2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා

ලෝකයම අල්ලේ නටවමින් අමුතුම ගමනක් යන කොරෝනා

 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 78

කොරෝනා පිළිබඳ සරල සමාජ දැක්මක් තුළ සිට සාකච්ඡා කිරීම සාධාරණ නොවන්නේ එමගින් ගොඩනැගෙන ගැඹුරු සමාජ කාරණාවන්හි සත්‍යතාව නිවැරදිව ග‍්‍රහණය කර ගැනීමට අවස්ථාව නොලැබෙන බැවිනි. මෙය මිනිසාව ශාරීරිකව පීඩනයට පත්කරන වසංගතයක් පමණක් නොවේ. මේ තුළින් විශාල සමාජ භීතිකාවක්ද ගොඩනැගී තිබේ. කොරෝනා වෛරසය නිරන්තරයෙන් මිනිසා හා ශාරීරිකව සම්බන්ධ වුවත්, එයට මිනිසාගේ, සමාජයෙහි සියලු චර්යාත්මක කාරණා පමණක් නොව ඔවුන්ගේ හැසිරීම් රටා පවා වෙනස් කිරීමේ හැකියාව ගොඩනගාගෙන ඇති අයුරු පැහැදිලිය. එම හැකියාව කොරෝනා වෛරසයට මිනිසා විසින් උරුමකර දී තිබේ. එපමණක් නොව වර්තමානය සහ ඉතිහාසයෙහි කොරෝනා හා සම්බන්ධ මෙම සියලු කාරණාවන්ට අනාගත සමාජයෙහි සියලු හැසිරීම් පමණක් නොව සමාජයෙහි සියලු අනාගත අපේක්ෂාවන්ද මේ වනවිටත් වෙනස් කිරීම සිදුකොට තිබේ. වෙනස යන්න සංවර්ධනයට අවශ්‍ය වුවත් මෙම වෙනස මිනිසාව නිශ්ක‍්‍රීයත්වය දක්වා රුගෙන යන්නකි. 

අපේක්ෂාවන් බිඳ වැටෙන ඕනෑම සමාජයක පැවැත්ම පිළිබඳ ගැටලු නිරන්තරයෙන් නිර්මාණය කරයි. මිනිසා සජීවී කරන්නේද අපේක්‍ෂාවන්ය. අනෙක් අතට නිවැරදි සහ සැලසුම් සහගත ලෙස  ඕනෑම සමාජයක අනාගතය සැලසුම් කළ හැකි වන්නේ එම සමාජයන්හි පැවති ඓතිහාසික අත්දැකීම් මූලිකවය.   

එසේම කොරෝනා වෛරසයට සමාජයෙහි ඇති නැති පරතරය වර්ධනය කළ නොහැකි වුවත් කොරෝනා වෛරසයෙහි ව්‍යාප්තිය තුළ මෙය වර්ධනය කිරීමේ හැකියාව ගෝලීය සුපිරි පාංතික මිනිසා විසින් ගොඩනගාගෙන තිබෙන බව නම් පැහැදිලිය. මේ අනුව පූර්ව කොරෝනා අවස්ථාවට වඩා කොරෝනා අවස්ථාවෙහි ගෝලීය උපරි ධනපති පාංතිකයන්ට අනුව සමාජයෙහි සමස්ථයෙහි හැසිරීම සිදුවන බව පෙනේ. මෙම කොරෝනා සමාජ අවස්ථාව පශ්චාද් කොරෝනා සමාජ අවස්ථා නිර්මාණයකට අනුගතවන අයුරින් සැලසුම් වන බවත් පැහැදිලිය. සුපිරි ධනපති පංතියක ආගමනයද මෙමගින් සිදුවන බව මේ වනවිටත් දැකිය හැකිව තිබේ.  

