2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා

කළුතරදී කොටු වූ මධූෂ්ගේ ගෝලයා

 2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 212

පවතින වසංගත තත්ත්වය ආශිර්වාදයක් කරගෙන මත්කුඩු ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ සිදු කරන්නට ඇතැම් පාතාල කල්ලි උත්සාහ ගනිමින් සිටින බවට තොරතුරු ලැබී තිබිණි. වැඩිදුරටත් වාර්තා වී තිබුණේ බස්නාහිර පළාත කේන්ද්‍ර කොටගෙන එවැනි ක්‍රියා සිදුවන බවය. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඒ පිළිබඳ අවධානය යොමුකර විශේෂ පොලිස් ඒකක වෙත උපදෙස් ලබා දී තිබුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත පොලිස් බුද්ධි අංශ හා විශේෂ ඒකකවල නිලධාරීහු බුද්ධි තොරතුරු පදනම් කොටගෙන විශේෂ මෙහෙයුමක් ඇරඹූහ. කළුතර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.එල්.ඒ. නයනජිත් මහතා සිය කණ්ඩායම මෙහෙයවූයේ ඒ අනුවය.

“පොඩි පැටී ගමට ඇවිල්ලා ඉන්නවා. කලින් පාරකුත් ගමට ඇවිත් වැඩි දවසක් නොයා හෙරොයින් එක්ක අහුවුණා. එයාගේ අයියා (ලොකු පැටී).. එයා නම් පේන්න නෑ.. දෙන්නම ඉන්නවා දැක්කොත් මොකක් හරි ලොකු ලෙඩක් තමයි.”

පොලිස් පරීක්ෂක නයනජිත් මහතාට හිතවත් ඔත්තුකරුවකු වෙතින් කියැවුණේ මෙවැනි තොරතුරකි. පාතාල නායකයකුව සිටි මාකඳුරේ මධූෂ්ගේ සමීපතමයකු වශයෙන් පොඩි පැටී කටයුතු කර තිබූ බව නයනජිත් මහතා දැන සිටියේය. එසේම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැටලීම් ප්‍රධානියාව සිටි නියෝමාල් රංගජීව මහතාට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ අයකු බවටද ඔහු හඳුනාගෙන තිබිණි.

තොරතුර ලද වහාම කළුතර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඩී.එල්.ඒ. නයනජිත් මහතා සිය කණ්ඩායමේ නිලධාරීන් සමඟ සාකච්ඡා කොට අදාළ ප්‍රදේශය වෙත පිටත්ව ගොස් තිබුණේ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහාය. ඒ සඳහා සූදානම් වූ නිලධාරීන් කිහිප දෙනෙක් වැලිපැන්න කුරුඳුවත්ත ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ආවේක්ෂණ රාජකාරියේ නිරතව සිටියහ. මේ අතර අදාළ බුද්ධි තොරතුරු පදනම් කර ගනිමින් වැලිපැන්න පොලිස් බල ප්‍රදේශයේ කුරුන්ද හා මීගම ප්‍රදේශයේ රැඳී සිටි ආවේක්ෂණ රාජකාරි සිදු කිරීමට තීරණය කර තිබිණි. එසේ රාජකාරියේ නිරතව සිටියදී සැකකාර පොඩි පැටී හෙවත් ලංතුවාහන්දි සුජීව රුවන් කුමාර (32) නැමැත්තා නිරීක්ෂණයට ලක් කර අත්අඩංගුවට ගැනීමට එම නිලධාරීහු සමත් වූහ.

මෙම සැකකාර පොඩි පැටී නැමැත්තා නියෝමාල් රංගජීව යන මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැටලීම් ප්‍රධානියාව සිටි පොලිස් පරීක්ෂකවරයාට වෙඩි තැබීමේ සිදුවීමට සම්බන්ධ වූවෙකි. එය 2017 වසරේ සිදුවීමකි. නියෝමාල් රංගජීව ඇතුළු පිරිසක් පිළියන්දල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට යමින් සිටියදී එම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබිණි. ඒ සඳහා ඝාතකයන් පැමිණ තිබුණේ යතුරුපැදියකින් බව පසුව අනාවරණය විය. එම වෙඩික්කරු රැගත් යතුරුපැදිය පදවා තිබුණේ ඉකුත් දා අත්අඩංගුවට ගත් පොඩි පැටී නැමැත්තාය. එවක පටන් මාකඳුරේ මධුෂ් හා සබඳතා පවත්වා තිබෙන මොහු හෙරොයින් ජාවාරම හා ආයුධ ජාවාරම සිදු කරමින් කල් ගෙවූ අයෙකි. නියෝමාල් රංගජීවට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව මීට පෙර අත්අඩංගුවට පත්ව සිටි පොඩි පැටීට ආයුධ ජාවාරම සම්බන්ධයෙන් මෙන්ම හෙරොයින් ජාවාරමට එරෙහිව නඩු කිහිපයක්ද වෙයි.

