
ගැඹුරු මුහුදේ මසුන් මැරීමේ නිරත ධීවරයන්ට ආපදා හා අනතුරු පිළිබඳව ඇඟවීමට හා ඔවුනට අවශ්‍ය වෙනත් තොරතුරු ලබා දිය හැකි උපකරණයක් පසුගියදා ඉන්දීය රජය විසින් හඳුන්වා දෙනු ලැබීය. එය නම් කර ඇත්තේ ගගන් එනේබල්ඩ් මැරිනර්ස් ඉන්ස්ටෘමන්ට් ෆෝ නැවිගේෂන් ඇන්ඩ් ඉන්ෆොමේෂන් හෙවත් ජෙමිනි යනුවෙනි. මෙම උපකරණය මඟින් ආපදා අනතුරු ඇඟවීම, මසුන් බහුල මුහුදු කලාප පිළිබඳ තොරතුරු මෙන්ම මුහුදේ එදිනෙදා රළ ස්වභාවය වැනි තොරතුරුද සන්නිවේදනය කෙරේ. සාමාන්‍ය දුරකතන ජාලයක සංඛ්‍යාත පද්ධතිය මුහුදු වෙරළේ සිට කි.මී. 10ත් 12ත් ඔබ්බෙහි ක්‍රියාත්මක නොවන අතර ජෙමිනි ව්‍යාපෘතිය හේතුවෙන් එම පරාසය නාවික සැතපුම් 300 දක්වා ඉහළ යනු ඇතැයි පැවසේ.
පසුගියදා නවදිල්ලියේදී මෙම උපකරණය එළිදැක්වීමෙන් පසු විද්‍යා හා තාක්‍ෂණ ඇමැති ආචාර්ය හර්ෂ් වර්ධන් පැවසුවේ හදිසි තොරතුරු බෙදාහැරීම සඳහා චන්ද්‍රිකා පදනම් කරගත් සන්නිවේදනය යොදාගැනීම වඩාත් පලදායක බවයි.
2017 ඔක්චි සුළි කුණාටුවෙන් ධීවරයන් 20 දෙනකු අතුරුදන් වූ අතර ඊට හේතු වූයේ සන්නිවේදන ක්‍රියාදාමයේ පැවැති අඩුලුහුඬුකම්ය. එවැනි සන්නිවේදන බාධක වළක්වා ගැනීම සඳහා රජයේ දෙපාර්තමේන්තු, පර් යේෂණ ආයතන සහ පෞද්ගලික සමාගම් ගණනාවක් එක්ව ජෙමිනි වැඩසටහන සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබේ.
ඉදිරියේ ඇතිවිය හැකි ආපදා හා හදිසි තත්ත්වයන් පිළිබඳ ක්ෂණයකින් තොරතුරු ලබා ගැනීමට හා දැනුම්දීමට ඇති හොඳම ක්‍රමය චන්ද්‍රිකා තාක්ෂණය පදනම් කරගත් සන්නිවේදනය වන අතර සුළි කුණාටු, අධික තරංග සහ සුනාමි වැනි ආපදා පිළිබඳව අවධානයෙන් සිටින්නට චන්ද්‍රිකා තාක්ෂණය පදනම් කරගත් සන්නිවේදන පද්ධතියක් නිර්මාණය කිරීම ඔවුන්ගේ අරමුණ විය.
