2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා

බල්ලෙක් කරන YouTube චැනල් එක

 2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 120

කියන දේ හොඳින් තේරෙන, සිංහල බොහෝ වචන හොඳින් හඳුනන බැල්ලක් කුලියාපිටිය ප්‍රදේශයේ ජීවත් වන්නීය. නෙකී බබා ලෙසින් හඳුනන මේ හුරතල් බලු පැටියාට Nekii Girl නමින් YouTube නාළිකාවක්ද ඇති අතර මේ වන විටත් නෙකීගේ සුරතල් වැඩ බලන්න කැමැති දස දහසකට අධික පිරිසක් මෙම YouTube චැනලය නරඹති.

එයාව මගේ චූටි අයියාගේ යාළුවෙක් වන රසික අයියාගෙන් තමයි අපිට ලැබුණේ. නෙකීගේ පවුලේ සහෝදර සහෝදරියන් දහතුන් දෙනෙක් ඉඳලා තියෙනවා. නෙකීගේ අම්මා චූටි කාලෙදි නෙකීට කිරි දීල නැහැ. ඒ නිසා සති තුනෙන් නෙකීව අම්මාගෙන් අයින් කරලා තියෙනවා. නෙකීව අපි ගෙනෙද්දි එයා හරියට වැඩිලා හිටියේ නැහැ. නෙකීගේ අම්මා ලැබ්‍රඩෝ වර්ගයේ බැල්ලියක්. නෙකීගේ තාත්තා ලංකාවේ සාමාන්‍ය වර්ගයේ සුනඛයෙක්. අපේ ගෙදරට නෙකීව අපි අරගෙන එද්දි එයා අපේ අල්ලේ ප්‍රමාණයට හරි පොඩියි. මගේ අතට ගත්තාම එයාගේ ඔළුව මගේ ඇඟිලිවලින් චුට්ටක් එළියට යනවා. ඒ තරමටම එයා හරිම පොඩියි. නෙකී ඉපදුණේ 2019 අවුරුද්දේ නොවැම්බර් 05 වැනිදා.* නෙකීගේ අයිතිකරු වන ප්‍රභාත් වික්‍රමසිංහ මහතා දේශයට පැවසීය.

නෙකීව ගෙදරට ගෙනා ප්‍රභාත් සහ ඔහුගේ බිරිඳ ප්‍රභා නෙකීට කිරි සහ සමපෝෂ ආහාරයට ලබා දුන්හ. ටිකෙන් ටික නෙකීව බත් කෑමටද පුරුදු කළහ. ප්‍රභාත් සහ ප්‍රභා වෙජිටේරියන් දෙදෙනෙකි. ඒ නිසාම නෙකීටද මස් මාළු ලබා නොදීමට ප්‍රභාත් වගබලා ගත්තේය. අඩුම තරමේ ප්‍රභාත්ගේ නිවෙසට පැමිණි දවසේ සිට නෙකී කරවල කැබැල්ලක් හෝ ආහාරයට ගෙන නොතිබිණි. මස් මාළු නොලැබුණද නෙකීට ආහාරවලින් කිසිදු හිඟයක් නැත. ඒ සම්බන්ධයෙන් ප්‍රභාත් වෛද්‍ය උපදෙස් පවා ලබාගෙන තිබුණි. බල්ලකුට මස් මාළු නොලැබුණද පෝෂණයේ වරදක් නැති බව වෛද්‍ය මතය විය. සුරතලයට ඇතිකරන සුනඛයකු, බළලකු හෝ වෙනත් සතකුට තමන්ගේ අත දෙන්න යැයි පැවසූ විට අත ඉදිරියට දැමීමට ඉගැන්වීම සාමාන්‍ය දෙයකි. බොහෝ අය එවැනි පුරුදු සුරතල් සතුන්ට උගන්වති. නමුත් නෙකී එයට හාත්පසින්ම වෙනස් සුනඛයෙකි. නෙකීට විශේෂත්වයක් ඇත.

නෙකීට අපි වචනයි උගන්වන්නේ. සාමාන්‍යයෙන් ඕනෑම සතකුට කෑම දී විධානයකට අනුව උගන්වන්න පුළුවන්. බොහෝ දෙනා සතුන්ට උගන්වන්නේ එහෙමයි. නමුත් අපි පුරුදු කරන්නේ එහෙම නෙමෙයි. නෙකී අපේ ගෙදරට ආපු කාලයේ සිටම මමයි බිරිඳයි එයාට වචන කියා දෙන්න පටන් ගත්තා. මුලින්ම නෙකීගේ අත අල්ලලා %මේ ඔයාගේ අත.. මේ ටෙනිස් බෝලය^ කියල උගන්වන්න පටන් ගත්තා. එයාට කටින්වත් අල්ලන්න බැරි චූටි කාලෙදිම අපි එයාට ටෙනිස් බෝලය ගැන කියල දුන්නා. ඊට පස්සෙ %නෙකී.. මේ ඔයාගේ අත.. මේ ඔයාගේ නහය.. මේ ඔයාගේ කකුල.. මේ ඔයාගේ නැට්ට^ කියල හැම දෙයක්ම එකින් එක කියල දුන්නා. සති දෙක තුනක් යද්දි ^මේ අත^ නොකියා %මේ ඔයාගේ බෝනික්කා^ කියමින් ඕනෑම දෙයක් අපි කියලා දුන්නා. ඒ හැමදේම එයාට හොඳට මතකයි.* යැයි ප්‍රභාත් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

මේ වන විට නෙකී කැමැත්තෙන් සිටින වෙලාවක් වූ විට නෙකීට අලුත් වචනයක් විනාඩියක් ඇතුළත පුරුදු පුහුණු කරන්නට හැකියාව ඇත. මේ වන විට නෙකී බොහෝ දේවල් හඳුනයි. බොහෝ දේවල් තේරුම් ගනී. නෙකී ප්‍රභාත්ට මෙන්ම ප්‍රභාටද අසීමිතව ආදරය කරන්නීය. නමුත් බොහෝ විට මේ දේවල් පුරුදු කරන්නේ ප්‍රභාත්ය.

කොන්දට කළ සැත්කමක් හේතුවෙන් ප්‍රභාත්ට වෙහෙස මහන්සි වී රැකියාවක් කර ගැනීමට නොහැක. ප්‍රභාත් සහ ප්‍රභා නෙකී සමඟ පදිංචිව සිටියේ කඩවතය. මේ අවුරුද්දේ අප්‍රේල් මාසයේදී ඔවුහු කුලියාපිටියට පදිංචියට පැමිණියහ. නෙකී ප්‍රභාත්ගේ නිවෙසට ආ මුල් කාලයේදී ප්‍රභාත් තම නිවෙසේ සිට පැරණි මෝටර් රථවල කාබ්යුරේටර් ටියුනින් කිරීම රැකියාවක් ලෙස කරගෙන ගියේය. ප්‍රභාත්ගේ බිරිඳ රුකියාවක් කළාය. ඇය රැකියාවට ගිය විට නිවෙසේ සිටින්නේ ප්‍රභාත් සහ නෙකී පමණි. නෙකී මුල් කාලයේදී දිනකට කෑම වේල් අටක් පමණ ආහාරයට ගත්තාය. ප්‍රභාත්ගේ වැඩ කටයුතුත් සමඟ ඔහුගේ අත්වල නිතරම මජන් සහ භූමිතෙල් ගෑවී තිබුණි. මේ නිසා දිනක් නෙකීට කෑම වේලක් පරක්කු විය. නෙකී හීන් කෙඳිරිලි හඬත් සමඟ ප්‍රභාත්ගේ ඇඟේ දැවටුණාය. එය ප්‍රභාත්ට හිතට තදින්ම දුක දැනුණු දිනයක් විය. ඒ නිසාම නෙකී වෙනුවෙන් ප්‍රභාත් තම රැකියා කටයුතුද කැප කළේය. එතැන් සිට ප්‍රභාත් මෝටර් රථ කාබ්යුරේටර් ටියුනින් කිරීම සඳහා බාරගනු ලබන්නේ සති අන්තයේ හෝ රාත්‍රී කාලයේදී පමණි. ඇතැම් වැඩ මේ හේතුවෙන් ප්‍රභාත්ගෙන් ගිලිහී ගියේය. නමුත් නෙකී වෙනුවෙන් ඒ සියල්ල ප්‍රභාත් ඉවසුවේය. ඒ හැමටම වඩා නෙකී ඔවුන්ට වටී. නෙකීට අවුරුද්දක් ගතවන තුරු ප්‍රභාත් නෙකීට වැඩි අවධානයක් ලබා දුන්නේය. ටිකෙන් ටික නෙකීගේ කෑම වේල් සංඛ්‍යාව අඩු විය. මේ වන විට නෙකී දිනකට මූලික කෑම වේල් තුනක් ගන්නා අතර ඒ අතර කාලයේදී අමතර ආහාරද ගන්නීය.

අදටත් නෙකී සමපෝෂ කන්නට කැමැත්තක් දක්වන්නීය. ඊට අමතරව මීකිරි, එළවළු, සුප්, නිවුඩු හාල් කැඳ, බතල, වට්ටක්කා කෑමට ඉතා ප්‍රියය. රතුඅල, කංකුන්, කැරට්, කරවිල අමුවෙන් කෑමට නෙකී ප්‍රිය කරන්නීය. එළවළු සහ පළතුරු කන නෙකී දූරියන් කෑමටද ඉතා කැමැතිය.

