
පසුගිය දිනවල ලංකාව පුරාම ගෑස් හිඟයක් ඇතිවිය. ගෑස් නොමැතිකමින් දර හා භූමිතෙල් භාවිතයට ඇතැම් පිරිස් යොමු වුවද නාගරිකයන්ට එවැනි විකල්පයකට යොමු වීම අසීරු කරුණකි. දැනට පවතින අධික වැසිබර තත්වය නිසා වියළි දර කැබැල්ලක්වත් සපයා ගැනීමට නොහැකි යැයි ගම්බද ජනතාවද මැසිවිලි නඟමින් සිටිති.
කොරෝනා ව්‍යසනයත් සමඟ ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල හා නැව් ගාස්තුද විශාල ලෙස ඉහළ ගියේය. 2020 වසරේ අප්‍රේල් මාසය වන විට ලෝක වෙළෙඳ පොළේ එල්.පී. ගෑස් ටොන් එකක මිල ඇමරිකන් ඩොලර් 350 වූ අතර 2021 අප්‍රේල් වනවිට ඇමරිකන් ඩොලර් 620 ක් දක්වා ඉහළ ගියේය. ශ්‍රීලංකාවේ ගෑස් සපයන සමාගම් දෙක වන්නේ ලිට්රෝ සහ ලාෆ් යන සමාගම්ය ගෑස් මිල ඉහළ යෑමෙන් එම ගෑස් සමාගම් සිලින්ඩරයකින් රුපියල් 700ක පමණ අලාභයක් ලබන බව පවසමින් මිල ඉහළ දැමීමට අවසර ඉල්ලා තිබිණි. එහෙත් මිල වැඩි කිරීමට කරන ලද ඉල්ලීම ක්‍රියාත්මක නොවූ හෙයින් ලාෆ් ගෑස් සමාගම ගෘහස්ථ ගෑස් ආනයනය නවතා දැමීය. කෙසේ වුවද පසුව ඔවුන්ගේ ඉල්ලීම අනුව දෙවරකදී ගෑස් මිල වැඩි කිරීමට අවසර ලැබිණි. ලිට්රෝ සමාගමද ගෑස් අලෙවියෙන් පාඩු විඳිමින් සිටි බැවින් ඔවුන්ද ගෑස් මිල ඉහළ දැමීමට පියවර ගත්තේය.
පසුගිය ඔක්තෝබරයේ සිට ගෑස් මිල ඉහළ ගියේය. ඒ අනුව ලිට්රෝ ගෑස් කිලෝ 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 1,257කින් ඉහළ ගියේය. එහි නව මිල රුපියල් 2,750කි. කිලෝ 5ක් වූ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 503කින්ද කිලෝ 2.5ක් වූ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 231කින්ද වැඩි විය. ඒ අනුව, කිලෝ 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,101ක් වන අතර, කිලෝ 2.5ක සිලින්ඩරයක් රුපියල් 520ක් වේ. ලාෆ් ගෑස් සමාගමද දෙවරකදී ගෑස් මිල ඉහළ දැම්මේය. ඒ අනුව දැන් ඔවුන්ගේ ගෑස් කිලෝ 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 2840කි. කිලෝ ග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1,136කි.
ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල තීරණය වන්නේ ‘සෞදි අරාබියේ ඇරම්කෝ සමාගමේ මිල දර්ශකය අනුවය. එම සමාගම මාස් පතා ඉන්ධන සහ එල්.පී. ගෑස් මිල දර්ශකය යාවත්කාලීන කරයි. විවිධ රටවල ඉන්ධන මිල ගණන් වෙනස් වන්නේ මේ හේතුව නිසාය. ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ යනවිට අපේ ගෑස්ද ඉහළ යන නමුදු එහි මිල අඩු වනවිට මිල පහත දැමීමක් සිදුවන්නේ කලාතුරකිනි.
