2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා

කොවිඩ් වෛරසයේ අලුත්ම මාරයා

 2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 14

වසර 100කට පසු මිනිස් වර්ගයා මුහුණ දෙන මහා වසංගතය වූ කොවිඩ් 19, හේබා යන ලකුණු පෙනි පෙනී තිබියදීම, නැවතත් ඒ පිළිබඳ භීතිය වඩන ආරංචියක් විද්‍යාත්මක ලෝකය තුළ පැතිර ගොස් තිබේ. ඒ දැනට භාවිතයට පැමිණ ඇති එන්නත් සඳහා ප්‍රතිරෝධය වර්ධනය කරගත් පැරුණි කොවිඩ් මාදිලියක් නැවත හිස ඔසොවා ඒම පිළිබඳවය.

ඉපැරුණි කොවිඩ් කාණ්ඩයට අයත්ව තිබූ A.30 ලෙස හැඳින්වෙන මාදිලිය මේ වනවිට ආසාදිතයන් ඉහළ දැමීමටත් මරණ වැඩි කිරීමටත් හැකි අන්දමේ භයානක විපරීත කිහිපයක්ම ගොඩනගාගෙන ඇති බව වාර්තා වේ. ජර්මනියේ විද්වතුන් කණ්ඩායමක් සිය පරීක්ෂණ අනුව පෙන්වා දී ඇත්තේ මේ A.30 වෛරස මාදිලිය සතුව එන්නත් මගින් නිපදවන්නට යෙදෙන ප්‍රතිදේහ නොතකා සරැව - පැතිරීමට සමත් විශේෂ හැකියාවක් වර්ධනය කරගෙන ඇති බවය. මේ හැකියාව නිසා කොවිඩ් එන්නත ලබාගත් අය තුළටද ඇතුළුවී රෝගය නැවත පැතිර වීමට මේ නව විපරීත මාදිලිය සමත්ය.

කොවිඩ් වෛරසය මිනිස් සිරැරට ඇතුළු වීම සඳහා සම්බන්ධ වන ස්පයික් ප්‍රෝටීනය ආශ්‍රීතව මේ විපරීතවීම් දක්නට ලැබී ඇත. කලින් ඇති වූ මාදිලිවලද වීපරීතවීම් සිදුව තිබුණේ මේ විශේෂ ප්‍රෝටීනය මතය. නමුත් මෙවර වෙනස්කම් ගොන්නක්ම එකවර හටගෙන තිබේ. මේ නිසා ප්‍රතිදේහ ක්‍රියාකාරීත්වය මඟහැර ප්‍රතිශක්තිය මර්දනය කර වඩාත් පුළුල් පැතිරීමක් මේ වෛරස මාදිලිය මගින් සිදුවිය හැකි බව ඒ ගැන පර් යේෂණ පත්‍රිකාවක් “he journal Cellular & Molecular Immunology on October 25.” නමැති වෛද්‍ය සඟරාවට ඉදිරිපත්කරන විද්වතුන් පිරිස පෙන්වා දෙති.

මේ පර් යේෂණ පත්‍රිකාව අනුව වෛරස ප්‍රෝටීනයේ (spike glycoprotein) පවතින ඇමයිනො අම්ල 05ක් මෙහිදී අහෝසි වී ඇති අතර අලුත් 10ක් ප්‍රතිස්ථාපනය වී ඇත. මේ නිසා හටගත් විපරීත තත්ත්වය මගින් දැනට භාවිතයේ ඇති ඇස්ට්‍රාසෙනෙකා සහ ෆයිසර් එන්නත් මගින් ගොඩනඟන ප්‍රතිදේහ ක්‍රියාකාරීත්වය නොතකා ක්‍රියාත්මක වීමට වෛරසයට හැකියාව මතුව ඇති බව පෙන්වා දෙයි. මේ අන්දමට ප්‍රතිදේහ තොතකා ක්‍රියාත්මක වීමට පොළඹවන එක් ප්‍රධාන විපරීතයක් හැටියට E484K, හඳුන්වා දී ඇත. මේ විපරීත සහිත A.30 වෛරස පැතිරීම මූලික අවස්ථාවේදීම පාලනයට ලක් නොකළහොත් මහා විනාශකාරී පැතිර යාමක් මේ වසංගතයේ නව රුල්ලක් සේ පැතිර යනු ඇති බවට විද්වතුන් අනතුරැ අඟවා හමාරය.

මේ මෑතක් වනතුරැම විද්වතුන් කරැණු දැක්වූයේ මෙම පැරුණි A.30 මාදිලිය ලෝකයෙන් තුරන්ව ගොස් ඇත කියාය. නමුත් පසුගිය 2021 මැයි - ජූනි අතර කාලයේදී ලෝකයේ මෙම වෛරස මාදිලිය ආසාදිතයන් 05 දෙනෙකු සොයා ගැනීමට හැකිව ඇත. ඉන් තිදෙනෙක් ඇන්ගෝලාවෙනි. ස්වීඩනයෙන් සහ එංගලන්තයෙන් එක් අයෙක් බැගිනි.

ඒ අනුව ජර්මනියේ ජෝර්ජ් ඔගස්ට් සරසවියේ ආචාර්ය ප්‍රෙර්නා අරෝරා ඇතුළු පිරිස මේ අලුතෙන් වාර්තා වූ වෛරස මාදිලිය ගැන සොයන්නට යොමුවූහ. ලෝකයෙන් තුරන් වූවා යැයි සිතු පැරුණි A.30 වෛරසයේ සිදුව ඇති හානිදායී මහා වෙනස ඔවුන් හඳුනා ගත්තේ ඒ අනුවය.

ලොවපුරා විද්වතුන් දැන් මෙම නව මාදිලිය ගැනද අවධානය ඉහළ දමා තිබේ. මානව ප්‍රතිශක්තීකරණ යාන්ත්‍රණයෙන් මිදීයාමට තරම් විශේෂ හැකියාවක් වර්ධනය කර ගනිමින් සිටිනා A.30 නව වෛරසයේ ක්‍රියාකාරීත්වයද අඩපණ කළ හැක්කේ එන්නත්කරණය මගින්ම බවට පිළිගත හැකි මට්ටමේ විද්‍යාත්මක මතයක් පළව තිබේ. ඒ අනුව දැන් හතරවැනි බූස්ටර් එන්නතක් ලබාදීම ගැන අවධානය යොමුව ඇත. ජර්මානු පර්යේෂකයෙක් වන මාර්කුස් හොෆ්මාන් කියන්නේ “එන්නත්කරණය වසංගතයට එරෙහිව තවමත් මිනිසා සතුව ඇති හොඳම අවිය කියාය. ඔහු පෙන්වා දෙන්නේ ප්‍රතිදේහ මට්ටම ප්‍රශස්තව ඉහළ අගයක රඳවා ගැනීම මගින් මේ වෛරස විකෘතිය පැතිරීමද පරාජය කළ හැකි බවය. මේ නිසා වැඩි වැඩියෙන් බූස්ටර් එන්නත් භාවිතයට මිනිසාට ඉදිරියේදී සිදුවනු ඇත.

 සුගත් පී. කුලතුංගආරච්චි