2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා

ලංකාවේ දූෂිතම ගංගාව කැලණි

 2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 720

සමනළ කඳුවැටියේ අප්කොට් ප්‍රදේශයේ කඳු බෑවුම්වලින් උපත ලබනා කැලණි නදිය  තවත් අතු ගංගාවල ජලයත් එකතු කරගෙන දිගින් කිලෝමීටර් 145ක් දුර ගෙවා සමුදුර සිපගන්නේ කොළඹ නගරයේ මෝදර ප්‍රදේශයෙනි. කිතුල්ගලට එනතෙක් ගඟේ යෞවන අවස්ථාවේදී පිරිසිදු දිය ප්‍රවාහයක් රැගෙන ගලනා එය අවිස්සාවේල්ලෙන් පසු ජනගහනය අධික ප්‍රදේශවලට පිවිසෙත්ම ටිකින් ටික දූෂණය වන්නට පටන් ගනී. මෑතක සිට එම දූෂණය දෙගුණ තෙගුණ වී තිබේ.

ලංකාවේ වැඩිම ජනගහණයක් සිටින බස්නාහිර පළාත හරහා ගලන කැලණි නදිය ලංකාවේ වැඩිපුරම දූෂණයට ලක්වූ ගංගාව බව පරිසරවේදීන් මෙන්ම පරිසර විද්‍යාඥයන්ද පවසන්නේ කලක පටන්ය. මෙම ගංගාව පවිත්‍ර කිරීමට රාජ්‍ය මට්ටමින් විශාල මුදලක් වෙන්කරමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළද ඒවායින් විශාල සෙතක් අත්ව නැති බවයි පේන්නේ. පසුගියදා කෝප් කමිටු වාර්තාවකින්ද ඒ බව හෙළිදරව් විය.

කෝප් කමිටුව හමුවේ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා සඳහන් කර ඇත්තේ කැලණි ගඟ ආශ්‍රිතව බස්නාහිර පළාතේ පිහිටා ඇති ඒ සහ බී කාණ්ඩවලට අයත් කර්මාන්ත 294ක් අතරින් ඒ කාණ්ඩයේ කර්මාන්තවලින් 41ක් පරිසර ආරක්ෂණ බලපත්‍ර නොමැතිව ක්‍රියාත්මක වන අතර කර්මාන්ත 205ක බලපත්‍ර අත්හිටුවා ඇති බවත් කිසිදු සටහනක් නොමැති ඉහළ අවදානමක් සහිත කර්මාන්ත 17ක් පවතින බවත්ය. 

ගං ඉවුරට මීටර් 500ක් දුරින් ඇති සියලුම කර්මාන්ත පරික්ෂාවකට ලක්කර ඇති බව සඳහන් කළ සභාපතිවරයා ඒ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් කෝප් කමිටුවට ඉදිරිපත් කරන බවද සඳහන් කර තිබේ.

ඒ අතරම කැලණි ගඟට නුදුරින් පිහිටි සීතාවක කර්මාන්ත කලාපයේ කම්හල් 37ක පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබාගැනීම සතුටුදායක මට්ටමක නැති බවද වාර්තා වී තිබේ. මෙම කර්මාන්ත අතරින් 15ක් අප ජලය නිකුත් කරන කර්මාන්ත වීම මෙම සිද්ධියේ බරපතළකම හෙළිකරන්නක් වී ඇත. නමුත් පසුව මේ කර්මාන්ත අතරින් 15ක් අදාළ පරිසර තත්ත්ව සම්පූර්ණ කර ඇති බවද සභාපතිවරයා සඳහන් කර ඇත.

මෙහිදී අනාවරණ වූ තවත් කරුණක් නම් සීතාවක අපනයන සැකසුම් කලාපය සඳහා වසර 8ක කාලයක් පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබාදී නැති බවයි. එයට හේතුව ඒ සම්බන්ධ නඩු කටයුත්තක් පැවතීම බවත් එය ඉක්මනින් සමථයකට පත්වනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බවත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා පවසා සිටී.

