2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා

මෝටර් සයිකල් ලයිසන් හොරෙන් දුන් ආර්.එම්.වී. ලිපිකාරිණිය

 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 38

රජයේ සංස්ථා දෙපාර්තමේන්තු හා කාර්යාල වෙතින් මහජනයා වෙත මහා සේවයක් ඉටුකරයි. ඒවායේ නිරතුරුවම ජනතාව රුස්කමින් පෙළ ගැසෙන්නේ සිය අවශ්‍යතාවය ඉටුකර ගැනීමටය. යම් ආයතන පිළිබඳව මහජනයා තුළ ඇත්තේ අප්‍රසාදයකි. ඒ තරමට ඒවායේ කල්ක්‍රියාව පිළිබඳව ජනතාව දැනුම්වත්ය.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවට රටේ ප්‍රධාන ආයතනයකි. ඉන් සේවය ලබාගන්නට යන ජනතාව රුස්කමින් පෝලිම්වල සිටිති. ඉන් එහා සිදුවන වංචා දූෂණ අක්‍රමිකතා කොතෙකුත් වේ. ඒ සඳහා පාරිභෝගිකයන් ආයතනික සේවකයන් මෙන්ම තැරුව්කරුවෝද පුරුදුව සිටිති. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් වාර්තා වන මේ කතාව එම දෙපාර්තමේන්තුවේම දූෂිත නිලධාරිනියක් පිළිබඳවය. නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී එම දෙපාර්තමේන්තුවට අයත් පැවරුම් අංශයේදී යතුරුපැදි තුනක් නියමිත ක්‍රමවේදයට පිටින් දත්ත ඇතුළත් කර ලේඛන තුනක් මුද්‍රණය කළ චෝදනාව ඇයට එරෙහිව පවතී.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ පවතින තදබදය එම සේවාවන් සඳහා වන ඉල්ලුම මෙන්ම ඒ හේතුවෙන් නිර්මාණය වී ඇති අක්‍රමිකතා දූෂණ වංචා රාශියකි. මේ සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයාගේ පමණක් නොව ජනාධිපතිවරයාගේ පවා අවධානයට ලක්ව පවතී. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයට පත්වී වැඩි කලක් යන්නට මත්තෙන් මෝටර් රථ දෙපාර්තමේන්තුවට අයත් වේරහැර කාර්යාලය හදිසි නිරීක්ෂණ චාරිකාවට ලක්කර තිබුණි. එම ස්ථානයට සේවය ලබාගැනීමට පැමිණි ජනතාව සමඟ සුහද පිළිසඳරක යෙදෙමින් ජනතාව එහිදී මුහුණපාන ගැටලු සම්බන්ධයෙන් විමසීමටද කටයුතු කර තිබිණ. ඒ අනුව අදාළ පහසුකම් හා සේවාවන් කාර්යක්ෂමව ඉටුකරදීමට ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. එහෙත් අද වනවිට තත්ත්වය ජනාධිපතිවරයා ලබාදුන් උපදෙස් පවා ඉවත දමා ඇතැම් නිලධාරීන් හා සේවක පිරිස් සිය රාජකාරිය තම සුඛ විහාරණය සඳහා යොදාගෙන සිටීමය. ඒ සඳහා නියමිත කාර්ය හා රාජකාරිවලින් බැහැරව අත යට ගනුදෙනු අනුව අක්‍රමිකතා කිරීමට ඔවුහු කටයුතු කරති.

