2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා

නට්ටං වෙන්න යන ටවර්හෝල් රඟහල

 2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 97

නූර්ති යුගයේ ආරම්භ වූ මරදාන ටවර් රඟහල අදටත් නාට්‍ය හා බැඳුණු නමක් බවට පත්ව තිබේ. 1980 දශකය වනවිට අබලන්ව ගරා වැටෙමින් තිබූ ටවර් රංශ ශාලාව නවීකරණය කර ටවර් නාට්‍ය ශිල්පීන්ට විශ්‍රාම වැටුප් ක්‍රමයක් සකස් කිරීමටත් මුල්වුණේ හිටපු ජනාධිපතිවරයෙක් වූ රණසිංහ ප්‍රෙමදාස මහතායි. මේ වනවිට ටවර්හෝල් රඟහල පදනම අයත් වන්නේ ජාතික උරැම රංග කලා හා ග්‍රාමීය කලා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයටයි.

ටවර් රඟහල, එල්පින්ස්ටන් රඟහල සහ රුක්මණී දේවි රඟහල යන ආයතන ටවර් හෝල් පදනමට අයත් වේ. පසුගිය කාලයේ රට දිගු කලක් වසා තැබීම මෙන්ම රංග ශාලා විවෘත කිරීමට නොහැකි වීම නිසා කලා ක්ෂේත්‍රයට අත්ව තිබුණේ දැඩි අර්බුදකාරී වාතාවරණයකි. රංග ශාලාවල නාට්‍ය දර්ශන නැතිව ගොස් දැන් දිගු කලකි. නාට්‍ය ශිල්පීන්ට වැලේවැල් නැත. මේ වැනි අවස්ථාවක නාට්‍ය ක්ෂේත්‍රයේ අභිවෘද්ධියට පිහිටුවා තිබෙන ටවර් හෝල් පදනමද අර්බුදයකට ලක්ව ඇති බවට අපට ආරංචි විය. මේ ගැන දැන ගැනීමට අප කතා කළේ එහි අධ්‍යක්ෂ ජනරාල් ඩී.එම්.එස්. දිසානායකටයි.

ඔහු පැවසුවේ කොවිඩ් අවදානම හමුවේ පැන නැගී තිබෙන මූල්‍ය අර්බුදයක් පැවතියත් එය සමස්ත රටටම බලපාන බවත් අර්බුදය කළමනාකරණය කරගනිමින් එයට මුහුණදීමට යෝජනා සහිත වැඩපිළිවෙළක් සැලසුම් කර ඇති බවත්ය. එමෙන්ම ඉදිරි මාස තුනක කාලයක් සඳහා විශේෂ වැඩසටහනක් සැලසුම් කර තිබෙන බවත් ඔහු කීවේය.

අද එතරම් කතාබහ නොකෙරුණත් අතීතයේ ටවර් හෝල් යන නම නාට්‍ය ක්ෂේත්‍රයේ ඉහළින්ම සඳහන් වූ නමක් බව එහි ඉතිහාසය විමසා බලන විට පැහැදිලි වේ. මරදානේ ප්‍රසිද්ධ යූනියන් පැසෙන්ජර් හෝටලයේ හිමිකරු වූයේ ගනේගොඩ අප්පුහාමිලාගේ හෙන්ද්‍රික් සෙනවිරත්නයි. ඒ වනවිට රංග ශාලාවක් තිබුණේ පිටකොටුවේ පමණි. ස්ථිර රංග ශාලාවක් මරදානේ ඉදිකිරීමේ අභියෝගය  ඔහු බාරගත්තේය. ඒ අනුව ශ්‍රී ලංකාවේ ඉදිවූ ප්‍රථම ස්ථාවර රංග ශාලාව බවට පත්වුණේ ටවර් රඟහලයි.

හෙන්ද්‍රික් මුදලාලි 1907 සැප්තැම්බර් 27දා පංචිකාවත්ත පාරේ අශ්ව ඉස්තාලයකට වෙන් කරන ලද ඉඩමක් රු. 2000කට මිල දී ගත් අතර එය පර්චස් 68ක කැලෑ රොදක් විය.  ඒ ඉඩම හැඳින්වුණේ “මෙරෙඤ්ඤගේ වත්ත” ලෙසිනි. ඒ කාලෙ බහුලව භාවිත වුණු අශ්ව කරත්තවල අශ්වයන් බැඳ තබන ස්ථානයක් ලෙසයි මෙරෙඤඤගේ වත්ත තිබුණේ. ප්‍රේක්ෂකයන් 800කට ඉඩකඩ සහිත ශාලාවක්, බැල්කනියක්, සහ නේපථ්‍යාගාරයක් සහිතව රංග ශාලාවක් ඉදිකිරීමට ඔහු සැලසුම් කළේය. රඟහලට මුල්ගල තබන අවස්ථාවට අනගාරික ධර්මපාලතුමා, ඩී.එස්. සේනානායක, ඇෆ්.ආර්. සේනානායක, නීතිඥ ජෝන් ද සිල්වා වැනි ප්‍රකට චරිත රාශියක් පැමිණ තිබෙන බව සඳහන් වේ.

රංග ශාලාව ඉදිරිපස ඔරලෝසු කණුව සැලසුම් කරන ලද්දේ ලන්ඩනයේ ටවර් ඔෆ් ලන්ඩන් නම් ඔරලෝසු කණුව නිරූපනය කිරීමටයි. මෙයට “ටවර් හෝල්” කියන නම ලැබුණෙත් මේ කණුව නිසාය. මේ අතර හෙන්ද්‍රික් සෙනවිරත්නගේ දියණිය විවාහ කරගත්තේ නාට්‍යකරුවකු වූ නීතිඥ චාල්ස් ඩයස්ය. ටවර් රඟහල විවෘත කිරීමේ අවස්ථාවට වේදිකාගත කළේ චාල්ස් ඩයස්ගේ පණ්ඩුකාභය නාට්‍යයයි.

එය විවෘත වුණේ 1911 දෙසැම්බර් 16 දිනයි. පණ්ඩුකාභය ටවර් හෝල් නාට්‍ය සම්ප්‍රදායක් ආරම්භ කිරීමට මුල්වූ නිර්මාණය ලෙස වැදගත් වේ. මෙම නාට්‍යයට අවශ්‍ය සියලුම ඇඳුම් පැළඳුම් බොම්බායේ (මුම්බායි) සිට ආනයනය කර තිබෙන බව සඳහන්ය. ආරම්භයේදී ටවර් රඟහල වෙන්කර තිබුණේ චාල්ස් ඩයස් විසින් ලියා අධ්‍යක්ෂණය කෙරුණු නාට්‍ය සඳහා පමණක් වුවත් පසුව නීතිඥ ජෝන් ද සිල්වාගේ නාට්‍ය ප්‍රදර්ශනය කිරීමද අරඹා ඇත. මෙම යුගය හඳුන්වා දෙන ලද්දේ ටවර් ‍යුගය නමිනි. එකල නිෂ්පාදනය කරන ලද නාට්‍ය “නූර්ති” හෙවත් නව නාට්‍ය නමින් හඳුන්වන ලද අතර, ඉන්දියානු නාට්‍ය ආභාෂයද ඒවාට ලැබී තිබුණි.

කෙටි කලකින්ම ටවර් රඟහල ජාතික රංග ශාලාවක් ලෙස ස්ථාපිත විය. එය රට පුරාම ජනප්‍රිය විය. ටවර් හෝල් එකේ නාට්‍යයක් නැරඹීම එකල විලාසිතාවක් බවට පත්ව තිබුණි. 1930- 40 වනවිට එහි ස්ථිර නාට්‍ය ශිල්පීන් 120ක් පමණ සිටි බව සඳහන් වන අතර එවකට පුරෝගාමී නාට්‍ය ශිල්පියෙකුගේ මාසික වැටුප රු.400ක් තරම් ඉහළ අගයක් වී තිබේ. එය මෙරට මුල්ම වෘත්තීය නාට්‍ය කණ්ඩායම යි.

පසුව විවිධ පුද්ගලයක් විසින් මිලදී ගත් මෙම රඟහල සිලෝන් තියටර්ස් යන සමාගමටද අයත්ව තිබුණි. ඉන්පසු එහි නාට්‍ය වෙනුවට චිත්‍රපට ප්‍රදර්ශනය කෙරුණි. ටවර්හෝල් රඟහල රජයට පවරාගෙන එහි නැවත වේදිකා නාට්‍ය රඟ දැක්විය යුතු බව ඉල්ලීමක් කලාකරුවන් වෙතින් කෙරුණේ 1965–70 ඩඩ්ලි සේනානායක ආණ්ඩු කාලයේදීයි. එය ක්‍රියාත්මක වුණේ නැත. මේ යෝජනාව ක්‍රියාත්මක කෙරුනේ 1977 දී බලයට පත් එජාප රජයේ අගමැති ලෙස පත්වූ ආර්. ප්‍රේමදාසගේ කාලයේදීය. 1978 මාර්තු 15 වැනි දින ටවර් රඟහල ආණ්ඩුවට පවරාගෙන අගමැති ආර්. ප්‍රේමදාසගේ නායකත්වය යටතේ ටවර් හෝල් රඟහල පදනම යන පරිපාලන ඒකකය පිහිටවීය. ඉන්පසු ටවර් හෝල් රඟහල පුනරුත්ථාපනය කිරීමේ කටයුතු ආරම්භ කෙරුණි. ඒ අතර අසරණ වූ ටවර් රංගන ශිල්පීන්ට විශ්‍රාම මුදලක් මාසිකව ලබාදීමටත් කටයුතු කෙරුණි. අසරණ කලාකරුවන්ට මාලිගාවත්ත මහල් නිවාසවලින් නිවාස ලබාදීමෙන්ද, ඔවුන්ට මාසික වශයෙන් පාරිතෝෂික මුදලක් පිරිනැමීමෙන්ද, ඔවුන් නාට්‍යවලට, සංදර්ශනවලට සහභාගි කරවාගෙන ඔවුන්ට කිසියම් ගෙවීමක් ලබාදීමෙන්ද ප්‍රේමදාස දැක්වූ අනුග්‍රහය බොහෝදෙනා අදටත් අගය කරති.

ටවර් හෝල් රඟහල පදනම නවීකරණය කොට පවරාගැනීමෙන් පසු එහි වේදිකාගත කරන ලද ප්‍රථම නාට්‍යය සිරිසඟබෝයි. ඊටපසු ශ්‍රී වික්‍රම, සමුද්‍රදේවී ආදී නාට්‍යද ඒ මඟින් නිෂ්පාදනය කෙරැණි. දියුණු නාට්‍ය සංස්කෘතියක් හා ගුණාත්මක නාට්‍ය පරිසරයක් ගොඩනැගීමේ අරමුණ ඇතිව, අංකුර හා තරුණ නාට්‍යකරුවන්ගේ නිර්මාණ එළිදැක්වීම සඳහා රංගශාලා පහසුකම් ලබාදීම, ඔවුන් පුහුණු කිරීම ආදී කටයුතු ටවර් රඟහල පදනමේ අරමුණයි. එම අරමුණු ඉටුකර ගැනීමට නම් මූල්‍ය සහායත් අවශ්‍ය වේ. ඉදිරියේදී නව සැලසුම් සහිතව ඒ අරමුණු වෙත එයට අවතීර්ණ වීමට හැකිවේවා යයි අපි ප්‍රාර්ථනා කරමු.  

 කුසුම්සිරි විජයවර්ධන