2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා

ගණිකාවට නීතියෙන් නිදහසක්?

 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 352

ගණිකා වෘත්තිය නීතිගත කිරීම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් විසින් දැක්වූ අදහස් පදනම් කර ගනිමින් ගෙවුණු සතියේ දී සුවිශේෂී සංවාදයක් ඇතිවිය. ඒ අනුව ලිංගික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව උදෙසා ගණිකා වෘත්තිය නීතිගත කිරීමේ අවශ්‍යතාවක් ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රිනී කෝකිලා ගුණවර්ධන, ආචාර්ය හරිනි අමරසේකර යන මහත්මීහු අවධාරණය කර සිටියහ. සමාජ මතවාද ද ඇසුරු කර ගනිමින් ඒ පිළිබඳ විමසා බැලීමට අපි සැරසෙමු. 

නීතියේ තාඩන පීඩනවලට මෙන්ම නිරන්තර සමාජ පීඩාවලට ද ලක්වන පිරිසක් ලෙස ලිංගික ශ්‍රමය අලෙවි කරන්නන් හැඳින්විය හැකිය. මෙරට ප්‍රධාන වශයෙන් මෙම වෘත්තියේ නියැලෙන වීදීයේ සරන පිරිස සහ ගණිකා නිවාසගත පිරිස් හඳුනාගත හැකිය. එහෙත් මේ පිරිසට අමතරව අර්ධකාලීනව ලිංගික ශ්‍රමය අලෙවි කරන්නෝ සැලකිය යුතු පිරිසක් මෙරට සිටිති. එම පිරිස වේගයෙන් වර්ධනය වන බව පෙනී යයි. මෙම සියලු පිරිස් අතරින් අති බහුතරය මෙම වෘත්තීයට එළැඹී ඇත්තේ ආර්ථික දුෂ්කරතා පදනම් කොටගෙනය. එසේ හෙයින් නීතිය මගින් ගණිකා වෘත්තියට වැට බැඳීම හරහා සිදුවන්නේ මෙම පිරිස් තවත් පීඩාවට පත්වීම පමණි.

කෙසේ වෙතත් ලිංගික ශ්‍රමය සූරාකෑම සහ ජාවාරම් සිදු කිරීම මෙම වෘත්තිය ඇසුරේ මෙරට තුළ ද සිදුවෙයි. එය බරපතළ තත්ත්වයකි. එසේ හෙයින් නීතියේ අවශ්‍යතාව ලඝුකොට දැක්වීම ද යුක්ති යුක්ත නොවේ. කෙසේ වෙතත් මෙරට ගණිකාවන් සේම පෙම්වතුන් ද අත්අඩංගුවට ගැනීම සිදුවන්නේ 1889 අංක 5 දරණ ගණිකා නිවාස ආඥා පනත, 1841 අංක 4 දරන අයාල ආඥා පනත, පාදඩ ආඥා පනත හා අපරාධ නීතිය යන නෛතිකමය කාරණා පදනම් කරගෙනය. මෙම බොහෝ නීති යල්පැන ගොස් ඇති බව නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පවා පෙන්වා දෙති. තවද මෙරට නීතිය අනුව කෙනකුගේ කැමැත්ත මත ලිංගිකව හැසිරීම වරදක් නොවේ. එහෙත් ගණිකා නිවාසයක් පවත්වාගෙන යාම, එය කළමනාකරණය කිරීම ආදිය වැරදිය. ඇතැම් නීති විශාරදයෝ එම තත්ත්වය තුළ මෙරට ගණිකා වෘත්තියට නීතියෙන් ඍජු වැට බැඳ නොමැති බව කියා සිටිති.

නූතනයේදී ලිංගික ශ්‍රමය නීතිගත කළ යුතුය යන තර්කය මතුවන්නේ ලිංගික ශ්‍රමය සූරාකැම වළකාලීමේ අරමුණ පෙරදැරිවය. මෙය සැලකිය යුතු කාලයක් පුරා නිර්මාණය වූ අරගලයකි. මීට ඉතිහාස කතාවක් ද වෙයි. වර්තමානයේ සෑම වසරකම ජූනි මස 2 වැනි දින ලෝකය ජාත්‍යන්තර ලිංගික සේවක දිනය නම් කර ඇත්තේ එබැවිනි.