කෙරෝනා වෛරසයෙහි ආරම්භය සහ විකාශනය මානව නිෂ්පාදිතයක්ද නැද්ද යන්න තවමත් මතවාදී ස්වරෑපයක තිබේ. ලෝක ධනවාදී අර්බුදයට මෙමගින් විසඳුම් සොයනවා යනුද එක් මතයකි. මෙම මත පිළිබද විවිධ තර්ක සහ මතවාද තිබේ. මෙය අවසන් වන විට තවද මේ හා සමාන වෛරසයක් අනිවාර්යයෙන් පැමිණිය හැකිය. කොරෝනා වෛරසය මූලික කොට ගෙන සමාජය මෙහෙයවීමේ බලයද ගොඩනගමින් තිබෙන්නකි. එම බලය යන්න සුවිශේෂීව ආර්ථික, දේශපාලන සහ සංස්කෘතික සාධක ඔස්සේ ගොඩ නැගෙන බලය බවටද පත්ව තිබේ.  ඕනෑම සමාජයක් ආර්ථික සාධක මත වෙනස් කළ හැකිය. ආර්ථිකයට වෙනස් කළ නොහැක්කක් වර්තමාන සමාජයෙහි නම් නොමැත. ඉතිහාසයෙහි යටත් විජිතකරණ මගින් ආයුධ මූලික කොටගෙන භූගෝලීය ජයග‍්‍රහණ ඔස්සේ බලය ගොඩ නගාගත්තත්, වර්තමානයෙහි සංස්කෘතික ජයග‍්‍රහණ තුළ යටත් විජිත සංකල්ප ගොඩනගමින් තිබෙන අයුරු පැහැදිලිය. යටත් විජිතකරණයෙහි ද ප‍්‍රවණතා ඉතිහාසයට වඩා වෙනස්ය. මෑත භාගයෙහි රටක් තවත් රටක් විසින් ආක‍්‍රමණය කළේ 1991 වසරෙහි දී ඉරාකය ක්වයිට් දේශය ආක‍්‍රමණයත් සමගිනි. ඉන් අනතුරුව මූලෝපායික ක‍්‍රමය බවට පත්වන්නේ රටක ප‍්‍රදේශයක් යටත් කර ගැනීමයි. එය මහා පරිමාණ යුද්ධ වලක්වා ගැනීමේ ද ක‍්‍රමවේදයකි. 2014 වසරෙහි රුසියාව ක‍්‍රයිමියාව යටපත් කර ගැනීම දැකිය හැකිය. කෙටි යුද්ධ ද දැකිය හැකිය. රුසියාව ජෝර්ජියාවට එරෙහිව 2008 වසරෙහි කෙටි යුද්ධයක් දියත් කළේය. අනාගතයෙහි චීනය දරුණු කෙටි යුද්ධයකින් තායිවානය අත්පත් කරගත හැකියි. මේ අනුව යටත් විජිතකරණයෙහි මූලෝපායික ක‍්‍රමවේද වෙනස් කොට ගෙන තිබේ.

උතුරු අර්ධ ගෝලයෙහි බටහිර සහ යුරෝපියානු රටවල් දකුණු අර්ධ ගෝලයෙහි ආසියානු අප‍්‍රිකානු සහ ලතින් ඇමෙරිකානු රටවල සංස්කෘතීන් අන්තර්ජාතික සහ පාරජාතික මාධ්‍ය මූලිකව වේගයෙන් වෙනස් කරමින් තිබේ. ජාතික මාධ්‍ය සංකල්පය පමණක් නොව ජාතික රාජ්‍ය සංකල්පද වර්තමාන ලෝකයෙහි අර්බුදයට ගමන් කරමින් තිබේ. රාජ්‍ය සංකල්පය දේශපාලන අර්ථය තුළ ගොඩනැගෙන්නේ ද 1700 ගණන්වල සිටය. ජාතික රාජ්‍ය සංකල්පයෙහි ඉතිහාසයද 1648 පමණ දක්වා ගමන් කරයි. මෙම සංකල්පයන්හි වෙනස සඳහා බොහෝ දුරට යටත් විජිතකරණය, ජනමාධ්‍ය, වර්තමාන ජාලගතකරණ සහ ජීවවිද්‍යාත්මක අවිද හේතු වී තිබෙන බව නම් පැහැදිලිය. මෙමගින් රටක් හෝ කලාපයක් පමණක් නොව ගෝලීය සමාජයම පාලනයට පමණක් නොව අර්බුදයට පවා ගමන් කරවිය හැකිය. ජීවවිද්‍යාත්මක අවි සහ සමාජ ජාලීයකරණය එතරම් ප‍්‍රබලය. ජාලගතකරණය යනුද වර්තමානයෙහි බලයෙහි කේන්ද්‍රයයි. නමුත් මිනිසාට මිනිසෙකු ලෙස පැවැත්ම සඳහා හෙතුවන කේන්ද්‍රය නම් නොවේ. බලයෙහි පැවැත්ම සඳහා ආර්ථිකයද හේතු වනු ඇත. මෙහි පැවැත්ම ගොඩනැගෙන්ද මෙයට සමගාමී ලෙස සංස්කෘතිකකාරණාවන්ගේ ද වෙනස් වීමත් සමඟිනි. 

