2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා

ඉහළ යන බඩු මිලේ රඟේ

 2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 101

මේ වන විට රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක මිල දැරිය නොහැකි ලෙස ඉහළ යාම හේතුවෙන් රටේ ජනතාව පත්ව ඇත්තේ ඉතා අසීරුතාවයකටය. කොවිඩ් වසංගතය වසර එකහමාරකට අධික කාලයක් තිස්සේ රටේ පැවතීමත්, මාස ගණනාවක්ම රට තුළ කොවිඩ් ඇඳිරි නීතිය පනවා තිබීමත් හේතුවෙන් බොහෝ ජනතාවගේ රැකියා අහිමි වූ අතර ඇතැමුන්ට ලැබෙන වැටුපේ අඩුවීමත් සමඟ ජනතාවගේ ආර්ථිකය එන්න එන්නම පහළ බැස ගොස් ඇත. මෙවැනි පසුබිමක රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ඉහළ යාමත් සමඟම ජනතාවට එය දරාගත නොහැකි වී තිබේ.

අද ආණ්ඩුව කළු කඩයක් වෙලා

සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර 

අද ආණ්ඩුව හරියට කළු කඩයක් වගෙයි. අද ඕන ආහාර ද්‍රව්‍ය ටික නැහැ. බඩු මිල දෙතුන් ගුණයකින් ඉහළ ගිහිල්ලා. ආණ්ඩුවට බඩු භාණ්ඩ මිල පාලනය කර ගන්න බැරිවෙලා තියෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා ජනතාවගේ ප්‍රතිචාරය බලන්න පළාත් සභා මැතිවරණය හෝ ප්‍රාදේශීය සභා මැතිවරණය තියන්න. 

මේ වන විට රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ රට තුළ මැතිවරණය පවත්වනවා තබා මැතිවරණයක් සම්බන්ධයෙන් සූදානම් වීමද විහිළුවකි. රජය පවසනු ලබන්නේ කොවිඩ් හේතුවෙන් රටේ ආර්ථිකය පහළ වැටී ඇති පසුබිමක විශාල මුදලක් වැය කොට රට තුළ මැතිවරණයක් පවත්වන්නේ කෙසේද? යන්නය. මේ සියලු දෙයින් අවසානයේදී පීඩා විඳිනු ලබන්නේ රටේ ජීවත් වන සාමාන්‍ය ජනතාවය.

අපට තමයි ඉතින් බඩේ පාර වදින්නේ

කොළඹ සහස්පුර විල්සන් මනතුංග

මේ හැමදේටම කොවිඩ් කොවිඩ් කියලා කියන එක තමයි දැන් ආණ්ඩුව කරන්නේ. ගෑස් මිල දැන් ඉහළ ගිහින්. සමහරු ගෑස් නැතිව දර පාවිච්චි කරන්න කියනවා. මේ කොළඹ මහල් නිවාසවල දර ලිප් පාවිච්චි කරන්න පුළුවන්ද? හෙට අනිද්දා වෙද්දි භූමිතෙල්වලටත් වැඩේ දෙයි. ළමයින්ට කිරි ටිකක් දෙන්න පිටි නැහැ. බත් ටිකක් කන්න හාල් නැහැ. උයන්න ගෑස් නැහැ. මේක දැන් පුදුම රටක්. හැම දේකදිම බඩේ පහර දෙන්නේ මේ අහිංසක අපි වගේ මිනිස්සුන්ට තමයි. අපේම ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගියපු මන්ත්‍රීවරු අද සුරසැප විඳිනවා. ඒ අයට කිසි ගාණක් නැහැ.

හාල්, සීනි, පාන්පිටි, ගෑස් ඇතුළු බොහොමයක මිල මේ වන විට බෙහෙවින් ඉහළ ගොස් ඇත. විශේෂයෙන් ගෑස්වල මිල ඉහළ යාම ඉතා අධිකය. පසුගිය කාලය තුළදී මෙම අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් රට තුළ පැවතිණි. විශේෂයෙන් කිරිපිටිවල මෙන්ම ගොවීන් හා පාලන මිලෙහි තීරණයක් ගැනීමට නොහැකි වීම හේතුවෙන් සහල්වල හිඟයක්ද රට තුළ පැවතිණි. කෙසේ වුවද මේ වන විටත් ගොවීන් හා රජය මගින් ඉදිරිපත් කරනු ලබන පාලන මිල අතර ඇත්තේ දැඩි අර්බුදයකි. මෙයින්ද අවසානයේදී සිදුව ඇත්තේ රට තුළ සහල් හිඟයක් නිර්මාණය වීමය.

