2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා

ලෝන ක්‍රිකට් ශ්‍රේෂ්ඨයන් අතරට එක්වූ මහේල ජයවර්ධන

 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 6

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු මෙන්ම වර්තමාන ලෝක ක‍්‍රිකට් පිටියේ ඉහළතම ක‍්‍රිකට් ඥානයකට හිමිකම් කියන පුහුණුකරුවකු වන මහේල ජයවර්ධන මහතා ලෝක ක‍්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ ලැයිස්තුවට ඇතුළත් කිරීමට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව පියවර ගත්තේය. 

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව මහේල ජයවර්ධන සමඟ, එංගලන්තයේ බිහිවූ සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩිකාවක වන ජැනට් බ්‍රිටින් සහ දකුණු අප‍්‍රිකාවෙන් බිහිවූ සුපිරි තුන්ඉරියව් ක‍්‍රීඩක ෂෝන් පොලොක්ද ශ්‍රේෂ්ඨතමයන්ගේ ලැයිස්තුවට ඇතුළත් කිරීමට පියවරගෙන තිබිණි.

ලෝක ක‍්‍රිකට් පිටියේ වාර්තා රැසකට හිමිකම් කියන මහේල ජයවර්ධන, ශ්‍රී ලංකා ක‍්‍රිකට් වංශකථාවේ දැවැන්ත පරිච්ජේදයකි. මහේල සහ කුමාර් සංගක්කාර 2006 වසරේ කොළඹදී දකුණු අප‍්‍රිකාවට එරෙහිව තුන්වැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 624 ක සම්බන්ධතාව ලෝක ටෙස්ට් ක‍්‍රිකට් පිටියේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ඉහළතම සම්බන්ධතාව ලෙස අදටත් පවතී.

මහේල ටෙස්ට් තරග 149 කදී එක්දින ජාත්‍යන්තර තරග 448 කදී සහ විස්සයි20 ජාත්‍යන්තර තරග 55 කදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති අතර ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් සහ එක්දින තරග ක‍්‍රීඩා කළ ක‍්‍රීඩකයාද වේ.
මහේල ලෝක එක්දින ක‍්‍රිකට් ඉතිහාසයේ දෙවැනි ඉහළතම තරග සංඛ්‍යාවකට ක‍්‍රීඩා කළ ක‍්‍රීඩකයාද වන අතර ඔහු ටෙස්ට් ලකුණු 11,814 ක් රැස්කරමින් ලෝක ටෙස්ට් ඉහළතම ලකුණුලාභී පිතිකරු ලැයිස්තුවේ නවවැනි ස්ථානයද, එක්දින ලකුණු 12,650 ක් රැස්කරමින් ඉහළතම ලකුණුලාභී ලෝක එක්දින පිතිකරුවන් අතර පස්වැනි ස්ථානයද, හිමිකරගෙන සිටියි.

මහේල 2006 වසරේ දකුණු අප‍්‍රිකාවට එරෙහිව ලෝක වාර්තාගත සම්බන්ධතාවයේදී රුස්කළ ලකුණු 374 ශ්‍රී ලංකා පිතිකරුවෙක් ටෙස්ට් ඉනිමකදී රුස්කළ ඉහළතම ලකුණු සංඛ්‍යාවද වේ. 

බංග්ලාදේශයේදී 2014 වසරේ පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ බර දැරෑ මහේල ජයවර්ධන, 2009 සහ 2012 විස්සයි20 ලෝක කුසලාන අනුශූරතා දක්වා ශ්‍රී ලංකා ගමනේ ප‍්‍රබල සාමාජිකයෙක්ද විය.
2015 වසරේ අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමෙන් පසුව ලීග් තරගාවලි කීපයකදී පුහුණුකරු තනතුරු දරමින් සාර්ථක වීමෙන් 44 හැවිරිදි මහේල මේ වනවිට ලෝක ක‍්‍රිකට් පිටියේ වඩාත් දක්‍ෂ සහ වටිනා උපදේශකයෙක් සහ පුහුණුකරුවෙක් බවට පත්ව සිටියි.

මහේල ජයවර්ධනට පෙර ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර සහ මුත්තයියා මුරලිදරන් ද ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතමයන්ගේ ලැයිස්තුවට එක්වීමේ වරම් ලැබූහ.

 යොහාන් භාසුර

 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා, පෙ.ව. 10:00