රබල ඉදිරි පෙළ පිතිකරුවන් සහභාගි වූ ලෝක කුසලාන තරගාවලියකදී ලෝක පිලේ පිතිකරු ලැයිස්තුවේ අංක හතර ස්ථානය හිමිකර ගැනීම චරිත් අසලංකගේ දස්කම් ලෝක ඇගයීමකට ලක්වීමකි.
ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වනවිට චරිත් අසලංකට ශ්‍රී ලංකා පිලේ ස්ථානය පිළිබඳව අවිනිශ්චිත තත්වයක් තිබුණද උපදේශක ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන මහතා එළඹි විවාදාත්මක තීරණයක ප‍්‍රතිඵලයක් අනුව චරිත්ට එම ස්ථානය හිමිවිය.

තුන්ඉරියව් ක‍්‍රීඩක වනිඳු හසරංග ලෝක කුසලාන තරගාවලිය අවසන් වනවිට විස්සයි20 තරග 33 කදී අර්ධ ශතකයක් සමගින් ලකුණු 319 ක් රුස්කරමින් දකුණතින් පා දඟ පන්දු යවමින් කඩුලු 52ක් ද දවාගෙන සිටියේය. වනිඳු ලෝක කුසලාන තරගාවලියේ තරග අටේදී කඩුලු 16 ක් දවාගනිමින් ඉහළතම කඩුලු ලාභියා බවටද පත්විය. වනිඳු ලෝක කුසලාන තරගාවලියේ පළමු වටය පුරාම ජාත්‍යන්තර විස්තර විචාරකයන්ගේ දැඩි අවධානයට යොමු වූ පන්දු යවන්නා බවට පත්ව සිටියේය.
වනිඳු සහ චරිත් දෙපළ රිච්මන්ඩ් විදුහලෙන් ශ්‍රී ලංකා වයස 19න් පහළ කණ්ඩායමටද එතනින් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමටද එකටම පැමිණීමෙන් ඔවුන් අතර පවතින අවබෝධය ශ්‍රී ලංකා ක‍්‍රිකට් අනාගතයට ලැබුණු ප‍්‍රසාද දීමනාවකි. එකම පාසලේ ක‍්‍රීඩා කළ හොඳ මිතුරන් දෙදෙනෙක්ට දිගු සම්බන්ධතාව පැවැත්විය හැකි බව ක‍්‍රිකට් ක‍්‍රීඩාව පිළිබඳව දැනුමැත්තෝ හොඳින් දන්නා කරුණකි. 

 සටහන: යොහාන් භාසුර

 

 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා, පෙ.ව. 10:00