2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා

අලුත් ගුවන්තොටින් අලුත් වන කුසිනාරා වන්දනාව

 2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 59

කුෂිනාගර් දීර්ඝ ඉතිහාසයක් සහිත ප‍්‍රදේශයකි. රාමායනය අනුව රාමාගේ පුත් කුෂ් රජු මෙම නගරය සිය වාසස්ථානය කරගෙන ඇත. ඉන්දියාවේ ඉතිහාසය ගැන ලියැවුණ මහා වෘත්තාන්ත දෙකක් තිබේ. එකක් රාමායනය වන අතර අනෙක මහාභාරත්ය. මහා ඍෂි වාල්මිකි රචනා කරන මෙහි හින්දු විශ්වාසයන් අපූරු ලෙස විග‍්‍රහ කරයි. රාවණා සිය දඬුමොණරය හසුරුවන්නේ සහ පසුව සීතා පැහැරගෙන පැමිණීම ගැන සඳහන් වන්නේ මෙම වෘතාන්තයෙහිය. කෙසේ නමුත් බෞද්ධ සාහිත්‍ය අනුව රාමායනයට එහා ගිය පැවැත්මක් කුෂිනාගර්වලට තිබේ. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ විසූ කාලයේ මෙය කුසිනාරා නුවරයි. එය කෝසල රාජධානිය බව දැක්වෙයි. කුසාවතිය යනුවෙන්ද දක්වා ඇත. ඉන්දියානු පුරාවිද්‍යා සාධක මෙම පැවැත්ම තහවුරු කර තිබේ. 

කුෂිනාගර්හි පොහොසත් බෞද්ධ උරුමය හේතුවෙන් ජාත්‍යන්තර ප‍්‍රජාවගේ ප‍්‍රමුඛ අවධානයක් ලබයි. බුදුන් වහන්සේ අවසන් මහා පරිනිර්වාණය ලබාගත් බව දක්වන මීටර් හයක් දිග බුදු පිළිමයක් සොයාගෙන ඇති අතර එය සංරක්ෂණය කර ඇත. තවද  මහා පරිනිර්වාණ විහාරයක් ඇත. බුදුන් වහන්සේගේ අවසාන දේශනාව වූ මහා පරිනිර්වාණ සූත‍්‍රය දේශනා කළ ස්ථානයද මෙහි සලකුණු කරයි. රාමභාර් ස්ථූපය ආදාහනාගාරය ඉදිකරන ලද ස්ථානය සේ සැලකේ. බුද්ධ පරිනිර්වාණය සම්බන්ධ එතෙක් නිල වශයෙන් නොතිබුණ කරුණු ගවේශනය කරගන්නට පුරාවිද්‍යාව සමත්ව තිබේ. පළමු පුරාවිද්‍යා ජනරාල්වරයා වූ ශ‍්‍රීමත් ඇලෙක්සැන්ඩර් කනිංහැම් පුරාවිද්‍යා කඳවුරක් 1904 සිට 1907 දක්වා පවත්වා ඇත. බෞද්ධ සංකේත රාශියක් අනාවරණය කරගෙන තිබේ. හෙතෙම බ්‍රිතාන්‍ය ජාතිකයෙකි. කුෂිනාගර් ගැන වෙහෙසෙන හෙතෙම එහි යටගියාව සොයාගෙන කාබන් සහතික ලබාගෙන ඇත.

• වස්කඩුවේ ශ‍්‍රී සුභූතී විහාරය සමඟ සබඳතා

වස්කඩුවේ ශී‍්‍ර සුභූති හිමිපාණෝ එක්දහස් අටසිය ගණන්වල අග භාගයේ යුරෝපා හා ඇමෙරිකානු පුරාවිද්‍යාඥයන් සමග බෞද්ධ ඉතිහාසය ගවේශණය කරන්නට සහභාගී වී සිටියහ. ශ‍්‍රීමත් කනිංහැම් එහි එක් ප‍්‍රධානියෙකි. කුෂිනගර්වලට නුදුරින් පිහිටි පිප්රහාවා ප‍්‍රදේශයේ බෞද්ධ ස්ථුපවලින් ධාතූන් වහන්සේලා සොයාගෙන ඇත. පසුව කරන ලද කාබන් පරීක්ෂණවලින් කාලනිර්ණය කරගෙන බුදුරජාණන් වහන්සේගේ ධාතු කොටස් බව තහවුරු කරගෙන තිබේ. එයින් ධාතූන් වහන්සේ දෙනමක් සුභූති හිමිපාණන් වෙත පිරිනමා ඇති අතර එය වස්කඩුව විහාරස්ථානයේ සුරක්ෂිතව පවතී. වස්කඩුවේ මහින්දවංශ හිමියන් සතුව මෙම ධාතූන් පිරිනැමීම සම්බන්ධ ලේඛන ඇත. සොයාගත් අනෙක් ධාතූන් විසිදෙනමක් ඉන්දීය ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ. ජාතික කෞතුකාගාරය නවීකරණය වෙමින් පවතින අතර බෞද්ධ යටගියාව වෙනුවෙන් වෙනම ඒකකයක්ද සකස්කර ඇත. කොවිඩ් වසංගත තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය වීමෙන් අනතුරැව බෞද්ධ සංචාරක අවස්ථා දියුණු කිරීම ඉන්දීය රජයේ අභිප‍්‍රාය වී ඇති බව පෙනේ. නවදිල්ලිය සහ වෙනත් අවට ප‍්‍රදේශ එයට සූදානම් කිරීම කුෂිනාගර් ගුවන් තොටුපොළ ඉදිකිරීමේ තවත් අරමුණක් බව සඳහන් කළ හැකිය. 

පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති, සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬරුවේ උපාලි හිමියන් සර්වඥ ධාතූන් වහන්සේලා දෙනමද සමඟ ඉන්දීය රජයේ ගෞරවණීය ඇරයුම මත කුෂිනගර් ගුවන්තොටුපොළ විවෘත කරන අවස්ථාවට වැඩම කරවන ලදි. ධාතූන් වහන්සේලා නවදිල්ලිය, සංකස්ස ඇතුළු ස්ථාන ගණනාවක ප‍්‍රදර්ශනය කරවන්නට ඉන්දීය රජය විධිවිධාන යොදා ඇත. ඩිජිටල් තාක්ෂණය හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සහ යෞවන හා ක‍්‍රීඩා රාජ්‍ය අමාත්‍ය සහ සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙම ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘත කිරීමේ උත්සවයට ශ‍්‍රී ලංකාවේ විශේෂ ආරාධිතයා වශයෙන් සහභාගී විය. අමාත්‍යවරු හා නිලධාරීන් ගණනාවක්ද ඇරයුම් ලැබූ අතර ශ්‍රීලංකන් විශේෂ ගුවන් යානය කසාවතින් සම්පූර්ණ වී තිබෙනු දැකගත හැකිවිය. ඉන්දීය රජය මෙම ගුවන් ගමන ඇතුළු දෙදින සංචාරය සඳහා සියලු වියදම් දරන්නට ඉදිරිපත්වීම විශේෂයෙන් සඳහන් කළ යුතුය. ඉන්දියාවේ සිටින ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ඇතුළු කාර්ය මණ්ඩලය මෙම වැදගත් කාර්ය සම්බන්ධීකරණය කළ අතර ගුවන් තොටුපොළ පරිශ‍්‍රයෙහි නිතිපතා ප‍්‍රදර්ශනය සඳහා කැලණිය රජමහා විහාරස්ථානයේ සිතුවම් දෙකක්ද අති විශාල ප‍්‍රමාණයෙන් මුද්‍රණය කර භාරදීම දෙරට අතර ජනතාවගේ කෘතවේදීත්වය සිහිපත් කරවන්නකි. ශ‍්‍රී ලංකාවේ සිටින ඉන්දීය මහ කොමසාරිස් ගොපාල් බාග්ලේ මහතාද මෙම ගුවන්යානය පිටත්ව යන මොහොත දක්වා කාර්ය මැනවින් සොයාබලා විධිවිධාන යොදන ලද බව සඳහන් කළ යුතුය.

• බොදු ප‍්‍රබෝධයට ඉන්දියාවෙන් සහාය

අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ශ‍්‍රී ලංකාවේ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර ඉකුත් 2020 සැප්තැම්බර්වලදී පැවති සූම් ඇප් මගින් කළ සාකච්ඡාවකදී ද්විපාර්ශ්වික බෞද්ධ සබඳතා ප‍්‍රවර්ධනය ගැන අවධානය යොමු කළේය. ඉන්දියාව ඇමෙරිකානු ඩොලර් මිලියන 15ක ප‍්‍රදානයක් ප‍්‍රකාශයට පත් කළේය. විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා සහ අගමැති කාර්යාලය මෙම ආධාර වැඩපිළිවෙළ සඳහා අවශ්‍ය ගිවිසුම් සකස් කරමින් සිටී. මෙම මුදල් මෙරට පහසුකම් අඩු බෞද්ධ සිද්ධස්ථානවල මුලික පහසුකම් නැංවීමට යොදාගනු ඇතැයි සැලකේ. 

