2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා

ඉන්දියාව බැල්ම දාන තෙල්ටැංකි 99

 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 21

මේ දිනවල රටම කතා කරන්නේ ත්‍රිකුණාමලයේ තෙල්ටැංකි ගැනයි. ඒකට හේතුව සංචරණ සීමා පවතින මේ කාලයේ තකහනියක් අපේ අසල්වැසි රටේ විදේශ ලේකම්වරයා ලංකාවට පැමිණ එම තෙල් ටැංකි සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක  යෙදීම නිසයි. ආණ්ඩුව කොළේ වහලා කරන දේ අවසානයේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය දීර්ඝකාලීනව ඉන්දියාවට පවරාදීමට රජය සූදානම් වන බවට ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව චෝදනා කර සිටී.
මේ කතාව පසුපස පවතින පුවත් විමසීමට අපි සිතුවේ ඒ නිසාය.  

මෙරට සංචාරයක නිරතව සිටින ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ශ්‍රිංග්ලා පසුගිය 3 දා ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණය නිරීක්ෂණය කිරීම සඳහා පිටත්ව ගිය අතර එම අවස්ථාව මාධ්‍යවලට විවෘත වුණේ නැත. තෙල් ටැංකි සංකීර්ණයේ සංවර්ධන කටයුතු සහ ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාවය ඉහළ නැංවීම සඳහා ඉන්දු - ශ්‍රී ලංකා බලශක්ති සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීමේ හැකියාවන් සම්බන්ධයෙන් ලංකා ඉන්දියන් ඔයිල් ආයතනය (IOC) එහිදී ඉන්දීය විදේශ ලේකම්වරයාව දැනුවත් කර ඇති බවට රජයට සම්බන්ධ පුවත් සේවා වාර්තා කළේය. 

ත්‍රිකුණාමලයේ හොඳ තත්ත්වයේ පවතින තෙල් ටැංකි 99 තුළ තෙල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10ක් ගබඩා කිරීමේ හැකියාව සතුය. අමිල වටිනාකමකින් යුත් එම  සුවිසල් ගබඩා පද්ධතිය ගැන ඉන්දියාව පමණක් නොව ලොව තවත් රටවල් ඇස ගසාගෙන සිටින බව නොරහසකි. ඉන්දිය සමාගම වෙත දීර්ඝකාලීනව තෙල් ටැංකි බදුදීමට රජය අදහස් කර තිබේදැයි විදේශ අමාත්‍යවරයාගෙන් මාධ්‍ය විමසූ විට ඔහු පැවසුවේ උගුරට හොරා බේත් කෑමේ පිළිතුරකි.
ඒ ව්‍යාපෘතිය ගැන සාකච්ඡා කරමින් යනවා. හැබැයි අවසාන තීරණයකට එළඹිලා නෑ. අත්තනෝමතික ලෙස තීරණයක් ගැනීමේ අදහසක් නෑ.

නමුත් ඛනිජ තෙල් වෘත්තීය සමිති පවසන්නේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දීය සමාගමකට බදුදීමේ සැලැස්ම අතරතුරම, මෙරට ඉන්දියන් ඔයිල් සමාගමේ පිරවුම්හල් ඇතුළු බෙදාහැරීම් ජාලයද දීර්ඝකාලීනව එම සමාගම වෙත පවරාදීමේ සූදානමක් ඇති බවයි. 
පළමු ලෝක යුද සමයේ ඉන්ධන ගබඩා කිරීමට සුරක්ෂිත ස්ථානයක් සොයමින් සිටි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් ඒ සඳහා තෝරාගත්තේ ලෝකයේ භූ දේශපාලනිකව ඉහළම වැදගත්කමක් උසුලන ඉන්දියන් සාගරයට මුහුණ ලා පිහිටි ත්‍රිකුණාමලයේ වරායට ආසන්න මෙම ස්ථානයයි. ඔවුහු එහි ඉතා ශක්තිමත් අයුරින් තෙල් ටැංකි සංකීර්ණයක් ඉදිකළහ. 1924 වසරේදී පමණ මෙහි තෙල් ටැංකි ඉදිකිරීම් ඇරඹූ අතර 1930 දශකයේ අගභාගය වනවිට තෙල් ගබඩා සංකීර්ණයේ වැඩකටයුතු අවසන් කෙරිණි.