වාර්තා වන අයුරින් නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පැවරුම් අංශයට අනුයුක්තව රාජකාරි කරන ලිපිකාරිණියකි. එම දෙපාර්තමේන්තුව තුළ ඇයගේ සේවා කාලය වසර 22ක් බවද කියැවේ. මෙම කාන්තාව විසින් වෙනත් පාර්ශ්වයකට අයත් සිලින්ඩර් ධාරිතාව ඉහළ අගයක ඇති යතුරුපැදි දෙකක් ව්‍යාජ ලෙස සඳහන් කර ඊට අදාළ පොත් තුනක් මුද්‍රණය කිරීමට කටයුතු කර ඇතැයි කියති. ඒ සඳහා ඇය සේවය කරන පැවරුම් අංශයේ වෙනත් නිලධාරියකුගේ රාජකාරිය සඳහා වෙන්කර ඇති පරිගණක යන්ත්‍රයක මුරපදය අයුතු ලෙස ලබාගෙන එමගින් මෙකී අකටයුත්ත සිදුකර ඇතැයිද පැවසේ. මේ ජාවාරම පිළිබඳව පැමිණිල්ලක් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ලැබීමෙන් අනතුරුව ඒ සම්බන්ධව විශේෂ විමර්ශනයක් සිදුකිරීමෙන් පසුව සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත. ඒ අනුව අධිකරණය නියෝග කර තිබුණේ අත්අඩංගුවට ගත් සැකකාරිය සමඟ අදාළ ජාවාරමට සම්බන්ධ වී තිබෙන දෙපාර්තමේන්තුව අභ්‍යන්තර හා බාහිර පිරිස් පිළිබඳව සොයාබලා එම පිරිස් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට අයත් පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී ව්‍යාජ දත්ත ඇතුළත් කිරීම, ලේඛන මුද්‍රණය කිරීම ආදිය ජාලගතව සිදුකරන ලද බරපතල වරදක් බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ප්‍රකාශ කරමින් සැකකාරිය ලබන 22 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය. එසේ නියෝගය ලද සැකකාර ලිපිකාරිනිය රුවනි වික්‍රමසේකර අභයගුණරත්න නැමැති නයිනමඩම පදිංචිකාරියකි. සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට පෙන්වා දී තිබුණේ දෙපාර්තමේන්තුවේ වෙනත් නිලධාරියකු සතු පරිගණකයේ මුරපදය සොරාගෙන එමගින් පරිගණක ජාලයට ඇතුළත් වී බරපතළ වරදක් සිදුකර තිබෙන බවය. මේ හේතුවෙන් එකම අංකය යතුරුපැදි දෙකකට ලැබෙන ආකාරයේ අවදානමක් පිළිබඳවද කරුණු පෙන්වාදී තිබිණ. මෙම යතුරුපැදි අංක අයත් එහි මුල් හිමිකරුවන් හා මේ ආකාරයට යතුරුපැදි පැවරීමේ ජාවාරම කාලයක සිට සිදුකර ඇත්දැයි සෙවීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් විමර්ශනය සිදුකරයි.

එම විමර්ශනවලට බාධාවක් වේ යැයි සැකයෙන් සැකකාරිය රිමාන්ඩ් භාරයේ තබන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිට ඇත. මෙහිදී සැකකාරිය වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥවරයා කරුණු කියා තිබුණේ අදාළ ලේඛන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට යොමුකරන නිත්‍යනුකූල ඒවා බවය. ඒ අනුව සැකකාරිය කිසිදු වරදක් සිදුකර නැතැයි පෙන්වා දෙමින් ඇයව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ඇත.

කෙසේ නමුත් සැකකාරිය පරිගණක අපරාධ පනතේ 3,4 වගන්ති ප්‍රකාරව හා ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 453 හා 454 ඇතුළු වගන්ති යටතේ වරද සිදුකර ඇති බවට කොළඹ අපරාධ කොට්ඨාසය වාර්තා කර තිබුණි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දූෂණ, වංචා අක්‍රමිකතාවලින් පිරුණු රාජ්‍ය ආයතනයක් බව රහසක් නැත. ආරක්ෂක අංශයේ සිට ඉහළ නිලධාරීන් දක්වාත් ඔවුන්ගේ රියැදුරන් හා අවට හිතවතුන්ද මේවාට සහාය දක්වන බව ප්‍රසිද්ධය. ජනාධිපතිවරයාගේ අධීක්ෂණයට පවා ලක්වූ අදාළ දෙපාර්තමේන්තුවේ  අක්‍රමිකතා හා අකටයුතුකම් නිසා විශාල පිරිසකට ස්ථාන මාරුවීම් ලබාදීම සඳහා නාම ලේඛනයක් සකස් කළ බවත් එය ක්‍රියාත්මක නොවුණු බවත් එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කළේය. අදාළ ආයතනයේ ඉහළ නිලධාරීන්ට හිතවත්ව සිට අදාළ නාමලේඛනයේ වූ පිරිස ඉහළ නිලධාරීන් විසින් රඳවා ගැනීමට කටයුතු යොදා ඇති බවද එම ආරංචි මාර්ග වාර්තා කරයි. මේ හේතුවෙන් ජනපතිවරයා බලධාරීන්ට උපදෙස් ලබාදුන්නද ඇතැම් නිලධාරීන් ඒවා ගණනකට නොගන්නා බවද ඒ හේතුවෙන් තවදුරටත් ආයතනයේ අක්‍රමිකතා වැළැක්විය නොහැකි බවද පැවසේ. 

මෙසේ දෙපාර්තමේන්තු වෙත එල්ලවන චෝදනා සම්බන්ධයෙන් විමසීම සඳහා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීම සඳහා අවස්ථා ගණනාවකදී උත්සාහ කළද එම අවස්ථාව වාර්තා විය.

 සමන්ත විල්තෙර