2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා

ස්විස් බැංකු රහස් මල්ල ලිහෙයි

 2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 219

ශ‍්‍රී ලාංකිකයන් 83 දෙනකුගේ බැංකු ගිණුම්වල රහස් අනාවරණය වී තිබේ. ස්විට්සර්ලන්තයේ ජිනීවාහි ප‍්‍රධාන බැංකු දෙකක තිබූ මෙම ගිණුම් ගැන හෙළිදරව් වීමත් සමඟ ස්වීස් බැංකු ගැන සහ එහි ක්‍රියාකාරීත්වය ගැන කතාබහ දැන් නැවත මතුවී තිබේ. ඇල්ෆ්ස් කඳුකරය සෙවණේ ලෝකයේ විශාලතම රහස් රන් නිධිය තැන්පත්ව තිබේ. මේ නිධියේ පුංචි පුංචි කොටස්වල අයිතිකරුවන් ගැන විමසීමට 2018 වනතුරු බලයක් තිබුණේ රාජ්‍ය තාන්ත්‍රික ආර්ථික රහස් මෙහෙයුමකදී පමණය. මේ නිසාම 18 වැනි සියවසේ මුලසිටම ඇල්ෆ් කඳු සෙවණේ භූගත ආරක්ෂක සේප්පු සහිත ස්වීස් බැංකු ලොවපුරා රහසිගත ධනය රක්නා බහිරවයන්ව සිටියේය. 

නමුත් 2018දී මේ රහස්‍ය භාවය මුල්වරට පලුදු වූයේ එරට බදු ආයතනය වෙනත් රටවල බදු ආයතන සමඟ රහස් තොරතුරැ රාජ්‍ය අවශ්‍යතා මත හෙළිකිරීමට එකඟවීමත් සමගිනි. දැන් එම බැංකු රහස්‍යභාවය ආරක්ෂා කරන්නේ කුතුහලය දනවන මාධ්‍යවේදීන්ගෙන්, ඊර්ෂ්‍යාකාරයන්ගෙන්, කලින් දැනුම්දීමක් නැති ඥාතීන්ගෙන්, විශේෂ බලතල නොමැති සෘජු සම්බන්ධයක් නොවූ සියලු දෙනාගෙනි. රාජ්‍ය ආයතන සඳහා මේ රහස් ඉල්ලා සිටි විට ඔවුන් ඒවා ඉදිරිපත් කරයි. මේ ඊයේ පෙරේදා හෙළිදරව්වට මඟ පෑදී ඇත්තේ එලෙසිනි.

ස්විස් බැංකුවල ඇති රහසිගත බව නිසා ලෝකය පුරා විවිධ මට්ටමේ පුද්ගලයෝ මෙහි මුදල් තැන්පත් කරන බව ප්‍රසිද්ධය. ව්‍යාපාරිකයන්, දේශපාලකයන්, සුපිරි නළු නිළියන්, ක්‍රීඩා තරු පමණක් නොව ලෝකයේ සිටින ඒකාධිපති පාලකයන්, ජාවාරම්කරැවන් මෙන්ම ත්‍රස්ත සංවිධානද ස්විස් බැංකුවල රහස්‍ය තිරයට මුවා වී තැන්පතුවල යෙදෙති. බොහෝවිට උපයාගත් ආකාරය විස්තර කළ නොහැකි කළුසල්ලි ස්විස් බැංකු සේප්පුවලට ඇතුළු වන බව නොරහසකි. තැන්පත්කරුවා පිළිබඳ කිසිදු සටහනක් නැති මෙම අමුතු ගිණුම් ස්විස් බැංකුවලටම ආවේණිකය. මෙහිදී තැන්පත්කරුගේ නම, ගිණුම් අංකය, තැන්පත් කළ බැංකු ශාඛාව යන සියල්ල සඳහාම ඇත්තේ ඒ ඒ අයට අනන්‍ය වූ සංකේත අංක පෙළක් පමණි.

මේ අමුතු ගනුදෙනු රටාව නිසාම ස්වීස් බැංකු පිළිබඳ රහස් තොරතුරු මීට පෙරද කිහිප වතාවක් ලෝකය කැළඹුවේය. 2015 වසරේ ස්විස් බැංකු ගිණුම් පිළිබඳ අන්තර්ජාතික ගවේෂණාත්මක පුවත්පත් කලාවේදී සංසදය මහා හෙළිදරව්වක් කළේය. ලොවපුරා මහා ආන්දෝලනයක් මතු කළ පැනමා පේපර්ස් හෙළදරව්ව නම් වූ මෙයින් රහස් ලිපිගොනු ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක තොරතුරු එළියට ආවේය. පැනමා පේපර් එළිදරව්ව ඇරඹෙන්නේ දක්ෂිණ ජර්මන් පුවත්පතෙහි (Suddeutsche Zeitung) ගවේෂණාත්මක මාධ්‍ය අංශයෙහි මාධ්‍යවේදියකුට ලැබෙන ඊ-මේල් පණිවිඩයක් තුළිනි. එහි සඳහන් වන්නේ “හලෝ මේ කතා කරන්නේ ජෝන් ඩෝ. තොරතුරු දැනගන්න කැමතිද? මම කැමතියි තොරතුරු දෙන්න” මේ කෙටි පණිවිඩය ලැබීමත් සමඟ සාමාන්‍යයෙන් මාධ්‍යවේදියකු කරන ආකාරයෙන් මාධ්‍යවේදියා කරනු ලබන්නේ “ඔව් මොනවද තියෙන තොරතුරු?” කියා විමසීමයි. ඊළඟ පණිවිඩයෙන් නිර්ණාමික පුද්ගලයා ‘මොසාක් – ෆොන්සේකා’ නීතිඥ සමාගම ගැන දත්තයන් ප්‍රමාණයන් එවන අතර එයින් ඇරඹෙන මෙම දත්තයන් එළිදරව්ව මෙතෙක් ලෝක ඉතිහාසයේ සිදුවූ විශාලම දත්තයන් එළිදරව් වීම බවට පත් කරමින් මෙම නිර්නාමික පුද්ගලයා මාස ගණනාවක් නොකඩවා මෙම කොම්පැණිය සහ එහි සැඟවුණු තොරතුරු පිළිබඳව දත්තයන් එවීම අරඹනු ලබයි. මොහු එවන මෙම දත්තයන් ප්‍රමාණය ටෙරා බයිට් 2.6ක් නැතිනම් ගිගා බයිට් 2600ක් ඉක්මවයි. මෙතෙක් ලෝක ඉතිහාසයේ මෙපමණ දත්ත ප්‍රමාණයක් කාන්දු වූ ප්‍රථම වතාව මෙය විය.

එදා ලාංකිකයන් 92කගේ නම් එළියට ආවේ එම ස්විස් සල්ලි මගඩිය හෙළිදරව් කිරීමත් සමඟය. රටේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ප්‍රභූවරුන් ගැන එළිදරව් විය. එදා ස්විස් බැංකු තුළ ශ්‍රී ලාංකිකයන් පිරිසක් තැන්පත් කළ රහසිගත මුදල කෝටි 5000ක් බව වාර්තා විය. මේ අනුව ස්විස් බැංකු තුළ මුදල් තැන්පත් කළ ගනුදෙනුකරුවන් අතර ශ්‍රී ලංකාව 151 වැනි ස්ථානය හිමිකරගෙන තිබුණි. මේ කරුණු වාර්තා වන්නේ ස්විස් බැංකු මුදල් තැන්පතු පිළිබඳ කළ සමීක්ෂණයකට අනුවය. 2016 වසරේ අවසානය වනවිට පැවැති තත්ත්වය මෙයින් පෙන්වා දී තිබේ.

ස්විස් බැංකු තුළ මුදල් තැන්පත් කිරීම අමුතු කාරණාවක් නොවේ. එකී බැංකු ප්‍රසිද්ධව ඇත්තේ ඕනෑම රටක ඕනෑම පුද්ගලයකුට සිය මුදල් උපයාගත් ආකාරය ගැන ප්‍රකාශ නොකර මුදල් තැන්පත් කළ හැකි නිසාය. එසේම මෙම තැන්පතු පිළිබඳ පූර්ණ රහස්‍ය භාවයක්ද පවතී. එකල අධිකරණ නියෝගයක් මත රාජ්‍ය තාන්ත්‍රික ඉල්ලීමකින් පසුව බැංකුව කැමැති නම් පමණක් එකී රහස් එළිදරව් කළ හැකිව තිබුණි. නමුත් 2018 සංශෝධන අනුව බැංකු රහස් බදු මුදල් සම්බන්ධ රාජ්‍ය ආයතන වෙත ලබාදීමට ඔවුහු බැඳී සිටිති.

2016 වාර්තාවට අනුව ලෝකයේ විවිධ රටවල් වලින් ස්විස් බැංකුව තුළ තැන්පත් කර ඇති මුදල ස්විස් ෆ්‍රෑන්ක් ට්‍රිලියන 1.42කි. බැංකුව තුළ වැඩිම මුදලක් තැන්පත් කර ඇත්තේ මහා බ්‍රිතාන්‍යයයි. එම මුළු මුදල ස්විස් ෆ්‍රෑන්ක් බිලියන 359කි. ඒ අනුව බ්‍රිතාන්‍යය පළමු ස්ථානයට පත්ව සිටියි. අමෙරිකාව දෙවැනි තැනට පත්ව ඇත්තේ ස්විස් ෆ්‍රෑන්ක් බිලියන 177ක් තැන්පත් කිරීමෙනි.

අපේ අසල්වැසි ඉන්දියාව ස්විස් ෆ්‍රෑන්ක් මිලියන 676ක් තැන්පත් කරමින් 88 වැනි ස්ථානයට පත්ව සිටියි. ඉන්දියාව 2015 වනවිට 75 ස්ථානයේ සිටි අතර 2014 දී 61 වැනි තැන සිටියේය. පාකිස්තානය 2016 තැන්පතුකරුවන් අතරින් 61 වැනි තැනට පත්ව සිටියි. බංග්ලාදේශය 89 වැනි තැනටත් නේපාලය 150 සහ භූතානය 282 වැනි තැනටත් පත්ව සිටියි.

2015 වසරේදී ලංකාව 112 වැනි තැන්පත්කරුවා බවට පත්වූයේ රුපියල් බිලියන 7.7ක් ස්විස් ගිණුම් 129ක පවත්වාගෙන යමිනි. ඒ වසරේදී එළිදරව් වූයේ ලාංකිකයන් 92ක් හට මේ ගිණුම් අයිතිව තිබෙන බවටය. එම ගිණුම් අරඹා තිබුණේ 1974 සහ 2006 අතර කාලයේදී බව වාර්තා විය. 1988 සිට 2006 අතර කාලයේදී මෙම තැන්පත් කිරීම් ඉහළ ගොස් තිබුණි. 2016 වසරේ නිකුත්ව ඇති සමීක්ෂණ වාර්තාවට අනුව ස්විස් ෆ්‍රෑන්ක් මිලියන 307ක් හෙවත් ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 5000ක් එදා  තැන්පතු ලෙස ලැබී තිබුණි. මෙවර එළිදරව්වද එබඳු තොරතුරු රැසක් එළියට ගෙනවිත් තිබේ.

 සුගත් පී. කුලතුංගආරච්චි

 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා, පෙ.ව. 10:00