ඉන්දියාව බෞද්ධ සංචාරකයන් අපේක්ෂා කරන රටකි. කොවිඩ් වසංගත තත්ත්වය තුළ පවා ජෛව බුබුලු යටතේ තායිලන්තය, ජපානය හා කොරියාව වැනි රටවලින් කුලියට ගත් ගුවන් යානා මගින් බෞද්ධ සංචරණය කරගෙන ගියේය. එයට විශේෂ අවස්ථා සම්පාදනය කර තිබුණි. පසුගිය කාලය තුළ ඉන්දියාවේ සෑම බෞද්ධ සංචාරක කලාපයක් ආශ‍්‍රිතවම පාලු ස්වරෑපයක් ගත් අතර එය එම ප‍්‍රදේශවල සංචාරක කර්මාන්තයෙන් ජීවත් වූ ලක්ෂ ගණනකට අපහසුතා ඇති කළේය. ශ‍්‍රී ලංකාවෙන් පිටත්ව එහි වැඩ වාසය කරමින් විශාල කැපවීමක් කරන සංඝරත්නය අතරින් කොටසක් පවා ආපසු ලංකාවට වැඩම කරවන ලද අතර ඔවුන්ට පවා මූලික අවශ්‍යතා සපයා ගැනීම ප‍්‍රශ්නයක් විය. බෞද්ධ විශ‍්‍රාම ශාලා, සංචාරක හෝටල් හා ආහාර පාන අලෙවි කරන ස්ථානවලට ආර්ථික ගැටලු ඇති වී තිබුණි.

කොළඹ සිට කුෂිනගර් දක්වා වූ සෘජු ජාත්‍යන්තර ගුවන් ගමන් ශ‍්‍රී ලාංකික වන්දනාකරුවන් සඳහා ප‍්‍රයෝජනවත්ය. මෙයට කලින් දිල්ලියට හෝ වෙනත් ප‍්‍රධාන නගරයකට සැපත්වන බොදුනුවෝ කිලෝමීටර් අට සියයක් පමණ දුර ගෙවා බුද්ධ පරිනිර්වානය සිදුවූ ස්ථානයට ළඟා වෙති. අලුත් ගුවන් තොටුපොළ සමඟ එය ශ‍්‍රී ලංකාවේ සිය පැය තුනක පමණ ගමනකි. ගුවන් යානා ගමන් බිමන් දියුණුව සමඟ ප‍්‍රවේශ පත‍්‍ර ගාස්තුව අඩුවනු ඇත. ශ‍්‍රාවස්ති, කපිලවස්තු සහ ලුම්බිණි (නේපාලයේ) වැනි බෞද්ධ වැදගත්කමක් ඇති වෙනත් ස්ථානද වැඩි ඈතක නොවේ. මෙම සියලු සාධක ශ‍්‍රී ලංකාව, තායිලන්තය, කාම්බෝජය, චීනය, ජපානය, මියන්මාරය ඇතුළු බොහෝ රටවල බැතිමතුන්ට පහසුවක් බව සඳහන් කළ යුතුව තිබේ. 

• කුෂිනාගර් ගුවන් තොටුපළ

කුෂිනාගර් ගුවන් තොටුපළ අක්කර 590 ක් පුරා විහිදී ඇත. ගුවන් තොටුපළ විශාල වර්ගයේ ගුවන් යානා සඳහා ජාත්‍යන්තර බලපත‍්‍ර ලබා ඇත. ඉන්දියාව නිදහස ලබා වසර හැත්තෑවක් තුළ ගුවන් තොටුපොළ 74ක් හදා තිබේ. වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පසුගිය වසර හත තුළ තවත් ගුවන් තොටුපොළ 54 ක් ඉදිකර අවසන් කර ඇති බව දැක්වේ. කුෂිනාගර් ගුවන් තොටුපොළ ඉදිකිරීම පෞද්ගලික අංශයට පවරන ලද නමුත් එහි ආදායම ගැන තක්සේරැවකට එන්නට නොහැකි වී තිබේ. ඉදිකිරීම, පවත්වාගෙන යෑම සහ කලකට පසු ආණ්ඩුවට භාරදෙන යෝජනාව යටතේ සැලසුම් කළත් එය අසාර්ථක වීය. උත්තර ප‍්‍රදේශ් මහ ඇමැති ආදිත්‍ය යෝගී පාලනය ගුවන් තොටුපොළ ඉදිකරන කටයුතු තමන්ගේ අතට ගෙන ඇත. 

මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාම් මහත්මිය පසුගිය කාලයේදී තවත් වැදගත් ප‍්‍රකාශ කළාය. අලුත් ගුවන් තොටුපොළ සියයක් ඉදිරි කාලයේදී ඉන්දියාවේ ගොඩනගනු ඇත. එය ඉන්දීය ඉතිහාසයේ සන්ධිස්ථානයකි. අගමැති නරෙන්ද්‍ර මෝදි ආණ්ඩුව එම වැඩ පිළිවෙළට දර්ශනයක් ඉදිරිපත් කොට තිබේ. ඉන්දියාව යා කිරීමය. 2021-21 අය වැය යටතේ මෙම සංවර්ධන කටයුතුවලට ඉන්දීය රුපියල් ටි‍්‍රලියන 1.7 ක් වෙන්කර ඇත. එය ඇමරිකානු ඩොලර් බිලියන 23.7ක මුදලකට සමානය. අවශ්‍ය ඕනෑම පුද්ගලික ව්‍යවසායකයෙකුට ගුවන් තොටුපොළට ආයෝජනය කළ හැකි පරිදි නීති සකස්කර ඇත. 

• ගුවන් ගමන් සබඳතා ඉදිරියට 

ඉන්දියාව 2021 වසරේ සියයට 7.3ක ආර්ථික වර්ධනයක් කරා ගමන් කරනු ඇතැයි ජාත්‍යන්තර වාර්තා දක්වයි. පෞද්ගලීකරණය එහි එක සංධිස්ථානයකි. ගුවන් තොටුපොළ අලුතින් ඉදිකරන අතර ජාතික ගුවන් සේවාව එයාර් ඉන්දියා සමාගම ද පුද්ගලික අංශයට පවරා තිබේ. එය වසර හැත්තෑවකට පසු ගුවන් සේවය නිර්මාණය කළ ටාටා සමූහ ව්‍යාපාරය අයත් කරගැනීම විශේෂ සිද්ධියකි. මෙම සමාගමට තවත් අඩු මිල ගුවන් සේවා දෙකක්ද ඇත. අලුත් පරිපාලනය ලබන වසරේ ව්‍යාපාර මෙහෙයුම් අරඹන බව දැනට නිවේදනය කර ඇත. අලුත් සැලසුම් අනුව එයාර් ඉන්දියා සමාගමේ අලාභ අවම කරගැනීම අරමුණු කරගෙන කලාපීය සේවා වැඩි දියුණු කරනු ඇතැයි සැලකේ. ශ‍්‍රී ලංකාවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට අමතරව රත්මලාන ගුවන් තොටුපොළ ද ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා දියුණු කරන සැලැස්මක් තිබේ. යාපනය ගුවන් තොටුපොළ අංගනය ඉන්දීය ආධාර යටතේ සංවර්ධනය කළ අතර එහි සාමාන්‍ය ගුවන් යානා බැස්සවීමේ හාකියාවක් සහිතය. මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉදිරි කාලයේදී කාර්යබහුල ස්ථානයක් විය හැකිය. ඉන්දියාවේ ඉදිවන අලුත් ගුවන් තොටුපොළ සහ පෞද්ගලීකරණය කරන ලද එයාර් ඉන්දියා සමාගම ශ‍්‍රී ලංකාව සමග අලුත් වටයකින් ගමන් ආරම්භ කරන්නට ඉඩ තිබේ. නොවැම්බර් 15 වැනිදා සිට ඉන්දියාව සංචාරක වීසා නිකුත් කිරීම අරඹයි. පළමු වටයේදී රටවල් කිහිපයකට විවෘත අවස්ථා ලැබේ. ඉන්දු ගී‍්‍ර ලංකා ගුවන් සබඳතා සහ එයින් බෞද්ධ ප‍්‍රබෝධයකට අවශ්‍ය පසුබිම සකස් කරන හා ලිහිල් ප‍්‍රතිපත්ති මත සමාජය ප‍්‍රබෝදය ඇති කිරීම අප සියලුදෙනාගේම වගකීමකි.

 සාරා කන්දෙගොඩ