වැඩිවීම දරාගන්න අමාරුයි

කැබ් සර්විස් ආයතනයක රැකියාව කරන රනිල්

දැන් නම් කතා කරලා වැඩක් නෑ. ඔය කිසිම කෙනෙක්ට මේ රටේ ජීවත්වෙන අහිංසක මිනිසුන්ගේ බඩගින්න දැනෙන්නේ නැහැ. ආණ්ඩුවට දැන් මේ රටේ මිනිසුන්ගේ ආර්ථිකය ගැන වගක් නැහැ. වෙළෙඳුන් එයාලට හිතුණු හිතුණු හැටියට මිල වැඩි කරනවා. ආණ්ඩුව බලාගෙන ඉන්නවා. කොවිඩ් ඇඳිරි නීතිය ඉවරවෙලා කඩවලින් බඩු ගන්න ගියාම හැම බඩුවකම මිල වැඩිවෙලා. සබන් කැටේ සිට බිස්කට් පෙට්ටියේ සිට හැම දේකම මිල අඩුම තරමින් රුපියල් දහයකින්වත් වැඩිවෙලා. මේක මේ රටේ ජනතාවට කොහොමද දරාගන්න පුළුවන්. දැන් නම් මේ රටේ ඉඳලා එපාවෙලා. දරුවන් ටිකත් අරගෙන පිටරටකට ගිහින් ජීවත් වෙන එක මීට වඩා හොඳයි.

දිවයින පුරා ගෑස්, සිමෙන්ති, කිරිපිටි, තිරිඟු පිටි වැනි භාණ්ඩවල පවතින හිඟය මගහැරීමට පැවති පාලන මිල ඉවත් කිරීමට ඔක්තෝබර් හත් වැනිදා රජය තීරණය කළේය. එම පාලන මිල ඉවත් කිරීමත් සමඟ කිලෝග්‍රෑම් 12.5ක් බරුති ලිට්රෝ ගෑස් සිලින්ඩරයක රුපියල් එක්දහස් හාරසිය අනූ තුනක් වූ පැවැති මිල රුපියල් එක්දහස් දෙසිය පනස් හතකින් වැඩිවිය. ඒ අනුව එම ගෑස් සිලින්ඩරයේ නව මිල වන්නේ රුපියල් දෙදහස් හත්සිය පනහකි. කිලෝග්‍රෑම් 2.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් පන්සිය විස්සකි. මෙලෙස මිල වැඩි කළ ලිට්රෝ ගෑස් සිලින්ඩරයේ මිල නැවත වරක් අඩු කිරීමට එම ආයතනය තීරණය කර තිබිණි. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් දෙදහස් හයසිය හැත්තෑ පහකි. කිලෝග්‍රෑම් 2.5ක ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් පන්සිය හයකි. මේ අතර මීට පෙරදී ලාෆ් ගෑස්වල මිලෙහි යම් වැඩිවීමක් සිදුවූ අතර මෙවරද එහි යම් වැඩිවීමක් සිදුව ඇත. 

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් දෙදහස් අටසිය හතළිහකි. කිලෝග්‍රෑම් 5ක ලාෆ් ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් එක්දහස් එකසිය තිස් හයකි.

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල වැඩියි

ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය 

මේ මිල වැඩි කිරීමට ප්‍රධාන හේතුව වන්නේ පසුගිය වසර එකහමාරක් තුළ ලෝක වෙළෙඳපොළේ එල්.පී. ගෑස්වල මිල ඉතා අසාමාන්‍ය ලෙස වැඩිවීමයි. 2020 ජනවාරි මාසයේදී ඩොලර් තුන්සිය පනහක පැවැති මෙට්‍රික් ටොන් එකක මිල මේ වෙද්දි අටසිය අනූ පහකි. ඉදිරියේදි මෙය ඩොලර් දහස ඉක්මවා යාවි යැයි අපි විශ්වාස කරනවා. ඒ වගේම රුපියල අවප්‍රමාණය වීම ආදී කාරණාද කොවිඩ් හේතුවෙන් ලෝකයේ ප්‍රවාහන කටයුතුවල ඇතිවූ ගැටලු හේතුවෙන්ද මේ ගෑස් මිල වෙනස් කරන්න අපිට සිදුවුණා. යම් ලෙසකින් ජනවාරි, පෙබරවාරි මාසවලදී මෙම මිලෙහි අඩුවීමක් කරන්න හැකිවේවි යැයි අපි හිතනවා.

ජනතාවට සහන දෙන වැඩපිළිවෙළක් ඕනෑ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී ජගත් කුමාර 

විවිධ අවස්ථාවල ආණ්ඩු පක්ෂ රුස්වීම්වලදී දිනෙන් දින භාණ්ඩ මිල ඉහළ යාම නිසා ජනතාවට පීඩාවට පත්වෙන බව කියලා තියෙනවා. ඒ නිසා සහනය දුන්නේ නැත්නම් ආණ්ඩුව කෙරෙහි කලකිරීමක් ජනතාවට ඇතිවෙන බව පෙන්වා දුන්නා. ජනතාවට සහන නොදී අපිට ඉස්සරහට යන්න බැහැ. ඒ නිසා ජනතාවට සහන දෙන ගමන් ජනතාවට දුන් පොරොන්දු ඉෂ්ඨ කිරීමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතු වෙනවා.

කෙසේ වෙතත් ගෑස් මිල අසීමාන්තික ලෙස ඉහළ යාමත්, තිරිඟු පිටිවල මිලෙහි ඉහළ යාමත් හේතුවෙන් බේකරි නිෂ්පාදනවල මිලෙහි වැඩිවීමක්ද පසුගියදා සිදුවිය. මේ අනුව රුපියල් අසූ හතක්ව පැවැති තිරිඟු කිලෝවක මිල රුපියල් දහයකින් වැඩිවීමත් සමඟ තිරිඟු පිටි කිලෝවක නව මිල ලෙස රුපියල් අනූ හතක් ලෙස සටහන් විය.

ආර්ථිකය පහළ බැසීමත් සමඟ මෙරට ජනතාව පත්වූ ඉරණම සුළුපටු නොවේ. මාසික වැටුපක් ලබන සේවකයා සේම එදාවේල හම්බකර ජීවිතය ගෙන යන කම්කරුවා, සුළු සේවකයා දක්වා මේ අසීරුතාවයට මුහුණ දෙති. අහස උසට ගිය හාල් මිල, එළවළු මිල, ගෑස් මිල පමණක් නොව කුසගින්න නිවාගන්නට දරුවකුට කිරි උගුරක් සාදා දෙන්නට අද හැකියාවක් නැත. දිගු පෝලිම්වල හිඳ කිරිපිටි පැකැට්ටුවක් ගන්නට සිදුවන කාලය අවසන් වන පෙරනිමිති පෙන්වන්නේ ඉතා ඉහළ ගිය කිරි පැකැට්ටුවේ මිල සඳහන් වීමත් සමඟය. ඇතැම්විට කූට වෙළෙඳුන් සූක්ෂම ලෙස භාණ්ඩ සඟවා තබා ගනිමින් භාණ්ඩවල හිඟයක් පෙන්නුම් කරන්නට උත්සාහ කරන අතර මිල ඉහළ ගිය සැණින් වෙළෙඳපොළේ හිඟව පැවැති භාණ්ඩ වෙළෙඳපොළට එයි. මේ සියලු සිදුවීම්වලින් පීඩා විඳින්නේ රටේ අසරණ ජනතාවයි. මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන්ට මේ අසරණ මිනිසුන්ගේ ජීවිත පිළිබඳව ගාණක් නැතැයි සමහරු චෝදනා කරති. 

අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉතා ශීඝ්‍රයෙන් ඉහළ ගියද රටේ රාජ්‍ය හෝ පෞද්ගලික අංශවල සේවය කරනු ලබන සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් සිදු නොවේ. ඒ සම්බන්ධයෙන් ඇතැම් වෘත්තීය සංගම් හඬක් නැගුවද, උද්ඝෝෂණ පැවැත්වුවද ඒ කිසිදු වෑයමකින් නිසි ප්‍රතිඵලයක් නොලැබේ. තවමත් කොවිඩ් වංසගතය මෙරට පවතින කලක උද්ඝෝෂණ, ඒකරාශි වීම් අනුමත කළ නොහැක. නමුත් සේවකයන්ගේ වැටුප් සම්බන්ධවද මීට වඩා අදාළ ආයතන, නිලධාරීන් සැලකිලිමත් වීම ඉතා වැදගත්ය. සියල්ල වැඩි වුවද මෙරට ජනතාවගේ වැටුප් වැඩිවීමක් නැත.