“අවිස්සාවේල්ල නගරයේ සිට කැලණි නදියේ දූෂණය අධිකයි. සීතාවක ඔය මේ ප්‍රදේශයේදී ගඟට එකතු වෙනවා. අවිස්සාවේල්ල කර්මාන්තපුරයේ අපද්‍රව්‍යයත් අවසානයේ එක්වන්නේ කැලණි ගඟටම තමයි. සමහර අවස්ථාවලදී අවිස්සාවේල්ල අවටදිත් මිනිසුන් ගඟේ ජලය ස්නානය කළ විට සිරුර කසන බව අවුරුදු කිහිපයකට පෙර කළ අපේ සමීක්ෂණයකදී පැවසුවා. පෑලියගොඩ ප්‍රදේශයෙන් ජලය තැවරුණ විටත් සිරුර කසන බව පසුගිය කාලේ සුලභව වාර්තා වුණා.

එසේ සඳහන් කරන්නේ පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේය.  

ශ්‍රී ලංකාවේ අධිකවම දූෂණය වී ඇති නදිය වශයෙන් කැලණි ගංඟාව වාර්තාවක් තබා තිබේ. මේ දූෂණයට නිවාස, ව්‍යාපාරික ස්ථාන ආදිය සමඟම, කර්මාන්තශාලා විශාල වශයෙන් දායක වේ. කැලණි ගංගාධාරයේ විශාල පරිමාණයේ කර්මාන්තශාලා 11700කට අධිකවද මධ්‍යම පරිමාණ කර්මාන්තශාලා 14200ක් පමණද පිහිටුවා තිබේ.

මේ අතරින් පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබාගෙන ඇත්තේ ආයතන දහසකට ආසන්න ප්‍රමාණයක් පමණක් බව පසුගිය කාලයේ හෙළිවූ කරුණකි. දැන් තත්ත්වයත් එයට වඩා එතරම් වෙනසක් නොදක්වන බව සිතාගත හැකිය. 2000 අංක 53 දරන පරිසරික (සංශෝධිත) පනතට අනුව සේවකයන් 25ට වැඩිනම් පරිසර ආරක්ෂණ බලපත්‍රයක් අනිවාර්ය වේ. ඊට පසු එහි උපමානවලට අනුව කටයුතු කර පිරිපහදු කළ කාර්මික ජලය ගඟට මුදාහැරිය යුතුය. මේ සඳහා අමතර පිරිවැයක් දැරිය යුතු අතර ඒ නිසා බොහෝ කර්මාන්තශාලා හිමියෝ පරිසර පනත සුදුද කළුද කියාවත් මායිම් නොකරන බවත් වෙනත් අතයට ගනුදෙනු හරහා නීතියෙන් පැනයාමට උත්සාහ කරන බවත් ප්‍රසිද්ධ රහසකි.

කැලණි ගංඟා ද්‍රෝණියේ ගංගා ජලයේ සමහර ප්‍රදේශයේ ආම්ලිකතාව අධිකය.  රතුපස්වල ආශ්‍රිත ප්‍රදේශවල සිට අත්තනගලු ඔය දක්වා පී.එච්. අගය 3.5%දක්වා පහත වැටී තිබේ. සාමාන්‍ය පරිසරයේදී පී.එච්. අගය 6.5කට වැඩිවිය යුතුයි. තඹ, කැඩ්මියම් වැඩිපුර තියෙන ප්‍රදේශත් නිරීක්ෂණය වී තිබේ. නමුත් ගංගාවට තිබෙන ප්‍රධාන පරිසර ගැටලුව වන්නේ අවිස්සාවේල්ලෙන් පහළට තිබෙන කර්මාන්ත ශාලා, ඌරුකොටු, මස්කඩවල අපද්‍රව්‍ය ගඟට ඍජුවම මුදාහැරීමයි. මෝදර, මට්ටක්කුලිය, පෑලියගොඩ, කොලොන්නාව සහ අංගොඩ ප්‍රදේශ ගංගාවට ඝන අපද්‍රව්‍ය විශාල වශයෙන් එක්කරන ස්ථානයි. එම ප්‍රදේශවල මහ නගර සභා ඇතුළු පළාත් පාලන ආයතන ප්‍රධානින් කැඳවා සාකච්ඡා කර ක්‍රියාමාර්ග ගතයුතු බවද කෝප් කමිටුවේදී පැවසිණි. කොළඹට ජලය සපයන අඹතලේ ප්‍රදේශයට ගංගාව ගලා එන්නේ මේ අපද්‍රව්‍යද සහිතවය. අඹතලේ ජල පවිත්‍රාගාරයෙන් පානීය ජලය ලබාදෙන්නේ ඒ වතුර පිරිපහදු කිරීමෙනි.