ජෙමිනි යනු ඉස්රෝ හෙවත් ඉන්දියානු අභ්‍යවකාශ පර් යේෂණ සංවිධානය මගින් පාලනය කෙරෙන චන්ද්‍රිකා සමඟ සම්බන්ධ විය හැකි ඇන්ටෙනාවක් සහිත අතේ ගෙන යා හැකි උපකරණයකි. එය මුලින්ම නිර්මාණය කරන ලද්දේ හයිද්‍රාබාදයේ සාගර තොරතුරු සේවා පිළිබඳ ඉන්දියානු ජාතික මධ්‍යස්ථානය සහ පෞද්ගලික සමාගමක් මගිනි. දින තුනක හෝ හතරක කාලයක් ආරෝපණය පැවතිය හැකි බැටරියක් සහිත හතරුස් උපකරණයක් ඔවුහු හඳුන්වා දුන්හ. පසුව එය ඉන්දියානු අභ්‍යවකාශ පර් යේෂණ සංවිධානය සහ ඉන්දියානු ගුවන්තොටුපළ අධිකාරිය විසින් වැඩි දියුණු කරන ලද අතර ඉන්දියානු අභ්‍යවකාශ පර් යේෂණ සංවිධානයේ ජී සැට් චන්ද්‍රිකා පද්ධතිය සමඟ ක්‍රියාත්මක වන්නකි.
තම දුරකථනවලට ලැබෙන සංඥා පරාසයෙන් ඔබ්බෙහි සිටින ධීවරයන්ට මෙම උපකරණය ඔස්සේ අනතුරු ඇඟවීම් පහසුවෙන් ලබාගත හැකිය. මෙමගින් ද්විපාර්ශ්වීය සන්නිවේදනයක නිරත විය නොහැකි අතර තොරතුරු ලබාගැනීම සඳහා පමණක් නිර්මාණය කරන ලද්දකි. ගගන් පද්ධතියෙන් සංඥා ලබා ගැනීමට හැකියාව ඇති දුරකතනවලට මෙම උපකරණය මගින් තොරතුරු සහ අනතුරු ඇඟවීම් ලබා ගත හැකිය. ගගන් යනු කලාපීය චන්ද්‍රිකා පදනම් කරගත් වර්ධන පද්ධතියකි. ඉන්දියානු ගුවන් කලාපය හරහා නවීන සන්නිවේදනය, සංචලනය හා නිරීක්‍ෂණ සහ ගුවන් ගමනාගමන කළමනාකරණය මෙම පද්ධතිය යටතේ ක්‍රියාත්මකය.
මේ වන විටත් ධීවරයන්ට කුණාටු පිළිබඳ අනතුරු ඇඟවීම් වැනි සේවාවන් සපයන නමුදු ඒවා දුරකතන සමාගම් මගින් ලබා දෙන ජංගම සේවා මත රඳා පවතින බව සාගර තොරතුරු සේවා සඳහා ඉන්දියානු ජාතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සතිෂ් ෂෙනෝයි සඳහන් කරයි. ජෙමිනි වැඩසටහන මගින් මසුන් බහුල කලාප පිළිබඳව දින තුනකට පෙර ධීවරයන්ට උපදෙස් දිය හැකිය. දැනට මසුන් බහුල කලාප සොයාගැනීම සඳහා කාලය අපතේ යාම වළක්වා ගැනීම සඳහා ධීවරයන් හය ලක්ෂයකට අධික සංඛ්‍යාවක් නිතිපතා තම ජංගම දුරකථන ඔස්සේ තොරතුරු ලබා ගනිති. ජංගම දුරකථන සවිබල ගැන්වෙන චිපවලට ගගන් පද්ධතියෙන් සංඥා ලබා ගැනීමට හැකි වුවහොත් මෙම උපකරණයට ඉන්දියාවේ 900,000 ධීවරයින්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි යැයි ෂෙනෝයි මහතා සඳහන් කරන අතර ඒ සඳහා යම් කාලයක් ගතවන බවද සඳහන් කර තිබේ.
ජෙමිනි උපකරණයේ සාමාන්‍ය මිල ඉන්දීය රුපියල් 9,000 පමණ වේ. එය ඉන්දියානු ධීවරයකුට මිල අධික භාණ්ඩයකි. එහෙයින් එයට 90%ක පමණ සහනාධාරයක් ලබා දීමට ඉන්දීය රජය කටයුතු කරමින් සිටී. උපකරණය සඳහා වන වියදමෙන් ජාතික ධීවර සංවර්ධන මණ්ඩලය 60% ක්ද, ප්‍රාන්ත රජය 20% ක්ද දැරීමට කටයුතු කරමින් සිටින අතර පරිශීලකයාගෙන් 10% ක් පමණක් අයකර ගැනීමට පියවර ගන්නා බව ඉන්දියානු ජාතික මධ්‍යස්ථානයේ තොරතුරු සේවා ප්‍රධානී බාලක්‍රිෂ්ණන් නායර් සඳහන් කර තිබේ.