නෙකී නාන්න හරි ආසයි. එක දවසක් එයා නිදාගෙන ඉඳිද්දි අපි අවදි කරලා %නාන්න යමු^ කියද්දී එයා බැහැ කියලා ප්‍රතිචාර දැක්වූවා. එයා නාන්න අකැමැති වුණේ එදා විතරයි. අපි නාන්න යමු කියද්දි එයා එයාගේ ටවල් එකත් කටින් අරගෙන බාත්රෑම් එකට යනවා. අපි කාලයක් පදිංචිවෙලා හිටියේ කඩවත. කුලියාපිටියට පදිංචියට එන්නට පෙර අපි කාර් එකේ එයාව කිහිප වතාවක්ම කුලියාපිටියට එක්කගෙන ආවා. සමහර දවස්වලට මම නෙකීවයි මගේ බිරිඳවයි කඩවත නවත්තලා කුලියාපිටියේ ගේ අලුත්වැඩියා කරන තැනට ආවා. ඒ දවස්වල නම් නෙකී ඉඳලා තියෙන්නේ හරිම දුකෙන්. අපි කුලියාපිටියේ යමු^ කියල කියද්දිම එයා එයාගේ හානස් එකයි, දම්වැලයි අරගෙන අපි ළඟට දුවගෙන ඇවිත් ඒක අපිට කියල අන්දවාගෙන අපිට කලින් කාර් එකට ගිහින් නගිනවා. ඒ නිසා කඩවතින් කුලියාපිටියට පදිංචියට ආ එක එයාට වැඩිය දැනුණේ නැහැ. එයා ඉක්මනින්ම කුලියාපිටියට හැඩගැහුණා.* යැයි ප්‍රභාත් වික්‍රමසිංහ මහතා කියයි.

නෙකීට අසනීපයක් ද තිබේ. නෙකී බොහෝ ක්‍රියාශීලී බලු පැටවෙකි. ප්‍රභාත් පවසන පරිදි නෙකී තරම් සෙල්ලම් කරන බල්ලෙක් නැති තරම්ය. නෙකීට සුරතල් බෝනික්කෙක්, සුරතල් සෙල්ලම් අලි පැටවෙක් ඇතුළු සෙල්ලම් බඩු බොහෝය. ඒ සියල්ලම වෙන් වෙන් වශයෙන් නෙකී හඳුනන්නීය. %නෙකී බෝනික්කාව ගේන්න^ යැයි පැවසූ විට නෙකී දුව ගොස් බෝනික්කා රුගෙන එන්නීය. නෙකී නිතරම මේ සෙල්ලම් බඩුත් සමඟ සෙල්ලම් කරන්නීය. සෙල්ලම් කර ටික වේලාවකින් නෙකී කට හැර, ඇස් ලොකු කර ගනිමින් වේගයෙන් හුස්ම ගනිමින් හති දාන්නීය. නෙකී ප්‍රභාත් ළඟට, ගොස් මොන මොනවදෝ කියන්නීය. ඒ අසාමාන්‍ය හැසිරීම නිසා ප්‍රභාත් දිනක් පශු වෛද්‍යවරයකුට නෙකීව පෙන්වීය. එහිදී නෙකීට එක්ස්රේ පරීක්ෂණයක්ද සිදු කර තිබුණි. එයින් නෙකීගේ හෘද වස්තුව මඳක් විශාල වී ඇති බව සොයාගෙන තිබුණි. එයින් පෙනහළුවල තදවීමක් සිදුවන නිසා හුස්ම ගැනීමට අමාරු වන බව සොයාගෙන ඇත. පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේදීද නෙකීව පරීක්ෂා කර තිබුණි.

නෙකී මුල් කාලයේදී බෙහෙත් පෙති බොන්නට ප්‍රියතාවයක් දැක්වුවද මෙම රෝගයත් සමඟ එක වරකට බෙහෙත් පෙති අටක් දහයක් ගැනීමේදී හපන ලද එක් පෙත්තකට තිබූ අකැමැත්ත නිසාම මේ වන විට නෙකී බෙහෙත් පෙති බීමට එතරම් කැමැත්තක් නැත. නමුත් ප්‍රභාත් ආදරයෙන් නෙකී බෙහෙත් බොන්න කට අරින්න^ කියද්දී නෙකී කට ඇර බෙහෙත් උගුරට දමන්නට ඉඩ දෙන්නීය.
නෙකීට නිදාගන්නට වෙනම තැනක් ඇත. උදේ පාන්දරම අවදි වන නෙකී ප්‍රභාත්ගේ නිදන කාමරය අසලට පැමිණ දොරට අතින් ගසා දොර විවෘත කරගෙන ප්‍රභාත් සහ ප්‍රභා නිදාගන්නා ඇඳට පැමිණ ටික වෙලාවක් ඔවුන් සමඟ නිදාගන්නීය. නෙකී හුරතලයට වඩාත් කැමැති බල්ලෙකි.

අපි නෙකීව හදන්නේ අපේ පාළුව තනිකම නැතිකර ගන්න නෙමෙයි. අපි බුදු දහම අනුගමනය කරන අය හැටියට නෙකී වෙන තැනකට ගිහින් හැදුණොත් එයා සාමාන්‍ය බල්ලෙක් විදිහටම සත්තු අල්ලාගෙන මරන, දඩයම් කරන සතකු වේවි. එහෙම වුණොත් තවත් පව් කරාවි. අපි ළඟ හිටියොත් එයාට හොඳ දේවල් කරන්න පුළුවන් වේවි කියල අපි හිතුවා. නෙකීට කලින් අපි ෂැඩෝ කියල තව බල්ලෙක් හැදුවා. එයා මෙයාට වඩා ගොඩක් ඉහළින් හිටියේ. එයා ගොඩක් සෙල්ලම් කළා. ඒ වගේම නෙකීටත් පුළුවන් කියල මම විශ්වාස කළා. නෙකී මස් මාළු කන්නේ නැහැ. කිසිම සතෙක් නෙකී අල්ලන්නේ නැහැ. එයා සතුන්ට හරි ආදරෙයි. නෙකී ඔයාගේ ගෙඹි යාළුවා කෝ කියල අහද්දි එයා ගිහින් වත්තේ ඉන්න ගෙඹි යාළුවාව හොයාගන්නවා. නෙකී අපි එක්ක බුදුන් වඳිනවා. අපි වාඩිවෙලා බුදුන් වඳිද්දි එයා හැමදාම අපේ ළඟින්ම වාඩිවෙලා ඒ දිහා බලාගෙන සද්ද නැතිව ඉන්නවා. එයින් ඊළඟ භවයේදි මේ තිරිසන් ආත්මයෙන් මිදිලා හොඳ භවයක හෝ ඉපදේවි කියල අපි විශ්වාස කරනවා.* යැයි ප්‍රභාත් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

Nekii girl නමින් නෙකීට YouTube නාළිකාවකි. එවැනි YouTube නාළිකාවක් නෙකී වෙනුවෙන් ආරම්භ කිරීමට ප්‍රභාත්ට අරමුණක් තිබුණි.
නෙකීව ආදරයෙන් හදලා නෙකී කරන මේ වැඩ දැකලා සතුන්ටත් මේ දේවල් කරන්න පුළුවන් කියල හිතලා ගෙදර හදන බල්ලට පයින් ගහන එක හෝ නතර කරනවා නම් ඒක කොයි තරම් හොඳද? සමහරු ගෙදර බල්ලට ගහන්නෙ පයින්. සමහරු පාරේ ඉන්න බල්ලන්ට ගල්වලින් ගහනවා. ගේට්ටුවෙන් මෙහාට ආවොත් ගලකින් ගහන මිනිස්සු අනන්තවත් ඉන්නවා. ඇත්තටම ඒක කොයි තරම් පවක්ද? සතුන් හරි ආදරණීයයි. අපි කියන දේ ආදරයෙන් කිව්වොත් සතුන් කවදාවත් වැරදි දෙයක් කරන්නේ නැහැ. නෙකී කවදාවත් අපේ ගෙදර තියෙන කිසිම භාණ්ඩයකට, කිසිම දේකට හානියක් කරල නැහැ. අඩුම තරමේ අපේ සෙරෙප්පුවක්වත් කාලා නැහැ. එයාට සෙල්ලම් බඩු සෙල්ලම් කරන්න ඕන තරම් තියෙනවා.* යැයි ප්‍රභාත් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් දේශයට පැවසීය.

නෙකීගේ වීඩියෝ දැක නෙකීව ඉතා විශාල මුදලකට ඉල්ලූ අය ඕනෑ තරම්ය. නමුත් නෙකීව මුදලකට විකුණන්නට ප්‍රභාත් කැමැති නැත. නෙකීගේ YouTube නාළිකාව නරඹා වීදිවල සිටින බල්ලන් නිවෙසට ගෙන නෙකී යන නම තබන පිරිසද සිටින බව ප්‍රභාත් පවසයි. නෙකීටම වෙන්වුණු දුරකථන අංකයක් තිබේ. එම අංකයට බොහෝ දෙනා කතා කරන්නේ නෙකී වෙනුවෙනි.

 දිශානි ජයමාලි කරුණාරත්න