2021 ඔක්තෝබර් 30 වන සෙනසුරාදා

කාදිනල්තුමන්ගේ අතටම එවූ පාප්තුමාගේ ලියුම

 2021 ඔක්තෝබර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 32

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා සිදුකරන සියලු කාර්යයන් වෙනුවෙන් අවශ්‍ය සහාය ලබාදෙන බවට සඳහන් කරමින් ශුද්ධෝත්තම ෆ්‍රුන්සිස් පාප්වහන්සේ  විසින් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත ලිපියක් එවා තිබේ. ඒ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන විනිවිදභාවයෙන් තොර හෙයින් ඒ සඳහා ජාත්‍යන්තර සහාය ලබාදෙන ලෙසට ඉල්ලා අගරදගුරුතුමන් උන්වහන්සේ වෙත යොමුකළ ලිපියට පිළිතුරක් ලෙසිනි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටුකර ගැනීම සඳහා ගතහැකි සෑම පියවරක්ම ගන්නා ලෙසටත්, ශ්‍රී ලංකාවේ සිදු වන කනගාටුදායක ක්‍රියාදාමයන් පිළිබඳ දැඩි ලෙස අවධානයෙන් පසුවන බවටත්, ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් නිරතුරු දෙවිඳුන් යදින බවටත්, ෆ්‍රුන්සිස් පාප්වහන්සේ එහි සඳහන් කර ඇතැයි මැල්කම් කාදිනල් රංජිත්  හිමියන් මාධ්‍ය හමුවක් පවත්වමින් පසුගියදා සඳහන් කළේය. 

පාප්වහන්සේ විසින් කාදිනල් හිමියන් වෙත තම අත්අකුරින්ම ලියා ඇති එම ලිපියේ වැඩිදුරටත් මෙලෙස සඳහන්ය.

පසුගිය අගෝස්තු 24 වැනිදා ඔබ විසින් එවන ලද ලිපියේ 2019 අප්‍රේල් 21 වැනි දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වර්තමානයේ පවතින විනිවිදභාවයකින් තොර විමර්ශන පිළිබඳ ඔබ සඳහන් කර තිබුණා. එමෙන්ම පසුගිය දිනක මෙහි සිටින ඔබේ අපෝස්තලික තානාපතිතුමන්ද ලිපියක් මගින් එම කරුණු පිළිබඳව මා දැනුම්වත් කර තිබුණා. මෙම තත්ත්වය පිළිබඳව මා බොහෝ කනගාටුවට පත් වෙනවා. මම පොරොන්දු වෙනවා තව තවත් යාච්ඤා කරන්න. මෙම හෙට මේ ගැන රාජ්‍ය ලේකම් කාදිනල්තුමන් සමඟ සාකච්ඡා කරනවා. ප්‍රහාරය එල්ල වූ දිනවල කිතුණුවන් ආවේගශිලි නොවන්නට ඔබ කටයුතු කළ ආකාරය සහ ඉස්ලාම් භක්තිකයන් හමුවී ඔවුන් හට මිත්‍රත්වය පෙන්නුම් කළ අකාරය. මට අමතක නැහැ. ඔබ සැබෑ යහපත් එඬේරෙක් ලෙස ක්‍රියා කළ ආකාරයද මට මතකයි එබැවින් ඉදිරියේදී කළ හැකි හොඳම දේ පිළිබඳ ඔබ ගන්නා වූ තීරණ පිළිබඳවත් මා හට මෙහි සිට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් මා දැනුම්වත් කරන්නැ*යි උන්වහන්සේ කාදිනල් හිමියන්ට දන්වා තිබිණි.