පසුගිය සමයේ ශ්‍රී ලාංකික ධීවරයෝද බොහෝ අනතුරු හා ආපදාවලට මුහුණ දුන්හ. ඇතැම් ධිවරයෝ තම මුහුදු සීමා ඉක්මවා මසුන් ඇල්ලීමේ නිරත වීමෙන් ඉන්දියානු නාවික හමුදාවේ අත්අඩංගුවට පත් වූහ. ශ්‍රී ලංකාවේ ධීවරයන් සඳහාද මෙවැනි වැඩපිළිවෙළක අවශ්‍යතාව තදින් පවතින්නකි. එමෙන්ම මත්ස්‍ය නිෂ්පාදනය වර්ධනය කිරීම සඳහාද මෙවැනි තාක්ෂණයක අවශ්‍යතාව පවතී.
ඉන්දියාවේ වාර්ෂික මත්ස්‍ය නිෂ්පාදනය වර්ග කිලෝමීටරයකට ටොන් දෙකකි. 2030 වන විට ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් කිරීමේ අරමුණින් වැලිබල් සමූහ ආයතනයේ සභාපති සුප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ද සැලැස්මක් ඉදිරිපත් කර තිබේ. සෑම අංශයක්ම පාදක කර ගනිමින් ඉදිරිපත් කර ඇති එම සැලැස්මේ ධීවර කර්මාන්තය නඟා සිටුවීම සඳහාද සැලස්මක් ඇත. එහි ඉලක්ක ලෙස ධීවරයන්ගේ ආදායම දෙගුණ කිරීම, වත්මන් වාර්ෂික මත්ස්‍ය නිෂ්පාදනය වර්ග කිලෝමීටරයකට ටොන් 0.9 සිට 1.8 දක්වා වර්ධනය කිරීම, ජලජීවී වගා නිෂ්පාදනය සහ ධීවර නිෂ්පාදනවල ගුණාත්මකභාවය වර්ධනය කිරීම, තිරසාරත්වය සහ විවිධත්වය සහතික කිරීම සඳහා ධීවර සම්පත් කළමනාකරණය කිරීම වැනි යෝජනා ඉදිරිපත් කර තිබේ. එයට තත්කාලීන දත්ත සඳහා භූගෝලීය තාක්ෂණය සමග ධීවර කලාප හඳුනා ගැනීම සඳහා ශ්‍රී ලංකා සාගර තොරතුරු පිළිබඳ ජාතික මධ්‍යස්ථානයක් පිහිටුවීම, මුහුදේ උෂ්ණත්වය, හරිතප්‍රද රටා, මුහුදු රළවල වේගය, දිශාව, බෝයාව යනාදිය පිළිබඳව චන්ද්‍රිකා රෑප අධ්‍යයනය මගින් මසුන් බහුලව සොයාගත හැකි විභව ධීවර කලාප පිළිබඳව ධීවරයන් දැනුම්වත් කිරීම, ස්වභාවික විපත් සහිත ප්‍රදේශ පිළිබඳ පූර්ව පණිවුඩ ලබා දීම, කාලගුණ අනාවැකි පද්ධතියක් ස්ථාපනය කිරීම වැනි යෝජනා රුසක් ඔහු ඉදිරිපත් කර තිබේ. ශ්‍රී ලංකාවට ඉහළින් කාලගුණ තොරතුරු සපයන චන්ද්‍රිකා කිහිපයක්ම තිබේ. ශ්‍රී ලංකාවටද ජෙමිනි වැනි උපකරණයක සහය ලබා ගත හැකිනම් අපේ රටේ ධීවරයන්ටද සුවිශාල සේවයක් වනු ඇත.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා