අතින් අල්ලා තහවුරු කරගෙන විශ්වාස කරන ද්‍රව්‍ය භාවිත කරන යුගයට තර්ජනයක් එල්ල වෙමින් තිබේ. ඉතිහාසයේ සිට විවිධ ද්‍රව්‍යවලට වටිනාකම් නියම කර ඇත. දුලබ දේ වටිනා අතර ඒවාට ඉල්ලුමක් පවතී. රන්, රිදී හා ලෝකඩ යුගයේ සිට මුද්‍රණය කරන ලද නෝට්ටු දක්වා පැමිණි ගමන තීරණාත්මක මංසංන්ධියකය. අතින් අල්ලන්නට නොහැකි, එහෙත් නොතිත් ඉල්ලුමක් සහිත අන්තර්ජාල මුදල් ඒකක නිර්මාණය වී තිබේ. මෙම මුදල් ඒකක දැනටමත් ධනවතුන් අතර හුවමාරු වෙයි. ඒවායේ හැබෑ වටිනාකමක් සඳහන් නමුත් එය ඉක්මවන අති විශාල මිලකට හුවමාරු වන අවස්ථා ගැන වාර්තා වෙයි.
ශ්‍රී ලංකාවට ද මෙම“ අද්භූත මුදල්” පරිහරණය කරන්නට සිදුවන දිනය වැඩි ඈතක නොවේ. ක්‍රිප්ටෝ කරන්සි යනුවෙන් සරලව කියැවෙයි. අප්‍රකාශිත විද්‍යුත් මුදල් විශේෂයකි. ශ්‍රී ලංකාවේ පවා තරුණ සමාජයේ ඇතැම් පිරිස් දැනටමත් ඒවා හුවමාරු කර ගනිමින් සිටිති. ලෝකයේ කුප්‍රකට සමාජය පමණක් නොව අනාගතය ගැන සිතන ධනවතුන් පවා සිය රහසිගත අන්තර්ජාල ගිණුම්වල ක්‍රිප්ටෝ ධනය තැන්පත් කර ඇත. මෙම මුදල් හුදෙක් විචිත්‍රය. ඉතාම අවදානම් සහගත ව්‍යාපාරයක් වෙන්නට ද ඉඩ තිබේ.
නොපෙනෙන මුදල් ඉතිහාසය ගැන යමක්
නොපෙනෙන මුදල් ව්‍යවහාරයක් ගැන අදහස එන්නේ 2007 වසරේදීය. ජපන් ජාතිකයකු වන සතෝෂි නකමොටෝ සංකල්පය ඉදිරිපත් කරන ලද පුද්ගලයා වශයෙන් සැලකෙයි. ලෝකයේ මුදල් අර්බුදයක් පවතින අවස්ථාවක ධනය සෙවිය හැකි මගක් වශයෙන් එය සංවර්ධනය කර තිබේ. පළමුව මෙකී අදහසට එකඟ නොවන පිරිස බහුලය. අන්තර්ජාලයෙන් ගනුදෙනු කිරීම පවා සීමිත කණ්ඩායමකට පවරාගෙන තිබුණු කාල වකවානුවක ධනය ඉලක්කම් බවට හරවා තැබීම ප්‍රශ්නයක් බව පැහැදිලිව පෙනුණි. ඉතිහාසයේ සිට වෛද්‍ය විද්‍යාව, තාක්ෂණය ඇතුළු අංශ දියුණු වන විට පළමුවෙන් විස්මයකි. බහුතරයක් ඒවා පිළිගැනීමට කැමැති නැත. පසුව එයට හුරුවෙති. නකමොටෝ ක්‍රමය සංවර්ධනය කරන පත්‍රිකාවක් සැකසීය. බිට්කොයින් යනුවෙන් සංකේත නිර්මාණය කළ අතර ඔහු හෝ ඔහුගේ මිතුරකු අන්තර්ජාලයේ වෙබ් අඩවියක් 2008 වසරේ අගෝස්තු 18 වැනිදා නිර්මාණය කර තිබිණි. මාස දෙකකට පසු ඔහු ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් අන්තර්ජාලයෙන් ගිණුමකින් ගිණුමකට යන වටිනාකම් ව්‍යවහාරයක් ප්‍රසිද්ධ කළේය. එය ලෝකය කළඹන දෙයක් නොවෙතැයි එදා තක්සේරු කරන්නට ඇත. සාමාජිකත්වය ගන්නා අයට බිට්කොයින් කාසි පනහක් තිළිණයක් සේ ලැබිණි. ඔහු නොනවත්වා මෙම ජාල පද්ධතිය සංවර්ධනය කළ අතර ප්‍රතිචාර අල්ප විය. පසුව 2010 වසරේ දී ඔහු සිය ව්‍යායාමය අනෙක් පාර්ශ්වයකට පිරිනමා තිබේ.
