2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා

කොවිඩ් කට්ට ආපහු කන්න වෙයිද?

 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 9

වසර දෙකකට වැඩි කාලයක් ලෝකයේ බොහෝ රටවල් පීඩා විඳි කොවිඩ් වසංගතයෙන් මෙරට ජනතාවද දිගුකාලීනව පීඩා වින්දහ. දෙමව්පියන්ට දරුවන් අහිමිවුණු, දරුවන්ට දෙමව්පියන් අහිමිවුණු, ඥාතීන් අහිමිවුණු අවාසනාවන්ත කාලයට මඳ සහනයක් ලබාදෙමින් පසුගිය කාලය තුළ කොවිඩ් ආසාදිතයන් මෙරටින් වාර්තා වුණු සංඛ්‍යාවේ යම් අඩුවීමක් දක්නට ලැබුණි. එයින් මෙරට ජනතාවට මඳ අස්වැසිල්ලක් ලැබුණි. එක් දිනකට කොවිඩ් ආසාදිතයන් දෙදහස ඉක්මවා වාර්තා වූ කාලයට විරාමය තබමින් ආසාදිතයන් පන්සීයට අඩු සංඛ්‍යාවක් දින කිහිපයක් වාර්තා වුණි.

මාස ගණනාවක් වසා තැබූ දිවයිනේ සියලු පාසල් අදියර කිහිපයක් විවෘත වී දරුවන්ට අධ්‍යාපනික කටයුතුවලට නැවුම් බලාපොරොත්තුවක් එක් කළේය. සංචාරකයන්ට මෙරට පැමිණීමට අවස්ථාවන්ද උදාවුණි. නමුත් ඒ සියලු බලාපොරොත්තුවලට රතු එළිය දල්වමින් නැවතත් කොවිඩ් වසංගතය හිස ඔසවමින් පවතී. මේ වනවිටත් දිනකට කොවිඩ් ආසාදිතයන් පන්සීයකට වැඩි සංඛ්‍යාවක් වාර්තා වේ.්‍

අද සුළුවෙන් දකින මේ වැඩිවීම තවත් කොවිඩ් රුල්ලක ආරම්භය වෙන්න පුළුවන්. දැන්මම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් නිසියාකාරව කරමින් කටයුතු කළොත් සමහරවිට ඉදිරි සති කිහිපය තුළදී ආසාදිතයන් අඩුවීමක් දකින්නට පුළුවන් වේවි. නමුත් ජනතාව නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළහොත් අපිට රට නැවතත් වැසීමට නිර්දේශ කරන්නට සිදුවෙනවා. එලෙස නැවතත් රට වැසීමට ඉඩ නොතැබීමට කටයුතු කිරීමට අපි හැමෝම වගබලා ගතයුතු වෙනවා. යැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

පසුගියදා හිනිදුම ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිවරුන් විසිහතර නමකට කොවිඩ් ආසාදිත වී ඇති බව සොයාගෙන ඇත. මේ වනවිට මෙරටින් වාර්තා වුණ කොවිඩ් මරණ සංඛ්‍යාව දහතුන්දහස් අටසියය ඉක්මවා ගොස් ඇත. මේ වනවිට වසංගත රෝග විද්‍යා අංශය විසින් පවසනු ලබන්නේ මේ වනවිටත් කොවිඩ් රෝගීන් විසිරී ඇති ස්ථානවල තැන් තැන්වලින් රෝගීන් වාර්තාවන බවය. මෙයින් පොකුරු ඇතිවීමේ ඉඩකඩක් පවතින බව සෞඛ්‍ය අංශය පවසයි. සෑම රෝගියකුගෙන්ම පොකුරක් ඇතිවිය හැකිය. මේ නිසා මේ කාලය තුළ ඉතා ප්‍රවේසම් වියයුතු බව සෞඛ්‍ය අංශය පවසති.

කෙසේ වුවද මේ වනවිට රටේ ජනතාවගෙන් ඇතැමුන් හැසිරෙන්නේ මෙරට තුළින් කොවිඩ් වසංගතයෙන් පීඩා නොවිඳි පුද්ගලයන් පිරිසක් ලෙසිනි. මේ පිරිස සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද කිසිවක් නිසි පරිදි අනුගමනය කරන්නේ නැත. විශේෂයෙන් තදාසන්න නගරවල්වලට පැමිණෙන ඇතැම් ජනතාවට මෙම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් අමතකව ගොස් ඇත.

අපිට හිතෙන විදිහට අපි මේ සිටින්නේ හතරවැනි රුල්ලක් ඉදිරියෙයි. අද බොහෝ මිනිස්සුන්ට කොවිඩ් අමතක වෙලා. කොවිඩ් මේ රටේ තියෙනවාද කියලවත් ඒ අයට මතක නැහැ. නැවත වරක් ව්‍යසනයක් ඇතිකරලා රට වසා දමලා අධ්‍යාපන ආයතන සියල්ලම නැවතත් වසා දමනවාදැයි තීරණය ඇත්තේ ජනතාව අතෙයි. මේ නිසා මේ ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ.* යැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

කොවිඩ් රෝගීන් වැඩිවශයෙන් වාර්තා වූයේ මේ වසරේ අප්‍රේල් මාසයෙන් පසුවය. දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම රෝගීන් වාර්තා වූ අතර මෙයින් වැඩි වශයෙන් වාර්තාවූයේ ඩෙල්ටා ප්‍රභේදයෙනි. ආරක්ෂිතව, නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්වලට අනුකූලව සිටි අයට පවා මේ රෝගය වැළඳී ඇත්තේ මෙම රෝගයේ භයානකත්වය මුළු ලොවටම ඔප්පු කරමිනි. මෙයට සාර්ථක පිළියම වූයේ එන්නත්කරණය බව සෞඛ්‍ය අංශය පැවසුවද විවිධ හේතූන් පවසමින් මෙම එන්නත්කරණයට යොමු නොවන පිරිසක්ද සිටී.

මාස ගණනාවකට පසුව දිවයිනේ සියලුම පාසල් පියවරෙන් පියවර නැවත විවෘත කෙරුවද තවමත් පාසැල් සිසුන්ගේ පැමිණීම සාමාන්‍ය පරිදි සිදුවන්නේ නැත. මෙයට ප්‍රධාන හේතුන් ලෙස පවතින වර්ෂාවත්, ගුරු උද්ඝෝෂණත් මෙන්ම කොවිඩ්වලට ඇති බියකමත් හේතුන් වේ. ගිංතොට මොරගොඩ ජාත්‍යන්තර පාසලකින් සිදුකළ අහඹු ඇන්ටිජන් පරීක්ෂණවලදී සිවුන් දාහත්දෙනකුට සහ ගුරුවරයකුට කොවිඩ් ආසාදිත වී ඇති බව සොයාගෙන ඇත. මීට අමතරව තවත් පාසල් කිහිපයකින්ම සිසු සිසුවියන් හට කොවිඩ් ආසාදිත වී ඇති බව සොයාගෙන ඇති අතර එම දරුවන් අධ්‍යාපනය ලැබූ පන්තිවල සිටි අනෙකුත් සිසුන්ටද නිවෙස් නිරෝධායනය වෙත යොමුකර ඇත. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ පවසනු ලබන්නේ දරුවකුට උණක්, සෙම්ප්‍රතිශ්‍යාවක්, කැස්ස, ඇඟපත වේදනාව ඇතුළු කොවිඩ් රෝග ලක්ෂනයක් හෝ පෙන්නුම් කරයි නම් නිවසේ කොවිඩ් රෝගියකු සිටී නම්, දරුවා නිරෝධායනය කළ නිවෙසක සිටී නම් පාසලකට දරුවාව නොඑවන ලෙසයි.

පසුගිය සතිවලට වඩා දරුවන්ටත් කොවිඩ් ඇතිවුණ ප්‍රමාණය ටිකක් වැඩිවුණා. කාලයක් තිස්සේ වසා තැබුණු පාසල් නැවතත් විවෘත කෙරුණා. පාසලට දරුවන් යවන්න ඕනේ. නමුත් දරුවන් ගැන වෙනදාටත් වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. දරුවන්ට අධ්‍යාපනයට අමතරව අනවශ්‍ය කාරණාවලට හැර අනවශ්‍ය ගමන් බිමන්වලට දරුවාව රුගෙන යන්න එපා. විශේෂයෙන් මේ කාලය තුළදී විනෝද සවාරි, සාද වැඩි පිරිසක් ගැවසෙන තැන්වලට දරුවන්ව රුගෙන යන්න එපා. පාසලට සෞඛ්‍ය පුරුදු අනුගමනය කරනා ගමන් දරුවාව යවන්න අමතක කරන්න එපා. අත් සෝදන එක, මුඛ ආවරණය නිසි පරිදි පැළඳා සිටීම ආදී දරුවාට කියලා දෙන්න. යාළුවන් සමඟ එකතු වී කෑම බෙදාගෙන කෑම මේ කාලයේදී නතර කරන්න යැයි උපදෙස් ලබාදෙන්න. දරුවාට නිවෙසින්ම කෑම සහ වතුර බෝතලයක් යවන්නත් අමතක කරන්න එපා. වතුර ටිකත් බොද්දීත් පන්තියේ හැමෝම ඉන්න තැන මුඛ ආවරණය ඉවත් කර වතුර බොනවාට වඩා පිරිසෙන් ඈත් වී වතුර බොන්නට දරුවාට කියලා දෙන්න. සෑම වැඩිහිටියෙක්ම එන්නත්කරණය ලබාගන්න. එයින් දරුවන්ව ආරක්ෂා කරගන්නට උදව් වේවි. අඩුම තරමේ මේ අහිංසක දරුවන් ගැන සිතාවත් වැඩිහිටියන් අනවශ්‍ය ගමන් බිමන් සීමා කරන්න.* යැයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දේශයට පැවසීය.
දිශානි ජයමාලි කරුණාරත්න