
විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාවට එරෙහිව පසුගිය බ‍්‍රහස්පතින්දා පැවැති තරගයෙන් පරාජයට පත්වීමත් සමඟ ශ්‍රී ලංකා පිලට එළඹෙන සතිය වඩාත් වැදගත් වී තිබේ.
දකුණු අප‍්‍රිකාවට එරෙහිව සාජාහිදී ඊයේ (30) පැවැත්වීමට නියමිතව තිබූ තරගය ජය ලැබීම ශ්‍රී ලංකාවට වඩාත් තීරණාත්මක විය. එම තරගය ජය ලැබුවහොත් ලබන සතියේ එංගලන්තයට සහ බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම්වලට එරෙහිව පැවැත්වෙන තරගවලට පීඩනයකින් තොරව සහභාගිවීමේ අවස්ථාව තිබේ.
එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව සහභාගි වූ තරග දෙකම ජය ලබා ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවීම නිසා ‘ඒ’ කාණ්ඩය වඩාත් තරගකාරී වනු ඇති බවට විශ්වාස කළ හැකිය.
ශ්‍රී ලංකාව තරග දෙකෙන් තරගයක් පමණක් ජය ලබා ප‍්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයේ පසුවිය.
මෙවර ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ප‍්‍රබල කණ්ඩායමක් වන කොදෙව් පිල සහභාගි වූ තරග දෙකෙන්ම පරාජයට පත්ව සිටීම සෙසු කණ්ඩායම්වලට අත්වැසිල්ලක් වී තිබේ.
ඔස්ට්‍රේලියාවට එරෙහිව ඩුබාහිදී පැවැති තරගය සැලසුම්සහගතව ක‍්‍රීඩා කළේ නම් ජයග‍්‍රහණයෙන් අවසන් කිරීමට වැඩි අවස්ථාවක් ශ්‍රී ලංකාවට තිබුණි. මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිලේ 12 වැනි ඕවරයේ පස්වැනි පන්දුව දක්වා තරගයේ පාලනය ශ්‍රී ලංකාව සතුව තිබුණ ද අවිෂ්ක ප‍්‍රනාන්දු සිව්වැනි කඩුල්ල ලෙස දැවී යෑමෙන් තරගයේ පාලනය ඔස්ට්‍රේලියාවට නතු විය.
ශ්‍රී ලංකා පිල 12 වැනි ඕවරයේ සිව්වැනි පන්දුව යවා අවසන් වන විට කඩුලු තුනක් දැවී ලකුණු 90 ක් රුස්කර ප‍්‍රබල තත්ත්වයක පසුවිය. වනිඳු හසරංග දෙවැනි පන්දුවේදී දැවී යෑමෙන් පසුව ඉනිම සැලසුම් කළේ නම් ලකුණු 175කට පහසුවෙන් යෑමේ අවස්ථාව තිබුණි.

එසේ වූයේ නම් ඔස්ට්‍රේලියානු පිතිකරුවන් නිදහස් මනසින් පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි නොවේ.
නායක දසුන් ශානක සහ චාමික කරුණාරත්න කළ යුතුව තිබුණේ මන්දගාමී පිතිහරඹයකට යාම නොව එම දෙපළගේ සාමාන්‍ය ප‍්‍රවේගකාරී පිතිහරඹයට අවතීර්ණ වීමය. එසේ වූයේ නම් ඔස්ට්‍රේලියාවට පීඩනයකින් යුතුව හඹායෑමේ ඉලක්කයක් ලැබේ.
මෙම ලෝක කුසලාන තරගාවලිය තුළ සාර්ථක ගමනක් යෑමට නම් මීට වඩා සැලසුමක් තිබිය යුතුමය. ලකුණු 150 ක් රුස්කර ඔස්ට්‍රේලියාව පරාජය කළ හැකිය යන මානසික තත්ත්වයේ සිටී නම් ඉදිරිය අවිනිශ්චිතය.
දසුන් ශානක ප‍්‍රමුඛ තරුණ පිරිස ජ්‍යෙෂ්ඨයන් වන දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා සංචිතයේ සිටියදී ද සාර්ථක ගමනක් යමින් සිටින අතර ඔවුන්ට අවශ්‍ය නිසි මගපෙන්වීම ක‍්‍රීඩාගාරයෙන් ලැබෙන්නේ ද යන්න සැක සහිතය.
ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ පළමු තරගයේදී බංග්ලාදේශය කඩුලු 5කින් පරාජය කරමින් සාර්ථක ආරම්භයක් ලබාගැනීමට සමත් වූහ. මෙම තරගයේදී යොවුන් ක‍්‍රීඩකයන් වන චරිත් අසලංක සහ භානුක රාජපක්‍ෂ පස්වැනි කඩුල්ලට ගොඩනැගූ සම්බන්ධතාව ජයග‍්‍රහණයේ ප‍්‍රධාන සාධකය බවට පත්විය.
බංග්ලාදේශය පළමුව පන්දුවට පහර දෙමින් ලකුණු 171 ක් රැස්කිරීමත් ශ්‍රී ලංකා පිලේ පළමු කඩුලු හතර ලකුණු 79 ක් තුළ බිඳවැටීමත් සමඟ බංග්ලාදේශ පිල හිස එසවීය.
ඉන්දියාව සහ පාකිස්තානය ඇතුළත්ව සිටින ‘බී’ කාණ්ඩයේ පාකිස්තානය සහභාගි වූ තරග දෙකම ජය ලබා ප‍්‍රසාද ලකුණු 4 ක් සමගින් පෙරමුණේ පසුවෙයි. ඉන්දියාව පළමු තරගයේදී පාකිස්තානය හමුවේ පරාජයට පත්ව සිටි අතර එම පරාජයත් සමඟ නිර්මාණය වූ මානසික පීඩනයෙන් ගැලවීමට ඉන්දීය පිලට කාලයක් ගතවනු ඇත.
සටහන: යොහාන් භාසුර