දෙවැනි ලෝක යුද්ධයේ බෝම්බ ප්‍රහාරයක් අතරතුර එකක් අනතුරට ලක්වූ අතර එය භාවිතයට ගත නොහැකි ලෙස විනාශ වී ඇත. මේ නිසා දැන් එයින් ඉතිරිව තිබෙන්නේ ටැංකි 99 ක් පමණි. ඒ අතරින් ටැංකි 16ක් චීන වරාය අසන්නයේත්, අනෙක් ටැංකි ප්‍රධාන මාර්ගයෙන් අනෙක් පස දුම්රිය ස්ථානය ආසන්නයේත් පිහිටා තිබේ.

තෙල් ටැංකි ආසන්නයේම ත්‍රිකුණාමලය වරායත්, අනෙක් පසින් දිවයින පුරා දිවෙන දුම්රිය මාර්ග පද්ධතියට සම්බන්ධ වන දුම්රිය මාර්ගයත් පැවතීම උපක්‍රමිකව ඉතා වාසිදායකය. පෞද්ගලික අංශයේ පැවති ඛනිජ තෙල් සම්බන්ධ කටයුතු රජයේ ඒකාධිකාරයක් කළේ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ සමයේ 1961 අංක 28 දරන පනත මගිනි. ඒ අනුව ඛනිජ තෙල් ගෙන්වීම, විකිණීම, බෙදාහැරීම, පිරිපහදුව හා මිශ්‍රකිරීමේ අයිතිය රජයට පවරා ගැනුණි. කෙසේ වුවත් පසුකාලීන පාලකයන්ට අවශ්‍ය වුණේ තම වාසිය තකා එම තීරණය ආපස්සට හැරවීමටයි. 

විවෘත ආර්ථිකය බිහිකළ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සහ ඉන්දීය අගමැති රජීව් ගාන්ධි විසින් 1987 දී අත්සන් තබන ලද ඉන්දු ලංකා ගිවිසුම අනුව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් ඉන්දියාව හැර වෙනත් කිසිදු රටක් සමග ගනුදෙනු කිරීමට ශ්‍රී ලංකාවට හැකියාවක් නැත.

2003 වසරේදී රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා IOC සමාගම සමග ගිවිසුමකට පැමිණියේය. එයට අනුව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99 වසර 35ක කාලයක් සඳහා බදු දුන් අතර ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් බෙදාහැරීමේ කටයුතුවලින් තුනෙන් එකක්ද එම සමාගමට පැවරීම සිදුවිය. ගිවිසුම ප්‍රකාරව වාර්ෂිකව ඩොලර් ලක්ෂයක මුදලක් සමාගම ශ්‍රී ලංකා රජයට ගෙවිය යුතු විය. රට පුරා IOC අකුරු සහිත ඉන්දියන් ඔයිල් තෙල් පිරවුම් මධ්‍යස්ථාන බිහිවුණේ ඒ අනුවයි. 

නමුත් එය විධිමත් ගිවිසුමක් මගින් සිදුනොවූ බවත් අවශ්‍ය ඕනෑම විටෙක එකඟතාව සංශෝධනය කළ හැකි බවත් වෘත්තිය සමිති පෙන්වා දෙන කරුණකි. පසුව 2017 වසරේ යහපාලන ආණ්ඩු කාලයේ මෙම තෙල් ටැංකි සංකිර්ණය පිළිබඳ නව ගිවිසුමක් අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය හිමි විය. එම ගිවිසුමට අනුව IOC සමාගම යටතේ පවතින ටැංකි පහළොව 99 වසරකට එම සමාගමට බදු දීමටත්, ඉතිරි ටැංකි 84 ඛනිජ තෙල් සංස්ථාවේ හවුල්කාරීත්වය යටතේ බෙදාගැනීමටත් යෝජනා වී තිබුණි. නමුත් එම ගිවිසුම ක්‍රියාත්මක වුණේ නැත.

වාර්තා වන කරුණු අනුව IOC සමාගම භාවිත නොකරන තෙල් ටැංකි 84ක් ත්‍රිකුණාමලයේ පවතී. ඒවා නැවත පාවිච්චි කිරීමට නම් සම්පූර්ණ අලුත්වැඩියාවක් කළ යුතුය. ඒත් ටැංකි 15ක් සුළු අලුත්වැඩියාවකින් අනතුරුව භාවිත කළ හැකි මට්ටමේ පවතී. IOC සමාගම පාවිච්චි කර තිබෙන්නේ ඒ අතරින් ටැංකි 15ක් පමණක් බව බනිජ තෙල් වෘත්තීය සමිති පවසා සිටී. IOC සමාගම දැනට භාවිත නොකරන තෙල් ටැංකි 85 යළි භාවිතයට ගැනීමට පෙර පූර්ණ අලුත්වැඩියාවක් කළයුතු බව පවසන වෘත්තීය සමිති ටැංකි 16ක් සුළු අලුත්වැඩියාවකින් අනතුරුව භාවිත කළ හැකි මට්ටමේ පවතින බව පෙන්වා දී තිබේ.
එවන් පසුබිමක ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිවලින් වැඩි ප්‍රමාණයක් ඉන්දු – ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වා ගැනීම පිණිස IOC සමාගම සමඟ නව ගිවිසුමකට අත්සන් තැබීමට ආණ්ඩුව සූදානම් වන බවත් ඉන්දීය විදේශ ලේකම්වරයා හදිසියේ ගොඩබැස්සේ එයට මඟපාදා ගැනීමට බවත් වෘත්තිය සමිති චෝදනා කර සිටී. 

ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති ආචාර්ය අශෝක රංවල මහතා පසුගියදා මාධ්‍ය සාකච්ඡාවකදී පැවසුවේ, “බල්ලා පිදුරු කන්නෙත් නෑ: කන ගොනාට දෙන්නෙත් නෑ වගේ. ඒගොල්ලො ටැංකි 16ක ම වතුර පුරෝගෙන ඉන්නවා. ටැංකි කීපයක විතරක් තෙල් තියෙනවා. රජය ඩොලර් ගැනීමේ උවමනාව මත නම් රටක් සමඟ ගිවිසුම් ගහන්නේ කවදාවත් අපේ රටේ අවශ්‍යතා ඉටු වෙන්නේ නෑ” යනුවෙනි. 
ත්‍රිකුණාමලයේ අයිතිය සතු තැනැත්තා ඉන්දියන් සාගරය හසුරුවන බවට ප්‍රබල මතයක් ආසියාවේ සමාජගත වී පැවතීමෙන් මෙහි ඇති භූ දේශපාලනික වැදගත්කම මනාව අපට පැහැදිලි වේ. ඒ නිසාම වක්‍රාකාරයෙන් හෝ ත්‍රිකුණාමලය තම පාලනය යටතේ තබා ගැනීමට බොහෝ රටවල් උනන්දු වූ බව නොරහසකි. ඉන්දියාවට ඒ ගැන ඇත්තේ ඉහළම උනන්දුවකි. 

එක් ටැංකියක ඉන්ධන ‍ටොන් 12000 ක් පමණ ගබඩා කිරීමේ හැකියාව පවතී. ඒ අනුව එහි පිහිටි තෙල්ටැංකිවල සමස්ත ධාරිතාව මිලියන 1.2 කට ඉහළය.  අක්කර 850ක භූමි ප්‍රමාණයක ගබඩා සංකීර්ණය පැතිර තිබේ. දෙවැනි ලෝක යුද්ධයේදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය භාරයේ පැවති විශාලතම තෙල් ගබඩාව එය විය. මිත්‍ර හමුදාවන් හා සම්බන්ධ අතිශය තීරණාත්මක සැපයුම් හා මෙහෙයුම් මධ්‍යස්ථානයක් එවකට ත්‍රිකුණාමලයේ පිහිටා තිබුණි. මේ නිසා ප්‍රධාන සතුරු ඉලක්කයක් බවට එය පත්ව තිබුණි. 

කොළඹට බෝම්බ හෙළා දින 04කට පසු ත්‍රිකුණාමලයට බෝම්බ දැමීමට ජපානය තීරණය කළේ ඒ නිසයි. ත්‍රිකුණාමල ප්‍රහාරයේදී ජපනුන්ගේ ප්‍රධාන අරමුණ වූයේ වරාය හා තෙල් ටැංකි සංකීර්ණය විනාශ කිරීමයි. ඒ අනුව 1942 අප්‍රේල් නවවැනිදා ජපන් ගුවන් ප්‍රහාරයක්  ටැංකි සංකීර්ණයට එල්ල විය. ජපන් ගුවන් යානය කඩා වැටීමත් සමඟ වනාන්තරයේ කෙළවරට වන්නට පිහිටා තිබූ 91 වන ටැංකියට‍ දරුණු හානි ගෙන දෙමින් විනාශයට පත්විය.

බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස් වූ පසු මෙහි අයිතිය පරණ පිනක් සේ  ලංකාවට හිමි විය. තෙල් ටැංකි සංකීර්ණය මහා ධන උල්පතක් වුවද එය කළමනාකරණයට ශ්‍රී ලංකාවේ පාලකයන්ට උනන්දුවක් නොතිබුණි. එදාවේල හොයන පාලකයන්ට දීර්ඝකාලීන අරමුණු වෙනුවට ඇත්තේ එය කාට හෝ පවරා දී ඩොලර් ප්‍රමාණයක් එකතුකර ගැනීම බව පෙනේ.

 කුසුම්සිරි විජයවර්ධන