2021 ඔක්තෝබර් 30 වන සෙනසුරාදා

Good luck බොක්ක

 2021 ඔක්තෝබර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 70

රට රටවල් අතර පවතින දේශපාලන එදිරිවාදිකම් ක්‍රීඩකයන්ටත් ක්‍රීඩාවන්ටත් අදාළ නොවන බවට නොබෝදා පැවැති ඕවර් විස්සයි විස්සේ ලෝක කුසලානයේ පකිස්තාන-ඉන්දියා ක්‍රිකට් තරගය හොඳ උදාහරණයකි. ක්‍රීඩාවේ යෙදෙන්නෝ උණුසුම් හදවත් ඇති මිනිස් පවුලේ සාමාන්‍ය ක්‍රීඩාශීලී මිනිස්සුය. යුද්ධයත් දේශපාලන ගැටුම් ආදියත් පාලකයන්ගේ තීරණයන්ය. ඉන්දියාව කඩුලු 7ක් දැවී ලබාගත් ලකුණු 151 කිසිදු ක්‍රීඩකයකු නොදැවී පාකිස්තානයේ ආරම්භක පිතිකරු යුගල වන බබාර් (68) සහ රිස්වාන් (79) එක්වී රුස්කොට පකිස්තානයට ජය ලබා දුන්හ. වෙනදා ක්‍රිකට් පිටියේ හැඟීම්ගතව අඬන, දොඩවන, ඔරවන, ගොරවන, ඉහිලුම් නැති උද්‍යෝගී ක්‍රීඩකයකු වූ ඉන්දීය නායක විරාට් කෝලි තමන් ලැබූ අන්ත පරාජය උපේක්ෂා සහගත සිතින් ඉවසාගෙන සහෝදරාත්මක සෙනෙහසකින් පකිස්තානු ක්‍රීඩකයන් දෙදෙනකුට සුබපතන ඡායාරෑපයක් සමාජ මාධ්‍යවල වේගයෙන් සංසරණය වන්නට ගත්තේය. ක්‍රීඩාශීලී ප්‍රේක්ෂකයන් එම ඡායාරෑපය වඩාත් අගය කළේ වෙනදා කෝලිගේ හැටි දන්නා නිසාය.

එය කෙතරම් ප්‍රබල මානුෂීය පණිවිඩයක් දෙන ඡායාරෑපයක්ද කිවහොත් එය සිතා මතා සූදානම් කොටගත් එකකැයි අයෙක් සැක කළෝය. එහෙත් එකී තරග ප්‍රතිඵලය නම් සිතා මතා ලබාගත හැක්කක් නොවන බව ඕනෑම ක්‍රිකට් ක්‍රීඩා ලෝලියකුට වැටහෙනු ඇත. කිසියම් ආකාරයකින් හෝ එය සිතා මතා ගත් ඡායාරෑපයක් නම් ඊට හවුල් වූ සියල්ලන්ටම ලෝක සාමය හා මානුෂීය බව අගය කරන්නවුන්ගේ ප්‍රසාදය හිමිවිය යුතුය.