සාධාරණ ගාණකින් මිල වැඩි කළා

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන

පිටිවල ඉහළ යාම හේතුවෙන් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල ඉහළ දමන්නට අපිට සිදුවෙනවා. ඒ අනුව ග්‍රෑම් 450ක් බර පාන් ගෙඩියක් රුපියල් පහකින් වැඩි කරන්නට අපි තීරණය කරල තියෙනවා. ඊට අමතරව බනිස් සහ ෂෝටීස් වර්ගවල මිල පාරිභෝගික ජනතාවට අසීරු වන සේ වැඩි නොකොට සාධාරණ මිලකින් වැඩි කරන්න කියල අපි සියලුම බේකරි නිෂ්පාදකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

දිනපතා ආපනශාලාවලින් ආහාර ලබාගන්නා ජනතාවගේ මුදල් පසුම්බියටද දැනෙන ලෙස මිලෙහි වැඩිවීමක් සිදුව ඇත. ආපනශාලාවල ඇති ආහාරපානවල මිල වැඩිවීමත් සමඟ දිනපතා කඩකෑම ආහාර ගන්නා සුළු සේවකයාගේ සිට සෑම කෙනකුටම එය තදින්ම දැනෙයි. මේ අනුව කිරි තේ එකක මිල රුපියල් 60ක් දක්වාද කෑම පාර්සලයක් රුපියල් දහයකින්ද මිල වැඩි වී ඇත.

බත් පාර්සලේ මිල වැඩි කරද්දී ජනතාව ගැනත් අපි බැලුවා

ආපනශාලා හිමියන්ගේ සභාපති අසේල සම්පත්

මේ අය කියන්නේ මේ මිල වැඩි වෙන්නේ ලෝක වෙළෙඳපොළේ මිල වැඩිවීම නිසා කියලයි. ඒක අපි පිළිගන්නවා. නමුත් එකවරම මේ ගෑස් මිල එක්දහස් ගණනකින් වැඩිවීම තුළින් මේ රටේ ආහාරපාන කර්මාන්තයට බරපතළ අර්බුදයකට මුහුණපාන්න සිදුවෙනවා. මේ මිල වැඩි කිරීමත් එක්ක කෑම පාර්සලයක් රුපියල් තිහකින් වැඩි කළ යුතු වෙනවා. නමුත් මේ මොහොතේ රජයට වඩා සමාගම්වලට, කම්පැනිකාරයන්ට වඩා මානුෂික වෙලා කෑම පැකැට්ටුවක් රුපියල් දහයකින් පමණක් වැඩි කළේ පාරිභෝගිකයන් අපෙන් ඈත්වෙන නිසයි. අපි මේ රුපියල් දහයකින් වැඩි කිරීම පාඩුයි. නමුත් ඒ පාඩුව විඳගෙන අපි කොහොම හරි යනවා. නැත්නම් මේ කර්මාන්තය කඩාගෙන වැටේවි. මිනිසුන් හෝටල්වලින් ආහාර ගැනීමෙන්ඈත්වෙනවා. මේ නිසා පෝෂණය පිළිබඳ රට තුළ බරපතළ ප්‍රශ්නයක් මේ වැඩිවීමත් එක්ක ඇතිවේවි. ගෑස්, කිරිපිටි, පාන්පිටි ආදී අත්‍යවශ්‍ය ආහාරවල ඉහළ යාමෙන් නිරෝගී සම්පන්න පරපුරක් වෙනුවට රෝගී පරපුරක් ඇතිවෙන එක වළක්වන්න බැහැ. මේ රටේ ආපනශාලා කර්මාන්තයට කිසිදු රාජ්‍ය නායකයෙක් සලකන්නේ නැහැ. මේ මොහොතේ රජය ගැන නොසිතා මේ රටේ ජනතාව ගැන හිතලා තමයි අපි මේ තීරණය ගත්තේ. යැයි ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා දේශයට පැවසීය.

 දිශානි ජයමාලි කරුණාරත්න