2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා

කොවිඩ් නිවාඩුව පාසල් දරුවන් තුළ ඇතිකළ ආතතිය

 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 9

ශාරීරික, චිත්තවේගාත්මක හෝ මානසික බලපෑමකට හේතුවන ඕනෑම ආකාරයක වෙනසක් ආතතිය ලෙස හැඳින්විය හැකිය. මානසික ආතතිය යනු අවධානය හෝ ක්‍රියාවකට බලපාන කිසියම් දෙයකට පුද්ගල ශරීරය දක්වන ප්‍රතිචාරයයි. ඕනෑම වයසක පුද්ගලයකු තමන් ගැටෙන සමාජයේ විවිධ හේතුන් මත ආතතියට පත්විය හැකිය. අධ්‍යාපනය, රුකියාව, ආර්ථික ගැටලු, පවුල් අර්බුද, ප්‍රේම සබඳතා, ලෙඩරෝග ආදිය නිසා මෙම ආතතිය ඇතිවිය හැකිය. වැඩිහිටියන් පමණක් නොව දරුවන්ද බොහෝ විට ආතතියේ ගොදුරු බවට පත්වේ. 

කොරෝනා වසංගතය හේතුවෙන් අපේ රටේ දරුවන්ට පාසල් ජීවිතය අහිමි වී වසර එකහමාරක් පමණ ගතවී තිබේ. නිවෙස්වලටම කොටුවී සිටීම මත බොහෝ දරුවන් මේ වන විට විවිධ ආතතීන්ගෙන් පෙළෙන බව පසුගිය කාලය තුළ අසන්නට ලැබුණු පුවත්වලින් අනාවරණ විය. ඔවුනට පෙර මෙන් ඔවුනට එළිමහනේ නිදහසේ සැරිසැරිය නොහැකිය. නිවෙස්වලට කොටුවී සිටීමටත්, තම පන්ති සගයන්ගෙන්, ගුරුවරුන්ගෙන් ඈත්වී සිටීමටත්, පෙර මෙන් නිදහසේ කෙළි සෙල්ලම් කිරීමටත් නොහැකිවීම මත බොහෝ දරුවන්ට ගෙවන්නට සිදුව ඇත්තේ ඒකාකාරී නීරස ජීවිතයකි. විශේෂයෙන් මෙම අාතති තත්ත්වය අපොස සා/පෙළ, උසස් පෙළ වැනි විභාගවලට පෙනී සිටින්නට නියමිත දරුවන් තුළ වැඩි වශයෙන් දැකිය හැකි බව පෙනෙන්නට තිබේ. 

පසුගිය කාලය පුරාවට ඔවුනට අධ්‍යාපනය ලැබීමට සිදුවූයේ මාර්ගගත ක්‍රමයටය. එහෙත් ඇතැම් ප්‍රදේශවලට දුරකතන සංඥා නිසි පරිදි නොලැබීම හේතුවෙන් තම අධ්‍යාපන කටයුතු නිසි පරිදි කරගත නොහැකි බවට බොහෝ දරුවන් හා දෙමව්පියන් මැසිවිලි නගනු දැකිය හැකි විය. දරුවන්ගේ අධ්‍යාපනය අඩාල වේය යන බියෙන් ඔවුනට සැරවැර කිරීම නිසා ඇතැම් දරුවන්ට ජිවිතයෙන් වන්දි ගෙවීමට පවා සිදු විය. ඇතැම් දරුවන් මව්පියන්ගේ අවවාද, දුරකතනය නොදීම, වැනි සරල සිදුවීම් මත දිවිනසා ගැනීමට පවා කටයුතු කළ බව පසුගිය කාලයේ අසන්නට ලැබිණි. එමෙන්ම පවුල් ආරවුල් නිසාද දරුවන් ආතතියට පත් වේ. නිවෙසට කොටුවී සිටින අතරතුර මව්පියන්ගේ අඩදබර, පියවරුන්ගේ බීමත්කම වැනි කරුණු මතද දරුවන් ආතතියට පත් වේ.
කොවිඩ්-19 හේතුවෙන් දරුවන්ට පාසල් අධ්‍යාපනය අහිමි වූයේ ලංකාවේ පමණක් නොවේ. එය ලොව පුරා සියලු දරුවන්ට බලපෑවේය. එහෙත් ඇතැම් රටවල කඩිනමින් පාසල් විවෘත කෙරුණු අතර බොහෝ රටවල තවමත් ඒවා විවෘත කර නොමැත. දරුවකු යනු නිදහස් සත්ත්වයෙකි. වසර එකහමාරක පමණ කාලයක සිට ඔවුන්ගේ නිදහස අහිමි වී තිබේ. 

සේව් ද චිල්ඩ්රන් සංවිධානය දරුවන් 1500ක් සම්බන්ධයෙන් කරන ලද සමීක්ෂණයකදී හෙළිදරව් වූ කරුණුවලට අනුව දෙමව්පියන්ගෙන් 67 ක් තම දරුවාගේ චිත්තවේගී යහපැවැත්ම ගැන කනස්සල්ලට පත්ව සිටින බව ප්‍රකාශ විය. දරුවන්ගෙන් අඩකටත් වැඩි පිරිසක් (52) අලසකමට හුරු වී සිටි අතර තවත් පිරිසක් කනස්සල්ලට (49) පත්ව සිටියහ. 52 ක් තමන්ට ප්‍රමාණවත් අධ්‍යාපනයක් නොලැබීම සම්බන්ධයෙන් අපේක්ෂා භංගත්වයට පත්ව සිටියහ. තවත්  74 ක් සමාජ ක්‍රියාකාරකම් අහිමිවීම පිළිබඳව දුකින් සිටියහ.

ළමා සෞඛ්‍ය හා ළමා මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වන නිකලස් ජේ. වෙස්ටර්ස් සඳහන් කරන පරිදි වසංගතය හේතුවෙන්, එකිනෙකා ශාරීරිකව හමුවන සමාජ අන්තර් ක්‍රියාකාරීත්වය අවම වීම බොහෝ විට දරුවන්ගේ මානසික ආතතියට බලපා තිබේ. සම වයසේ මිතුරන් සමඟ සම්බන්ධ වීමේදී සිසුන්ට පෙර පුරුදුවලින් බැහැරවීමට සිදුව ඇති බැවින් සමාජ සාංකාව පිළිබඳ හැඟීම් වැඩි වශයෙන් නිර්මාණය වී තිබේ. විශේෂයෙන්ම පන්ති කාමරයෙන් බැහැරව මාර්ගගත අධ්‍යාපනයට යොමු වූ දරුවන් යළි සමාජගත වීමේදී යම් යම් බාධක පැන නැඟිය හැකි යැයි ඔහු පවසයි.
අධ්‍යාපනික වශයෙන් තමන් අසාර්ථක විය හැකිය යන බිය දරුවන් තුළ පවතී. පසුගිය වසරේ අධ්‍යාපනික වශයෙන් යම් පසුබෑමකට ලක්වූ දරුවන් තුළ මේ වසරේදී අමතර මානසික පීඩනයක් ඇතිවිය හැකිය..
පාසල් වසා තැබීමෙන් ඇතැම් දරුවන්ගේ මිතුදම් බිඳ වැටී තිබේ. වසරකට වැඩි කාලයක් හුදෙකලා අධ්‍යාපනයට යොමුවීමත් ශාරීරික දුරස්ථභාවය නිසාත් ළමයින් යළි පාසලට පැමිණෙන විට ඔවුන්ගේ පෙර පැවැති මිතුදම් පෙර සේම නොවෙනස්ව පවතිනු ඇතැයි යන්න පිළිබඳව දරුවන් තුළ සැකයක් පවතී.

සෞඛ්‍යය සහ අනාගතය පිළිබඳ කනස්සල්ලක් ඔවුන් තුළ ඇතිවේ. COVID-19 එන්නත කොරෝනා තර්ජනයට ආරක්‍ෂාව ලබා දෙන නමුදු වයස අවුරුදු 12ට අඩු ළමුන් සඳහා එන්නත් ලබා දෙන්නේ නැත. ඩෙල්ටා ප්‍රභේදය සහ COVID-19 අඛණ්ඩව ව්‍යාප්ත වන හෙයින්, සිසුන් තම සෞඛ්‍යය පිළිබඳව හෝ ආදරණීයකු පිළිබඳව මානසිකව පීඩාවට පත්විය හැකිය. පෙර මෙන් බාහිර ක්‍රියාකාරකම්වල යෙදීමට ඇති නොහැකියාවද ඔවුන් පීඩාවට පත් කරනු ඇත.  
කොවිඩ්-19 හේතුවෙන් ඇතැම් සිසුන්ට තම සමීපතමයන් අහිමි වී ඇති අතර එම ශෝකය ඔවුන් තුළ පවතී. කොවිඩ්-19 වලින් සුවය ලැබූ නමුත් කල් පවතින රෝග ලක්‍ෂණ හෝ බලපෑම් සමඟ කටයුතු කරන සමහර පවුලේ සාමාජිකයන්ගේ මානසික ආතතිය ඇතැම් දරුවන්ට අත්විඳීමට සිදු වේ. 

නිතර තරහ යාම, කළකිරුණු ස්වභාවයෙන් සිටීම, එදිනෙදා චර්යා රටාව වෙනස්වීම, පෙර මෙන් අවධානය නොමැති වීම, කිසිවකට ආසාවක් නොමැති අයුරින් සිටීම, නිතර ඇතිවන හිසරදය, හැඬීම, ප්‍රචණ්ඩ ලෙස හැසිරීම, වැඩිහිටියන් කියන දෙයට ප්‍රතිචාර නොදැක්වීම, නොරුස්නා ස්වභාවය, නින්ද නොයෑම, අවධානය යොමු කිරීම අවම වීම, ආහාර රුචිය නොමැති වීම, ඇතැම් දරුවන්ට ඔක්කාරය වැනි ලක්ෂණ ආතතියෙන් පෙළෙන දරුවන් තුළ දැකිය හැකිය. 

දරුවා සමඟ නිතර කතාබහ කිරීම, ඔහුට සවන් දීම, ඔහුගේ ගැටලු සොයා බැලීම, ඔවුන්ගේ හැඟීම් සහ කලකිරීම් තේරුම් ගත හැකි බව පවසා ඔහුගේ සිතට සහනයක් වන පරිදි කටයුතු කිරීම, ආදරය දැක්වීම වැනි දෑ මව්පියන්ට දරුවා වෙනුවෙන් කළ හැකිය. 

  ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා