2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා

අපි සිතුවේ එක බබෙක්: ඒත් බබාලා හයක්ම ලැබුණා - දරුමල්යායේ මවුපියෝ කියති

 2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 232

ඇය නමින් දිලිනි වාසනා දයානන්දය. සැබැවින්ම ඇය මේ වන විට රටේම වාසනාවන්ත මව් පදවියට උරුමකම් කියයි. නිවුන් දරුවන් සය දෙනකුගේ මවක් ලෙස ඇය ඉතිහාසගත විය. කොළඹ නයින්වෙල්ස් පෞද්ගලික රෝහලේදී ඔක්තෝබර් මස විසි එක් වැනිදා ඇය සය දරු උතුම් මව් පදවිය ලැබුවාය. මේ වන විට දරුවන් සය දෙනා මෙන්ම දිලිනි ද යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබති. කෙසේ වෙතත් දෙවැනි දරුවා තමන්ගේ දැඩි අධීක්ෂණය යටතේ පසුවන බව වෛද්‍යවරු පවසති.

අංගොඩ අයි.ඩී.එච්. ප්‍රදේශයේ පදිංචි දිලිනිගේ සැමියා වෘත්තියෙන් ඉංජිනේරුවෙකි. ඔහු නමින් ප්‍රභාත් උදයංගය.

“මමයි මගේ බිරිඳයි බබාලට ගොඩක් ආදරය කරන අය. මුලින්ම වෛද්‍ය තිලිණ පලිහවඩන මහතා මුණගැසී අපි අවශ්‍ය ප්‍රතිකාර සහ උපදෙස් ලබාගත්තා. ඔය අතරේදි මගේ බිරිඳ ගැබිනියක් කියලා අපිට දැනගන්නට ලැබුණා. ඒ අනුව තමයි අපි විශේෂඥ වෛද්‍ය ටිරාන් ඩයස් මහතා මුණගැසුණේ. අපි වෛද්‍යවරයා ලබා දුන් උපදෙස් අකුරටම පිළිපැද්දා. හරියට පරිස්සම් වුණා. විශේෂයෙන් මගේ බිරිඳ ගැන කියන්න වචන නැති තරම්. එයා කුසේ ඉන්න දරුවන් ගැන හරියට පරිස්සම් වුණා. සමහර දවස්වලට රූට නින්දක් නෑ. එකම ඉරියව්වෙන් වැඩි වෙලාවක් ඉන්නත් බැහැ. එයාගේ ඒ කැපකිරීම මම හොඳටම දැක්කා. එයා කරපු ඒ කැපකිරීම ගැන මට වචනවලින් කියන්න බැරි තරම්. මට පුළුවන් සහයෝගය මම හැකි උපරිමයෙන් එයාට ලබා දුන්නා.” යැයි දරුවන් සය දෙනාගේ ආදරණීය පියා වන ප්‍රභාත් උදයංග මාධ්‍යයට පැවසීය.

පසුගිය කාලය මෙරට කොවිඩ් වසංගතය දරුණුවට පැවති කාලයයි. රට පුරා මසකට වැඩි කාලයක් කොවිඩ් ඇඳිරි නීතිය පනවා තිබිණි. එම කාලයේ වැඩි වශයෙන් කොවිඩ් රෝගීන්ද වාර්තා විය. මේ කාලයේදී වයස අවුරුදු තිස් එකක් වුණු දිලිනි ඉතා ප්‍රවේශමෙන් නිවෙසටම වී කල් ගෙවූ අතර උදයංග ද ඇයට සහයෝගය දක්වමින් ප්‍රවේශම් වීමට කටයුතු කළේය. ගර්භණී කාලයේදී දරුවකු කුස තුළ වැඩෙද්දී සාමාන්‍ය මවක් ප්‍රවේශම් වනවාට වඩා වැඩි ප්‍රවේශමකින් කටයුතු කිරීමට ඇය සිදුවිය. අද එම කැපකිරීම් සියල්ලේම ප්‍රතිඵලය දිලිනිත් උදයංගත් අත්විඳිති.

ලංකාවේ සාර්ථක සය නිවුන් දරු උපතක් සිදුවූයේ ඔක්තෝබර් මස විසි එක් වැනිදාය.

“මේක සාර්ථක සිසේරියන් සැත්කමක්. සාමාන්‍යයෙන් දරුවන් දෙදෙනෙක් කුස තුළ සිටියදී මවට දරුවන් බිහි කරන්න සුදුසු කාලය සති තිස් හයයි, තිස් හතයි. දරුවන් තුන් දෙනෙක් ඉඳිද්දී මවට දරුවන් බිහි කරන්න සුදුසුම කාලය සති තිස් පහ කියල අපි දන්නවා. නමුත් ඊට වඩා දරුවන් සංඛ්‍යාවක් කුස තුළ සිටියදී දරුවා බිහි කරන්න සුදුසුම කාලය කුමක්දැයි අපි මුලින් නිශ්චිතවම දැනගෙන හිටියේ නැහැ. එම තීරණය අපිට ගැනීමට සිදුවූයේ අපේ අත්දැකීම් හා එදිනෙදා සිදුවන සායනික තොරතුරු මතයි. විශේෂයෙන් දරුවන් හයක් කුස තුළ වැඩෙද්දී ඒ දරුවන් කුස තුළ වැඩීමට ගතවන කාලය දිගු වන්නට බැහැ. එහෙම වුණොත් මවට සහ දරුවන්ට ඇතිවන සංකූලතා වැඩියි. ඒ නිසා ඒ සඳහා අපිට මුල සිටම පෙර සූදානමක් කරන්න වුණා. සති තිස් එක දරුවන් සිසේරියන් සැත්කමකින් ගැනීමට සුදුසු කාලය යැයි අපි තීරණය කළා.” යැයි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ටිරාන් ඩයස් මහතා පැවසීය.

මේ මාස ගණන පුරාවට විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ටිරාන් ඩයස්ගේ උපදෙස් මත වරින් වර ස්කෑන් පරීක්ෂණ සිදුකොට කුස තුළ වැඩෙන දරුවන්ගේ වර්ධනය සහ රුධිර ගමනාගමනය කෙසේදැයි සොයා බැලීම සිදුවිය. එක් අවස්ථාවක දරුවන් දෙදෙනකුගේ රුධිර ගමනාගමනය මඳ වශයෙන් අඩු වෙමින් පවතින බව වෛද්‍යවරුන්ට හැඟී ගියේය. ඒ අනුව දිලිනිගේ සෞඛ්‍ය තත්ත්වයද සැලකිල්ලට ගත් වෛද්‍යවරු මෙම සිසේරියන් සැත්කම සඳහා සති තිස් එක සුදුසුම කාලය යැයි තීරණය කළහ.
මීට පෙර මෙවැනි දරු උපතක් සිදු නොවීමත්, මෙය ජීවිත හයක වගකීමක් වීම නිසාත් වෛද්‍යවරුන් මෙම සිසේරියන් සැත්කම සඳහා දින කිහිපයකට ප්‍රථම පෙර පුහුණුවීමක් සිදු කිරීම විශේෂත්වයකි. නව ජන්ම ළදරුවන්ගේ අනුරූ හයක් ගෙන එක් දරුවකුට එක් වෛද්‍යවරයකු සහ හෙදියන් තිදෙනකුගෙන් යුතු කණ්ඩායම් හයක් මේ සඳහා පුහුණුවීම් කළහ. ඒ අනුව මෙම සිසේරියන් සැත්කම සිදු කරන මොහොතේදී ඉතා කඩිනමින්, ක්‍රමවත්ව පෙර පුහුණුවීමට අදාළව සාර්ථක සිසේරියන් සැත්කමක් සිදු කිරීමට වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායමට අවස්ථාව ලැබිණි.

දරුවකු බිහි කිරීමට සූදානම් වන කාලයේදී මව ස්ථූල වීම සාමාන්‍ය ස්වභාවයයි. කුස තුළ වැඩෙන දරුවන් සමඟ මවගේ බර දරාගැනීමට මවට සිදුවෙයි. දරුවන් සය දෙනකු කුස තුළ දරා සිටින දිලිනිගේ ස්ථූලතාවය ඉතා වැඩි විය. මේ ගර්භණී කාලයේදී ඇයගේ බර කිලෝ තිහකට වැඩි ගණනකින් වැඩි විය. නමුත් ඒ සියලු වේදනාවන් ඉවසා ගනිමින් ඇය මව් පදවියට සූදානම් විය.

නියමිත දිනට දින කිහිපයකට පෙර දිලිනි විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ටිරාන් ඩයස් මහතාගේ උපදෙස් මත රෝහලේ නේවාසිකව ගත කළාය. එතැන් සිට ඇය වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය අංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ අවශ්‍ය ප්‍රතිකාර සහ පරීක්ෂණ සිදු කරමින් නියමිත දිනයට සැත්කම සඳහා සූදානම් විය. ඔක්තෝබර් විසි එක් වැනිදා සිසේරියන් සැත්කම සිදු කිරීම වෛද්‍යවරුන්ගේ තීරණය විය. සම්පූර්ණයෙන් නිර්වින්දනය කොට මෙම සිසේරියන් සැත්කම සිදු නොකොට හිරිවට්ටා සාමාන්‍ය සිසේරියන් සැත්කමක් සිදු කරන ආකාරයට මෙම සැත්කම සිදු කෙරිණි.

මධ්‍යම රාත්‍රී 12.16ට මුල් දරුවන් දෙදෙනා බිහි කිරීමට හැකියාව ලැබිණි. ඒ ගැහැනු දරුවකු සහ පිරිමි දරුවකු වශයෙනි. වේලාව රාත්‍රී 12.17 වන විට පිරිමි දරුවන් දෙදෙනකුද වේලාව 12.18 වන විට නැවතත් ගැහැනු දරුවන් දෙදෙනෙක්ද මෙලොවට බිහිවූහ.

“මෙම දරුවන්ගෙන් ලොකුම බබා කිලෝ 1.6ක් බරයි. අන්තිම බබාගේ බර ග්‍රෑම් 830යි. ඒ අනුව මේ දරුවන් දෙදෙනා අතර බරෙහි වෙනස 50%ක් වැනි විශාල වෙනසක්. වෛද්‍ය විද්‍යාත්මක කරුණුවලට අනුව ලොකු බබා සහ පොඩි බබා අතර තියෙන බරෙහි ප්‍රතිශතය 25%කට වැඩි වුණොත් අපි වැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා. සති තිස් එකකින් මේ සිසේරියන් සැත්කම සිදු කිරීමට අපි තීරණය කිරීමට මේ බරෙහි වෙනසත් බලපෑවා.r යැයි විශේෂඥ වෛද්‍ය ටිරාන් ඩයස් මහතා පැවසීය.

මේ වන විට දරුවන් සය දෙනා සහ මව යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව වෛද්‍යවරු පවසති. දිලිනි අවම වශයෙන් පැය හතළිස් අටක් රෝහලේ දැඩි වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවිය යුතු යැයි වෛද්‍යවරු තීරණය කළහ. එම නිසා මේ වන විට ඇය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී. දරුවන් සය දෙනාගේම සෞඛ්‍ය තත්ත්වය යහපත් බවත් ළදරුවන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබිය යුතු බවත් වෛද්‍යවරු තීරණය කළහ. මෙහිදී දෙවනුව ඉපදුණු දරුවා ශ්වසන ආධාරක මගින් හුස්ම ගැනීම සිදු කරයි. කෙසේ වෙතත් තවත් සති දෙකක් හෝ තුනක් මෙම දරුවන් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවිය යුතු බව වෛද්‍යවරු පවසති.

“අපි එක්කෙනෙක් තමයි මුලින්ම බලාපොරොත්තු වුණේ. වෛද්‍යවරයා මේ සම්බන්ධයෙන් අපිව දැනුවත් කළාම අපි ගොඩක් සතුටු වුණා. එක්කෙනෙක් බලාපොරොත්තු වුණු අපිට හය දෙනෙක් ලැබුණා. සිසේරියන් සැත්කම කරලා එළියට ඇවිත් ඉතාම සුළු කාලයකදි වෛද්‍යවරුන් (සැත්කම සාර්ථකයි) කියල මට කිව්වා. මම ගොඩක් සතුටු වුණා. ඊට පැයකට විතර පස්සේ මට මගේ බබාල බලන්න අවස්ථාව ලැබුණා. මට මගේ බිරිඳ එක්ක කතා කරන්නත් අවස්ථාව ලබා දුන්නා. ඇත්තටම මට ගොඩක් සතුටුයි. මාස ගණනාවක් එයා කරපු කැපකිරීම මම මගේ ඇස් දෙකෙන් දැක්කා. ලොකු බරක් උස්සාගෙන එයා හිටියේ. ඒ බව නිදහස් වීම ගැන මට සතුටුයි. දැන් දරුවන් හය දෙනකුගේ වගකීම, ඒ බර දරන්න මම සූදානමින් ඉන්නේ. මම හරි වාසනාවන්ත පියෙක් කියලයි මට හිතෙන්නේ.” යැයි සය නිවුන් දරුවන්ගේ පියා ප්‍රභාත් උදයංග පැවසීය.

 දිශානි ජයමාලි කරුණාරත්න