පුද්ගලයන් 250ට අධික පිරිසකට ජීවිත අහිමි කරමින් සහ 500කට අධික පිරිසකට තුවාල සිදුකරමින් 2019 පාස්කු ඉරිදා දින එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට මේ වන විට වසර දෙකහමාරක පමණ කාලයක් ගත වී තිබේ. ඒ සම්බන්ධයෙන් සිදුකෙරුණු විමර්ශන මන්දගාමී හා සැබෑ තත්ත්වය වසන් කිරීමට බලධාරීන් කටයුතු කරන බවට කාදිනල් හිමිපාණෝ අවස්ථා රුසකදීම චෝදනා කළහ. මියගිය හා අනතුරට ලක් වූ පුද්ගලයන් සඳහා  සාධාරණයක් ලබා දෙන ලෙසට උන්වහන්සේ අවස්ථා කිහිපයකදීම බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ. පාස්කු ප‍්‍රහාරයේ චූදිතයන්ට තරාතිරම නොබලා දඬුවම් දෙන බවට 2019 ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පොරොන්දු විය. කතෝලික පල්ලිය එම පෙරොන්දුව විශ්වාස කළේය‍.එහෙත් කාදිනල්තුමන්ට තවමත් යුක්තිය ඉල්ලා සටන් වදින්නට සිදුවී තිබේ. එකී ප්‍රහාරයන් සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් ඉල්ලා තමන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යවන ලද ලිපියට පිළිතුරක් ලැබුණේ දින 24කට පසුව බවත් එය හුදෙක් සරල පිළිතුරක් බවත් කාදිනල්තුමා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. තමන්ට යුක්තිය ඉටු නොවුනු තැන එයට විරෝධය පාමින් කළු ඉරිදාවක් ද සංවිධානය කරන්නට උන්වහන්සේට සිදු විය. කාදිනල්තුමා ඉල්ලා සිටියේ පාස්කු ප්‍රහාරය පිටුපස තිබූ කුමන්ත්‍රණය රටට හෙළිදරව් කිරීමට රජය අසමත් වී තිබීම ජාතික ආරක්ෂාවට මහත් අනතුරක් බැවින් ප්‍රහාරය පිළිබඳ සම්පූර්ණ සත්‍යය රටට හෙළිදරව් කිරීමට පියවර ගන්නා ලෙසටය.

මෙරට කතෝලිකයන්ට සිදුවූ පාස්කු ප‍්‍රහාරය සම්බන්ධ‌ෙයන් සත්‍යය තොරතුරු සෙවීමට තමන්ට ජාත්‍යන්තරයට යෑමට සිදුවන බව කාදිනල් හිමිපාණෝ පැවසූහ. විවිධ අවස්ථාවල මාධ්‍ය හමු පවත්වමින් උන්වහන්සේ ප්‍රකාශ කළේ බලධාරීන් උදාසීන ලෙස කටයුතු කරන බවටය. &පාස්කු ප‍්‍රහාරය සම්බන්ධ සැබෑ තොරතුරු මේ රජය යට ගහනවා. වින්දිතයින්ට යුක්තිය ඉටු කරන්නේ නෑ. මේ ආණ්ඩුව බොරු කියනවා. අපිට රජයෙන් ලබා දෙන්නේ බාල පිළිතුරු. මේ පිළිබඳ ජාත්‍යන්තරයට රජය යනවා කියනවා. අපිටත් ජාත්‍යන්තරයට යන්න වෙනවා. අපිට ජිනීවා යන්න වෙනවා. ගිහින් මේ දුක්ගැනවිල්ල කියන්න වෙනවා* යැයි කාදිනල් හිමිපාණෝ විවිධ අවස්ථාවන්හි ප්‍රකාශ කළහ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති කොමිසමක් පත් කළේය. එම කොමිසම දින 214ක කාලයක් මුළුල්ලේ 457 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කර ගත්තේය. දේශපාලන අධිකාරියට හා ආරක්ෂක සේවාවන්ට අයත් පිරිස් මෙන්ම ව්‍යසනයට මුහුණ දුන් හා ආශ්‍රිත ක්‍රියාකාරකම් සමග සම්බන්ධ අය ඒ අතර වූහ. වාර්තාව පිටු 472කින්, ඇමුණුම් 215 කින් සහ වෙළුම් 06කින් සමන්විතය විය. එම වාර්තාව මගින් පාස්කු ප්‍රහාරයට වගකිවයුතු පුද්ගලයන් සම්බන්ධයෙන් බොහෝ නිර්දේශ ඉදිරිපත් කර තිබිණි. රජය එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තු විශේෂ අනුකමිටුවක් පත් කළේය. මෙම පාර්ලිමේන්තු අනුකමිටුව සම්බන්ධයෙන් කාදිනල්තුමන් තුළ පැහැදීමක් නොවීය. උන්වහන්සේ ඉල්ලා සිටියේ ජනාධිපති කොමිසමේ  නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කර තමන්ට යුක්තිය ඉටු කරන ලෙසටය. එහෙත් එය කඩිනමින් සිදු නොවීම සම්බන්ධයෙන් කාදිනල්තුමන් අවස්ථා ගණනකදී චෝදනා කළේය.
පාස්කු ප්‍රහාරයට අදාළව ශ්‍රී ලංකාව තුළ පුද්ගලයන් 676 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණි. ඉන් 202 ක් බන්ධනාගාරගත කෙරුණු අතර තවත් 66 දෙනෙකු රඳවා තබා ගෙන විමර්ශන සිදු කෙරිණි. ඉන් 408 දෙනෙක් ඇප මත නිදහස්ව සිටියද ඔවුන් සම්බන්ධයෙන්ද අඛණ්ඩව විමර්ශන සිදු කෙරෙන බව සඳහන් විය. ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සංවිධාන තුනක් වන ජාතික ත්ව්හීඩ් ජමාද්, ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහීම් හා විල්ලයාත් අස් සේලානි යන සංවිධාන තහනම් කෙරිණි. 

අවසානයේ රජය චූදියන්ට එරෙහිව නඩු පැවරීමට හා එම නඩු විභාග කිරීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතාගේ සභාපතිත්වයෙන් මහාධිකරණ විනිසුරු අමල් රණරාජා හා මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විතව විශේෂ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කළේය. පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරවලට වගකිව යුතු යැයි සැක කෙරෙන විසිපස්දෙනකුට එරෙහිව අධි චෝදනා ගොනු කරමින් කොළඹ මහාධිකරණයේ පැවරෑ නඩුව ඔක්තෝබර් 04 දින කැඳවීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල දින නියම කළේය.

දේවස්ථාන හා හෝටල් ඇතුළු දිවයිනේ ස්ථාන අටකට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට එරෙහිව රජය වෙනුවෙන් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ අධි චෝදනා 23,270ක් යටතේ මෙම නඩුව ගොනු කරන ලදී. නවුෆර් මවුලවි, සජීඩ් මවුලවි, මොහොමඩ් මිල්හාන්, සාදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ, අලියස් ගවුපර් මාමා, මොහොමඩ් සනස්දීන් හා මොහොමඩ් රිස්වාන් ඇතුළු විසිපස් දෙනකුට එලෙස අධි චෝදනා ගොනුකර තිබේ. පාස්කු දින දේවස්ථාන හා සංචාරක හෝටල් ඇතුළු දිවයිනේ ස්ථාන අටකට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් වගකිවයුතු හා කුමන්ත්‍රණය කිරීමෙන්, බරපතළ තුවාල සිදුකිරීම, මිනි මැරීමට තැත් කිරීම හා මිනී මැරීමට අධාර අනුබල දීම යන ත්‍රස්තවාදී ක්‍රියා ඇතුළු දණ්ඩ නීති සංග්‍රහයේ වැරදි සිදු කිරීම යන චෝදනා යටතේ මෙම නඩුව පවරා ඇත. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව අධිචෝදනා 864ක් යටතේ නඩු දෙකක් කොළඹ මහාධිකරණයේ පවරා ඇති අතර තවත් විත්තිකරුවන් දස දෙනකුට එරෙහිව මඩකළපුව මහාධිකරණයේ නඩු පවරා තිබේ.

මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක විමර්ශන සහ මෙරට කතෝලික සභාව ඉදිරියේදී ගැනීමට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග පිළිබඳ යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් දැනුවත් කිරීමේ සංවාදයක් සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට කතෝලික සභාව පියවර ගෙන තිබිණි. එම සංවාදය අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ඒ සඳහා ඉතාලිය ඇතුළු යුරෝපා රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් රුසක් එක්ව තිබිණි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන්ට දඬුවම් ලබා දෙන ලෙසට ඉල්ලමින් විවිධ රටවල උද්ඝෝෂණ කරන්නට වූයේ ඒ  අනුවය.

මේ අතර පසුගියදා පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධව යුක්තිය ඉල්ලා අරගල කරන ගිහි සංවිධාන රුසක් කාදිනල් හිමි හමුවී ඉදිරි කටයුතු සම්බන්ධව සාකච්ඡා කර තිබේ. ශුද්ධෝත්තම ප්‍රුන්සිස් පාප්වහන්සේගේ ලිපිය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පාස්කු ප්‍රහාරය පිළිබඳ ජාතික ප්‍රකාශක කමිටුවේ සිරිල් ගාමිණි පියතුමා මෙලෙස සඳහන් කළේය. නිලන්ත ජයවර්ධන ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ. මේ ප්‍රහාරයට ඉස්සෙල්ලා නිලන්ත ජයවර්ධන ගාව තමයි සියලුම තොරතුරු තිබුණේ මේ තොරතුරු අතේ තියාගෙන ඒ පිළිබඳ ජනාධිපතිවරයාට දැනුම්දුන්නේ නැහැ කියන එක ජනාධිපති කොමිෂන් සභාව පිළිගන්නේ නැහැ. හිටපු ජනාධිපතිවරයාත් මේ පිළිබඳ දැනගෙන හිටියා කියන එක තමයි එයින් හෙළිවෙන්නේ. යනුවෙන් සඳහන් කළේය.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා