
උණවටුන සංචාරක කලාපය දෙස් විදෙස් සංචාරකයන්ගේ පාරාදීසයකි. ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට මෙකී වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන් එකකි. කවාකාර හැඩයකින් යුතුව වෙරළ තීරය පිහිටා ඇත්තේය.
කොවිඩ් හේතුවෙන් ඇදවැටුණු උණවටුන සංචාරක කලාපය වෙත මේ වනවිට විදේශිකයන් ඉතා කුඩා කණ්ඩායම් වශයෙන් පැමිණීමට පටන්ගෙන තිබේ. ඒ විතරක් නොව ඇතැම් හෝටල් සඳහා විදේශීය සංචාරකයන්ගෙන් ඇනවුම් පවා ලැබී තිබේ. ඔවුහු අන්තර්ජාලය හරහා හෝටල්වල කාමර වෙන්කර ගැනීමට කටයුතු කරමින් සිටිති. යළිත් වතාවක් උණවටුන සංචාරක කලාපයට හොඳ කලදසාවක් උදාවන ලකුණු පෙනේනට තිබේ. උණවටුන සංචාරක කලාපයේ හෝටල් හිමියන් හා ව්‍යවසායකයින් බලාපොරොත්තු සහගතව යළි සංචාරක කර්මාන්තයේ නිරතවීමට සූදානමින් පසුවෙති.
උණවටුන හෝටල් හිමියන්ගේ සංගමයේ ලේකම් රිදිවිලා හෝටලයේ හිමිකරු සුමිත් උබේසිරි මහතා අපි සමඟ කීවේ මෙවැනි කථාවකි.
සංචාරක සමය සඳහා අපි සුදානම් වෙලා ඉන්නේ. අපේ බලාපොරොත්තුවක් තියෙනවා දෙසැම්බර් මාසය වනවිට විදේශීය සංචාරකයන් පැමිණේවි කියලා. රුසියානු ජාතික විදේශිකයන්ගෙන් අපිට ඇණවුම් ලැබිලා තියෙනවා. මෙම මස 20 වැනිදා සිට රුසියානු සංචාරකයන් අපේ හෝටලයේ කාමර වෙන්කරවා ගෙන තියෙනවා. වෙනදා ඔවුන් හෝටල් කාමර වෙන්කරවා ගන්නේ දින දෙකකට තුනකට නමුත් මෙවර ඔවුන් සති දෙකක කාලයක් සඳහා කාමර වෙන්කරවාගෙන තියෙනවා. ඒක හොඳ දෙයක්. යුරෝපීය රටවල සංචාරකයන් මෙන් රුසියානු ජාතික විදේශිකයන් හොඳට මුදල් වියදම් කරනවා. කෙහොම වුණත් මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන් රස්තියාදු කිරිම හොඳ දෙයක් නෙවෙයි. කොවිඩ් එන්නත් දෙකම කර ඇත්නම් විදේශිකයින් කඩනමින් අදාළ හෝටලය වෙත යොමුකළ යුතුයි. දැනට මෙරට සිට මොස්කව් දක්වා එක් ගුවන් ගමනක් පමණයි. ක්‍රියාත්මක වන්නේ සතියකට ගුවන් ගමන් දෙකක්වත් ක්‍රියාත්මක කළ යුතුයි. රුසියානු ජාතිකයන්ට ඉංග්‍රිසි භාෂාව බැහැ. මේ නිසා ගුවන්තොටුපොළේදී මොවුන් අතරමැදි තැරුව්කරුවන්ට හසුවෙනවා. එය වැළැක්වීමට කටයුතු කළයුතු වෙනවා.
උණවටුණ තම්බපන්නි හෝටලයේ කළමනාකරු ප්‍රියන්ත කාරියවසම් මහතා මෙසේ කීවේය.
නොවැම්බර් දෙසැම්බර් මාසය වනවිට සංචාරක කර්මාන්තය සියයට 30ක් 40ක් විතර හරියාවි කියලා අපේ බලාපොරොත්තුවක් තියෙනවා. රුසියානු ජාතික සංචාරකයන් නම් දැනටත් එනවා. අපේ හෝටලයේ දේශීය සංචාරකයන් පිරිසක්ද ඉන්නවා. මේ වනවිට ජර්මනිය, ඇතුළු යුරෝපීය රටවල විදේශීය සංචාරකයන්ගෙන් බුකින් ලැබෙමින් තියෙනවා. අපිට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. කොවිඩ් වසංගතයෙන් පසු යළි සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත්වේවි කියලා කොවිඩ් වසංගතය හමුවේ වුවද කිසිදු සේවකයෙකු ඉවත් නොකර අපි හෝටලයේ කටයුතු කරගෙන යනවා.

උණවටුන සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක හෝටල් හා ව්‍යවසායකයන්ගේ සංගමයේ සභාපති නීතිඥ රූපසේන කොස්වත්ත මහතා:
පාස්කු ප්‍රහාරයෙන් ඇදවැටුණු සංචාරක කර්මාන්තය 2019 වර්ෂයේ දෙසැම්බර් මස යම්කිසි ප්‍රගමනයක් ලැබුවා. නමුත් කොවිඩ් සමග කඩා වැටුණා. යළි සංචාරක කර්මාන්තය ආරම්භ කිරීමේදී සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසායකයින් මුහුණදෙන ගැටලු ගැන සොයාබැලිය යුතුයි. එහෙම සොයා බැලීමේ වැඩපිළිවෙළක් නැහැ. සංචාරක ව්‍යාපාරිකයන් සඳහා යම්කිසි ණය සහනයක් හඳුන්වා දුන්නා. නමුත් එතුළින් වෙලා තියෙන්නේ ඔවුන් කබලෙන් ලිපට වැටීම. මේ සංචාරක ව්‍යසායකයන්ගේ ණයබර දිගින් දිගටම වැඩිවෙලා තියෙනවා. දැනට වසර දෙකක කාලයක සිට සංචාරක හෝටල් හිමියන් හෝටල් වසාදමලා තියෙන්නේ ඇතැම් අය සාමාන්‍ය අයුරින් පවත්වාගෙන යනවා. සංචාරක කර්මාන්තය දෙසැම්බර් මාසයේදී ගොඩනගා ගැනීමට නම් සංචාරක ව්‍යාපාරිකයන්ට යම්කිසි ණය මුදලක් ලැබෙන්න ඕන. තම ව්‍යාපාරික ස්ථාන අලුත්වැඩියා කරගන්න. අවශ්‍ය උපකරණ මිලදී ගන්න. මේ අපහසුතාවය උණවටුනේ සියලුම සංචාරක ව්‍යවසායකයන් මුහුණදීලා තියෙනවා. රජය විසින් සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යසායකයන් නගා සිටුවීම සඳහා යම්කිසි වැඩපිළිවෙළක් සකස් කළයුතුයි. නමුත් රජයේ එහෙම වැඩපිළිවෙළක් නැහැ.
උණවටුණ සංචාරක කලාපයේ සුළු පරිමාණ හෝටල් හිමියකු වන එච්.කේ. නීල් (43) මහතා:
සංචාරක මණ්ඩලය මගින් විදේශීය සංචාරකයන් සිටිය යුතු හෝටල් නම් කිරීම සුදුසු නැහැ. තරුපහේ හෝටලයක සිටින සංචාරකයන් කුඩා හා මධ්‍ය පරිමාණ හෝටල්වලට එන්නේ නැහැ. කුඩා හා මධ්‍ය පරිමාණ හෝටල්වල ඉන්න සංචාරකයා තරුපහේ හෝටල්වලට යන්නේ නැහැ. මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින් වියදම් කරන මුදලක් තියෙනවා. ඒ අනුව තමයි ඒ අය වැඩකරන්නේ. අපි රජයෙන් යැපෙන අය නෙවෙයි. අපි රජයට බදු ගෙවලා රජයටත් උදව්වක් තමයි කරන්නේ. රට යථා තත්ත්වයට පත්වීමෙන් පසු නැවත සංචාරක කර්මාන්තය ආරම්භ කරන විට හෝටල් පිරිසිදු කරලා වැඩ ගොඩක් කරන්න තියෙනවා. නමුත් ඒ කටයුතු කරගන්න හෝටල් හිමියන් සතුව මුදල් නැහැ. දුරකථන, ජලය විසන්ධි කරලා. ගැටලු රාශියක ඉන්නේ. සහනදායි ලෙස බැංකු ණයක් දෙනවා කිවාට. රජය කියන දේවල් එම ආයතනවලින් වෙන්නේ නැහැ.
හෝටල් හිමිකරුවකු වන සමීර සේනක ද සිල්වා මහතා:
කොරෝනා වසංගතයත් සමග උණවටුණ සංචාරක කර්මාන්තයේ නිරත සුළු හා මධ්‍ය පරිමාණ හෝටල් හිමියන් දැඩි අසරණ තත්ත්වයට පත්වෙලා ඉන්නේ. ණය ගෙවාගන්න බැරිව ලිසිං ගෙවාගන්න බැරිව ව්‍යාපාරිකයින් අසරණ වෙලා ඉන්නේ. ආණ්ඩුව සහන දෙනවා කීවාට අපිට කිසිදු සහනයක් ලබාදීලා නැහැ. අසහනයක් තමයි වෙලා තියෙන්නේ. අපි බැංකුවලින් ලිසිං ආයතනවලින් ගත්තු ණයවල වාරිකවලට පොලියක් අය කරනවා. සංචාරක කර්මාන්තය බිංදුවට වැටිලා තියෙන්නේ. ඉදිරියේදී උණවටුණට විදේශීය සංචාරකයින් පැමිණේවි කියලා අපි බලාපොරොත්තුවෙන් ඉන්නේ. දැනට අබලන්ව ජරාවාස වී ඇති හෝටල් යළි අලුත්වැඩියා කිරීම සඳහා සහනදායි ක්‍රමයට අපිට ණය මුදලක් ලබාදිය යුතුයි.
කුසුම්සිරි විජේනායක (50) උණවටුන සංචාරක කලාපයේ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන් සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන අයෙකි.
උණවටුන සංචාරක කලාපයේ සම්බාහන මධ්‍යස්ථාන 30ක් විතර තියෙනවා. අපි නිත්‍යානුකූලව තමයි මෙම කටයුතු කරගෙන යන්නේ. බලපත්‍රයක් අරගෙන ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කරලා තමයි සම්බාහන මධ්‍යස්ථානය පවත්වාගෙන යන්නේ. මෙකී සම්බාහන මධ්‍යස්ථානවල සියයක් විතර සේවය කරනවා. නමුත් මේ වනවිට විශාල පිරිසකට රුකියා නැතිවෙලා තියෙනවා.

උණවටුන සංචාරක කලාපයේ කිමිදුම් උපදේශකවරයකු ලෙස කටයුතු කරන මලිත් පල්ලියගුරු (42) බලාපොරොත්තු සහගතව සංචාරක කර්මාන්තය ගැන කථා කළේය.
ඉන්දියානු හා රුසියානු ජාතික විදේශීය සංචාරකයින් නම් දැන් ටික ටික උණවටුනට පැමිණෙනවා. අපේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා උණනවටුණේ සංචාරක කර්මාන්තයට නැවත වතාවක් හොඳ කලදසාවක් උදාවේවි කියලා. පසුගිය කාලයේ නම් රුපියල් දහසක්වත් හොයාගන්න බැරිවුණා.
විදේශීය සංචාරකයින්ගේ විනෝදාස්වාදය සඳහා පාපැදි හා බෝට්ටු සේවාවක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයකු වන චමීර ද සිල්වා මහතා කථාකළේ දැඩි කලකිරීමෙනි.
සංචාරක ව්‍යාපාරය යළි පණගැන්වීම සඳහා ආණ්ඩුවෙන් කියන කථාන්දර නම් කෙරෙන්නේ නැහැ. පාස්කු ප්‍රහාරයෙන් තමයි සංචාරක ව්‍යාපාරයේ කඩාවැටීම ආරම්භ වුණේ. බැංකුවලින් ගත් ණය සඳහා වසර තුනක කාලයක් තුළ මට රුපියල් ලක්ෂ 10ක පොලී ගෙවන්න කියලා ලියුම් ඇවිල්ලා තියෙනවා. පොලී මුදලටත් සියයට 7ක පොලියක් එකතු කරනවා. රටට ඩොලර් ගෙනාපු අපිට මෙහෙම තමයි කරන්නේ. වසාදමා ඇති ව්‍යාපාරික ස්ථානයටත් වාණිජ්‍ය මට්ටම සලකා තමයි විදුලිබිල එන්නේ. විදුලිබිල ප්‍රමාද වුණොත් විදුලිය විසන්ධි කරනවා. ජල බිලත් එහෙමයි. මෙවැනි තත්ත්වයක් තමයි ඇතිවෙලා තියෙන්නේ.
යක්කලමුල්ල ජේ.කේ.එල්. චාමින්ද