ලෝක ක්‍රීඩා ඉතිහාසයේ පරම එදිරිවාදී ක්‍රීඩා කණ්ඩායම් 10 හෙවත් (Top ten greatest rivalries in the History of Sports) හි ඉන්දියා සහ පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම් දෙකේ නම සඳහන් වන්නේ දෙවැනි ස්ථානයේය. ඇත්ත වශයෙන්ම එම ක්‍රිකට් කණ්ඩායම් අතර එදිරිවාදිකමක් ක්‍රිකට් පිටියෙන් පිටත තිබුණේ නැත. එදිරිවාදි බව තිබුණේ රටවල් දෙකේ දේශපාලන තීන්දු ගත් අය අතරය. දෙරට අතර ක්‍රිකට් ක්‍රීඩා තරග ඇරඹෙන්නේ 1952 වසරේ පැවති ටෙස්ට් තරගයකිනි. 1947 දී බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවති ඉන්දියාවෙන් පකිස්තානය වෙන්වන විටත් මෙම විරසක බව ඇරඹී තිබිණි. ඒ වනවිට එරට පැවති ආගම්වාදී, වර්ගවාදී ගැටුම්වලින් මිනිස්සු මිලියනයක් මිය ගියෝය. දේශපාලන හේතු නිසා 1962 සිට 1977 දක්වා දෙරට අතර කිසිදු ක්‍රිකට් තරගයක් පැවතුනේ නැත. 1965 සහ 1971 දෙරට අතර පැවති මහා යුද්ධ ඊට හේතු විය. 1999 පැවති කාර්ගිල් යුද්ධයේදී දෙරට අතර විරසකය නැවත අලුත් වූයේය. එම වසරේ මැයි සිට ජූලි දක්වා ජම්මු හා කාශ්මීර් ප්‍රදේශවල කාර්ගිල් දිස්ත්‍රික්කයේ දේශසීමාවේ ඇතිවූ ඉන්දියා-පාකිස්තාන යුද ගැටුම් කාර්ගිල් යුද්ධය යනුවෙන් හැඳින්වේ. 2008 වසරේ මුම්බායි නගරයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයද දෙරට අතර දේශපාලන නොහොඳ බවට හේතු වූයේය.

මේ සියලු දේශපාලන එදිරිවාදිකම් පවතිද්දී 1952 සිට මේ දක්වා ඉන්දියාව සහ පකිස්තානය අතර ටෙස්ට් ක්‍රිකට් තරග 59ක් පවත්වා ඇත. ඉන් 12ක් පකිස්තානය ජයගෙන තිබෙන අතර ඉන්දියාව 9ක් ජයගෙන තිබේ. දෙරට අතර පැවැත්වූ එක්දින තරග 132කි. ඉන් 73ක් පාකිස්තානය ජයගෙන තිබෙන අතර ඉන්දියාව ජයගෙන ඇත්තේ 55කි. දෙරට අතර පවත්වා ඇති 20යි20 තරගවලින් නම් වැඩි සංඛ්‍යාවක් ජයගෙන ඇත්තේ ඉන්දියාවයි. එම තරගවලින් 6ක් ඉන්දියාව ජයගෙන තිබෙන අතර පකිස්තානය ජයගෙන ඇති සංඛ්‍යාව 2කි.

දේශපාලන හා වාර්ගික සතුරු ආකල්පය තුරන්කොට ඒ අතරට සංහිඳියාව හා සාමය ගෙන එන්නට ක්‍රීඩාවෙන් කොතරම් කාර්යභාරයක් ඉටුකළ හැක්කේදැයි දකුණු අප්‍රිකා ජනාධිපති ධුරයට පත් නෙල්සන් මැන්ඩෙලා 1995දී පෙන්වා දුන්නේය. 1995 ලෝක රග්බි ශූරතාව දිනාගැනීමට දකුණු අප්‍රිකාව මෙහෙයවන අතරම ඒ ඔස්සේ. රටේ පැවති සුදු-කළු විරසකය දුරලා සංහිඳියාව ගෙන එන්නට නෙල්සන් මැන්ඩෙලා සාර්ථක උත්සාහයක යෙදුණේය. එම උත්සාහය පළමුවෙන්ම ජෝන් කාර්ලිං (John Carlin) විසින් අකුරෙන් සිතුවම් කොට ප්ලෙයිං දි එනිමි* කෘතිය ලීවේය. එම කෘතිය ඇසුරෙන් ඒ සැබෑ කතාව ක්ලින්ට් ඊස්ට්වුඩ් විසින් සිනමාවට නගා 2009 දී ඉන්වික්ටස් Invictus සිනමා කෘතිය ලෝකයා ඉදිරියට ගෙන ආවේය. ඉන්වික්ටස් යනු පුරාතන රෝමානු විශේෂණ පදයක් වන අතර එහි අපරාජිත* බව නැතහොත් ආක්‍රමණයට යටත් නොවූ යන අරුත කුළුගැන්වේ. ක්‍රීඩාවෙන් සංහිඳියාව ඇතිකළ මැන්ඩෙලාගේ මෙකී සැබෑ කතාව ලෝක සාමය හා සංහිඳියාව අගය කරන ජනයා යළි යළිත් ඇසිය යුතුය. එම චිත්‍රපටය දේශපාලන තීරණ ගන්නවුන්ගේ අවධානයට නතු කළ යුතුය. එම නිසා රගර් ක්‍රීඩාව ඔස්සේ සුදු කළු විරසකය තුරන් කළ කතාව කෙටියෙන් මෙහි කියනු වටී.

විසි හත් වසරක් දඟගෙයි දඬුවම් විඳි මැන්ඩෙලා 1990 දී Victor Verster සිපිරි ගෙයින් නිදහස්ව අවුත් අවුරුදු හතරකට පසුව 1994 දී දකුණු අප්‍රිකාවේ ජනාධිපතිවරයා බවට පත්වේ. පශ්චාත් අපාතයිඩ් යුගයේ, දරිද්‍රතාව, ප්‍රමුඛ ගැටලුවලට මුහුණ දෙන දකුණු අප්‍රිකාව ඔහුට පෙනේ. ඉන් වඩාත් ප්‍රබලතම ගැටලුවක් වන්නේ සුදු-කළු භේදය මත පදනම් වූ ජනවාර්ගික භේදයයි. අපාතයිඩ් වර්ණ භේදවාදය මත පීඩනයට පත්ව සිටි කළු ජාතිකයෝ එරට සුද්දන්ට එරෙහිව අදානග්‍රාහීව ගත් වෛරය අත්හලේ නැත. තමාගේම ආරක්ෂක අංශයේ සිටි පැරණි බලධාරීන්ට ආරක්ෂාව සැපයූ සුද්දන්ට, එම ආරක්ෂක අංශයේ කල්ලෝ වෛර කරනු මැන්ඩෙලාගේ නිරීක්ෂණයට හසු වූයේය.

දකුණු අප්‍රිකාවේ රග්බි ක්‍රීඩා සංගමය හඳුන්වනු ලැබුවේ ස්ප්‍රිංබොක්ස් යනුවෙනි. (Springboks) ස්ප්‍රිංබොක්වරුන් සහ එංගලන්තය අතර පැවැති රග්බි ක්‍රීඩා තරගයේදී ඇතැම් කල්ලන් එංගලන්තයට ඔල්වර හඬ නගනු මැන්ඩෙලා දුටුවේය.  ඒ වනවිටත් රගර් ක්‍රීඩාවේ ස්ප්‍රිංබොක් පිලේ නියැලුණ එරට බොහෝ දෙනා සුද්දන් නිසා අපාතයිඩ් මානසිකත්වයෙන් පෙලුනු ඇතැම් කල්ලෝ සුද්දන් අප්‍රිය කළහ. තමන් රොබන් දූපත්වල සිරකර සිටියදී ලද අත්දැකීම්ද එවර මැන්ඩෙලාට සිහිවේ.
නව කළු ආධිපත්‍යය දරන ලද අප්‍රිකා ක්‍රීඩා කමිටුව ස්ප්‍රිංබොක්වරුනට සහයෝගය දියයුතු යැයි සිතන මැන්ඩෙලා එම කමිටුව ඒ සඳහා එකඟ කරගනී. එම ස්ප්‍රිංබොක් පිලේ නායක Francois Pienaar ව ගෙන්වා ගන්නා මැන්ඩෙලා 1995 ලෝක රග්බි ශූරතාව දිනාගත යුතු බව ඔහුට යෝජනා කරයි. නව කළු ජාතික නායකයාගේ මෙම යෝජනාවෙන් විමතියටත් ධෛර්යයටත් ඔහු පත්වේ. ස්ප්‍රිංබොක් රග්බි පිල දිරිමත් කිරීම සඳහා මැන්ඩෙලා උපයෝගී කරගන්නේ බ්‍රිතාන්‍ය ජාතික විලියම් අර්නස්ට් හෙන්ලි (1849-1903) ලියූ ඉන්වික්ටස් නම් කවියයි. එය 1875 ලියූවකි. එහි අවසන් පද දෙක මෙසේය.

I am the Master of my fate
I am the Captain of my soul
මගේ ඉරණමේ ස්වාමියා මම වන්නෙමි
මගේ ආත්මයේ නියමුවා මම වන්නෙමි

යන්න එහි දළ අදහසයි. මේ අතර ලෝක රග්බි ශූරතාවයේ සත්කාරක භාවය දකුණු අප්‍රිකාව භාරගනී. වසර 50ක් තිස්සේ පැවති එදිරිවාදිකම් ක්‍රීඩාව ඔස්සේ සමනය කළ හැකි දැඩි සැකයක් මතුවුවද ඒ සැක දුරලමින් කළු-සුදු ක්‍රීඩකයන් එකිනෙකාට ප්‍රතික්‍රියා දක්වන ආකාරයත් ක්‍රීඩා පුහුණුවත් තරගත් අතරේ ක්‍රමයෙන් වෙනස් වන්නට ගනී. තනි මිනිස් ජාතියක් මෙසේ ඔවුන් එකිනෙකා වෙත සහෝදරත්වයෙන් බැඳෙන්නට ගනී.
ලෝක රග්බි ශූරතාවේ අවසන් තරගයටද දකුණු අප්‍රිකාව සුදුසුකම් ලබමින් ඉදිරියට පැමිණේ. ඔවුනට අවසාන තරගයේදී මුණ ගැසෙන්නේ නවසීලන්ත - ඕල් බ්ලැක්ස් රග්බි කණ්ඩායමයි. 1921 පටන් ලෝකයේ පැවැති රග්බි කණ්ඩායම් අතරින් නවසීලන්ත ඕල් බ්ලැක්ස් පිල හා හරිහැටි තරග වැදි ජය ලබා තිබුණේ ස්ප්‍රිංබොක්වරුන් පමණකි. එයද ඉඳහිටය. මැන්ඩෙලා වරෙක එම ස්ප්‍රිංබොක් කණ්ඩායම රුගෙන තමා සිරගත වී සිටි වසර 27න් වසර 18ක්ම ගතකළ රොබන් දිවයින පෙන්වන්නට යයි. නවසීලන්ත ඕල් බ්ලැක්ස් පිල හා 1995 පැවැති එම අවසාන ලෝක ශූරතා රග්බි තරගය අතිශය උද්වේගකර එකක් විය. දෙපසට ඇදී යමින් තිබුණු තරගයේදී දකුණු අප්‍රිකාවේ කළු සුදු සියල්ලන් එක්ව එකම ජාතියක් සේ තම රට වෙනුවෙන් ඔල්වර නගති. තිබුණු විරසක සියල්ල ඔවුන්ට අමතක වෙයි.

ක්‍රීඩාව පටන් ගන්නට පෙර දකුණු අප්‍රිකා ගුවන් සේවාවට අයත් බෝයිං - 747-200 වර්ගයේ ජෙට් යානයකින් යෝධ බැනරයක් ප්‍රදර්ශනය කරයි. Goodluck – Bokke!” යනුවෙන් එහි ලොකු අකුරෙන් ලියා තිබිණි. Bokke යනු ස්ප්‍රිංබොක්වරුන් හැඳින්වූ කෙටි නාමයයි. රගර් අවසාන තරගයේ අමතර කාලය තුළ 15-12 වශයෙන් වැඩි ලකුණු ලබා ගනිමින් දකුණු අප්‍රිකානු ස්ප්‍රිංබොක් පිල, නවසීලන්ත ඕල් බ්ලැක්ස් පිල පරදා ලෝක ශූරතාව හිමිකර ගනී. දකුණු අප්‍රිකා නායක Pienaar ශූරතා කුසලානය ලබාගන්නේ මැන්ඩෙලා අතිනි.