1975 ජූනි මස 2 වැනි දින ප්‍රංශයේ ලියොන්හිදී එග්ලීස් සෙන්ට නයිසියර් නම් පල්ලියේදී ලිංගික ශ්‍රමිකයන් 10ක් පමණ විසින් උද්ඝෝෂණයක් දියත් කරන ලදී. ඔවුහු සියලු ලිංගික ශ්‍රමිකයන් වෙනුවෙන් වඩා හොඳ සේවා කොන්දේසි, අයිතිවාසිකම් සහ යුක්තිය ඉල්ලා රජයට බලකිරීමක් කළහ. කාලය ඔවුන් නිරන්තරයෙන් සූරාකෑමට ලක් කළ අතර ලිංගික ශ්‍රමිකයන්ට එරෙහිව ප්‍රචණ්ඩකාරී අපරාධ රාශියක් ලොව පුරා සිදුවී තිබූ අතර මේ ප්‍රශ්න හා ගැටලු පිළිබඳව ලොව පුරා ජනතාවගේ අවධානය යොමුවීම මේ හරහා සිදුවිය. - උපුටා ගැනීම

කෙසේ වෙතත් රටක් ලෙස ආර්ථික වාසි අත්පත් කර ගැනීම වෙනුවෙන් ගණිකා වෘත්තිය නීතිගත කළ යුතුය යන තර්කය ද මේ වන විට ඉදිරිපත් වී තිබේ. මෙහිදී මතුවන්නේ සංස්කෘතික අර්බුදයකි. මෙය සම්බන්ධයෙන් අදහස් දක්වන පිරිස් කියා සිටිනුයේ සංචාරකයන්ට ගැහැනුන් විකුණාගෙන කෑමට තරම් ශ්‍රී ලාංකීය ජාතිය ආර්ථිකව හෝ සංස්කෘතිකව පරිහානියට පත් නොවිය යුතු බවය. තවද සංචාරක කර්මාන්තය නගාසිටුවීම සඳහා ගැහැනු විකිණීම හැරුණුකොට තවමත් භාවිතයට නොගත් සම්පත් බොහොමයක් ලංකාව තුළ පවතින බවට ඔවුහු තර්ක කරති.

මේ අනුව සලකා බලන විට ගණිකා වෘත්තිය නීතිගත කිරීම සරල කරුණක් නොවේ. ඊට මෙරට සංස්කෘතික ආගමික සීමා රුසක් වේ. එහෙත් ලිංගික ශ්‍රමය සූරාකෑම වළක්වා ගැනීමට රටක් ලෙස කඩිනම් වැඩපිළිවෙළක් සැකසීම අනිවාර්ය වේ. මෙම වෘත්තියේ නියුතු පිරිස්වලට සිදුවන අකටයුතුකම් අපමණය. එයට එරෙහිව නැගී සිටීම රජයේ මෙන්ම සියලු පුරවැසියන්ගේ යුතුකමකි.

ඇය හූරගෙන නොකන්නේ කවුද?

කෝකිලා ගුණවර්ධන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී

මම පෞද්ගලිකව ගණිකා වෘත්තිය නීතිගත කරනවට කැමැතියි. හේතුව මේ ලෝකෙ බුදු හාමුදුරුවන්ගේ කාලයේ ඉඳන් ගණිකා වෘත්තිය තිබුණා. මෙය ලෝකයේ පැරණිම වෘත්තිය. ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මං කරන්නේ. හැබැයි මං හෘද සාක්ෂියට එකඟවයි කතා කරන්නේ.

අද ගණිකාව සූරා කන්නේ නැද්ද කියන්න. ත්‍රීවිල් එකේ ඉන්න මනුස්සයා සූරා කනවා. එහෙම නැත්නම් ඒක කරවන අය තැරුව්කාරයෝ සූරාගෙන කනවා. ඊට වැඩිය මම විශ්වාස කරනවා තමන්ගේ කැමැත්තෙන් ඇඟ විකුණනවා නම් මේක නීතිගත කරලා දුන්නම අර අහිංසක ගැහැනු අමාරුවෙ වැටෙන්නෙත් නැහැ. හිරගෙවල්වල යන්නෙත් නැහැ. දරු පවුලක් රැකගෙන ඉඳීවි. මං පැහැදිලිවම විශ්වාස කරනවා සූරාකෑම නතර කරන්න පුළුවන් කියලා.

කාන්තාවක් හැටියට කාන්තාවක් ලිංගික වශයෙන් සූරාගෙන කන එකට මම විරුද්ධයි. මේ රටේ ආර්ථිකය හදන්න එම අයිතිවාසිකම් දෙන්න ඕනි කියලා නෙමෙයි මං මේ කියන්නේ. කාන්තාවක් හැටියට ගමේ ඉන්න අහිංසක ගැහැනිය අසරණ වුණාම ඒ ගැහැනිය ගිහිල්ලා විකුණලා මිනිහෙක් රුපියල් දහදාහක් අරගෙන ඒ ගැහැනියට දාහක් දෙන එකට මම විරුද්ධයි.

 චමිඳු නිසල් ද සිල්වා 

 

 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා, පෙ.ව. 10:00