ශ්‍රී ලංකාවේ මාසික ගෑස් පරිභෝජනය මෙට්‍රික් ටොන් 43,000 පමණ වේ. ඉන් වැඩි ප්‍රමාණයක් සපයනු ලබන්නේ ලිට්රෝ ගෑස් සමාගම මගිනි. ඔවුන්ගේ ගෑස් සැපයුම මසකට මෙට්‍රික් ටොන් 32000 පමණ වේ. ලාෆ් ගෑස් සමාගම මෙරට ගෑස් අවශ්‍යතාවෙන් මෙට්‍රික් ටොන් 11000ක් පමණ සපයයි. ලාෆ් ගෑස් හිඟය පසුගිය මැයි මාසයේ සිට පවතින්නකි. එම හිඟයට හේතුව ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාම සහ ගෑස් ලබා ගැනීමට අවශ්‍ය ඩොලර් නොමැතිකම බව එම සමාගමේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබිණි. ලාෆ් ගෑස් දෙවරක් මිල වැඩි කළද ගෑස් හිඟය තවමත් එලෙසම පවතින අතර ලිට්රෝ ගෑස් හිඟයක් ඇතිවූයේ එක්වරමය.
රජය සතු ලිට්රෝ ගෑස් සමාගමේ කෙරවලපිටිය ගබඩාවේ ගබඩා කළ හැක්කේ ගෑස් මෙට්‍රික් ටොන් 8000ක ධාරිතාවකි. ලාෆ් ගෑස් සමාගමට හම්බන්තොට හා මාබිම ගබඩාවල මෙට්‍රික් ටොන් 33000ක් ගබඩා කළ හැකිය. ලිට්රෝ සමාගම මෙරට ගෑස් අවශ්‍යතාව සපුරාලීම සඳහා තම පර්යන්තය අවම වශයෙන් මෙට්‍රික් ටොන් 20,000ක ගබඩා පහසුකම් දක්වා විශාල කිරීමට කලකට ඉහත ඉල්ලීමක් කර තිබුණි. ඒ සඳහා රුපියල් බිලියන 20කට වැඩි මුදලක් ආයෝජනය කිරීමට සිදුවීමත් ඉදිකිරීම් කටයුතු සඳහා වසර 3කට වැඩි කාලයක් ගතවන බැවිනුත් එය ප්‍රයෝගික විසඳුමක් නොවන බව මුදල් අමාත්‍යංශයේ නිගමනය විය. ඒ සම්බන්ධයෙන් ජනාධිපති කමිටුවක්ද පත් කෙරුණු අතර ලාෆ් සමාගම සතුව මෙට්‍රික් ටොන් 33000ක ගබඩා පහසුකම් පවතින බැවින් ලාෆ් ටර්මිනල් ආයතනය සහ ලිට්රෝ සමාගම් දෙකෙහි අධ්‍යක්ෂවරුන් යටතේ ස්වාධීන සමාගමක් පිහිටුවා එය පවත්වා ගෙන යාමේ යෝජනාවක්ද පසුගිය කාලයේ ඉදිරිපත් විය.
එහෙත් දැනට පවතින ගෑස් හිඟය ඇතිවූයේ වෙළෙඳපොළේ ක්‍රියාත්මක ගෑස් මාෆියාව කෘතිම ගෑස් හිඟයක් නිර්මාණය කිරීම නිසායැයි ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙසාර ජයසිංහ මහතා පසුගියදා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේ මේ අතරය.
අපේ රටේ විවිධාකාරයේ මාෆියාවන් ක්‍රියාත්මක වෙනවා. ගෑස් වෙළෙඳපොළ සම්බන්ධයෙනුත් එවැනි මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා. වෙනත් කිසිම පාර්ශ්වයකට ගෑස් වෙළෙඳපොළට එන්නට නොදී එක කණ්ඩායමක් පමණක් ගෑස් ඒකාධිකාරයක් පවත්වාගෙන යනවා. කවුරු හරි එය වෙනස් කිරීමට උත්සාහ කළොත් එම පුද්ගලයාට හෝ එම ආයතනයට විරුද්ධව ඔවුන් කටයුතු කරනවා. පසුගිය වසර 10ක ඉතිහාසය බැලුවම කිසිම කෙනෙකුට ගෑස් විකුණන්න නොදී එකම කණ්ඩායමක් පමණක් ගෑස් වෙළෙඳපොළ අල්ලාගෙන සිටි බව පේනවා. මේකට පක්ෂ, ආණ්ඩු අදාළ නැහැ. හොරු කියන්නේ එක කණ්ඩායමක්. මේ හොරු කණ්ඩායම රාජ්‍ය ආයතනයක වැඩ කරන කෙනෙකුට වැඩ කරන්න දෙන්නේ නැහැ. පසුගිය ඔක්තෝබර් 28 දින සිට නොවැම්බර් 1දා දක්වා අපට ගෑස් නිකුත් කරන්නට හැකි වුණේ නැහැ. අපේ ගෑස් ප්ලාන්ට් එක 28දා වැසීමට සිදුවූයේ ගෑස් බිංදුවක්වත් අපට නොතිබූ නිසයි.