මෙම සැබෑ කතාව පදනම් කරගෙන ක්ලින්ට් ඊස්ට්වුඩ් නිර්මාණය කරන ඉන්වික්ටස් චිත්‍රපටය ලෝක සම්මාන කිහිපයක්ම දිනාගනී. එහි මැන්ඩෙලා චරිතය රඟපෑ Morgan Freeman ඔස්කා සම්මානයේ නාමකරණයටද හසුවේ. ක්‍රීඩාවෙන් ජනවාර්ගික සංහිඳියාව ඇතිකළ ආකාරය ගැන එම චිත්‍රපටයෙන් සැබෑ ලෙසම ලෝකයට කියා පෑවේය.
1996 අප රට ලෝක ක්‍රිකට් ශූරතාව සඳහා තරග කළ කාලය අප කාටත් අමතක නොවන්නකි. එම කාලයේ එල්.ටී.ටී.ඊ. අත්අඩංගුවේ පසුවූ පොලිස් නිලධාරියකු සනත් ජයසූරිය හයේ පහර එල්ල කරමින් ශ්‍රී ලංකාවට ජය ගෙනෙන විට එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් හැසුරුණු ආකාරය පසුකලෙක විස්තර කොට තිබුණි. සනත් හයේ පහර එල්ල කරනවිට එම කඳවුරේ සිටි එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට සියලු විරසක අමතකව ගොස් අහසට වෙඩි තබමින් ඔවුන් ප්‍රීති ඝෝෂා නැගූ අයුරු එම පොලිස් නිලධාරියා විස්තර කර තිබිණි. අපගේ හමුදාවට වෙඩි තබන්නට සූදානම් කොට තිබූ උණ්ඩ එදා ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයට ඔල්වර නගනු වස් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් අතින් අහසට එල්ල විය. ක්‍රීඩාව වාර්ගික සංහිඳියා ඇති කරන්නට හොඳම මඟ බව එයින් වඩාත් තහවුරු වේ.

පළමු ලෝක යුද්ධය පැවැති කාලයේ 1914 නත්තල් දිනයේ සියලු සතුරුකම් නවතා එකිනෙකාට එරෙහිව යුද වැදුණු ජර්මානු හමුදාවේ සහ බ්‍රිතාන්‍ය හමුදාවේ සෙබළුන් එක්ව පාපන්දු ක්‍රීඩාවේ නිරත වූ The Chrismas Truce (නත්තල් සටන් විරාමය) නම් සැබෑ පුවතක් වාර්තා වී තිබේ.

ක්‍රීඩාව ඉදිරියේ සතුරුකම්, එදිරිවාදිකම්, ආරෝවන්, විරසක සියල්ල දුරුව ගොස් උණුසුම් මිනිස් හදවත් සහෝදරත්වයෙන් බැඳෙන්නේ එසේය. අපේ ක්‍රිකට් ක්‍රීඩාවද එවැන්නකි. ද්‍රවිඩ, මැලේ, බෝරා, යෝනක, බර්ගර්, සිංහල ආදී සෑම ජනවර්ගයකම ක්‍රීඩකයන් අපගේ ජාතික පිල නියෝජනය කොට තිබීම ඒ අතර සතුට දනවන්නකි. අපගේ තරුණයන්ගේ බජාර් බාසාවෙන් හොඳම මිතුරාට කියන්නේ බොක්ක කියාය. එදා දකුණු අප්‍රිකා ගුවන් සේවාවේ යානයකින් ප්‍රදර්ශනය කළ බැනරයේ තිබූ පැතුම ලෝවාසී සියලු ක්‍රීඩා ලෝලීන් අමතර 20-20 ශූරතාව පවතින මේ කාලයේ අපි නැවත ප්‍රතිරාවය කරමු. මෙහිදී Bokke යන්නට අප දෙන්නේ අපගේ පොදු ජන වහරේ දෙන මිතුරා යන අර්ථයයි. Goodluck බොක්ක

 සමන් පුෂ්ප ලියනගේ