2011 දී ඉලෙක්ට්‍රොනික් ප්‍රොන්ටෙයාර් පදනම නමැති ආයතනයක් බිට්කොයින්, ක්‍රිප්ටෝ කරන්සි නමින් ප්‍රකට මුදල් හුවමාරැව ව්‍යාප්ත කරන පියවරකට අවතීර්ණ වී ඇත. ප්‍රකට සමාජ ජාලා, ප්‍රදානක වැඩසටහන් පළමුවෙන් තෑගි වශයෙන් මෙම නොපෙනෙන මුදල් බාරගැනීම අරඹා තිබේ. එයින් වසරකට පසු බිට්කොයින් පදනම නිර්මාණය වී ඇති බව ද ලෝකය පුරා රටවල් ගණනාවක ස්ථාන දහසක් බිට්කොයින් ගනුදෙනු පිළිගන්නා බව නිවේදනය කර ඇති බවද පෙන්වා දිය යුතුය. සම්මත මුදල් සම්බන්ධ ප්‍රශ්න ඇවිලෙන විට ජනයා විකල්ප සොයති. ධනවතුන්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කරන, නීති තර කරන විට විකල්ප වෙත හැරෙති. අනාවරණය කළ නොහැකි මුදල් රටකින් රටකට ගෙන යන්නට ද මෙම විද්‍යුත් මුදල් එනම් නොයෙක් නම්වලින් කියැවෙන බිට්කොයින් අවස්ථා සම්පාදනය කරන බව කියැවේ. ඒවා හුවමාරු කරන අවස්ථා කෙසේ වෙතත් තමන්ගේ නමට ධන සම්භාරයක් එකතුවීම අත්හැරිය නොහැකි අවස්ථාවක් වශයෙන් මෙම මුදල් එකතු කරන්නෝ කල්පනා කරන බව පෙනේ. අනෙක ක්‍රිප්ටෝ කරන්සි වශයෙන් ඒවායේ වටිනාකම දිනපතා ඉහළ පහළ යයි. ඉල්ලුම අනුව විශාල වර්ධනයක් ඇතිවෙයි. අඩුවන කාලයේ මිල දී ගන්නා ගනුදෙනුකරුවන් ඒවායේ මිල වැඩිවන විට වහා විකුණා දමන ව්‍යාපාර වශයෙන් ද කරගෙන යන බව අනාවරණය වන කරුණකි.
කොටස් වෙළෙඳාම - පිරමීඩ හා විද්‍යුත් මුදල්
කොටස් වෙළෙඳපොළ, පිරමීඩ ගනුදෙනු හා විද්‍යුත් මුදල් යනු වෙනම පද්ධති තුනකි. ඒවායේ කිසිම ආකාරයකට සම්බන්ධතාවයක් නොපෙනේ. එහෙත් අවදානමක් තිබේ. රට රටවල මුදල් ඒකකවලටද අනතුරක් නැති බව දක්වන්නට පුළුවන්කමක් නැත. නමුත් බහුතරයක් පිළිගන්නා හෙයින් ඒවායේ වටිනාකම නිර්මාණය වී ඇත. මුද්‍රණය කළ කඩදාසියකට විශාල වටිනාකමක් දෙන්නේ කෙසේද? ඒ හා සමානව විද්‍යුත් මුදල වටා ද කේන්ද්‍රයක් නිර්මාණය කරගෙන තිබේ.
කොටස් වෙළෙඳාම නීත්‍යානුකූලය. ලෝකයේ ප්‍රකට කොටස් වෙළෙඳපොළ තිබේ. ඒවායේ ලැයිස්තු ගත කරන සමාගම් සිය කොටස් ප්‍රාථමික වශයෙන් නිකුත් කරන අතර සමාගම්වල ප්‍රගතිය හා මූල්‍ය වාර්තා සලකා බලන පිරිස් සීමිත කොටස් මිල දී ගන්නට තරගයක් ඇතිකර ගනිති. එහි ප්‍රතිඵලය මූලික වටිනාකම අභිබවා ඉතා අධික මිල ගණන්වලට විකිණීමට අවස්ථාව පෑදීමය. එහි ද වාසි අවාසි තිබේ. සමහර ව්‍යාපාර දුබල වන විට, මූලික වටිනාකම හෝ සොයාගත නොහැකිව ආයෝජකයෝ අසරණ වෙති.
පිරමීඩ වෙනස් ජාවාරමකි. තමන් මිල දී ගන්නා කූපන් සිය සගයන්ට විකිණිය යුතුය. එය පිරමීඩයක් ආකාරයකට ගමන් කරන විට අති විශාල ධනයක් ආපසු ලැබෙන බව උපකල්පනය කරයි. නමුත් කූපන් මිල දී ගන්නා සියලු දෙනා එහි ඇති මූලික වටය අවසානයේ පැත්තකට වන අතර පාඩුව විඳ දරා ගනිති. එයින් ක්‍රමය බිඳ වැටේ. ලෝකයේ සියලුම දෙනා මේවා විශ්වාස නොකරන හෙයින් වංචාවලට ගොදුරු වීම බහුලය. ශ්‍රී ලංකා මහ බැංකුව පවා මෙම පිරමීඩ ජාවාරමක් සේ හඳුන්වන අතර ගනුදෙනු නීති විරෝධී බව දක්වයි. නමුත් ලාභ වෙනුවෙන් යොමුවීම මිනිස් ස්වභාවයයි. නීත්‍යානුකූල නැති බව හා වංචා බව පුන පුනා ප්‍රකාශ කරන නමුත් එහි ගැලෙන්නෝ විරල නොවෙති.
විද්‍යුත් මුදල් යනු වෙනම ව්‍යවහාරයකි. බැංකු පද්ධති හා රටවල් අතර සිදු කෙරේ. 2012 දී යුරෝපා කොමිසමට ස්වල්ප කාලයකට කලින් අමෙරිකාව මෙම විද්‍යුත් මුදල් ගැන අර්ථකථන ප්‍රකාශ කර ඇත. අප මෙහි දී සාකච්ඡා කරන ක්ලිප්සෝ කරන්සි හෙවත් විවිධ වර්ගයේ, වටිනාකමක් ඇති බව දක්වන අන්තර්ජාල බිට්කොයින් ඒවායේ අනු ප්‍රභේදකයකි. විද්‍යුත් මුදල් හුවමාරැවට සමහර රටවල් හා ආණ්ඩු පෙළැඹවී ඇති නමුත් තවමත් බිට්කොයින් - ක්‍රිප්ටෝ කරන්සිවලට රාජ්‍ය අතර වටපිටාවක් නිර්මාණය වී නැත.
දෘෂ්‍ය මුදල් ගැන මහ බැංකුවේ අනතුරු ඇඟවීම
ශ්‍රී ලංකා මහ බැංකුව අතින් අල්ලා ස්පර්ශ කරන්නට නොහැකි මුදල් ගැන දෙවතාවක් කරුණු දක්වා ඇති බව සඳහන් කිරීම වැදගත්ය. බිට්කොයින්, එතිරියුම්, ලිට්කොයින් ආදී වශයෙන් ප්‍රකට මෙම සංකේත මහ බැංකුව පිළිනොගන්නා අතර ඒවා විශ්වාස කරන අයවලුන් අතර තිබිය හැකි බව පැහැදිලිව කියා තිබේ. ගනුදෙනුවලදී ආරවුල් ඇතිවුවහොත් ඒවාට මැදිහත් නොවන අතර විශාල වටිනාකම් පෙන්වන නමුත් එම ඒකක බිඳවැටීමේ දී සිදුවන සියලු අවාසි ගනුදෙනුකරුවන් දරාගත යුතු ප්‍රතිවිපාක වශයෙන් දක්වයි. අතින් ඇල්ලිය නොහැකි මෙම ගනුදෙනු ක්‍රම, මුදල් විශුද්ධිකරණයට ද අදාළ විය හැකි බව කියා තිබේ. මත්ද්‍රව්‍ය, ආයුධ වෙළෙඳාම, ඖෂධ ජාවාරම් හා ඛණිජ තෙල් වැනි අංශවල බහුලව කළු සල්ලි හුවමාරු වෙයි. ත්‍රස්තවාදී සංවිධාන ඒවායෙහි බහුලව නිරත වෙයි. සමහරවිට මෙම නොපෙනන බිට්කොයින් අවසානයේ දී ත්‍රස්තවාදී මනදොල සපුරන අංශ වෙත ක්‍රමානුකූලව විහිදෙන්නට ඉඩ ඇති බව සමහර විචාරක අදහස වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ් මුදල් හුවමාරු පිළිගෙන ඇති නමුත් ඒවායේ ගිණුම්වල මුදල් ඇති බව දැක්විය යුතුය. මෙම කාඩ්පත් සඳහා හෝ මුදල් ගෙවීමට මෙම ක්‍රිප්ටෝ මුදල්වලට හැකියාවක් නැත. ශ්‍රී ලංකාව තුළ මෙම මුදල් ඒකක භාවිතයට, නියාමනයට හෝ ඒවා වෙනුවෙන් නීත්‍යානුකූල සමාගම් පිහිටුවීමට මෙතෙක් අවසර දී නැත.
කෙසේ නමුත් කැබිනට් මණ්ඩලය මෙකී ක්‍රිප්ටෝ මුදල් ආයෝජනය කරන සමාගම් අලුත් අවස්ථාවක් වශයෙන් සලකා බලන්නට සූදානමක් ඇති බව ප්‍රකාශ වී තිබේ. කැබිනට් මණ්ඩලයේ දී දැනට ව්‍යාප්ත වන මෙම ව්‍යාපාර අවස්ථාව ගැන ද අවධානය යොමු කර ඇත. ක්‍රිප්ටෝ මුදල් ජනනය කරන සමාගම්වලට ආයෝජන අවස්ථාවක් වශයෙන් ඉඩ දෙන්නට කැබිනට් මණ්ඩලය අදහස් කරන බව පෙනේ. ලෝකයේ ප්‍රකට ආයෝජන සමාගම් ඒවා පිළිගන්නේ නම් බැහැරව සිටින්නට හැකියාව සීමිතය. ශ්‍රී ලංකාව විවෘත ආර්ථික ක්‍රමයට අනුව කටයුතු කරන රටකි. විවිධ ව්‍යවසායකයෝ ශ්‍රී ලංකාව දෙස අවධානයෙන් සිටිති. ලෝක ප්‍රජාව වේගයෙන් විද්‍යුත්කරණයට ඇතුළු වෙමින් සිටින වකවානුවකි. සියලු ලිපිලේඛන පවා විද්‍යුත් තැපෑලෙන් හුවමාරු වන අතර අතීතයේ අත්සනක් හෝ නිල මුද්‍රාවක් රහිතව පිළිනොගත් ඉතාම වැදගත් ලේඛන ඊ මේල් පණිවුඩයකින් පිළිගන්නා තැනට පත්ව තිබේ. කෙසේ වෙතත්, ක්‍රිප්ටෝ මුදල් ආයෝජනය ගැන කැබිනට් මණ්ඩලයට උපදෙස් ගැනීම සඳහා අට දෙනකුගෙන් යුතු විශේෂඥ මණ්ඩලයක් පත් කර ඇති බවට මහ බැංකුව දක්වන කරැණ ද සැලකිල්ලට ගත යුතුය.
