
රාජා කොල්ලුරේ චරිතය පිළිබඳ විශාල කතාබහක් ගෙවුණු සති කිහිපය පුරා නිර්මාණය විය. වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ගුරු වර්ජනය පිළිබඳ ඔහු දැක්වූ අදහස් පළමුව සමාජ දේශපාලනික ආන්දෝලනයක් නිර්මාණය කළේය. අවසානයේ ඔහුව කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ධූරයෙන් ඉවත් කිරීම දක්වා අදාළ සිදුවීම දික් ඇදුණි. මෙම තත්ත්වය මත සිදුවීමේ පෙර අපර සන්ධි ගලපා බැලීමට අපි තීරණය කළෙමු.
පළමුව රාජා කොල්ලුරේ නම් චරිතය පිළිබඳ අප සැකෙවින් අවබෝධයක් ලබා ගතයුතුය. රාජා කොල්ලුරේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනයට සම්බන්ධව වන්නේ සරසවි දේශපාලන තුළිනි. ආරම්භයේදී ලංකා ජාතික ශිෂ්‍ය සංගමයේ ලේකම් වශයෙන් කොල්ලුරේ කටයුතු කර තිබේ. එකල එම ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ පසුකලෙක මෙර ප්‍රකට දේශපාලන චරිතයක් වූ ධර්මසිරි සේනානායක මහතාය. මෙරට ශිෂ්‍ය ව්‍යාපාරයේ බලය ජනතා විමුක්ති පෙරමුණ විසින් අත්පත් කරගැනීමට පෙර ලංකා ජාතික ශිෂ්‍ය සංගම ශිෂ්‍ය ව්‍යාපාරයෙහි බලය දැරුවේය. එම ශිෂ්‍ය සංගමය උදෙසා දේශපාලන රුකවරණය සැපයූයේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය විසිනි.
ශිෂ්‍ය ව්‍යාපාර තුළින් ලද ආභාෂය මත රාජා කොල්ලුරේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සමාජිකත්වය ලබා තිබේ. සරසවි ජීවිතය නිමාවේදී හෙතෙම නීතීඥයෙක් ලෙස සිය වෘත්තීය ජීවිතය ඇරඹීය. පක්ෂයේ පූර්ණකාලීනයකු ලෙස කටයුතු කරන්නට රාජා කොල්ලුරේ පෙළඹී ඇත්තේ මෙම කාලයේදීය. අසූවේ වර්ජනය අතුළු කොමියුනිස්ට් පක්ෂ සම්බන්ධව වූ සියලු වෘත්තීය අරගලවලට ඔහු දායකත්වය මෙන්ම නායකත්වය ලබාදී තිබේ. කොමියුනිස්ට් පක්ෂ වෙනුවෙන් පංති මෙහෙයවීම සම්මන්ත්‍රණ පැවැත්වීම ඇතුළු ක්‍රියාකාරී දේශපාලන කටයුතු රුසක් රාජා කොල්ලුරේ විසින් සිදුකරනු ලැබූ බව කියැවේ.
වර්තමාන කතා ඇරඹෙන්නේ ශ්‍රී පොදුජන පෙරමුණ ආණ්ඩු යටතේ වයඹ පළාත් ආණ්ඩුකාරවරයා රාජා කොල්ලුරේ පත්වීම් ලැබීම සමඟයි. කෙසේවෙතත් ගුරුවර්ජන පිළිබඳ ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකරන තුරුම රාජා කොල්ලුරේ මෙරට දේශපාලනයේ ප්‍රධාන ධාරාව ස්පර්ශ කළ චරිතයක් නොවීය. එහෙත් මේ මොහොත වනවිට රාජා කොල්ලුරේ සෙසු චරිත භූමිකා නිරෑපණ නවතා දමා දේශපාලන කරළියේ ප්‍රධාන චරිතකට පණ පොවමින් සිටියි.
පසුගිය සතියේදී ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ රාජා කොල්ලුරේ මහතා පක්ෂයේ සභාපති ධූරයෙන් ඉවත් කරනු ලැබීය. අප උත්සාහ කරන්නේ අදාළ කතාවේ පෙර පෙර අපර සන්ධි ගලපා බැලීමටයි. ඔක්තෝබර් 21 වැනිදා පාසල් ආරම්භ කරන බව ආණ්ඩුව නිවේදනය කිරීමත් සමඟ මෙම සිදුවීම් පෙළ සිදුවුණි. සිසුන් දෙසීයට අඩු පාසල් සියල්ලම පාහේ පළාත් සභා පාසල් වූයෙන් පාසල් ආරම්භ කිරීම පිළිබඳ වැඩි වගකීමක් ආණ්ඩුකාරවරුන්ට පැවරී තිබුණි. මධ්‍යම රජය විසින්ද ඒ සඳහා පහසුකම් සපයන ලෙස පළාත් සභාවෙත දැනුම් දෙන ලදී. පාසල් ආරම්භය පිළිබඳ මාධ්‍ය ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රශ්න කළේ එබැවිනි.
කොමියුනිස්ට් පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේට වැඩ වැරදි යන්නේ හුදෙක්ම ඔහුගේ වරදින් පමණක් නොවේ. වයඹ පළාතේ ආධිපත්‍යය පතුරන ආණ්ඩුවේ ප්‍රබල මහජන නියෝජිතයකු මෙම ප්‍රකාශය සඳහා ඔහුව පොළඹවා තිබේ. ගුරු වර්ජනය පිළිබඳ අතිශය කෝපයට පත්වී සිටි මෙම මහජන නියෝජිතයා තමා විසින් කිවයුතුව තිබූ දෙයක් රාජා කොල්ලුරේ ලවා කියවූ බවට කොමියුනිස්ට් පක්ෂ ක්‍රියාකාරීහු චෝදනා කරති. එසේ නමුත් මෙම ප්‍රකාශය සිදුකළේ රාජා කොල්ලුරේය. පාසල් ආරම්භ කිරීමෙන් පසු වර්ජනයේ නිරත වන වයඹ පළාත් ගුරු - විදුහල්පතිවරුන්ගේ නොවැම්බර් මස වැටුප අත්හිටුවන බව ඔහු කීවේ දැඩි ස්වරයෙනි.
මෙම ප්‍රකාශය වෙනුවෙන් ආණ්ඩුවේ කිසිවෙක් පෙනී සිටියේ නැත. ගුරු වැටුප් අත්හිටු වීමක් සම්බන්ධව සාකච්ඡාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පවා කීවේය. සෙසු පළාත්වල ආණ්ඩුකාරවරුද මෙවන් ආවේගශීලි අදහස් දැක්වීම් සිදු නොකළහ. මෙම ප්‍රකාශය නිසාම වූ ගුරු සංගම් වල ප්‍රබල ඉලක්කයක් බවට වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ පත්විය. ඔහුට මෙන්ම කොමියුනිස්ට් පක්ෂයටද ඔවුහු නින්දා කළහ. එළිපිට නොවුණද රාජා කොල්ලුරේ ප්‍රකාශය අගය කළ පිරිස්ද ඔහු වටා සිටි බව කියැවුණි.
අවසානයේ ඔහු සිදුකළ ප්‍රකාශ මෙම කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ධූරයෙන් ඔහුව ඉවත් කිරීමට හේතුවිය. මධ්‍යම කාරක සභාවේදී අදාළ ඉවත්කිරීම සිදුව තිබුණි. උද්ගත වූ තත්ත්වය මත පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ඔහුගෙන් පක්ෂයේ ප්‍රබලයන් පළමුව ඉල්ලීමක් කර තිබේ. එහිදී රාජා කොල්ලුරේ පවසා ඇත්තේ තමා මෙම ප්‍රකාශය සිදුකරනු ලැබුවේ වයඹ පළාත් ආණ්ඩුකාරයා ලෙස මිස කොමියුනිස්ට් පක්ෂයේ සභාපතිවරයා ලෙස නොවන බවයි. එහෙත් මධ්‍යම කාරක සභාවේ බහුතරය පවසා ඇත්තේ ඔහුගේ ප්‍රකාශය හරහා පක්ෂයට යම් බලපෑමක් එල්ල වූ බවය.