අනෙක් අතට බලය සහ මුදල කේන්ද්‍රීය වූ සමාජයක සංස්කෘතික ජයග‍්‍රහණ අත්‍යවශ්‍ය කාරණාවක් බවට පත්ව තිබේ. වර්තමානයෙහි කොරෝනා පදනම්ව ගොඩනැගෙන ජාලකරණය මගින් ඒ සඳහා ප‍්‍රබල සහ ශක්තිමත් පදනමක් දමා තිබේ. ලෝකයෙහි දේශපාලන සහ බුද්ධිමය බලයද එමගින් හසුරුවමින් තිබේ. සමාගම්කරණයද ජාලකරණය මගින් වෙනස් කරමින් තිබේ. ජාලගතකරණය වර්තමාන මිනිසාගේ සහ සමාජයෙහි සමස්ත පැවැත්ම එහි ව්‍යුහයට හසුකර ගනිමින් තිබේ. මිනිසා ඉදිරියෙහි සිටින මිනිසා යනු ජාලගතකරණය මගින් වෙනස් වූ මිනිසෙකු මිස සාම්ප‍්‍රදායික සමාජයේ මිනිසා ඉදිරියේ සිට මිනිසා නොවන බවද අප පැහැදිලි කරගත යුතුය. එහි මූලික ලක්ෂණ වර්තමානයෙහි ගොඩනැගෙමින් තිබෙන බව පැහැදිලිය.
සන්නිවේදනය මිනිසා සහ සත්ත්ව සමාජය තුළ පමණක් නොව භෞතිකයද අන්තර්ගත වූ සමස්ත ලෝකයෙහිම මූලිකම කාරණාවක් බවට පත්වන අතර එය ජාලකරණය මගින් ගොඩනගන හැඩගැස්ම යනු සමස්ත ලෝකයෙහිම ගොඩනගන වෙනස බවට වේගයෙන් පත් වනු ඇත. ඒ අනුව වර්තමාන සංනිවේදනයෙහි ගොඩනගන වෙනස සහ හුරුව යනු සමාජයෙහි වේගයෙන් සිදුවන වෙනසයි. එමෙන්ම ජාල ගතවීම යනු මිනිසාගේ මානසික සහ චර්යාත්මක ගති නියමයන් එයට අනුව ආකෘතිගත වීම සහ හැඩගැස්මයි. එනම් මිනිසාගේ ගති නියමයන්ට අනුව ජාලය හැඩ ගැසෙනවාට වඩා, ජාලයෙහි ස්වරෑපයන්ට අදාළව මිනිසා නිර්මාණය කිරීම මෙහිදී දැකිය හැකිය. මේ සඳහා අවස්ථාව සහ සමාජ, සංස්කෘතික හැඩය එමගින් මිනිසාට නිර්මාණය කොට දී තිබේ. පවතින සමාජ සංස්කෘතික යථාර්ථය තවදුරටත් මේ අනුව වලංගු නොවන බව නම් පැහැදිලිය.

මෙමගින් බලය යන්නද සුවිශේෂී ලෙස ආකෘතිගත කොට තිබේ. මේ තුළ බලය යනුද අධිකාරී ස්වරෑපයක් තුළ ගොඩනගන පාලනයක් බැව්ද මෙමගින් පැහැදිලි කරගත හැකිය. ප‍්‍රජාතාන්ත‍්‍රීය ස්වරූප මෙහි ඇති බව මතුපිටින් පෙනුන ද ඒකාධිකාරීත්වයෙහි ගලා යාමක් මේ තුළ සිදුවේ. බලය සුවිශේෂී ලෙස ආකෘති ගත කිරීමේ ක‍්‍රමවේදයක් පමණක් නොව  බලය හා සම්බන්ධිතව ගොඩනැගෙන  සබඳතාද මේ තුළ පැහැදිලිය. මෙහි සමාජ යථාර්ථය යන්න නියෝජනය නොවන බවද පෙනේ. එහෙත් යථාර්ථය විඥනය තුළ ගොඩනගන උත්තේජනයක් බවට නම් පත්ව තිබේ.

ජාලකරණය මගින් ගොඩනැගෙන සන්නිවේදන ක‍්‍රියාවලිය පුද්ගල කේන්ද්‍රීයව සිදු වන්නක් නිසා අනෙකුත් මාධ්‍යකරණයන්ට වඩා එය මිනිසා ඉදිරියෙහි සබඳතා සඳහා හේතු වී ඇති බැව්ද පැහැදිලිය. ආකල්ප සහ මතවාදයන්ගේ උපක‍්‍රමශීලී වෙනස්වීම් පමණක් නොව සත්‍ය යටපත් වෙමින් මතය ඉදිරියට ගෙනෙන ස්වරෑපද දැකිය හැකිවේ. ඒ අනුව වර්තමාන සමාජයේදී සත්‍යයට වඩා බොහෝ දුරට වැදගත්ව පවතින්නේ මතය බව පෙනේ. මතය යන්න  සත්‍ය හෝ යථාර්ථ නියෝජනය  වන්නක් ද යන ගැටලුව පවතී.  සත්‍ය හෝ යථාර්ථය නියෝජනය නොවන බොහෝ අවස්ථාවන්හිදී ව්‍යාජත්වය දැකිය හැකිය.  ඒ අනුව  මතයෙහි නියෝජනය යනු  ව්‍යාජත්වයෙහි ඉදිරියට පැමිණීමක් ලෙස ද අනෙක් අතට සැලකිය හැකිය. 

ජාලකරණයට ජනතාවාදී බවද අතික‍්‍රමණය කළ හැකිය. මෙහි ඇත්තේද සකසන ලද යථාර්ථයකි. මාධ්‍ය ඒජන්තවරුන් විසින් ග‍්‍රාහක ප‍්‍රජාව තම මතය අනුව සකසමින් තිබේ.  

කොරෝනා වෛරසය මූලිකව මේ වනවිටත් උතුරු සහ දකුණු අර්ධ ගෝල කේන්ද්‍රීය එන්නත් දේශපාලනයක් ද ගොඩ නගාගෙන ඇති අයුරු දැකිය හැකි වේ. ඇමරිකාව,  බි‍්‍රතාන්‍ය සහ යුරෝපා සෞඛ්‍ය වැඩපිළිවෙළ මගින් අනුමත කරන ලද එන්නත් ලබා ගන්නා ලද පුද්ගලයින්ට විශේෂත්වයක් දක්වන අයුරු ද පැහැදිලිය. ඒවා අතර පයිසර්, මොඩනා, ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සහ බි‍්‍රතාන්‍ය ඇස්ට‍්‍රාසෙනිකා ආදී එන්නත් වර්ග මෙයට අයත් වේ. මේ සම්බන්ධව  බි‍්‍රතාන්‍ය සහ ඉන්දියාව අතර අර්බුදයක් ද හටගෙන ඇති අයුරු පැහැදිලිය. එන්නත් මූලික කරගනිමින් පහළ දේශපාලනයක නිරතවන ආකාරය ද මේ තුළින්  දැකිය හැකිය. මෙම එන්නත් මූලිකව ලෝකය තුළ බටහිර සහ යුරෝපය කේන්ද්‍රීයව සුදු අධිකාරිත්වයක්ද ගොඩනගමින් තිබෙන අයුරු පෙනේ. ලෝකයෙහි දකුණු අර්ධ ගෝලයට ආසියානු, ලතින් ඇමෙරිකානු සහ අප‍්‍රිකානු රටවල්  අයත් වන අතර ආර්ථික ගැටලු මෙම බොහෝ රටවල්වල දැකිය හැකිය. තවමත් අප‍්‍රිකානු බොහෝ රටවල් තම ප‍්‍රජාවෙන් 2ක ප‍්‍රමාණයක්වත් එන්නත්කරණය සිදුකොට නොමැති බව පෙනේ. එන්නත් නිෂ්පාදනය සහ අධිකාරිය උතුරු අර්ධ ගෝලයෙහි රටවල් විසින් තවමත් හිමිකරගෙන ඇති අයුරු දක්නට ලැබේ.  

කෙරෝනා මූලිකව සමස්ත ගෝලීය සමාජයෙහිම ආර්ථිකය බිඳවැටීම ප‍්‍රබල ලෙස සමාජයට දැනෙන්නට පටන්ගෙන තිබෙන්නේ සියල්ල මුදල මත පදනම් වී ඇති බැවිනි. ආධ්‍යාත්මය ප‍්‍රාග්ධනය බවට පත්වන විට පමණක් නොව,  ඕනෑම සමාජයක හැකියාවන් ප්‍රාග්ධනය බවට පත්වන විටද එවැනි සමාජයන් මානව හිතවාදීව ඉදිරියට ගමන් කරනු දැකිය හැකි වේ.  එහෙත්  මුදල  ප‍්‍රාග්ධනය බවට පත්වන විට ඒ තුළ ඇති නැති පරතරය පමණක් නොව අසාධාරණ සහ සමාජ නොගැලපෙන ක‍්‍රියාවන්ගේ සම්ප්‍රාප්තිය සිදුවෙයි.

කොරෝනා යන්න නිරන්තරයෙන් බලය කේන්ද්‍රීය වූවකි. එහි එකතුවට සමාජයෙහි බලය පමණක් නොව දේශපාලන බලයද ආර්ථික බලය සහ මිනිසුන්ගේ සමාජ සංස්කෘතික  බලයද වෙනස් කිරීමේ පමණක් නොව බොහෝ දුරට ඒවා ආක‍්‍රමණය කොට නිර්බල ස්වරෑපයකට අනුගත කිරීමේ හැකියාව ද පවතින බව පැහැදිලි කොට දී තිබේ.  

ඒ අනුව මෙය ගෝලීය වසංගතයක් බවට පත්ව තිබේ. ඉතිහාසයේදී නම් සමාජ, දේශපාලනික, ආර්ථික සහ සංස්කෘතික පමණක් නොව මිනිසාගේ මානසික ක්ෂේත‍්‍ර පවා ඒ ඒ භූගෝලීය සීමා තුළ සංවිධානය කළත් වර්තමාන ගෝලීය සමාජය තුළ එවැන්නක් සිදුවනු දැකිය නොහැකිය. වර්තමානයෙහි දැකිය හැකිව පවතින්නේ ලෝකයෙහි මධ්‍යගත රටවල් විසින් අපවැනි රටවල් මෙහෙය වීමයි.

වෛරස මූලිකව මිනිසා ගොඩනගාගත් ස්වරූපය මෙය වුවද මේ සියල්ලක දූෂණය සිදු  කරන්නේද මේ පිළිබඳ අනවබෝධිත මිනිසාය. මීටරයක් දුර යා හැකි වෛරසය කිලෝමීටර් ගණනක් පමණක් නොව දේශ සීමාවන් ද අතික‍්‍රමණය කිරීමේ හැකියාව ගොඩනගාගෙන ඇත්තේ  මිනිසා  මූලිකව ය. ඒ අනුව වෛරසයකට යා නොහැකි දුර වෛරසය මිනිසා විසින් රැගෙන යාම දැකිය හැකිවේ. ගෝලීය උපරිම පන්තියේ මෙහෙයවීම මත කොරෝනා වෛරසය මූලිකව සමස්ත සමාජ හැසිරීම ගොඩනැගෙන ආකාරය දැකිය හැකි අතර එහි පීඩනය අප වැනි රටවලට නිරන්තරයෙන් එල්ලවෙමින් පවතී. බුද්ධිමත් බව සහ නිවැරදි ප‍්‍රතිපත්ති සහ සැලසුම් කේන්ද්‍රීයව මෙම ගැටළුව ජයග‍්‍රහණය කිරීමට අවශ්‍ය මාවත නිවැරදිව සකස් කිරීම අපගේ ප‍්‍රබල වගකීම සහ යුතුකම බවට පත්වනු ඇත.   එයින් නිදහස් වීමට අප කිසිවෙකුට හැකියාවක් නො නොමැති බව නම් පැහැදිලිය.