පොඩි පැටී නැමැත්තා අත්අඩංගුවට ගැනීමෙන් පසුව සිදු කළ ප්‍රශ්න කිරීමේදී මීගම ප්‍රදේශයේ අවි ආයුධ කිහිපයක් සඟවා තිබෙන බවට ප්‍රකාශ කර ඇත. ඒ අනුව ඔහු කැටුව පොලීසිය අදාළ කැලෑබද ප්‍රදේශයට ගොස් සෝදිසි කිරීමේදී මිලිමීටර් 3.8 වර්ගයේ රිවෝල්ටර් අවියක් ජීවඋණ්ඩ 5ක් සහ විදේශීය නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් අත්අඩංගුවට ගනු ලැබීය. මේ වන විට සැකකරු වැලිපැන්න පොලීසිය වෙත බාරකර වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතය. මේ අතර සැකකරු කාලයක් යුද හමුදාවේ සේවය කර ඇති බවද ඉන් නීත්‍යානුකූලව ඉවත්ව ඇති අයකු බවද හඳුනාගෙන ඇත. එම ඉවත්වීමෙන් පසුව මාකඳුරේ මධුෂ්ගේ කල්ලිය සමඟ එක්ව ඇතැයි කියති. රංගජීව මහතාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගතව සිටි ඇප මත නිදහස්ව තිබෙන පොඩි පැටී නැවත වැලිපැන්න ප්‍රදේශයට පැමිණි පසු යළිත් පාතාල ක්‍රියාකාරකම්වල නිරත වෙමින් සිටි බව කියති. රිවෝල්ටරය, ජීවඋණ්ඩ හා අත්බෝම්බය සඟවා තිබී ඇත්තේ කිසියම් අපරාධයක් සිදු කිරීම සඳහා වෙනත් පාර්ශ්වයක් වෙත ලබාදීමට බව කළුතර අපරාධ කොට්ඨාසය අනාවරණය කරගෙන තිබේ.

සැකකරුගේ වැඩිමහල් සහෝදරයා සංජීව නැමැත්තෙකි. ඔහු ලොකු පැටී නමින් හඳුන්වන අයෙකි. පාතාල කල්ලි නායකයකුව සිටි මධුෂ්ගේ සමීපතමයකු වන ඔහු දැනට බන්ධනාගාරගතව සිටී. එසේ සිටින අතරතුර හෙරොයින් හා ආයුධ ජාවාරම සිදු කරන බවට තොරතුරැ වාර්තා වෙයි.

පොඩි පැටී නැමැත්තාට අයත් වත්කම් බැරකම් සම්බන්ධව සෙවීමට විමර්ශනයක් අරඹා තිබෙන බව පොලීසිය කියයි. මොවුන් නවීන ජංගම දුරකථන හා ලොව නවතම තාක්ෂණික මෙවලම් භාවිත කරමින් ජාවාරම් සිදු කරන බවද ගනුදෙනු සඳහා ඊෂි කෑෂ් ක්‍රමය භාවිතයට ගන්නා බවද අනාවරණය වී තිබේ.

සැකකාර පොඩි පැටී ඉකුත් 9 වැනිදා මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ලබන 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරිණි. සැකකාර පාතාල කල්ලි සාමාජිකයා අත්අඩංගුවට ගැනීම සඳහා සී.සී.ටී.වී කැමරා දර්ශන භාවිත කිරීමට සිදුව තිබිණි. 1995 සාක්ෂි විධිවිධාන පනත යටතේ මෙන්ම පරිගණක අපරාධ පනත අනුව ඕනෑම සී.සී.ටී.වී කැමරාවක දර්ශන ආරක්ෂක අංශ වෙත ලබාදීම සිදු කළ යුතුය. එවැනි අවැසි විටෙක ආරක්ෂක අංශ අපහසුතාවට ලක් නොකොට ඉදිරිපත් කිරීම සඳහා මහජනතාවට වගකීමක් ඇති බව අවබෝධ කරගත යුතුය.

මේ ආකාරයට මාකඳුරේ මධූෂ්ගේ පාතාලයට සහාය දැක්වූ පොඩි පැටී හා ලොකු පැටී යන අයියා මලෝ දෙදෙනා නඳුන් චින්තක හෙවත් හරක්කටා යන පාතාල නායකයාගේත් ඔහුගේ හෙරොයින් ජාවාරම මෙහෙයවන පානදුර සලිඳු නැමැත්තාගේත් සමීපතමයන් දෙදෙනකු බව හෙළිව තිබේ.

කළුතර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.එල්.ඒ. නයනජිත්, සැරයන්වරුන් වන (30787) නෙළුම් බණ්ඩාර, (41104) සමන්තිලක, කොස්තාපල්වරුන් වන (69479) ප්‍රසන්න, (69615) ජයසූරිය, (75821) ජයසිංහ යන නිලධාරීහු වැටලීමට දායක වූහ.

 සමන්ත ප්‍රදීප් විල්තෙර 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00