2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා

පුත්තලමට ඇති තරම් පොහොර තියෙනවලු

 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 45

රටපුරා දෛනිකව අසන්නට ලැබෙන ගොවි උද්ඝෝෂණ නිමා නොවන හැඩකි. රසායනික පොහොර ඉල්ලා වීදි බසින ගොවීන් මෙරට සෑම දිස්ත්‍රික්කයකම පාහේ දක්නට ලැබේ. එවන් පසුබිමක පුත්තලම දිස්ත්‍රික්කයේ පමණක් ගොවි උද්ඝෝෂණ නැතැයි යමෙකු පැවසුවහොත් එය තරමක් විශ්මය දනවන ප්‍රකාශයකි. එහෙත් පසුගියදා පුත්තලම දිසාපතිවරයා එවන් ප්‍රකාශයක් සිදුකළේය.

මාධ්‍ය වාර්තා අනුව පුත්තලම දිසාපති කේ.ජී. විජේසිරි මහතා පවසා තිබුණේ පුත්තලම දිස්ත්‍රික්කයේ මහකන්නයට අවශ්‍ය කාබනික පොහොර අවශ්‍යතාව වන මෙට්‍රික් ටොන් 11374 ඉක්මවා පොහොර මෙට්‍රික් ටොන් 20377ක් නිෂ්පාදනය කර ඇති බවයි. සාර්ථකව කාබනික පොහොර නිෂ්පාදනයට එක්ව එහි ජයග්‍රහණ භුක්ති විඳින පුත්තලම් දිස්ත්‍රික්කයේ කිසිදු ගොවි මහතෙක් උද්ඝෝෂණ සඳහා එකතු නොවූ බවත් වැඩිදුරටත් පවසා තිබුණි. මෙම ප්‍රකාශයේ සත්‍ය අසත්‍ය භාවය දැනගැනීමට පුත්තලම දිස්ත්‍රික් ලේකම් කේ.ජී. විජේසිරි මහතාව අපි සම්බන්ධ කර ගතිමු.

කේ.ජී. විජේසිරි මහතාට අනුව ඔහුට පුත්තලම දිස්ත්‍රික්කයේ ගොවි උද්ඝෝෂණ පිළිබඳ වාර්තා ලැබී නොමැත.
පුත්තලම දිස්ත්‍රික්කයට අවශ්‍ය කාබනික පොහොර ප්‍රමාණය අපි නිෂ්පාදනය කරලා තියෙනවා. ගොවීන්ට ඕනෑම වෙලාවක එම පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් මිලදී ගැනීමේ පහසුකමත් තිබෙනවා. එම නිසයි මම පුත්තලමේ පොහොර ගැටලුවක් නොමැති බව සඳහන් කළේ. ගංවතුර තත්ත්වය හේතුවෙන් හානි වූ වී ගොවිතැන් පිළිබඳ තවමත් අධ්‍යයනය සිදුවෙනවා. ඒත් පුත්තලම දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 22,000 පමණ වන වී ගොවිතැනෙන් අක්කර 12,000 ක විතරයි වගාව ආරම්භ කරලා තිබුණේ. ගොවිතැන ආරම්භ කිරීම සම්බන්ධව ගැටලුවක් තිබුණේ නෑ. වතුර ලබා දෙන දින වකවානුව අනුව ඉතිරි ගොවිතැන ආරම්භ කිරීමට නියමිතයි.

පුත්තලම දිස්ත්‍රික්කය යනු වී ගොවිතැන පමණක් සිදුවන දිස්ත්‍රික්කයක් නොවේ. විශේෂයෙන්ම එළවළු වර්ග රැසක් මෙන්ම පලාවර්ග රැසක් මහා පරිමාණයෙන් පුත්තලම දිස්ත්‍රික්කය වගා කරයි. එවන් තත්ත්වයක් තුළ සෙසු ගොවීන්ට ප්‍රමාණවත් පරිදි පොහොර ඇතිදැයි අපි විමසා බැලුවෙමු. දිස්ත්‍රික් ලේකම්වරයාට අනුව එම වගාවන් සඳහා අවශ්‍ය කාබනික ඝන පොහොරද පුත්තලම දිස්ත්‍රික්කයට ප්‍රමාණවත් පරිදි තිබේ. එසේම දියර පොහොරද ප්‍රමාණවත්ය.

මේක කාබනික පොහොර භාවිතයේ ආරම්භක අවස්ථාව නිසා අපට යම් යම් දුෂ්කරතාවන්ට මුහුණදෙන්න සිදුවෙයි. ඉදිරියේදී අපට එම ගැටලු නිරාකරණය කරගත හැකියි. මෙහිදී කෘෂි උපදේශකවරැන් සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ගොවීන්ට අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබා දෙනවා. ගොවීන්ව මේකට හුරැ කරගන්න ඕනෑ. ඒ වගේම නිෂ්පාදන වගා රටාව ආරක්ෂා කරගත යුතුයි. එම නිසා මේ අලුත් තීරණයත් එක්ක පිරිස් පුහුණු කරමින් අපි ඉස්සරහට යනවා.
උද්ඝෝෂණවල නිරත වන ගොවියෝ නිරන්තර ප්‍රමිතිගත කාබනික පොහොර පවා මේතාක් තමන් වෙත ලැබී නොමැති බව පවසති. එවන් වටපිටාවක් තුළ පුත්තලම දිස්ත්‍රික්කයේ පොහොර ඇති පමණට ගොවීන්ට ලබාදිය හැකි බව දිසාපතිවරයා පවසන්නේ කෙලෙසකදැයි අපි ප්‍රශ්න කර සිටියෙමු.

පුත්තලමේ කවදත් තිබුණා මහා පරිමාණ කොම්පෝස්ට් ව්‍යාපාර. වයඹ කොම්පෝස්ට් කිව්වම දන්නවා. ඒක කාලයක් තිස්සේ ක්‍රියාත්මක වන ප්‍රසිද්ධ ව්‍යාපාරයක්. ඒ වගේ ආයතන රට තුළ නිර්මාණය වුණු නව ප්‍රවණතාවය සලකා බලමින් නිෂ්පාදනය වැඩි කළා. ඒ වගේම අපේ ගොවි මහත්වරැ තමන්ගේ වගා බිම්වල, නිවෙස්වල කාබනික පොහොර නිෂ්පාදනය පටන් ගත්තා. ඒක මෙහෙ ආවොත් ඕනම කෙනෙක්ට බලන්න පුළුවන්. ඊට අමතරව මහා පරිමාණ නිෂ්පාදකයෝ 16 දෙනෙක් ඉන්නවා. ආරම්භයේදී ඒ ඒ අයට යම් යම් ප්‍රශ්න තිබුණා. ලියාපදිංචි කරගැනීම බලපත්‍ර ලබාගැනීම වගේ කරැණු සම්බන්ධව. ඒ වගේ අවස්ථාවල කෘෂි උපදේශකවරැ හරහා අවශ්‍ය උපදෙස් ලබාදීලා නීත්‍යානුකූලව අදාළ පහසුකම් සපයා දුන්නා.

පුත්තලම දිස්ත්‍රික් ලේකම් කේ.ජී. විජේසිරි මහතාව පවසන පරිදි ආරම්භයේදී නිෂ්පාදනවල ප්‍රමිතිය ආරක්ෂා කර ගැනීමටද කෘෂි නිලධාරීන් ඵලදායි ලෙස මැදිහත් වී තිබේ. අදාළ ගොවිබිම් වැඩබිම් වෙත ගොස් සාම්පල ලබාගෙන කොළඹ හා මාකඳුර පරීක්ෂණාගාර වෙත යවා කොම්පෝස්ට් නිෂ්පාදනයේ ගුණාත්මකභාවය වැඩි කිරීමටද ඔවුන් අවශ්‍ය දායකත්වය ලබාදී ඇත. ලේකම්වරයාගේ ප්‍රකාශයන්ට අනුව පෙනී යන්නේ රජය විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීන්දුව ක්‍රියාත්මක කිරීමේදී පුත්තලම දිස්ත්‍රික්කය සුවිශේෂී කාර්යභාරයක් ඉටුකොට ඇති බවයි.

පුත්තලම දිස්ත්‍රික්කය තුළ යම් ක්‍රමවේදයක් ක්‍රියාත්මකයි. කාබනික පොහොර නිෂ්පාදනයට අදාළ සියලු පාර්ශව අපි මුලදී එක තැනකට ගෙනාවා. මහා පරිමාණ නිෂ්පාදකයෝ ගෙනැල්ලා කතාකළා. ඒ එක්කම සෞඛ්‍යය පරිසර අංශ වගේම පොලීසියක් සම්බන්ධ කරගත්තා. සාමූහිකව කටයුතු කළ යුතු බව අපි එහිදී සඳහන් කළා. සමහර තැනකදී දුර්ගන්ධය හමද්දී පෙත්සමක් ගහන්න පුළුවන්. ඒ වගේ තැනකදී අපි කවුරැත් එකතුවෙලා බලන්න ඕනෑ. තහනම් කරන එකවත් නඩුදාන එකවත් නෙවෙයි වැඩේ. හැකි ඉක්මනින් ජනතා හිතකාමී විදිහට කටයුතු කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදීමයි සිදුවිය යුත්තේ. ඉතින් අපි ආරම්භයේදීම පොඩි ක්‍රමවේදයක් හදාගත්තා. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය නිලධාරීන් ගෙනැල්ලා වෙනම දවසක කතාකළා. අපි ඉදිරියට නිෂ්පාදකයන්ට පුහුණු වැඩසටහන පවත්වන්නත් බලාපොරොත්තු වෙනවා.

සමස්තයක් ලෙස පුත්තලම දිස්ත්‍රික්කය කාබනික ගොවිතැනට යොමුවීමේදී යම් සාධනීය ප්‍රවේශයක් පෙන්නුම් කොට ඇති බව මේ අනුව පැහැදිලි වේ. ඊට හේතුව යම් පමණකට අපට පැහැදිලිය. අනාගතයේදී පොහොර සම්බන්ධ තීන්දු තීරණ කවර අතකට පෙරලුනද පුත්තලමේ ප්‍රවේශය සාධනීය වනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

 චමිඳු නිසල් ද සිල්වා