අප දැනට ගෑස් ලබාගන්නා සමාගමේ ගෑස් නැව කොළඹ වරායට පැමිණ දැනට පවතින කොන්ත්‍රත්තුව තවත් වසර දෙකකට දීර්ඝ කරන්නේ නැතිනම් ඔබට ගෑස් ලබා නොදෙන බව^ පවසමින් අපට තර්ජනය කළා. ලිට්රෝ ගෑස් සමාගම එයට අකමැති වීම නිසාත්, ඔවුන්ගේ තර්ජනයට නොබියව මුහුණ දුන් නිසාත් ඔවුන් සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය බිත්තියට හේත්තු කරන්න උත්සාහ කළා. මෙම තත්ත්වය සමනය කර ගැනීම සඳහා ජනාධිපතිතුමාගෙන් උපදෙස් ලැබෙනතෙක් සිටින්නට මට සිදු වුණා. එම ගෑස් නැව නිදහස් කර ගැනීම සඳහා ගරු ජනාධිපතිතුමන් හා මහබැංකු අධිපතිවරයා විශේෂ කාර්යභාරයක් ඉටු කළා. ගෑස් සපයන සමාගමේ තර්ජනයට යටවී ගෑස් සැපයීමේ ගිවිසුම තවත් වසර දෙකකට දීර්ඝ කිරීමට සිදුවූයේ නම් අපේ රටට රුපියල් බිලියන දහයක පමණ අලාභයක් සිදුවීමට ඉඩ තිබුණා.* යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.
හිටපු සභාපතිවරයා විසින් අත්සන් කරන ලද ගිවිසුම හේතුවෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයෙන් අඩු මිලට ගෑස් ලබා ගැනීමට තිබූ අවස්ථාව මගහැරී ගොස් තිබෙන බවද ඔහු ප්‍රකාශ කරයි. පසුගිය වසර දහයකට අධික කාලයක් පුරාවටම වෙළෙඳපොළේ ගෑස් අඩුමිලට පැවතියත් ශ්‍රී ලංකාව එලෙස අඩුමිලට ගෑස් මිලදී ගැනීමට කටයුතු කර නොමැති බව පැවසේ. ගිවිසුම්ගත වීමේදී වරකට රටට අවශ්‍ය අවම ප්‍රමාණය එම ගිවිසුමේ සඳහන් කරනු ලබන අතර ඒ අනුව වරකට මිලදී ගත යුතු අවම ප්‍රමාණය රටේ මාසික ගෑස් අවශ්‍යතාවට සමානය. දැනට ගන්නා මිලට වඩා අඩු මිලට ලෝක වෙළෙඳ පොළෙන් ගෑස් මිලදී ගැනීමේ හැකියාව පවතී. ඒ අනුව ඩොලර් 50 සිට ඩොලර් 200ක් දක්වා අඩුවට ලංසු ලබාගත හැකිය. දැනට පවතින ගිවිසුම යටතේ ගෑස් ලබා ගන්නවාට වඩා ඩොලර් 100ක් අඩුවෙන් ගෑස් ගෑස් ලබා ගැනීම සඳහා ලිට්රෝ ගෑස් සමාගම මේ වන විට කෙටි කාලීන ගිවිසුමකට එළඹී තිබේ.
දැනට පවතින කොන්ත්‍රත්තුව මගේ අත්සනින් යුතුව නැවත වසර දෙකකට දීර්ඝ කර ගැනීමට මේ සිදුවීමට සම්බන්ධ පිරිසට අවශ්‍ය වුණා. දැනට පවතින ගෑස් කොන්ත්‍රත්තුව නිසා රටට අහිමිවන මුදල් ප්‍රමාණය ආසන්න වශයෙන් ඩොලර් බිලියන 10ක් පමණ වෙනවා. ඒ කියන්නේ කෝටි 1000ක්. එම මුදල කිසියම් කෙනකුගේ අතට යනවා. එලෙස මුදල් ගසා කෑ පිරිස් මටත් මේ සභාපතිකමේ ඉන්න දෙන එකක් නැහැ. ගෑස් හිඟය සම්බන්ධයෙන් කලින් ජනතාව දැනුම්වත් කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් කනගාටු වෙනවා. ඒ වගේම හොරකම නවත්වන්න හැකිවීම ගැන මම සතුටු වෙනවා* යැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
සභාපතිවරයා පවසන අයුරින් මෙම ගිවිසුම අත්සන් කර ඇත්තේ 2020 පෙබරවාරි 28 දාය. එම ගිවිසුම වසර දෙකක කාලයකට එනම් 2022.02.28 දක්වා වලංගුවේ. කොන්ත්‍රාත්තුව අත්සන් කළ පුද්ගලයන් මෙම කොන්ත්‍රත්තුව අත්සන් කිරීම මගින් ප්‍රතිලාභ ලබන බව සභාපතිවරයා සඳහන් කරයි. මීයක් කඩන්නේ අත ලෙව කන්න නෙවෙයි කියල කියමනක් තිබෙනවා. මෙවැනි කොන්ත්‍රත්තුවකින් කික් බැක්ස් හෙවත් අනිසි වරප්‍රසාද ලබන පිරිසක් සිටිනවා. දැනට පවතින ගිවිසුම ක්‍රියාත්මක වූයේ 2020 මාර්තු මාසයේ සිටයි. ඒ අනුව මෙම ගිවිසුම අත්සන් කර තිබෙන්නේ මට කලින් සිටි සභාපතිවරයාගේ කාලයේ. ගරු ජනාධිපතිතුමා මාව මේ තනතුරට පත් කළේ සිදුවෙමින් පවතින දූෂණ, අක්‍රමිකතා පිටුදැකලා ජනතාවට වඩාත් හොඳ සේවයක් ලබාදීම සඳහායි.
ලිට්රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස තමා පත්වීමත් සමඟම ලාෆ් ගෑස් සමාගම වෙළෙඳපොළට ගෑස් සැපයීම නතර කළ බවත්. ඒ හේතුවෙන් රටේ ගෑස් අර්බුදයක් මතු වූ බවත් තෙසාර ජයසිංහ මහතා පවසයි.
මේ වනවිට ලිට්රෝ සමාගම ගෑස් නිෂ්පාදන කටයුතු යළි ආරම්භ කර තිබේ. ඒ අනුව දිනකට ගෑස් සිලින්ඩර් 85000ක් පමණ වෙළෙඳපොළට නිකුත් කෙරේ. එහෙත් එම ප්‍රමාණයෙන් දැනට පවතින ගෑස් හිඟය පියවා ගැනීමට අසීරු වුවද යම් පමණක විසඳුමක් ලැබෙමින් පවතී ඉදිරි සතියක පමණ කාලය තුළ ගෑස් අර්බුදය සම්පූර්ණයෙන් විසඳෙනු ඇතැයි සභාපතිවරයා සඳහන් කරයි.
මේ අතර ගෑස් මාෆියාවක් සම්බන්ධයෙන් ලිට්රෝ සමාගමේ වත්මන් සභාපතිවරයා විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන ලෙසට ලිට්රෝ සමාගමේ හිටපු සභාපති අනිල් කොස්වත්ත මහතා ලිපියක් මගින් මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා තිබේ.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා