
කොවිඩ් වසංගතය හේතුවෙන් සියලු සිනමාහල් මාස ගණනාවක් වසා තැබීම නිසා සිනමාකරුවන්ට සිදුව ඇත්තේ විශාල පාඩුවකි. මාස ගණනාවක් පුරා රෑගත කිරීම් කර, විශාල මුදලක් වැය කරමින් අවසන් කළ සිනමාපට බොහොමයක් මේ වන විටත් ප්‍රදර්ශනය කර ගැනීමට නොහැකිව ඒවා ප්‍රදර්ශන පෝලිමේය. ඒවාට යට කළ මුදල්වලට වටිනාකමක් නැති විට නිෂ්පාදකවරුන්ට මිරිඟුවක් දෙස බලා සිටින්නා සේ බලා සිටීමට සිදුව තිබේ. මේ අතර දිවයිනේ පිහිටි සිනමාහල් බොහොමයක් වසා දමා සුපිරි වෙළෙඳසල්වලට බදු දීමට පවා එම සිනමාහල් හිමියන් තීරණය කර ඇතැයි කියති.
පාස්කු ප්‍රහාරයේදී වුවද පළමු වරට වසා දැමුණේ සිනමාහල්ය. කොවිඩ් වසංගතයේදීද සිනමාහල් වසා දැමීම මුල් අදියරේදීම සිදුවිය. මේ වන විට රට යම් තරමකට විවෘත වී ඇති අතර සිනමාහල් විවෘත කිරීමට උපදෙස් ලබා දී ඇත්තේ ඔක්තෝබර් 22දා සිටය. නමුත් මේ වන විට චිත්‍රපට පෙන්වන්නට සිනමාහල් ඇත්තේ අඩු ප්‍රමාණයකි.
කොවිඩ් වසංගතයට පෙර දිවයින පුරා සිනමාශාලා එකසිය විස්සක් පමණ තිබුණා. කොවිඩ් වසංගතයේ දෙවැනි රුල්ලෙන් පසුව සිනමාහල් අසූවක පමණ සංඛ්‍යාවකට එය අඩු වුණා. මේ වන විට එම සංඛ්‍යාව පනහකටත් අඩු සංඛ්‍යාවකට අඩු වී ඇති බව අපිට වාර්තා වෙනවා. මාර්තු මාසයේදී අපි Colombo^ චිත්‍රපටය සිනමාගත කළේ කොවිඩ් වසංගතයත් එක්ක විශාල අභියෝගයක් අරගෙනයි. බොහෝ දෙනා ඒ කාලයේදී චිත්‍රපටයක් තිරගත කරන්න කැමැති වුණේ නැහැ. නමුත් අපි ඒ අභියෝගය බාර අරගෙන Colombo^ චිත්‍රපටය තිරගත කළා. හොඳ ප්‍රචාරයක් ලබා දුන්නොත් සිනමාහල්වලට ප්‍රේක්ෂකයන් ගෙන්වන්න පුළුවන් කියලා මම විශ්වාස කළා. යැයි Colombo^ චිත්‍රපටයේ නිෂ්පාදක අනූෂ සංජීව එදිරිමුණි මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.
සිනමාහල් විවෘත කිරීමට අවසර ලබා දුන්නද, ප්‍රදර්ශනයට චිත්‍රපට පැවතියද, එම චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට සිනමාහල් නොමැති වීමෙන් සිදුවනුයේ මේ සිනමා කර්මාන්තය බේරාගත නොහැකි ලෙස කඩා වැටීම පමණි. මෙලෙස කඩා වැටෙමින් පවතින සිනමාහල් කර්මාන්තය නගා සිටුවීමට රාජ්‍ය මට්ටමින් කිසිදු අනුග්‍රහයක් ලබා දී නොමැති බවට බොහෝ දෙනා චෝදනා කරති. සිනමාහලකින් චිත්‍රපටයක් තිරගත වීමෙන් ලැබෙන ආදායමින් (වායු සමීකරණය කළ) 40%ක් නිෂ්පාදකයන්ටද, 10%ක් බෙදාහරින්නන්ටද, ඉතිරි 50% සිනමාහල් හිමිකරුවන්ටද හිමිවේ. එමෙන්ම වායු සමීකරණය නොකළ සිනමාහලකින් නිෂ්පාදකයන්ට 45%ක්ද, සිනමාහල් හිමියන්ට 45%ක්ද, බෙදාහරින්නන්ට 10%ක්ද හිමිය. මෙතෙක් සිනමාපටයක බෙදාහැරීමේ ප්‍රමිතිය වූයේ මෙයයි.
නිෂ්පාදකයෙක් විදිහට මට ලැබෙන ප්‍රතිශතයෙන් 7.5%ක් මම සිනමාහල් හිමිකරුවන්ට ලබා දෙන්න තීරණය කළා. තිරගත වෙන්න සිනමාශාලා තිබුණොත් පමණයි අපිට චිත්‍රපට පෙන්වන්න අවස්ථාව ලැබනේනේ. ඒ නිසා අපි හැමෝම එකතුවෙලා සිනමාහල් රුකගත යුතු වෙනවා. සිනමාහල් වසා තැබුවත් සේවක වැටුප්, බිල් නිසි පරිදි ගෙවීම් කළ යුතු වෙනවා. කොවිඩ් කාලයේදී වුණත් හැම සිනමාශාලාවකම ප්‍රොජෙක්ටර් දිනපතා පිසදමා සුළු මොහොතක් හෝ ක්‍රියාත්මක කළ යුතු වෙනවා. සතියකට වරක් හෝ සිනමාශාලාවල ඇති අසුන් ගසා දැමිය යුතු වෙනවා. සිනමාශාලා හිමියන්ගේ තත්ත්වය ඛේදජනකයි. අනූෂ සංජීව එදිරිමුණි කියයි.
කිසිදු ආදායමක් නොලැබීම නිසා සේවක වැටුප් හා අනෙකුත් වියදම් මාස ගණනක් පුරාවට ගෙවීමට සිනමාහල් හිමියෝ අකැමැති වූහ. මේ නිසාම මේ වන විටත් වසර ගණනක් සිනමාහලක් ලෙස පවත්වාගෙන ගිය සිනමාහල් සුපිරි වෙළෙඳසල් පවත්වාගෙන යාමට බද්දට දීමට ඇතැම් සිනමාශාලා හිමියෝ පෙළඹී සිටිති. කිසිදු ආදායමක් නොමැතිව වසා දමනවාට වඩා එවැනි ආදායමක් ලැබෙන ආදායම් මාර්ගයකට යොමුවීම ඔවුන්ට වාසිදායකය. නමුත් එයින් සිදුවන්නේ සිනමා කර්මාන්තය බිඳවැටීම පමණි.
මේ සම්බන්ධව මම ඊ.ඒ.පී. චිත්‍රපට සමාගම සමඟත් කතා කළා. ඒ අනුව ඒ අයත් මේ කටයුත්තට එකතු වෙන්න කැමැත්ත පළ කළා. බෙදාහරින්නන් ලෙසින් ඔවුන්ට ලැබෙන 10% ප්‍රතිශතයෙන් 5%ක් සිනමාහල් හිමියන්ට ලබා දෙන්න ඔවුන් කැමැති වුණා. ඒ අනුව නිෂ්පාදකයෙක් විදිහට මගෙන් ලැබෙන 7.5% සහ ඔවුන්ගෙන් ලැබෙන 5% එකතු කළ විට 12.5%ක එකතුවක් සිනමාහල් හිමියන්ට හිමිවෙනවා. මෙම තීරණය ගැනීමට පෙර මම මේ රටේ ප්‍රවිණ කලාකරුවන් කිහිප දෙනකුගෙන් අදහස් විමසුවා. ඔවුන්ද මට මේ කටයුත්තට ආශිර්වාද කළා. මගේ තීරණය අනුමත කළා. සිනමාහල් ආරක්ෂා කර ගැනීම රාජ්‍ය මට්ටමින් කළ යුතු අවස්ථාවක මෙලෙස මම හෝ ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ඔවුන් සතුට පළ කළා. ඔහු වැඩිදුරටත් දේශයට පැවසීය.
රජය මගින් මෙම සිනමාහල් නගා සිටුවීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන තුරු බලා නොසිට නිෂ්පාදකයකු සේ ඔහු ගෙන ඇති තීරණය පැසසුමට ලක් කළ යුතුය. නිෂ්පාදකයකු ලෙස මෙම තීරණයෙන් ඔහුට අවාසියක් මිස වාසියක් නොමැත. නමුත් සිනමා කර්මාන්තය රුකගැනීමට ඔහු ගෙන ඇත්තේ ඉතා වටිනා තීරණයකි. සිනමාශාලාවලට යම් උත්තේජනයක් ලබා දීමෙන් සිනමාහල් වසා දමන්නට තීරණය කළ සිනමාශාලා හිමියන්ට එම තීරණය වෙනස් කිරීමට එමගින් හැකිවේ.
25% ධාරිතාවය යටතේ සිනමාහල් විවෘත කිරීමට රජය අනුමැතිය ලබා දී තිබේ. නමුත් බොහෝ නිර්මාණකරුවන් පවසන්නේ රජය විසින් සිංහල චිත්‍රපට වෙනුවෙන් ගෙන ඇති මෙම තීරණය විහිළුවක් බවය. සිංහල චිත්‍රපට සාමාන්‍ය දිනවලදීත් ප්‍රේක්ෂකයන් නැරඹුවේ ඉතා අඩුවෙනි.
මේ තීරණය ගත්තු සෞඛ්‍ය කණ්ඩායම සිනමාහල් සම්බන්ධයෙන් තීරණය ගෙන ඇත්තේ අමෙරිකාව, ඉන්දියාව වැනි රටවලට සාපේක්ෂවයි. එවැනි රටවල වැඩි වශයෙන් ජනතාව සිනමාශාලාවල ගැවසෙනවා. ලංකාවේ චිත්‍රපටයක් මිනිස්සු බලන්න එක පොදියට ආ අවස්ථා තියෙනවා. නමුත් සමස්තයක් විදිහට ලංකාවේ චිත්‍රපටවලට එවැනි රටවලට සාපේක්ෂව පැමිණෙන පිරිස අඩුයි. ලංකාවේ බොහෝ චිත්‍රපට බලන්න සෙනග පිරී ඉතිරිලා යන්න එන්නෙ නැහැ. ඒ අනුව අද වන විට සිනමාශාලාවක පරතරය ඇතිව චිත්‍රපටය නරඹන්නට හැකියාවක් තියෙනවා. අඩුම ගාණේ 50%ක ධාරිතාවය මෙයට ලබා දුන්නා නම් හොඳයි. එදිරිමුණි මහතා දේශයට පැවසීය.
දිශානි ජයමාලි කරුණාරත්න