මේ අතර අපට දැනගන්නට ලැබුණේ කොමියුනිස්ට් පක්ෂයේ නායකයන් රැසක් මෙම ප්‍රකාශය හේතුවෙන් අපහසුතාවයට පත්ව ඇති බවකි. දෙස් විදෙස් විවිධ පාර්ශව කොල්ලුරේ ප්‍රකාශ සම්බන්ධව ඩිව් ගුණසේකර ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන්ගෙන් කරුණු විමසා තිබේ. අදාළ සිදුවීම සම්බන්ධයෙන් අප ඩිව් ගුණසේකර මහතාගෙන් විමසූ අතර ඔහු කියා සිටියේ කොමියුනිස්ට් පක්ෂය කම්කරු පන්තියේ පක්ෂයක් බවයි. ඉතිහාසය පුරාවටම මෙරට රාජ්‍ය සේවකයන්ගේ සහ ගුරුවරුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් තම පක්ෂය සටන් කොට ඇති බව ඔහු කියා සිටියේය. එවන් තත්ත්වයක් තුළ පක්ෂයේ නායකයකු මෙවැනි ප්‍රකාශයක් කිරීම් කිරීම බරපතළ තත්ත්වයක් බවත් ඒ නිසාවෙන් ඔහුව තනතුරෙන් ඉවත් කළ බවත් ඩිව් ගුණසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේය. එසේ නමුත් රාජා කොල්ලුරේ තවදුරටත් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මෙන්ම දේශපාලන මණ්ඩලයේද කටයුතු සිදු කරන බව මෙහිදී හෙළිදරව් විය.
කෙසේ වෙතත් මේ වනවිට පක්ෂයේ තීරණයට තමා විරුද්ධ බව රාජා කොල්ලුරේ ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ සඳහන් කොට තිබේ. ඒ අනුව පසුගියදා ආණ්ඩුකාරවරයා වශයෙන් තමා ගත් තීරණයකට එරෙහිවීමට හෝ පක්ෂ සභාපති ධුරයෙන් ඉවත්කිරීමට ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයට කිසිදු හැකියාවක් නොමැති බව වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා ප්‍රකාශ කළේය. අනතුරුව ඔහු සභාපති ධූරයෙන් ඉවත්කර එම තනතුරට වෙනත් අයෙක් පත්කිරීම වළකාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් ලබාගත්තේය.
“මා ආණ්ඩුකාරවරයා වශයෙන් යම්කිසි පියවරක් ගත්තා නම් ඊට අදාළව කොමියුනිස්ට් පක්ෂයට කිසිම බලයක් නෑ විනයානුකූලව පියවරක් ගන්න. මගේ ස්ථාවරය වන්නේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට අපේ ව්‍යවස්ථාව අනුව බලතල නෑ එවැනි පියවරක් ගන්න.”
මේ සම්බන්ධවද කොමියුනිස්ට් පක්ෂයෙන් අප විමසා සිටි අතර එහිදී අනාවරණය වූයේ පක්ෂය සභාපති ධූරය පක්ෂ ව්‍යවස්ථාවෙන් ස්ථාපිත තනතුරක් නොවන බවයි. ඔවුන් පවසන පරිදි රාජා කොල්ලුරේ හට මෙම තනතුර ප්‍රදානය කරන ලද තනතුරකි. පක්ෂ ව්‍යවස්ථාවෙන් ස්ථාපිත ප්‍රධානතම තනතුර පක්ෂ ප්‍රධාන ලේකම් තනතුරයි. එවන් තත්ත්වයක් මත විනය පරීක්ෂණයක් හෝ වෙනත් චෝදනා ගොනුකිරීමක් සිදු නොකොට අදාළ තනතුරේ අහෝසි කර දැමීමට පක්ෂයට බලය තිබේ. නව සභාපතිවරයෙක් පත්කොට නොමැති පසුබිමක කොමියුනිස්ට් පක්ෂය පාර්ශ්වයෙන් මතු කරනුයේ මෙවන් අදහසකි.
ඩිව් ගුණසේකර මහතා අප සමඟ පැවසූ පරිදි රාජා කොල්ලුරේ යනු කොමියුනිස්ට් පක්ෂ ප්‍රතිපත්ති ආරක්ෂා කළ වෘත්තීය අරගල වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයෙකි. ඔහුට පක්ෂය තුළ පැහැදිලි අනාගතයක්ද නිර්මාණය වී තිබේ. එවන් වටපිටාවක රාජා කොල්ලුරේ සිදුකර මෙම ප්‍රකාශය ඔහුට මෙන්ම පක්ෂයටද බලපානු ලැබීම වැළැක්විය නොහැක.
චමිඳු නිසල් ද සිල්වා