කොළඹ අවට නාගරික හා උප නාගරික ජනතාවගේ ජල අවශ්‍යතා සඳහාද පානීය ජලය ලබාදෙන්නේ කැලණි නදියයි. බියගම පට්ටිවිල පිහිටි ජල පවිත්‍රාගාරය, මාබිම ජල පවිත්‍රාගාරය ආදී ස්ථානවලින්. කඩුවෙල, මාලඹේ, බත්තරමුල්ල, කැලණිය, මාබිම, සපුගස්කන්ද, කිරිබත්ගොඩ, දොම්පේ, දෙල්ගොඩ, වැලිවේරිය වැනි ප්‍රදේශවල ලක්ෂ සංඛ්‍යාත පිරිසකට පානීය ජලය සැපයේ. වර්ෂ 2016 දී කැලණි ගඟ දකුණු ඉවුර ජල සම්පාදන ව්‍යාපෘතිය ආරම්භ කළ අතර ඒ ඔස්සේ ජාඇල, මහර, කටාන දක්වා ජලය ලබාදීමට සිදුවේ. 

සපුගස්කන්ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අසලින් ආරම්භ වන පට්ටිවිල ඇළ ඔස්සේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ අපද්‍රව්‍ය කළුතෙල් කැලණි නදියට එක්වීම නිසා එහි පානීය ජලයට තෙල් රසයක් එක්වීම වසර කිහිපයකට පෙර වාර්තා විය. එම ඇළ ගංගාවට වැටෙන්නේ පට්ටිවිල ජල පවිත්‍රාගාරය අසලිනි. එම තත්ත්වය මඟ හැරීම සඳහා ජල සම්පාදන මණ්ඩලය විසින් අතුරු මාර්ගයක් සකස් කිරීමේ කටයුතු සිදුකරන බවත් එය දෙසැම්බර් අවසන් වනවිට නිම කිරීමට හැකි බවත් කෝප් කමිටුව හමුවේ අනාවරණය විය.  

අඹතලේ ජල පොම්පාගාරය අසලින් කැලණි ගඟට ලවණ ජලය මුසුවීමද තවත් පාරිසරික ගැටලුවකි. එයට විසඳුමක් ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ජලය අඩුවන විට රඳවාගත හැකි පරිදි ඇකිලිය හැකි වේල්ලක් ඉදිකිරීමට සැලසුම් සකස් කර ඇති බවද අනාවරණය විය. 

පරිසර අමාත්‍යංශය මගින් සුරකිමු ගංගා වැඩසටහන ආරම්භ කළේ දූෂණය වන මේ ගංගාව ආරක්ෂා කර ගැනීමටයි. එහෙත් එය බොහෝ තැන්වල නමට පමණක් සීමාවී ඇති බව පෙනේ. ගැසට් නිවේදනයක් මගින් ගංගා රක්ෂිතය නිර්වචනය කර එම රක්ෂිතය රජයට පවරාගත යුතු බවත් මෙහිදී නිර්දේශ වූ තවත් කරුණකි. 

කෝප් කමිටුව හමුවේ අනවරණය වූ කරුණු දෙස විමසිලිමත් වීමේදී අපට නම් පෙනෙන්නේ අදාළ වැඩසටහන් ඉදිරියේ නිමකරන, සැලසුම් කරමින් පවතින ආදී උත්තර මිස නිමාවූ පරිසර පිළියම් නොමැති බවයි. නමුත් ඒ අතර කැලණි ගඟ මහා පරිමාණයෙන් විශාල පිරිසක් එකතු වී වනසන බව නම් රහසක් නොවේ.

♦ කුසුම්සිරි විජයවර්ධන