එල් සැල්වදෝර් පියවරක් ඉදිරියට
ක්‍රිප්ටෝ මුදල් හෙවත් අප්‍රකාශිත විද්‍යුත් මුදල් භාවිතය පිළිගන්නා ලෝකයේ පළමු රට බවට එල් සැල්වදෝරය පත්ව සිටී. එය මධ්‍යම අමෙරිකානු කුඩා රාජ්‍යයකි. විශාල වශයෙන් ආදායමක් ලබන මාර්ගය වෙනත් රටවලින් ලැබෙන පර්යටන බව වාර්තා දක්වයි. අමෙරිකාවේ සේවය කරන පිරිස බහුලය. එරට වැසියන්ගෙන් තුනෙන් එකක් අමෙරිකාවේ වෙසෙන අතර ඔවුන් රටට එවන ධනය ප්‍රධාන විනිමය උත්පාදන මාර්ගය වශයෙන් සැලකේ. ලෝක ප්‍රජාව අනුව එහි දූෂණ බහුලය. අක්‍රමිකතා ඉහවහා ගොස් තිබේ. තවමත් දියුණු වන එල් සැල්වදෝරයේ ආයෝජනවලට එන පිරිස් ගැන විවිධ මතිමතාන්තර ඇත. පසුගිය ජූනි මාසයේ දී එරට පාර්ලිමේන්තුව ඡන්ද 62ක කැමැත්තෙන් හා 22ක් විරුද්ධව සිටිය දී ක්‍රිප්ටෝ කරන්සි රට තුළ නීත්‍යානුකූල බව සම්මත කරගෙන තිබේ. පසුව අගෝස්තු මාසයේ දී රිපබ්ලික් කියුබා රාජ්‍ය ද මෙම කරන්සි පිළිගෙන ඇත. එය කැරිබියන් දූපත්වල පිහිටා තිබේ. මාධ්‍ය නිදහස ඉතාම අඩුම රටවල් අතරින් එකක් සේ ප්‍රකටය. චීනය ඉතාම ධනවත් තැනකට පත්වෙමින් සිටී. එරට ජනයා පොහොසත් තලයට එන අතර මුදල් යහමින් ගැවසෙයි. දැනට ඇති වාර්තා අනුව චීනය විශාලම ක්‍රිප්ටෝ කරන්සි වෙළෙඳපොළ බව කියැවේ. එහෙත් එරට තුළ එය තහනම් බව සඳහන් කළ යුතුය.
පසුගිය සැප්තැම්බර් මාසයේ ක්‍රිප්ටෝ කරන්සි වටිනාකම සියයට දහයකින් පහත වැටී ඇති බව මූල්‍ය විශේෂඥ වාර්තා දක්වයි. නොපනත්කම් බව කියන අතරවාරයේ නොයෙක් රටවල් හා සංවිධාන අතර ක්‍රිප්ටෝ ගැවසෙයි. එය සහමුලින්ම පාලනය කරන්නට කිසිදු හැකියාවක් නැත. අන්තර්ජාල සම්බන්ධතා සහිත ඕනෑම පුද්ගලයකුට ඒවායේ මුල් ව්‍යවහාරවලට ගොස් ගනුදෙනු කරන්නට අයිතිය ලැබී ඇත. තමන්ගේ මුදල් තමන්ට රිසි පරිදි බව සිතන පාර්ශ්වවලට කැමැති ආකාරයකට ලාභ හෝ පාඩු අත්විඳින්නට අවකාශ නිර්මාණය වී තිබේ. අනාගතයේ දී ලෝකයේ එක යායකට ක්‍රිප්ටෝ කරන්සි භාවිත වෙන්නට ඉඩ ඇත. එය සිහිනයක් පමණක් නොව සමහරවිට යථාර්ථය වෙන බව දෙපැත්තකි. මෙම දෙපැත්තෙන් කොතැනක සිටිය ද වාසි හා අවාසි ගැන කල්පනා කිරීම ප්‍රජාවගේ වගකීමකි. තීන්දු ගැනීමේ දී අවදානම අමතක කළ යුතු නැත.
සාරා කන්දෙගොඩ